Saturday, August 25, 2012

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද…..

මීටත් වඩා පුංචි බලු පැටව් තමයි හිටියේ 

මම ජීවත් වෙන්නේ කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක. අපි නැවතිලා ඉන්නේ ගෙදරක උඩු මහලක. අපි ඉන්න ගෙදර ළඟ ගෙවල් 2ක් තියෙනවා. මේ ගෙවල් 2ම දෙමහල් ඒවා. ඒ වුණාට හරිම පොඩියි මේ ගෙවල්. ඒ ඒවා කුලියට දෙන්න හදලා තියෙන නිසා වෙන්න ඇති. එක ගෙදරක පහළ මාලයේ කවුරුත් පදිංචි වෙලා නෑ. ඒ ගෙදරට තාප්පයක් ගහලත් නෑ. වැටක් තමයි තියෙන්නේ. එහෙ ගේට්ටුවටත් අගුලක් දාලත්  නෑ.


ඉතින් දවසක් උදේ බලනකොට මේ ගෙදරට අමුත්තෝ කට්ටියක් ඇවිත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි, බලු අම්මා කෙනෙකුයි එයාගෙ ඇස්වත් ඇරලා නැති චූටිම චූටි බබාලා 4 දෙනයි. අල්ලපු ගෙදර ඇන්ටි නම් කිව්වේ කවුරුහරි ගෙනත් දාන්න ඇති කියලා. හරිම ලස්සන බලු පැටව්.


මේ ගෙදර ඉස්සරහා ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. අහල පහළ ගෙවල් වල ළමයි හැමදාම හවසට මේ පිට්ටනියට එකතු වෙනවා සෙල්ලම් කරන්න. ඉතින් එදා ඉදන් අහල පහල ගෙවල් වල ළමයින්ගේ කාර්යය වුණේ හැමදාම හවසට මේ ගෙදරට ඇවිල්ලා බලු පැටව් බලන එක. මුලින් නම් බලු පැටව් එයලාගේ අම්මාගේ තුරුලටම වෙලා තමයි හිටියේ. ඒත් පස්සෙ එයාලා බඩගාගෙන වගේ හැමතැනම යන්න පටන් ගත්තා. ඉතින් එතකොට අහල පහළ කොල්ලො කුරුට්ටන්ට වැඩ ගොඩයි. බලු පැටව් වඩා ගෙන එයාලව සුරතල් කරන එක තමයි මෙයාලාගෙ වැදගත්ම රාජකාරිය. එක දවසක් අපි බලනකොට මහ ගාලගෝට්ටියක්. ළමයි දෙපැත්තකට බෙදිලා බලු පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන ලොකු විවාදයක්. :D


ඔහොම ටික දවසක් ගෙවුණා. අපිත් හැමදාම රෑට බලු පැටවුන්ගේ අම්මාට කන්න බත් ගෙනිහින් දුන්නා. උදේටයි දවල්ටයි කෑම ගෙනත් දුන්නේ ළමයි ටික. තව අහල පහළ ගෙවල් වල අයත් මෙයාලට කෑම එහෙම දුන්නා.
එක දවසක් අපි හවස එනකොට බලු පැටව් හිටපු ගෙදර අයිති කාරයෝ ඇවිත්. එයාල නම් හරිම නපුරු කට්ටියක්. එයාලා බල්ලන්ට ඉන්න බැරි වෙන්න වතුර ගහලා. අර ඇස්වත් ඇරලා නැති බලු පැටව් ටික හොඳටම තෙමිලා සීතලෙන් වෙව්ලනවා. බලු අම්මත් කර කියා ගන්න දෙයක් නැතිව පැටව් ටික තුරුල් කරන් ඉන්නවා. ඒ මිනිස්සු මොන හිතකින් එහෙම කලාද කියලා හිතාගන්නවත් බෑ.


