Sunday, September 30, 2012

දඩයක්කාරයෙකුට බිරිඳක්ව - මගේ පොත් කතා



මේ දවස් වල නම් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ටික දවසකට කලින් යාළුවෝ කට්ටියක් එක්ක ආවනේ අපේ ගෙදර. ඉතින් මේ දවස් වල එයාලා එක්ක තමයි ඉන්නේ. මේ යාළුවෝ තමයි  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිහින් ගත්තු පොත් ටික. එයාලා ගෙදර එක්ක ඇවිත් අලුත් ඇඳුම් එහෙම අන්දලා කියවන්න පටන් ගත්තා. මේ පාර නම් හිතේ හැටියට පොත් ගන්න ලැබුණේ නැත්ද මන්දා. පොත් ගන්න කියලා එකතු කරගෙන හිටපු සල්ලි ටිකත් වියදම් වුණානේ හදිස්සියකට. තාම ගෙදරින් යැපෙන නිසා කරදර කරන්නත් බෑනේ ගොඩක්. ඒ නිසා පොත් හුඟක් ගත්තේ නෑ. හිතාගෙන හිටපු පොත් ටික නම් ගත්තා.  ගත්ත පොත් ටික ගැන නම් තෘප්තිමත්. ඉතින් මම ගත්ත පොත් ලැයිස්තුව දාන්නම්. මහ ගොඩක් නම් නෑ.

     
*බිඳුණු බිලින්දා - Cathy Glass ගේ Damaged හි සිංහල පරිවර්තනය - දිලීප ජයකොඩි [සුරස පොතක්]

*රිදී තිරංගනාව - සුනේත්‍රා රාජකරුණානායක [සරසවි ප්‍රකාශන]

*දඩයක්කාරයෙකුගේ බිරිඳ - Majorie Michael ගේ I Married A Hunter හි සිංහල පරිවර්තනය - සුජීව දිසානායක [සූරිය ප්‍රකාශන]

*සුදු කලු - Harper Lee ගේ To Kill A Mocking Bird හි සිංහල පරිවර්තනය -[ විදර්ශනා ප්‍රකාශකයෝ ]

*ෂර්ලොක් හෝම්ස් - මර උගුල  චන්දන මෙන්ඩිස් [කතෘ ප්‍රකාශනයක්]


මේ ටික තමයි ගත්තේ. සිටුවර පුවත ගන්න ගියේ අන්තිම දවසේ. එදා හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ නංගිගේ යාළුවෙක් ගත්තා කිව්ව නිසා හොයන්න ගියෙත් නෑ. කියවල බලලා හොඳයි නම් ගන්න බැරියැ. මේ දවස් වල ඒවා කියවනවා. ඉතින් ඒ කියවපු පොතක් ගැන විස්තර ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ.

පොත තමයි දඩයක්කාරයෙකුගේ බිරිඳ. මේ පොත Majorie Michael ගේ I Married A Hunter හි සිංහල පරිවර්තනය යි. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ සුජීව දිසානායක මහත්මයා. මේ පොතේ තියෙන්නේ ලොව ඉමහත් ප්‍රසිද්ධියක් දිනා ගනිපු දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර ජීවත් වෙච්ච දඩයක්කාරයෙක් සහ අප්‍රිකානු සෆාරි චාරිකා සංවිධායකයෙකු වුණ ජෝජ් මිචෙල් ගේ ජීවිතය හා බැඳුණු සිදුවීම්. පොතේ ක්තුවරිය වුණ මාජෝරි මිචෙල්, ජෝජ් මිචෙල් ගේ බිරිඳ. ඔවුන් දෙදෙනා තම දියණියන් වූ කැරොල් සහ ජූන් සමග අප්‍රිකානු සෆාරි චාරිකා වල යෙදෙද්දී ලද අත්දැකීම් තමයි මේ පොතට පාදක වෙලා තිබෙන්නේ.

