Wednesday, August 17, 2016

ඉයන් මාමාගේ අභියෝගය සහ සිතූගේ කැමතිම සින්දු 16

මේ දවස්වල කට්ටිය තරඟෙට තමන් කැමතිම සින්දු 16 පොස්ට් කරනවලු නේ. ඉයන් මාමා ( මාමා කිව්වට තරහ නෑනේ? හංසි කියන නිසාලු කිව්වේ ඔන්න) තමයිලු මේ වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ හංසි, කලන අයියා, නිර්මාණි, අටං අයියා එහෙමත් පොස්ට් දාලා තිබ්බලු. ඒ වුනාට මට චැලේන්ජ් ඒක බාර දුන්නේ සොමියා අයියා. 

මේකත් හෙන බරපතල වැඩක් කියල තේරුනේ සින්දු ටික තෝරන්න ගියාම තමයි. ඉතින් හෙන අමාරුවෙන් තමයිලු සින්දු ටික තෝරාගත්තේ. මේ තියෙන්නේ සිතූ කැමතිම සින්දු 16. මේවා තියෙන්නේ කැමැත්තෙ අනුපිළිවෙලට නෙවෙයි හොඳේ.. 

1) කඳුළ නිවන්නම්.... ප්‍රියානි ජයසිංහ. 

මේ සින්දුවේ තියෙන ලයාන්විත ගතියට තමයි මම ගොඩක්ම කැමති. මේක නම් ඉයන් මාමාගේ ලිස්ට් එකෙත් තිබුනලු. 



2) සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ. (ගායනය, ගීපද, සංගීතය) 

මේක මං ගොඩක් කැමති සින්දුවක්. ඒ සමීප සිදුවීමක් නිසා නම් නෙවෙයි. ඒ සින්දුවේ සංගීතය වගේම පද පෙළත් හිතට ගොඩක් දැනෙනවා. 





3) දෙනුවර මින් පසු - සෝමතිලක ජයමහ/ පුන්‍යා කත්‍රිආරච්චි 

පද, සංගීතය- සෝමතිලක ජයමහ 

හිතට දුකක් දැනුන වෙලාවට එහෙම මං අහන සින්දුවක් මේක. හිතට ගොඩක් සනීපයක් වගේම සැහැල්ලුවක් දැනෙනවා මේ සින්දුව ඇහුවම. 





4)මුව මුක්තාලතා - එඩ්වඩ් ජයකොඩි 

පද රචනය - අචාර්ය අජන්තා රණසිංහ. 

තවත් මං ගොඩක් කැමති සින්දුවක්. ශබ්ද රසය නිසා තමයි මං මේ සිදුවට කැමති වුණේ. මේ ළඟදී හෙමිට සින්දුව අහල බලල තමයි තේරුම හොයාගත්තේ. :)





5) මේ ඉරයි හඳයි තනි අහසක - අමරසිරි පීරිස් 

මේ සින්දුව ගැන නම් මුකුත් කියන්නේ නෑ ඉතින්.. ඒක ගොඩක්ම දිග කතාවක් නිසයි. 



6) සඳකඩ පහණක - සුනිල් එදිරිසිංහ 


කාලෙකට කලින් මගේ ප්ලේලිස්ට් එකේ උඩින්ම තිබ්බ සින්දුවක් තමයි මේ. මේකේ තේරුම ගැන ගොඩක් කතා තියෙනවා. සංගීතය, පද රචනාව දෙකම නිසා හිතට දැනුන සින්දුවක්.. 





7)සැබෑ නොවෙනා හීන- කසුන් කල්හාර 

පද රචනය - නයනසේන වන්නිනායක 
සංගීතය - අන්ජන කුමාර 

අවුරුදු 4ක් තිස්සේ සතියකට පාරක් පේරාදෙණි යන්න වෙච්ච නිසා බස් එකේ යන ගමන් සින්දු අහන්න පුරුදු වුණා. නැත්තම් බස් වල දාල තියෙන බස් සින්දු අහගෙන යන්න වෙනවනේ. ඉතින් එහෙම අහගෙන යද්දී ගොඩක් හිතට දැනිච්ච සින්දුවක්. 


8) එක වසන්තයක - කසුන් කල්හාර 

මේකත් එහෙම පේරාදෙණි යන ගමන් බස් එකේදී අහල පුරුදු වෙච්ච සින්දුවක්... 