ඒ වුණාට අර පුංචි යාළුවෝ ටික නම් ලහි ලහියේ වැඩට බැහැලා බලු පැටවුන්ට උදව් කළා. එයලා හැමතැනම ගිහින් බලු පැටවුන්ට ඉන්න තැනක් හෙව්වා. එයාලට අත්හැරලා දාපු කඩ කෑල්ලක් හම්බවෙලා. කට්ටියක් ඒ කඩේ ඉස්සරහා සුද්ද පවිත්‍ර කරන අතරේ තවත් කට්ටියක් බලු පැටවුන්ට සීතල නැතිවෙන්න රෙදි වලින් එතුවා. ඊට පස්සෙ හැමෝම එකතුවෙලා කඩේ ඉස්සරහා පොඩි වහලක් ගැහුවා තෙමෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ  බලු පැටව් ටික එයාලගේ අම්මත් එක්කම කඩේට එක්ක ආවා.


බලු පැටව් ටික සුව පහසුවට තිබ්බා. බලු අම්මාත් කෘතඥතාවය පළ කරන්න පුංචි යාළුවොන්ගේ කකුල් ලෙව කාලා වලිගය වැනුවා.  ඊට පස්සේ යාළුවෝ ටික සෙල්ලම් කරන්න පිට්ටනියට ගියා. පහුවෙනිදා ඉඳන් හැමදාම හවසට බලු පැටව් ටික සනීපෙන් ඉන්නවද කියලා බලන්නත් එයාල අමතක කළේ නෑ.


ලොකු අයගේ හිතේ නැති කරුණාව, දයාව වගේ ගුණාංග මේ පුංචි ළමයින්ගේ හිතේ හරි ඉතුරු වෙලා තිබුණා. එයාලා ගෙවල් වලින් බැනුම් අහගෙන මහ වැස්සේත් බලු පැටව් බලන්න ආවා. මේ පුංචි අය ලොකු මහත් වෙනකොටත් එයාලගේ හිතේ මේ ගුණාංග ඉතුරු වෙලා තිබුනොත් මේ ලෝකය දැනට වඩා ගොඩාක් ලස්සන වේවි.


වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද,
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත .......



පින්තූරය ගූගල් දෙයියාගෙන් 

Friday, August 24, 2012

හැන්දෑවටත් බඩගිනි වෙනවද?


අපි බොහෝ දෙනෙක් දිවා ආහාරය ගන්නේ දවල් 12-2 අතර වෙලාවෙ.  බොහෝ කාර්යාල වල දිවා අහාර විවේකය දෙන්නේ මේ වෙලාවට. දිවා ආහාරය විදියට ලංකාවේ ගොඩක් දෙනෙක් බත් තමයි කන්නේ. දිවා ආහාර වේලට සාමන්‍යයෙන් බත්, එළවළු 2ක් , මස්/මාළු/කරවල/බිත්තර (මේ එක් වර්ගයක්) මැල්ලුමක් තමයි අයිති වෙන්නේ. මේක ටිකක් බර ආහාර වේලක්. ඒ නිසා දවල් ආහාර වේල ගත්තට පස්සේ ටිකක් නිදිමත වෙන එක සාමාන්‍ය දෙයක්.

දවසක් අපිට practical discussion එකක් තිබුනා කැම්පස් එකේදි. එකේ ඉඳන් තුන වෙනකන්. කියන්න දෙයක් නෑනේ ඉතින්. පටන් අරන් විනාඩි 10ක් යන්නත් ඉස්සර වෙලා කට්ටියම නිදි. සර් ටත් මේක නෝට් ඉතින්. සර් කිව්වේ ලංකාවේ අය දවල් ආහාරය විදියට බර ආහාරයක් ගන්න නිසාලු මේක වෙන්නේ. මේ නිසා වැඩ කරන්න තියෙන කාලය අඩු වෙනවලු. වෙනත් රටවල මේ තත්වය දකින්න නෑලු. වෙනත් රටවල සාමාන්‍ය ජීවිතය ගැන අත්දැකීම් අඩු නිසා මේ කියන කාරණය ඇත්තද නැද්ද  කියන්න දන්නේ නෑ.