මම කොහොමත් චාරිකා සටහන් කියවන්න කැමතියි. ඒ සමහරවිට හැබැහින්ම ඒ තැන් වලට යන්න අවස්ථාව තවමත් ලැබිලා නැති නිසා වෙන්න ඇති. ලංකාවේ වුණත් ගොඩක් තැන් වලට මම ගිහින් නෑ. ( ඒක කොහෙත්ම ආඩම්බරයට කරුණක් නම් නෙවෙයි) ඒත් ගොඩක් චාරිකා සටහන් කියවද්දි ඒ තැන් වලට ගියා වගේ දැනෙනවා. මේ නිසා චාරිකා සටහන් මගේ ප්‍රියතම කැටගරියක්.

මෙය හොඳ පරිවර්තනයක්දැයි කියන්නට මම මෙහි මුල් කෘතිය කියවා නැහැ. ඒත් පරිවර්තනයේ භාෂාව හොඳයි. සුමටව ගලාගෙන යනවා. මගේ දැනීමේ හැටියට නම් පරිවර්තනයක් එහි මුල් කෘතියේ රස නොමරා පරිවර්තය කිරීම අපහසු කාර්යයක්. මම හිතන්නේ මෙම පරිවර්තනය ඒ අතින් හොඳයි. අප්‍රිකානු වචන පවා මෙහි භාවිත වෙනවා. ඒත් ඒ කියවන්නාට කිසිම බාධාවක් නොවෙන විදියට. ඒ නිසා කතාවේ ගලායාමට බාධාවක් සිදු වෙන්නේ නෑ


විවිධ සිදුවීම් ඉදිරිපත් කිරීම නම් උසස් මට්ටමක තිබුනා. ඒ සිදුවීම චිත්තරූප මැවෙන අන්දමට ඉදිරිපත් කරලා තියනවා. විශේෂයෙන්ම ඒ රටවල ගෝත්‍රික ජනතාව විවිධ රෝග සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම පුදුම උපදවන සුළුයි. ඒ ගැන පුංචි උදාහරණයක් දෙන්නම්.

“ අප්‍රිකානු වන වාසී සෑම ගෝත්‍රයකම සුළු ආපදා වලදී ඔවුන්ටම ආවේනික වූ ප්‍රතිකාර විධි ඇත. බිචුවානාලන්තයේදී මා වරක් දුටු දන්ත වෛද්‍ය ක්‍රමය උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි එකකි. එය තැති ගන්නා සුළුය. එහෙත් අප්‍රිකාවේ දුෂ්කර වනාන්තර ප්‍රදේශ වල බොහෝ විට ඒ ක්‍රමය භාවිත වේ.

රෝගියා බිම උඩුබැලි අතට වැතිරේ. මිනිස්සු කිහිප දෙනෙක් ඔහුගේ කට විවර කොට හක්ක තදින් අල්ලා ගනිති. අනතුරු “ දන්ත වෛද්‍යවරයා” නරක් වූ දතට එරෙහිව උල් ලී කැබැල්ලක් තබා ගලකින් ඒ ලී කැබැල්ලට පහර දෙයි. එබඳු තියුණු පහර තුනකින් දත ගැලවී යයි. එහෙත් එම දන්ත වෛද්‍යවරයා එය පුරුදු වූයේ කවුරුන් යොදා ගෙනද යන්න මට පුදුමයක් විය.”

කොහොමද මේ වගේ දත් ගලවන විදියක් අපි අතරෙත් තිබුනා නම් එහෙම? දත් ගලවනකොට හොඳ සනීපයක් දැනෙයි. මේ වගේ විවිධ ප්‍රතිකාර ක්‍රම හොඳින් විස්තර කරලා තියනවා. අප්‍රිකානු ගෝත්‍රික ජනතාව ගැන් බොහොමයක් විස්තර එයින් දැනගත හැකියි. ඒ ක්‍රම සෞඛ්‍යයට, සනීපාරක්ෂාවට අහිතකරයි වගේ පෙනුනට නවීන උපකරණ ආදිය නැතුව ඒ දේවල් කරන්න ක්‍රමයක් ඔවුන් සොයාගෙන තියනවා.