8) ඔබේ දෙතොල් පෙති ලිහි - වික්ටර් රත්නායක 

වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දු වලට නම් ගොඩක් කැමතියි. ඒ වුණාට ලිස්ට් එකට ඒ ඔක්කොම සින්දු දන්නා බැරි නිසා මේ සින්දුව විතරයි ඔන්න ලිස්ට් එකට දැම්මේ. :)







9) මල් පෙරහැර - සංගීත් විජේසුරිය 

මගේ යාළුවො එහෙම පොඩ්ඩක්වත් කැමති නෑ මේ සින්දුවට. ඒත් ඉතින් මම නම් ගොඩක් ආසයිලු. හරිම හෘදයාංගම බවක් තමයි මේ සින්දුව අහද්දී මට දැනෙන්නේ. ආ තව ඉස්කෝලේ යන කාලේ ක්‍රෂ් එකකුත් මතක් වෙනවලු ඈ...





10) ඔබ ගින්දර දළු පිරිච්ච - උමාලි තිලකරත්න 

ළඟදි අහපු සින්දු වලින් ගොඩක්ම ලස්සන පද රචනාවක් තියෙන සින්දුවක්. ඒ නිසාමයි මං මේ සින්දුවට කැමති. ඒත් මේ රූප රචනාව නම් හිතට ඇල්ලුවේ නෑ. :(



11) හවසක මා - ලහිරු පෙරේරා/ අභිෂේකා විමලවීර 

මේ සින්දුවටත් කැමති පද රචනාව නිසාමයි. 




12) උකුලට නාවත් - රූකාන්ත ගුණතිලක 

හොස්ටල් එකට ගියපු අලුතම (අර බළල් මෙහෙයුම කරපු කාලේ වගේ තමයි) අපි කට්ටිය එකතු වෙලා සින්දු අහ අහ ඉන්නකොට මේ සින්දුව ප්ලේ වෙලා අපි ඔක්කොම හයියෙන් අඩන්න පටන් ගත්තලු. ඒත් ඉතින් මේ සින්දුව මම ගොඩක් කැමති සින්දුවක්. 



13) වක්කඩ ළඟ - පණ්ඩිත් අමරදේව ශුරින් 






14) නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ 

මේ සින්දුවත් එක්ක මතක් වෙන්නේ කැම්පස් ජිවිතේ කිව්වොත් නිවැරදියි. කැම්පස් එකේ ගියපු හැම ට්‍රිප් එකකම කියනවා ඔය සින්දුව. ඒ වගේම කැම්පස් ජිවිතේ අන්තිම ගී පැදුරේ කියපු සින්දු වලිනුත් මට මතක තියෙන්නේ ඔය සින්දුව විතරයි. ඔය සින්දුවේ තේරුම ගැනත් වාද විවාද ගොඩක් කරලා තියෙනවා අපි.. 

ඒ වගේම ගුණදාස කපුගේ මහත්මයාගේ "උන්මාද සිතුවම්" ගීතයටත් , "දවසක් පැල නැති හේනේ" ගිතයටත් ගොඩක්ම කැමතියි.







15) මේ නිහඬ බව බිඳින්න - ක්‍රිශාන්ත එරන්දක 

ගොඩක් ලස්සන පද රචනයක් තියෙන සින්දුවක්. පද රචනය නිසාමයි කැමති..





16) රෑ දොළොස් පැයේ - නිරෝෂා විරාජිනී 

මේ සින්දුවට කැමති වුණේ නම් සජීවී ගායනයක් ඇහුවට පස්සෙයි. ඒක ඒ තරම් ම හිතට වැදුනා. එදා ඉඳන් මං කැමතිම සින්දු ගොඩට එකතු වුන සින්දුවක්. 





කැමති සින්දු ගොඩකින් සින්දු 16ක් තෝරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ගොඩක් සින්දු මතක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ සින්දු තමයි සිතූගේ ලිස්ට් එකේ තියෙන්නේ. 

මේ වගේ අභියෝගයක් හඳුන්වල දුන්නට ඉයන් මාමට ගොඩක් ස්තුතියි.. 

Saturday, July 2, 2016

හොස්ටල් කතා: බළල් අවතාරය

පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙ එන්න බැරි වුණාට සමාවෙන්න. හේතුව ඉතින් වැඩ සහ බුකියට වෙලා සිටීම තමයි. කොහොම වුණත් සමාව දෙන්න ඇති කියලා හිතනවා. අදත් ඔන්න හොස්ටල් කතාවක්. 