මෙහෙම බර සාර ආහාර වේලක් දවල්ට ගන්න අපි රාත්‍රී ආහාරය ගන්නෙ බොහෝ විට රාත්‍රී 7 පහුවෙලා. මේ නිසා බොහෝවිට දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් අතරේ පැය 6ක පමණ කාල පරාසයක් තියෙනවා. මේ අතර වාරේ බඩගින්නක් ආවොත් මොකද කරන්නේ? මේ බඩගින්න විවිධ ස්වරූප වලින් එන පුළුවන්. සිරුරේ  ආහාර අවශ්‍යතාවය  හඟවන්න පුළුවන් එකම ක්‍රමය කුසගින්න විතරක්  නෙවෙයි. ඇඟට දැනෙන මහන්සිය, නුරුස්නා බව, අවධානය යොමු කිරීමට නොහැකි බව වගේ විවිධ ක්‍රම වලින් සිරුර තමන්ගේ ආහාර අවශ්‍යතාවය හඟවනවා.

ඉතින් අපි රාත්‍රී 7 පමණ වෙනකන් රාත්‍රී ආහාරය ගන්නේ නැත්තම් අපිට ඉහත දේවල් වලින් එකක් හෝ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මේකට මොකද කරන්නේ? ලංකාවේ අපිට නම් තේ තමයි නේද? අපි පුරුදු වෙලා ඉන්නේ හවස 3ට විතර බිස්කට්, ෂෝට් ඊට්ස්, කේක් වගේ දෙයක් කාලා හොඳට කහට දාපු තේ එකක් බොන්න නේද? ඉහත සඳහන් ආහාර දිහා බැලුවොත් ඒවගේ වැඩියෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ සීනි, පිෂ්ටය, තෙල් සහ ලුණු. අපිටත් නොදැනීම අපි අත වනන්නේ බෝ නොවන රෝගවලට. හෘදයාබාධ, ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග ළඟට ගන්න මේ වගේ ආහාර රටාවක් උදව් වෙනවා.

මේ රෝග වලින් වැළකිලා හවසට දැනෙන බඩගින්නත් නැති කරගන්න ඕනෙ. ඒකට මොකද කරන්නේ? අධික සීනි, පිෂ්ටය, තෙල්, ලුණු අඩංගු ආහාර වෙනුවට සෞඛ්‍යයට හිතකර ආහාර සඳහා අපි යොමු වෙන්න අවශ්‍යයි. පලතුරු සහ පලතුරු යුෂ, යෝගට්, වියළි පලතුරු, ඇට වර්ග වගේ දේවල් ඉහත සඳහන් ආහාර වෙනුවට ආදේශ කරන්න පුළුවන්. ස්වභාවික පලතුරු තමයි ඉතින් හොඳ.

දිනෙන් දිනම ලංකාවේ බෝ නොවන රෝග වලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. මෙම රෝග වැළඳෙනකල් ඉන්නේ නැතිව පුළුවන් විදියට ඒ සඳහා තියෙන අවධානම අඩු කරගන්න එක තමයි වැදගත් වන්නේ.



පින්තූර ගූගල් දෙයියාගෙන්...

Thursday, August 16, 2012

ඇය සහ ඔහු.....


මචං අන්න නිපුනි ඇවිත් උඹව හම්බ වෙන්න ඕනෙලු.
නිපුනි???
ඔව් බං
ඒ මොකටද?
මම දන්නෙ කොහොමද? උඹම ගිහින් අහගනින්.
නිපුනි, ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ?
අද අපිට නිවාඩු දෙනවනෙ ශානක. තව මාසෙකටම අපිට හම්බවෙන්න වෙන්නෙ නෑ. ඔයා නිවාඩු කාලෙ ගෙදර යයි. හැපි හොලිඩේස් ශානක.
හැපි හොලිඩේස් නිපුනි. ඒත් ඇයි අද ඉස්කෝලෙ ඇරිලා අපි එකට නෙවෙයිද  යන්නෙ? ඔයා අද එන්නෙ නැද්ද?
මම එනව ශානක
ඉතින් නිපුනි ඔයාට මේක ඒ වෙලාවට කියන්න තිබුනානෙ
මම දන්නෙ නෑ ශානක
**********************

මොකද බං උඹ හොල්මනක් දැකලා වගේ?
අනේ මන්දා බං
මට නම් හිතෙන්නේ ඒකි උඹට ලව්!
පිස්සුද බං? නිපුනි මගේ හොඳම යාලුවා නේ?
ඒවා මම දන්නෙ නෑ බං. මම කියන දේ ගැන ටිකක් හිතපං. නැත්තම් හැම දේටම පරක්කු වැඩි වෙයි.

