Saturday, August 25, 2012

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද…..

මීටත් වඩා පුංචි බලු පැටව් තමයි හිටියේ 

මම ජීවත් වෙන්නේ කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක. අපි නැවතිලා ඉන්නේ ගෙදරක උඩු මහලක. අපි ඉන්න ගෙදර ළඟ ගෙවල් 2ක් තියෙනවා. මේ ගෙවල් 2ම දෙමහල් ඒවා. ඒ වුණාට හරිම පොඩියි මේ ගෙවල්. ඒ ඒවා කුලියට දෙන්න හදලා තියෙන නිසා වෙන්න ඇති. එක ගෙදරක පහළ මාලයේ කවුරුත් පදිංචි වෙලා නෑ. ඒ ගෙදරට තාප්පයක් ගහලත් නෑ. වැටක් තමයි තියෙන්නේ. එහෙ ගේට්ටුවටත් අගුලක් දාලත්  නෑ.


ඉතින් දවසක් උදේ බලනකොට මේ ගෙදරට අමුත්තෝ කට්ටියක් ඇවිත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි, බලු අම්මා කෙනෙකුයි එයාගෙ ඇස්වත් ඇරලා නැති චූටිම චූටි බබාලා 4 දෙනයි. අල්ලපු ගෙදර ඇන්ටි නම් කිව්වේ කවුරුහරි ගෙනත් දාන්න ඇති කියලා. හරිම ලස්සන බලු පැටව්.


මේ ගෙදර ඉස්සරහා ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. අහල පහළ ගෙවල් වල ළමයි හැමදාම හවසට මේ පිට්ටනියට එකතු වෙනවා සෙල්ලම් කරන්න. ඉතින් එදා ඉදන් අහල පහල ගෙවල් වල ළමයින්ගේ කාර්යය වුණේ හැමදාම හවසට මේ ගෙදරට ඇවිල්ලා බලු පැටව් බලන එක. මුලින් නම් බලු පැටව් එයලාගේ අම්මාගේ තුරුලටම වෙලා තමයි හිටියේ. ඒත් පස්සෙ එයාලා බඩගාගෙන වගේ හැමතැනම යන්න පටන් ගත්තා. ඉතින් එතකොට අහල පහළ කොල්ලො කුරුට්ටන්ට වැඩ ගොඩයි. බලු පැටව් වඩා ගෙන එයාලව සුරතල් කරන එක තමයි මෙයාලාගෙ වැදගත්ම රාජකාරිය. එක දවසක් අපි බලනකොට මහ ගාලගෝට්ටියක්. ළමයි දෙපැත්තකට බෙදිලා බලු පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන ලොකු විවාදයක්. :D


ඔහොම ටික දවසක් ගෙවුණා. අපිත් හැමදාම රෑට බලු පැටවුන්ගේ අම්මාට කන්න බත් ගෙනිහින් දුන්නා. උදේටයි දවල්ටයි කෑම ගෙනත් දුන්නේ ළමයි ටික. තව අහල පහළ ගෙවල් වල අයත් මෙයාලට කෑම එහෙම දුන්නා.
එක දවසක් අපි හවස එනකොට බලු පැටව් හිටපු ගෙදර අයිති කාරයෝ ඇවිත්. එයාල නම් හරිම නපුරු කට්ටියක්. එයාලා බල්ලන්ට ඉන්න බැරි වෙන්න වතුර ගහලා. අර ඇස්වත් ඇරලා නැති බලු පැටව් ටික හොඳටම තෙමිලා සීතලෙන් වෙව්ලනවා. බලු අම්මත් කර කියා ගන්න දෙයක් නැතිව පැටව් ටික තුරුල් කරන් ඉන්නවා. ඒ මිනිස්සු මොන හිතකින් එහෙම කලාද කියලා හිතාගන්නවත් බෑ.


ඒ වුණාට අර පුංචි යාළුවෝ ටික නම් ලහි ලහියේ වැඩට බැහැලා බලු පැටවුන්ට උදව් කළා. එයලා හැමතැනම ගිහින් බලු පැටවුන්ට ඉන්න තැනක් හෙව්වා. එයාලට අත්හැරලා දාපු කඩ කෑල්ලක් හම්බවෙලා. කට්ටියක් ඒ කඩේ ඉස්සරහා සුද්ද පවිත්‍ර කරන අතරේ තවත් කට්ටියක් බලු පැටවුන්ට සීතල නැතිවෙන්න රෙදි වලින් එතුවා. ඊට පස්සෙ හැමෝම එකතුවෙලා කඩේ ඉස්සරහා පොඩි වහලක් ගැහුවා තෙමෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ  බලු පැටව් ටික එයාලගේ අම්මත් එක්කම කඩේට එක්ක ආවා.