මේකත් හැබැයි බළලෙක් ගැන. දැන් හිතන්න එපා මේ හොස්ටල් එකේ බළල්ලු විතරයි ද ඉන්නෙ කියලා. තව රිලවු එහෙමත් ඉන්නවා. ඔය දෙගොල්ලොම අපිට හොඳ හැටියට වද දුන්නා හොස්ටල් ඉන්න කාලෙ. ඉතින් මේ තවත් එක් බළල් කතාවක්. 

හොස්ටල් එකේ අපි හිටපු තට්ටුවට උඩ් තට්ටුවේ අපේ යාළුවො කට්ටියක් හිටියා. එයාල ඉතින් ගොඩක් වෙලාවට අපේ කාමරේට ඇවිත් අපිත් එක්ක කතා කර කර ඉන්නවා.. ඔහොම ආව දවසක තමයි අපිට මේ කතාව කිව්වෙ. 

ඒ කාමරේ හිටියෙ යාළුවො තුන් දෙනෙක්. එයාලා තමයි අජිතා, සඳුනි සහ කුමාරි. මේ තුන් දෙනාගෙම ගෙවල් කැම්පස් එකෙන් ගොඩක් දුර. ඉතින් මාසෙකට සැරයක් වගේ තමයි එයාල ගෙදර යන්නෙ. අපි ගෙදර ගිහින් නකොට එයාලටත් එක්ක තඩි බත් එකක් උස්සන් එනවා. මෙහෙම ගෙනාපු බත් කාල කතා බහ කර කර ඉන්න වෙලාවක තමයි මේ කතාව අහන්න ලැබුනෙ. 

අජිතා: දැන් නම් මට අපේ කාමරේ ඉන්නත් බයයි අනේ. 

මම: ඒ මොකද? 

අජිතා: පොඩි අවුලක් ඉතින්. 

රංගි: ඉතින් මොකද්ද කියන්නකො.

අජිතා: කුමාරි ඔයාම කියන්නකො. 

කුමාරි: අපේ කාමරේ ස්කල් එක දාල තියෙන පෙට්ටිය තියෙන්නෙ එළියෙ බැල්කනි එක පැත්තෙ. ඒත් එතන හැමදාම රෑට අමුතු සද්දයක් ඇහෙනවා. 

(ස්කල් එක යනු අපි ඉගෙනීම් කටයුතු සඳහා භාවිතා කරන මිනී ඔළුවයි. හැම කාමරේකම එකක් වගේ තිබ්බා ඕවා)

රංගි: ඉතින්? 

කුමාරි: අපි මුලින්ම එළියට යන්න බයේ හිටියෙ. පස්සෙ දවසක් අපි ඔහ්හොම ගිහින් බැලුවා. එතන පූසෙක් නිදාගන්නවා. ඌ තමයි අර සද්ද කරලා තියෙන්නෙ. 

රංගි: ආ එහෙනම් බය වෙන්න  දෙයක් නෑනෙ? 

කුමාරි: නෑ අනේ. අපිට ඔය සද්ද ඇහෙනකොට බය නිසා අපි ඒ පූසට නිදාගන්න වෙන තැනක කාඩ්බෝඩ් පෙට්ටියක් දාල ඒකට රෙද්දක් දාල හැදුවා. ඒත් මූ නෙවෙයි එතනට යන්නෙ. හැමදාම අර පෙට්ටිය උඩ නිදාගන්නෙ. 

මම: නෑ? 

කුමාරි: නෑ නෙවෙයි අනේ ඔව්! ඊට පස්සෙ බැරිම තැන් අපි ඒ පෙට්ටිය පුටු ගොඩක් උඩින් තිබ්බා. ඒත් මේ පූසා කොහොමහරි එතනට නැගලා එතන නිදාගන්නවා නේ. 

මම: හරිම පුදුමයි නෙ?

කුමාරි: ඒක තමයි. අපි දැන් හිතන් ඉන්නෙ ඌ ඒ ස්කල් එක් අයිතිකාරයගෙ කවුරුහරි කියලා. 

රංගි: ඒක නම් වෙන්න පුළුවන්. අපේ ස්කල් එක තියෙන පෙට්ටිය තියෙන්නෙ ඇඳ යට. මෙහෙටත් එකෙක් ආවොත් තමයි වැඩේ! 