ඒ වගේම ජෝජ් මිචෙල් ජීවිතයේ මුහුණ දුන් දුක් කම්කටොලු හා ඔහු එයින් මිදීමට ගත් උත්සාහයන්ද මේ පොතේ ඇතුලත්. ස්වෝත්සාහයෙන්ම කුඩා කාලයේ සිට දියුණු වුණ හැටි ලස්සනට විස්තර කරලා තියනවා. එය නම් කියවා බලන්නම වටිනවා.

පොත කියවලා ඉවර වුණාම දැනෙන්නේ හරියට අප්‍රිකාවේ සෆාරි චාරිකාවක් ගිහින් ආවා වගේ. මිචෙල් පවුලත් දිවියෝ, අලියෝ, පිඹුරෝ  වගේ විවිධාකාරයේ සතුන් රැසකුත් ස්වාසි ගෝත්‍රිකයන් ඇතුළු අප්‍රිකානු වන වාසී ගෝත්‍රිකයනුත් සමග ඒ කියවීමේ අත්දැකීම විඳින්න කියලා මම ඔයාලටත් ආරාධනා කරනවා. 

පින්තූරය නම් මගේ.

Saturday, September 29, 2012

“ඕන වෙනකොට ළඟට ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි”



මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක්. පණ දෙන්න වගේ ළඟින් ඉන්න මිනිස්සු වෙනස් වෙන්න යන්නේ තත්පර 10කටත් අඩු කාලයක්.  යහපත් මිනිස්සු මේ ලෝකේ ඉන්නේ කොච්චර අඩුවෙන්ද? එහෙම නැත්තම් මට තවම යහපත් මිනිස්සු මුණ ගැහිලා නැද්ද? 100% හොඳ මිනිස්සු නම් අපි අතරේ නැහැනේ. ඒත් අඩුම ගානේ තවත් කෙනෙක් ගැන හිතන්න පුළුවන් කීයෙන් කී දෙනාද අපි අතරෙ ඉන්නේ?

අපිට මුණ ගැසෙන හැම කෙනාම අපිට කැමති වෙන්නේ නෑ. කිසිම හේතුවක් නැතුව අපි සමහර පුද්ගලයන්ව අප්‍රිය කරනවා නේද? අපිවත් ඒ වගේ අප්‍රිය කරන මිනිස්සු කී දෙනෙක් මේ ලෝකෙ ඇත්ද? සමහර අය නම් පණ දෙන්න වගේ කතාව. ඒත් අපිට කරදරයක් වුණ වෙලාවට පැත්තවත් බලන්නේ නෑ. මම හොඳින්ම අත්විඳලා තියන දෙයක් තමයි සමහර අයට උදව්වක් ඕනේ වුණාම කරන වර්ණනා කිරිල්ල. මටවත් හිතාගන්න බෑ මේ කියන්නේ මම ගැනද කියලා. එච්චරට මම හොඳයිලු. හැමෝටම උදව් කරනවාලු. ඒත් ඒ හැම දෙයක්ම උදව්වක් ගන්නකල් විතරයි. ඊට පස්සේ පැත්තවත් බලන්නේ නෑ.