**********************
අඩෝ ශානකයා! කොහොමද බං නිවාඩුව? උඹලා ඉතින් ගෙදර ගියානේ. හම්බුනේවත් නෑ නිවාඩු කාලෙ.
වරදක් නෑ බං
ඇයි මොකක් හරි අවුලක් ද මචං?
මම උඹ කියපු දේ ගැන ගොඩාක් හිතුවා මචං. මම හිතන්නෙ මමත් නිපුනිට ආදරේ කරනවා.
දැන් උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ?
මම නිපුනි ගෙන් අහනවා බං. අදම අහනවා.
ගුඩ් ලක් මචං. ඒකි අනිවා උඹට කැමතියි.
**********************
මොකද බං උනේ?
වැඩක් නෑ බං
ඇයි?
එයා මම ගැන හිතන් ඉන්නෙ යාළුවෙක් විදියට විතරයිලු.
ඒකත් එහෙමද? ගනන් ගන්න එපා බං. එක මාළුවාද මුහුදෙ ඉන්නෙ?
හ්ම්ම්

**********************

මචං මචං වැඩේ හරි බං.
ඇයි මොකද්ද වුනේ?
නිපුනි මට කැමතියි කිව්වා.
උඹ අයෙමත් එයාගෙන් ඇහුවද?
ඔවු බං. මට හැම වෙලවෙම හිතුනෙ එයා මට ආදරෙයි කියලා. ඉතින් මම ආයෙමත් එයාගෙන් ඇහුවා.
උඹට ගැලපෙනම කෙනා එයා කියලා මම දැනගෙන හිටියා බං. මට හරිම සතුටුයි.

**********************

ඔයා මට කොච්චර ආදරෙයිද මැණික?
හ්ම්ම්. කියන්න බැරි තරම් ආදරෙයි රත්තරන්...
මට හැමදාම මේ වගේ ආදරෙන් ඉන්නවා නේද?
ඔව් රත්තරන්. මම හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්නවා.
මම ඔයාට කිසිම දුකක් දෙන්නෙ නැතුව බලා ගන්නවා මැණික.

**********************

ඊයේ අපේ අයියා මට හොඳටම බැන්නා ශානක
ඒ ඇයි නිපුනි?
ඊයෙ අපි දෙන්නා කතා කර කර ඉන්නවා දැකපු කෙනෙක් අපේ අයියට කියලා.
හ්ම්ම්
අපි මීට වඩා පරිස්සම් වෙමු ශානක
හ්ම්ම්
**********************

කොහොමද බං විභාගේ ? අවුලක් නැතුව කලාද?
අනේ මන්දා බං. ඔහේ කරලා දැම්මා.
ඇයි අන්තිම දවස් වල ක්ලාස් ආවෙ නැත්තේ?
පොඩි ප්‍රශ්න වගයක් තිබුන මචං
ඒක තමයි. මම ඒත් බැලුවා උඹට මොකද උනේ කියලා..
උඹ මොනවද බං ඒ ලෙවල් වලට කරන්න හිතන් ඉන්නෙ?
මම කරන්නෙ මැත්ස් බං
ආ හොඳයි. මම හිතන් ඉන්නෙ බයෝ කරන්න. නිපුනිත් කරන්නෙ බයෝ.

**********************

ශානකයා මොකද්ද බං වෙලා තියෙන්නෙ? උඹ ඇයි ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?
ඇයි සම්පත් නිපුනි මට මෙහෙම කලේ?
ඒක තමයි අපි කාටවත් හිතාගන්න බැරි. උඹල දෙන්නා කොච්චර හොඳට හිටියද?
මට ඔක්කොම ඉවසන්න පුළුවන්. ඒත් නිපුනි අරූගේ අතේ එල්ලිලා හැමතැනම යනකොට මම කොහොමද බං ඉවසන්නෙ? මම මේ හැමදෙයක්ම අතෑරලා දාල යනව බං.
පිස්සු නටන්න එපා බං. උඹ ඉස්කෝලෙ වරෙන්.
මම කොහොමද බං එන්නෙ? නිපුනි මදිවට අරූත් ඉන්නෙ අපේ පන්තියෙනෙ.


  
පින්තූරය ගත්තේ අනංමනං.com