අපි ඔහොම කතා කර කර හිටියා ටික වෙලාවක්. ඊට පස්සෙ යාලුවො තුන් දෙනා ආපහු එයාලගෙ කාමරේට ගියා. 

එදා වැස්ස වගේ තිබ්බ නිසා ටිකක් කරුවල වැටිලයි තිබ්බෙ. කාල බඩ පිරිල නිසා අපි පස් දෙනා කතා වුණේ ටිකක් නිදාගන්න. ඔහොම නින්ද යාගෙන එනකොටම අපි ගැස්සිලා ඇහැරුනේ එක පාරටම ඇහිච්ච සද්දෙකින්.. 

බෙල්ල හරවල බලද්දි දොර ඇරිලා! 

අර කතාව නිසා බය වෙලා හිටපු අපි මූණෙන් මූණ බලාගත්තා. ඒත් එතකොටම ඇහුනෙ අපි කොහෙත්ම අහන්න බලාපොරොත්තු නොවෙච්ච සද්දයක්!

"ඤාව්ව්ව්ව්ව්ව්ව්"

ඊට පස්සෙ ඇහුනෙ මුළු හොස්ටල් එකම දෙවනත් වෙන්න ගෑණු ළමයි පස් දෙනෙක් යටිගිරියෙන් කෑ ගහනවා! 

අපේ ස්කල් එක හොයාගෙනද ඒ ඇවිත් තියෙන්නෙ??

ටික වෙලාවකට පස්සෙයි අපි යථා තත්වයට පත් වුණේ. එදා වැඩිය ළමයි හිටපු නැති දවසක් නිසා අපේ කෑ ගැහිල්ල කාටවත් ඇහිලා තිබ්බෙ නෑ. 

දොර ලොක් වෙලා තිබිලා නැතුව හුළං පාරට ඇරුන දොරෙන් තමයි ඒ හරියෙ සැරි සරන බළල් තඩියෙක් අපේ කාමරේ ඇතුළට ඇවිත් තිබ්බෙ. 

නැතුව ඒ අපේ ස්කල් එක හොයාගෙන ආව අයිතිකාරයෙක් නම් නෙවෙයි..  


Tuesday, May 10, 2016

100යි!

ඔන්න එකමත් එක කාලෙක එකමත් එක ගෑණු ළමයෙක් ඒ ලෙවල් විභාගෙ එහෙම ඉවර වෙලා ගෙදරට වෙලා කම්මැලිකමේ හිටියලු. ඉතින් ඒ දවස්වල මේ ගෑණු ළමයට එයාගෙ යාළුවෙක් කම්මැලි වෙලාවට කියවන්න කියලා ලින්ක් එකක් එවල තිබ්බලු. ඉතින් මේ ගෑණු ළමයත් ඒ ලින්ක් එක දිගේ ගිහින් අරුම පුදුම තැනකට ආවලු.. 

ඒ තමයි ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැංකිය 

ඉතින් මේ ගෑණු ළමයා එදා තමයිලු බ්ලොග් කියලා ජාතියක් තියෙනවයි කියලා දැනගත්තෙ. ඉතින් එදා ඉඳන් මෙයාගෙ දවසෙන් වැඩි කාලයක් ගත වුණේ මේ බ්ලොග් ටැංකියේ පීනන්නලු.. මාළුවගෙ කතා ගොඩක් හරිම් ආසාවෙන් කියෙව්වලු.  ඒක වර්ඩ්ප්‍රෙස් අඩවියක් නිසා බ්ලොග් රෝලක් තිබුණෙ නෑලු. ඉතින් දවසක් අහම්බෙන් වගේ එක එක ලින්ක් ක්ලික් කර කර ඉන්නකොට තවත් ඒ වගේම බ්ලොග් එකක් හම්බ වුණාලු. ඒ තමයි බ්ලොග් ගඩොල්. පිස්සු පූසො සෙට් එකක් කරපු වැඩ තමයි ඒ බ්ලොග් එකේ තිබුණෙ. ඒ බ්ලොග් එකත් කියවලා ඉවර වෙලා බලනකොට ඒ බ්ලොග් එකේ පැත්තක තව බ්ලොග් වල ලිස්ට් එකක්ම තියෙනවා. පස්සෙ තමයි දන්නෙ ඒ බ්ලොග් රෝල කියලා. ඉතින් ඊට පස්සෙ නොයෙක් විදියෙ බ්ලොග් කියවන්න මේ ගෑණු ළමයට අවස්ථාව ආවලු. 