අද හැම දෙයක්ම මිල මුදල්, සමාජ තත්වය මත පදනම් වෙලා. අපේ උසස් පෙළ පන්තියේදි රසායන විද්‍යා ගුරුතුමිය කිව්ව දෙයක් තමයි දැන් අපිට ජීවිතේ මුණගැහෙන හොඳම යාළුවෝ ටික මුණගැහිලා ඉවරයි කියන එක. පාසලේදි අපි ගොඩක් වෙලාවට යාළු මිත්‍රකම් ඇතිකරගනිද්දි ඔය වත් පොහොසත්කම් එහෙම බලන්නේ නෑනේ. ඒ වුණත් එහෙම බලපාපු අවස්ථා නැත්තේමත් නෑ. ඒ ගැන ඕනේතරම් අත්දැකීම් ඇති ප්‍රසිද්ධ යැයි සම්මත පාසල් වල අයට. ඒත් මම හිතන විදියට පිරිමි ළමයි අතර ඒ වගේ ඒ වගේ භේද නෑ කියන එක. මම ගියේ බාලිකා පාසලකට. එහෙ නම් ඕනේ තරම් ඔය භේද තිබුණා.

සාමාන්‍ය දවස්වලට උන්නද මළාද කියලා හොයලා බලන්නේ නැති සමහරුන්ට උදව්වක් ඕනේ වෙන වෙලාවල් තමයි බලන්න වටින්නේ. එතකොට කියන්නේ මම කීප දවසක් ඔයාගේ ලෑන්ඩ් ෆෝන් එකට ට්ර්යි කළා. ඒත් ආන්සර් කලේ නෑනේ කියලා. මට ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට ඉතින් ආ කවුරුවත් ගෙදර ඉන්න නැතුව ඇති කියලා ෂේප් වෙනවා. උදව්ව කළාට පස්සේ මිසින් ඉන් ඇක්ෂන්. අපි උදව්වක් කරන්නේ ආපහු උදව්වක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. කරපු උදව් ගැන තැන තැන කියවන එකත් හොඳ නෑ තමයි. ඒත් එහෙම උදව් කරපු පස්සේ මූණට හම්බුණත් අහක බලාගෙන යනකොට නම් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.

අපේ උසස් පෙළ පන්තියේ හිටියා ළමයි දෙන්නෙක්. මෙයාලා අඹ යාළුවො නොවුණත් සෑහෙන කිට්ටුවෙන් ආශ්‍රය කළා. එක්කෙනෙක් ශිෂ්‍ය නායිකාවක්. එයාලාට ඉතින් නිතරම වැඩ නේ. පන්තියේ නෑ කොයි වෙලාවකවත්. ඒ නිසා වැඩ බොහොමයක් අතපසු වුණා. ටියුෂන් පන්තිත් සෑහෙන අතපසු වුණා. එයාලා දෙන්නම් ගියේ එකම ටියුෂන් පන්තියකට. ඉතින් ඇයට අතපසු වෙන සටහන් යෙහෙළිය තමයි ලියලා දුන්නේ. උසස් පෙළ විභාගයට ආසන්නතම කාලයේදී (මැයි මාසයේ විතර) අතපසු වුණ සටහන් සම්පූර්ණ කරගන්න කියලා ඇය යෙහෙළියගේ ජීව විද්‍යා විෂයේ සටහන් ටික ඉල්ල ගත්තා. දන්නවනේ ඉතින් සටහන් ටික කිව්වට සටහන් වල තරම? අවුරුදු 2  1/2ක සටහන් නේ. ඊට සති 2කට විතර පස්සේ මෙන්න ඇය කියනවා සටහන් ටික ඇය අතින් නැති වුණා කියලා. අර යෙහෙළිය පත්වුණ අපහසුතාව වචනයෙන් විස්තර කරන්න බෑ. විභාගයට මාස 2යි. සටහන් අතුරුදන්. වෙනත් අයෙකුගෙන් ලියපු සටහන් ෆොටෝ කොපි කරගත්තත් තමන්ගේ සටහන් තරම් ඒවා හරියන්නේ නෑනේ. සටහන් ඉල්ලාගත් කෙනා මෙයාගේ මූණවත් බලන්නේ නෑලු. දකින කොට මගහැරලා යනවලු. ඒ දවස්වල ඉස්කෝලේ එන්නෙත් නෑනේ. කොහොමහරි දෙන්නම උසස් පෙළ සමත් වුණා. දැන් අර ශිෂ්‍ය නායක යෙහෙළිය රැකියාවක් කරනවා. අනිත් යෙහෙළිය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උපාධිය හදාරනවා.

