Friday, August 24, 2012

හැන්දෑවටත් බඩගිනි වෙනවද?


අපි බොහෝ දෙනෙක් දිවා ආහාරය ගන්නේ දවල් 12-2 අතර වෙලාවෙ.  බොහෝ කාර්යාල වල දිවා අහාර විවේකය දෙන්නේ මේ වෙලාවට. දිවා ආහාරය විදියට ලංකාවේ ගොඩක් දෙනෙක් බත් තමයි කන්නේ. දිවා ආහාර වේලට සාමන්‍යයෙන් බත්, එළවළු 2ක් , මස්/මාළු/කරවල/බිත්තර (මේ එක් වර්ගයක්) මැල්ලුමක් තමයි අයිති වෙන්නේ. මේක ටිකක් බර ආහාර වේලක්. ඒ නිසා දවල් ආහාර වේල ගත්තට පස්සේ ටිකක් නිදිමත වෙන එක සාමාන්‍ය දෙයක්.

දවසක් අපිට practical discussion එකක් තිබුනා කැම්පස් එකේදි. එකේ ඉඳන් තුන වෙනකන්. කියන්න දෙයක් නෑනේ ඉතින්. පටන් අරන් විනාඩි 10ක් යන්නත් ඉස්සර වෙලා කට්ටියම නිදි. සර් ටත් මේක නෝට් ඉතින්. සර් කිව්වේ ලංකාවේ අය දවල් ආහාරය විදියට බර ආහාරයක් ගන්න නිසාලු මේක වෙන්නේ. මේ නිසා වැඩ කරන්න තියෙන කාලය අඩු වෙනවලු. වෙනත් රටවල මේ තත්වය දකින්න නෑලු. වෙනත් රටවල සාමාන්‍ය ජීවිතය ගැන අත්දැකීම් අඩු නිසා මේ කියන කාරණය ඇත්තද නැද්ද  කියන්න දන්නේ නෑ.

මෙහෙම බර සාර ආහාර වේලක් දවල්ට ගන්න අපි රාත්‍රී ආහාරය ගන්නෙ බොහෝ විට රාත්‍රී 7 පහුවෙලා. මේ නිසා බොහෝවිට දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් අතරේ පැය 6ක පමණ කාල පරාසයක් තියෙනවා. මේ අතර වාරේ බඩගින්නක් ආවොත් මොකද කරන්නේ? මේ බඩගින්න විවිධ ස්වරූප වලින් එන පුළුවන්. සිරුරේ  ආහාර අවශ්‍යතාවය  හඟවන්න පුළුවන් එකම ක්‍රමය කුසගින්න විතරක්  නෙවෙයි. ඇඟට දැනෙන මහන්සිය, නුරුස්නා බව, අවධානය යොමු කිරීමට නොහැකි බව වගේ විවිධ ක්‍රම වලින් සිරුර තමන්ගේ ආහාර අවශ්‍යතාවය හඟවනවා.

ඉතින් අපි රාත්‍රී 7 පමණ වෙනකන් රාත්‍රී ආහාරය ගන්නේ නැත්තම් අපිට ඉහත දේවල් වලින් එකක් හෝ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මේකට මොකද කරන්නේ? ලංකාවේ අපිට නම් තේ තමයි නේද? අපි පුරුදු වෙලා ඉන්නේ හවස 3ට විතර බිස්කට්, ෂෝට් ඊට්ස්, කේක් වගේ දෙයක් කාලා හොඳට කහට දාපු තේ එකක් බොන්න නේද? ඉහත සඳහන් ආහාර දිහා බැලුවොත් ඒවගේ වැඩියෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ සීනි, පිෂ්ටය, තෙල් සහ ලුණු. අපිටත් නොදැනීම අපි අත වනන්නේ බෝ නොවන රෝගවලට. හෘදයාබාධ, ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග ළඟට ගන්න මේ වගේ ආහාර රටාවක් උදව් වෙනවා.

මේ රෝග වලින් වැළකිලා හවසට දැනෙන බඩගින්නත් නැති කරගන්න ඕනෙ. ඒකට මොකද කරන්නේ? අධික සීනි, පිෂ්ටය, තෙල්, ලුණු අඩංගු ආහාර වෙනුවට සෞඛ්‍යයට හිතකර ආහාර සඳහා අපි යොමු වෙන්න අවශ්‍යයි. පලතුරු සහ පලතුරු යුෂ, යෝගට්, වියළි පලතුරු, ඇට වර්ග වගේ දේවල් ඉහත සඳහන් ආහාර වෙනුවට ආදේශ කරන්න පුළුවන්. ස්වභාවික පලතුරු තමයි ඉතින් හොඳ.

දිනෙන් දිනම ලංකාවේ බෝ නොවන රෝග වලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. මෙම රෝග වැළඳෙනකල් ඉන්නේ නැතිව පුළුවන් විදියට ඒ සඳහා තියෙන අවධානම අඩු කරගන්න එක තමයි වැදගත් වන්නේ.



පින්තූර ගූගල් දෙයියාගෙන්...

6 comments:

  1. අදමයි මේ පැත්තට එන්ඩ උනේ... හදිස්සියෙන් ආවේ. පෝස්ට් එක කියවන්ඩ නම් වෙලාවක් නෑ.. හෙට උදේට තමා කියවන්ඩ වෙන්නේ. ෆලෝ කරලා යන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! නිවාඩු වෙලාවක ඇවිත් පෝස්ට් එකත් කියවන්නකෝ... :)

      Delete
    2. ඔන්න අද පෝස්ට් එක කියෙව්වා.
      මම නම් ඔය බර ආහාර සැහැල්ලු ආහාර කිය කියා ඉන්නේ නෑ. ඔහේ අහුවෙන දෙයක් කාලා ඉන්නවා.

      අපේ වැඩපොලේ සුද්දා නම් කෑම බේරලා කන්නේ. ඕකා දවල්ට ටිපිටිප් එකක්, මල් බිස්කට් එකක්, ජම්බෝ පීනට් එකක් කාලා ජීවත් වෙනවා.

      මට නම් එහෙම කාලා ඉන්ඩම බෑ...

      Delete
    3. කියෙව්වට ස්තූතියි!
      දවල්ට ටිපිටිප් කාලා ඉන්නේ කොහොමද? මට නම් බත් ඕනෙමයි. :)

      Delete
  2. හ්ම්ම්..හොඳ ලිපියක්..මගේ නම් වෙලාවට කෑමක් ඇත්තෙම නැහැ අප්ප..:(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! ගෙදර ඉන්න නිසා මාත් දැන්නම් වෙලාවට කනවා. නැත්තම් මගෙත් වෙලාවට කෑමක් නෑ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......