ඉතින් ඔහොම තමයි සිතූ මේ බ්ලොග් ලෝකෙට ආවෙ.. 

ඉතින් සිතූට ඒ ලින්ක් එක එවපු යාළුවට ගොඩක්ම ස්තූතියි. ඒ නිසා තමයි මම බ්ලොග් කියල දෙයක් තියෙනවයි කියල දැනගත්තෙ. ඒ වගේම ගෝල්ඩ්ෆිෂ්ටයි, බ්ලොග් ගඩොල් ලියපු පුරු පුරු, උපාසක, ඤාව්වා සහ මාළුකට්ටා(මාකට්) ටත් ඒ වගේම සුදුපූසිටත් ගොඩක් ස්තූතියි සිතූට බ්ලොග් ගැන ආසාවක් ඇති කලාට. ඒ වගේම ආයෙමත් ඒ බ්ලොග් දෙකම ආපහු ලියවෙනවනම් ගොඩක් කැමතියි..

එහෙම නානාප්‍රකාර බ්ලොග් රාශියක් වගේම ඒවගෙ කමෙන්ට්ස් කියවන්න තමයි සිතූගෙ කාලෙන් වැඩි හරියක් වැය වුණේ. ඉතින් ඔහොම ඉන්නකොට සිතූටත් හිතුණ කමෙන්ට් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් සිතූ බ්ලොගර් වලට සම්බණ්ද වුණේ එහෙමයි. ඊටත් අවුරුද්දක් විතර ගියාට පස්සෙ තමයි සිතූට හිතුණෙ එයාගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. ඉතින් එහෙම තමයිලු "සිතූගේ සිතුවිලි" පටන් ගත්තෙ. 

ඉතින් එහෙම පටන්ගත්ත සිතූගේ සිතුවිලි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ ලියන්න් සිතූගෙ 100වෙනි පෝස්ට් එක! 

පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 4ක් ගියා කියන්නෙ ඉතින් සිතූ කියන්නෙ කොච්චර කම්මැලි ළමයෙක්ද කියලා ඔයාලට තේරෙනවනෙ ඉතින්. ඒත් පහුගිය කාලෙ නම් එහෙම ලියන්න බැරි වුණේ ඉගෙනීමේ වැඩ කටයුතු හින්දා තමයි.. ඉස්සරහටවත් කම්මැලි නැතුව ලියන්න බලාපොරොත්තු වෙනවලු ඉතින්. 

මුලින්ම බ්ලොග් කියවන්න ලියන්න පටන්ගත්තෙ කම්මැලිකම මඟහරවගන්න වුණාට බ්ලොග් නිසා හොඳ යාළුවො ගොඩක් අඳුරගන්න ලැබුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. 

ඒ වගේම මගේ බ්ලොග් එකට මුල්ම කමෙන්ට් එක දාපු සිත් අහස ලියපු ප්‍රාර්ථනා අක්කටත්, මුල්ම ෆලෝවර් වෙච්ච ධම්මික සඳරුවන්ටත් ස්තූතියි. මේ දෙන්නම දැන් බ්ලොග් ලියන්නෙ නෑ මම දන්න විදියට. 

ඉතින් අවුරුදු 4ක් තිස්සෙ පෝස්ට් 100ක් පුරාම සිතූ එක්ක හිටපු, පෝස්ට් කියවපු, කමෙන්ට් කරපු නොකරපු, ෆලෝ කරපු නොකරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි. නම් වශයෙන් කියන්නෙ නෑ ඉතින් එක්කෙනෙක් හරි මඟහැරෙයි කියලා.. 

එහෙනම් ආයෙ තව හොස්ටල් කතාවකින් හමුවෙමු... 





Thursday, May 5, 2016

හොස්ටල් කතා : මුදාගැනීමේ මෙහෙයුම

පහුගිය දවසක සොමියා අයියා තමයි මතක් කරල දුන්නෙ කැම්පස් එකේ ඉන්න කාලෙ වෙච්ච දේවල් බ්ලොග් එකේ ලිව්වොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසයි හොස්ටල් කතා නමින් ඒ කාලෙ වෙච්ච දේවල් ලියන්න හිතුවෙ. 