බලු පැටව් ටික සුව පහසුවට තිබ්බා. බලු අම්මාත් කෘතඥතාවය පළ කරන්න පුංචි යාළුවොන්ගේ කකුල් ලෙව කාලා වලිගය වැනුවා.  ඊට පස්සේ යාළුවෝ ටික සෙල්ලම් කරන්න පිට්ටනියට ගියා. පහුවෙනිදා ඉඳන් හැමදාම හවසට බලු පැටව් ටික සනීපෙන් ඉන්නවද කියලා බලන්නත් එයාල අමතක කළේ නෑ.


ලොකු අයගේ හිතේ නැති කරුණාව, දයාව වගේ ගුණාංග මේ පුංචි ළමයින්ගේ හිතේ හරි ඉතුරු වෙලා තිබුණා. එයාලා ගෙවල් වලින් බැනුම් අහගෙන මහ වැස්සේත් බලු පැටව් බලන්න ආවා. මේ පුංචි අය ලොකු මහත් වෙනකොටත් එයාලගේ හිතේ මේ ගුණාංග ඉතුරු වෙලා තිබුනොත් මේ ලෝකය දැනට වඩා ගොඩාක් ලස්සන වේවි.


වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද,
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත .......



පින්තූරය ගූගල් දෙයියාගෙන් 

10 comments:

  1. හ්ම්...
    කාගෙත් පොඩි කාලෙ මේවගේ.. ඒවා නැතිවෙන්නෙ සමාජය දුවන අතේ දුවන කොට...

    ඇත්ත, පොඩිකාලෙ ගුණාංග ඉතිරි වෙන්නෙ නෑ. ඒක අවසන් වෙන්නෙ පොඩි එකාට ඉක්මණට “ලොකු මිනිහෙක්“ වෙන්න ඕන වුන දවසෙ ඉදන් කියල මට නම් හිතෙන්නෙ!!!

    දෙවි දේවතාවුන් වැනි මිනිසුනුත් නම් තාමත් ඉන්නවා, අවසානාවට අද ප්‍රව්‍රෘති වල යන්නෙම වන සිව්පාවුන් වැනි මිනිසුන් ගැන විතරයි.

    මේවා දිනපතා අහන සමාජයත් එහෙමම හැඩ ගැහෙනවා...

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ නම් හැමෝම ළඟ ගුණ දහම් අඩු නැතිව තියෙනවා. අද සමාජයේ තියෙන තරඟයත් එක්ක ඒවා ලොකු වෙනකොට නැති වෙලා යනවා.
      පොඩි කාලේ ඉඳන් "ලොකු මිනිහෙක්" නොවී "හොඳ මිනිහෙක්" වෙන්නයි හිතට ගන්න ඕනෙ.
      ප්‍රවෘත්ති ගැන නම් කියලා වැඩක් නෑ. අපරාධ හොඳට මාකට් කරනවා.

      වටිනා ප්‍රතිචාරයක්. බොහෝම ස්තූතියි!!

      Delete
  2. හ්ම්ම්..මම කැමතියි මේ පෝස්ට් එකට.බලුපටවුන්ටත් මම හරිමම ආසයි :)හිතන්න දේකුත්
    එක්කම ඉවර කරලා..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! මාත් බලු පැටවුන්ට හරිම ආසයි.. ඒ නිසා තමයි මේ සිදුවීම ගොඩාක් දැනුනේ.

      Delete
  3. මේකනේ.පොඩි එවුන් ඔහොම තමයි.හරිම කරුණාවන්තයි.ඒත් ලොකු වෙද්දි උන් සත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ලොකු වෙද්දිත් ඒ ගුණ දහම් පවත්වාගන්න පුළුවන් නම් තමයි වටින්නේ.

      Delete
  4. මෙහෙමනෙ... දන් ඔය කියන ළමයි ටික ඒ බලු පටව් ටිකට උදව් කලා කියමුකෝ.. හබයි ඉතින් ඔතනට යන එනමක් නැති මනුස්සයෙක් අවිත් හිටියොත්... ඒ ළමයි උදව් කරයිද? O.o.ඔ

    ReplyDelete
    Replies
    1. එහෙම නම් කියන්න අමාරුයි. ඒ ළමයින්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන් උදව්වක් කරයි කියලා මම හිතනවා ඒ වගෙ අවස්ථාවක් ආවොත්.

      Delete
  5. Replies
    1. :) මේ පැත්තේ ආවට ස්තූතියි යාළු...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......