සිතූ කැම්පස් හිටපු අවුරුදු 4න්, අවුරුදු 3ක්ම හිටියේ කැම්පස් එකේ හොස්ටල් එකේ. ඉතින් ඒ නිසා ඒ කාලෙ වෙච්ච දේවල් නම් ගොඩක් තියෙනවා.  සිතූ කැම්පස් එකේ පළවෙනි වසරෙ ඉන්න කාලෙදි වෙච්ච සිදුවීමක් ගැන තමයි අද මේ කියන්නෙ. 

සිතූට යාළුවො හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා එක්ක තමයි සිතූ හොස්ටල් ගත වෙලා හිටියෙ. ඒ හතර දෙනා තමයි මුදිතා, රංගි, සරා සහ අහිංසා. මේ එයාලගෙ ඇත්ත නම් එහෙම නෙවෙයි ඉතින්. ඔහොම නම් දැම්ම කියල දන්නවා නම් මාව මරල හංගයි. දැනට ඉතින් අපි එහෙම අඳුනගමුකෝ ඒ කට්ටිය. 

මේ කට්ටියගෙන් සරාට තදටම හෝම්සික් තිබුණ නිසා හැම සිකුරාද හවසම වගේ බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා හරි ගෙදර ඉගිල්ලෙන එක පුරුද්දක් වෙලා තිබ්බා. ඉතින් මේ කියන සිදුවීම වෙන දවසෙ සරා නම් හිටියෙ නැහැ. 

එදා සෙනසුරාදා දවසක්.  දවස තිස්සෙ නටල නටල හිටපු අපි කට්ටිය රෑ වෙද්දි තීරණය කළා පාඩම් කරන්න ඕනෙය කියලා. ඉතින් අපි පොත් ටිකත් පොදි බැඳගෙන ගියා පාඩම් කරන්න. අපි කට්ටිය එකතු වෙලා පාඩම් කරනවා කියන්නෙ ඉතින් පාඩම් කරනවා ඇරෙන්න අනිත් හැමදේම කරන එක. රටේ තියෙන හැම ඕපදූපයක්ම කතා කරන්න, කාමරේ තියෙන කෑම බීම ඔක්කොම ගොඩ ගහල ඒ ටික කාලා දාන එක, තේ, කෝපි, මයිලෝ ඔය හැම දෙයක්ම බීලා ඉවර කරන එක වගේ දේවල් තමයි පාඩම් කරනවා කියලා කරන්නෙ. 

ස්ටඩි හෝල් එකට ගියොත් කතා කර කර පාඩම් කරන්න බැරි හින්දා අපි තෝරගත්තෙ අපේ තට්ටුවේ කෙළවරේම කොරිඩෝ එකේ දාලා තියෙන මේසයක්. ඒ කාලෙ අපි හිටියෙ දෙවනි තට්ටුවේ කාමරේක. ඒ කාලෙ ටිකක් තදට සීතල එහෙම තිබුණ නිසා අපි හැමෝම ජර්සි, අයිස් කැප් වලින් සන්නද්ධ වෙලා සීල් දඩයමේ යන එස්කිමෝවරු කට්ටියක් වගේ තමයි පාඩම් කරන්න ගියේ. 

ටිකක් වෙලා පාඩම් කරලා ඒ වගේ තුන් ගුණයක විතර වෙලාවක් ඕපදූප කියවලත් ඉවර කලාට පස්සෙ එන බඩගින්න නම් ඉතින් ඉවසන්නම බැරි නිසා බිස්කට්, ජෑම් ගාපු පාන්, චොකලට් වගේ නානාප්‍රකාර දේවල් මහ ගොඩක් කාලා තේ බීලා ආපහු පාඩම් කරන්න ලේස්ති වෙනකොටම වගේ තමයි ඒ සද්දෙ ඇහුනෙ. එතකොට වෙලාව නම් පාන්දර දෙකට විතර ඇති. 

ඤාව්....

ඔන්න ඔහොම තමයි ඒ සද්දෙ ඇහුණෙ. අපි මුලින්ම වැඩිය ගණන් ගත්තෙත් නැහැ මොකද හොස්ටල් එකේ නිත්‍ය පදිංචිය දරන බළල් තඩියො කීප දෙනෙක්ම ඉන්න නිසා. ටික වෙලාවකින් ඔය ඤාව් සද්දෙ හෙනම විලාපයක් වෙච්ච නිසා අපි තීරණය කළා ඔය බළල් හඬ එන්නෙ කොහෙන්ද කියල හොයල බලන්න. 

ඔය කාලෙ වෙනකොට අපි හිටියෙ හොස්ටල් එකේ දෙවනි තට්ටුවේ නේ. ඉතින් පළවෙනි තට්ටුවේ ස්ලැබ් එක වටේටම පොඩ්ඩක් එළියට හිටින්න තමයි හදල තියෙන්නෙ. අපි ඔය බළල් හඬ එන්නෙ කොහෙන්ද කියල බැලුවම බළල් තඩියෙක් ඒ එළියට හිටින්න හදපු කෑල්ලට වැටිලා..

අපි අර බැල්කනියෙන් එබිලා "සූ සූ" ගාල පූසට කතා කළාම අර හෙනම දුක හිතෙන මූණක් හදාගෙන උන්දැත් අපි දිහා බැලුවා. 

"අනේ පව්......." 

අපි හැමෝගෙම හිත් වලට මුලින්ම ආපු අදහස වුණේ ඒක. 

"මූ කොයි වෙලාවෙද දන්නෙ නෑ වැටුනෙ. උදේ ඉඳන්මද දන්නෙ නෑ.." එහෙම කිව්වෙ රංගි. 

"පව් බඩගින්නෙ ඇත්තෙ හොඳටම.." එහෙම කිව්වෙ මුදිතා.. 

අපි ඒ පාර අපි ළඟ තිබ්බ බිස්කට් එකක් මූ ඉන්න තැනට දාලා බැලුවා. ඌ ඒ පාර දඩිබිඩි ගාලා දුවන් ඇවිත් ඒක කටවල් දෙකට ගිලල දැම්මා. 

"පව් අනේ. හොඳටම බඩගින්නෙ ඉන්න ඇත්තෙ." අපි ඔහොම කියලා තව තව බිස්කට් එතන්ට දැම්මා. ඌ ඒ ටිකත් ඔක්කොම කාලා දැම්මා.

"මේ ඔහොම බිස්කට් දාල හරියන්නෙ නැහැ. අපි මූව ගොඩට ගන්න බලමු." ඒ අදහසට අපි කවුරුත් එකඟ වූණා. ඊට පස්සෙ අපි කල්පනා කළේ මූව ගොඩට ගන්න විදියක්. එතන්ට බහින්න විදියක් තිබ්බෙ නැහැ පහත වැඩි නිසා. ඊටත් බැස්සට පස්සෙ ආපහු නගින්න බැරි වුණොත් මල ජංජාලයක් වෙන්නෙ. 

ඉතින් බහින අදහස අතෑරලා දාපු අපි වෙන විසඳුමක් ගැනයි කල්පනා කළේ. දිග කොහු මිටක් හොයාගත්ත අපි කාමරේ කලින් හිටපු අය දාලා ගිහින් තිබ්බ ලොන්ඩ්‍රි බෑග් එකකුත් හොයාගත්තා. ඊට පස්සෙ කොහු මිටට ලොන්ඩ්‍රි බෑග් එක තියලා ගැට ගැහුවා. ඊට පස්සෙ තව බිස්කට් පැකට් එකකුත් හොයාගෙන අපි ගියේ මේ මහා මුදාගැනීමේ මෙහෙයුම කරන්න. 

කොහු මිටට ගැට ගහපු ලොන්ඩ්‍රි බෑග් එක හෙමීට පූසා වැටිලා හිටපු තැනට පාත් කළා. ඊට පස්සෙ ලොන්ඩ්‍රි බෑග් එක ඇතුළට බිස්කට් එකක් දැම්මා. 

ම්හු... 

මේකා ඒක දැක්ක පාටක් නැහැ. ඒ පාර අපි ආපහු ඌ හිටපු තැනට බිස්කට් එකක් දැම්මා. ඒක නම් වැටෙන පරක්කුවට මූ ගිලලත් ඉවරයි. ඊට පස්සෙ ආපහු ලොන්ඩ්‍රි බෑග් එක ඇතුළට බිස්කට් එකක් දැම්මා. 

ඔන්න යන්තම් මේ බළල් තඩියා ලොන්ඩ්‍රි බෑෆ් එක ඇතුළට ගියා. ඒත් අපි බෑග් එක ආපහු උඩට ඇදල ගන්න හදනකොටම මූ ආපහු එළියට ගිහින්. 

මූ නම් යකාගෙ බළල් තඩියෙක් තමයි. 

ඊට පස්සෙ තව බිස්කට් එකක් බෑග් එක ඇතුළට දැම්මා. ඔන්න ඒ පාර මේකා ඇතුළට ගිහින් ඒක කන්න පටන් ගත්තා. එතකොටම අපි දඩබඩ ගාලා බෑග් එක උඩට ගන්න පටන් ගත්තා.. 

මේ මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වුණ බළල් තඩියා අර බෑග් එකෙන් පැන්නෙ නැතැයි එළියට. 

අපොයි දෙයියනේ... 

ඒ පාරත් අපේ උත්සහය වතුරෙ. 

දැන් නම් අපිට හොඳටම මහන්සියි. දැන් පාන්දර 3 විතර වෙලා. ඒ මදිවට හොඳටම නිදිමතයිත් එක්ක. මේ බළල් තඩියා මෙතන තියලා අපිට නිදාගන්නත් බැහැ. 

"තව එක පාරක් ට්‍රයි කරලා බලමු." 

එහෙම හිතපු අපි ආපහු අර බෑග් එක ඒ හරියට පහත් කළා. බළල් තඩියට පේන්නම බිස්කට් එකක් ඒ බෑග් එක ඇතුළට දැම්මා. ඒ පාර නම් බබා වගේ බළල් තඩියත් බෑග් එක ඇතුළට ආවා. 

"ඉක්මනට උඩට ගන්න. නැත්තම් ඌ ආයෙ පනියි." එහෙම කිව්වෙ එක්කෙනෙක්. 

"ඒත් ඉක්මනට ගන්නකොට ඌ කලබල වෙලා ආයෙ එළියට පැන්නොත් එහෙම?" ඒ තවත් එක්කෙනෙක්. 

ඒත් කොහොමහරි අපි ගොඩක් ඉක්මනට උඩට ගන්නෙත් නැතුව ගොඩක් හෙමීට උඩට ගන්නෙත් නැතුව යන්තම් බළල් තඩියත් එක්කම ආපහු බෑග් එක උඩට ගත්තා..

හම්මේ ඇති යන්තම්! 

මේ වෙද්දි අපි හොඳටම නිදිමතේ හිටියෙ. ඒත් බළල් තඩියා නම් කිසිම කලබලයක් පෙන්නුවෙ නැහැ. එයා බඩගින්නෙ ඇති කියලා හිතලා අපි කිරි එකකුත් හදලා දුන්නා. ඊට පස්සෙ ඉතින් හොඳටම නිදිමතේ හිටපු අපි නිදාගන්න ගියා. 

ඊළඟ දවසේ අපි නැගිට්ටෙ ටිකක් පරක්කු වෙලා. කාල බීලා ඉවර වෙලා බලද්දි අහිංසා ගෙ හෑන්ඩ්ස්ෆ්රී එක නැති වෙලා. අපි ඉතින් ඒක ඊයෙ පාඩම් කරපු තැන වත් වැටිල තියෙනවද බලන්න ගියා. 

"හොඳ වෙලාවට අපි ඊයෙ අර පූසව ගොඩට ගත්තෙ. නැත්තම් ඌ අද උදේ එනකම් බඩගින්නෙ නේ?' අහිංසා එහෙම ඇහුවෙ මගෙන්..

ඔන්න එතකොටම අපිට ආයෙමත් අර භයානක සද්දෙ ඇහුණා.. 

"ඤාව්..." 

අපි දෙන්නා බැල්කනියට දුවන් ගියා මොකද වෙලා තියෙන්නෙ බලන්න! 

අනේ අර බළල් තඩියා ආපහු පහළට පැනලා...

ප.ලි. 
පසුව දැනගත් පරිදි ඌ උවමනාවෙන් එතනට පැන අහිංසක ගෑණු ළමයි මුලා කොට බඩ වියත සරි කරගන්නා කපටි බළල් තඩියෙකි. අපි අපේ නින්ද විනාශ කිරීම හා අපිව රැවැට්ටීම ගැන බළලාට අශිර්වාද කරමින් අනිත් අයට කතාව පැවසීමට ගියෙමු...