අපි යාළුවෝ කියලා හිතාගෙන ඉන්න අයත් ඔහොම නම් අනිත් අය ගැන කවර කතා ද? මේ සිද්ධියෙන් අපි නම් හොඳ පාඩමක් ඉගෙනගත්තා. ඒත් ඒ අයට කවදාවත් ඒක අමතක වෙන එකක් නෑ නේද? එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඒ නිසා තමයි. මේ ලෝකේ අපි හිතන තරම් ලස්සන තැනක් නෙවෙයි. පරිස්සම් වෙන එක කාටත් හොඳයි. මොකද මිතුරු වෙසින් එන මේවගේ අය අපි ළඟම ඉන්න පුළුවන් නිසා.

පින්තූරය ගූගල් වෙතින්...

Wednesday, September 26, 2012

කම්මැලිද නැත්තම් නිදිමතද? (දෙවනි කොටස)



මේකේ පළවෙනි කොටස දාල නම් දැන් දවස් කිහිපයක් වෙනවා. එක එක වැඩ රාජකාරි නිසා දෙවනි කොටස් දාන්න ටිකක් පරක්කු වුණා. ඒ ගැන සමාවෙන්න හොඳේ. පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

එදා කිව්වේ උදේ පාන්දරම සහ දිවා ආහාරයෙන් පස්සේ නිදිමතක් එහෙම නැත්තම් කම්මැලිකමක් ආවොත් ඒක මගහරවා ගන්නේ කොහොමද කියලා. අද කියන්න බලාපොරොත්තු වෙන්නේ කම්මැලිකමක් නැත්තම් නිදිමතක් එන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක් ගැන.

වේලාව-: හවස නැත්තම් සති අන්ත වල

ලක්ෂණ-: ඔබ සේවා ස්ථානයේදී හොඳට කාර්යක්ෂමව වැඩ කරනවා. ඒත් ගෙදර ආවම හවසටත් සති අන්තයේදිත් කිසිම වැඩක් කරන්න බැරි තරම් තෙහෙට්ටුවක්, කම්මැලිකමක් දැනෙනවා.

හේතු සහ කළ යුතු දේ-:

ඔබ දවස පුරාම මහන්සි වෙලා හොඳට වැඩ කරනවා කියන්නේ ඔබේ ශරීරයේ ඇඩ්‍රිනලින් හෝමෝනය හොඳින් ස්‍රාවය වෙනවා. මේ නිසා ශරීරයේ pH සමතුලිතතාවය භාෂ්මික සිට ආම්ලික දක්වා වෙනස් වෙනවා. මේ තමයි හවසට එහෙම නැත්තම් සති අන්තයේදී ඇතිවන තෙහෙට්ටුවට හේතුව. මේ නිසා දේහයේ ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා.

මේ වෙනස බොහෝම පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. ඒ සඳහා හොඳින් හුස්ම ගැනීම, ගැඹුරු ලෙස ආශ්වාස කිරීම කරන්න පුළුවන්. හොඳින් පිරිසිදු ජලය පානය කරන එකත්  හොඳයි. ඒ වගේම ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වෙන්න ටිකක් දුවලා පැනලා ඉන්න එකත් හොඳයි.

මේ දැනෙන මහන්සිය මගහරව ගන්න කියලා මත්පැන් ළං කරගන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ මහන්සිය නැති කරන එක නෙවෙයි මහන්සිය වැඩි කරන එක. අපි මත්පැන් පානය කළාම ඒවා බිඳ හෙළන්න අක්මාවටයි වකුගඩු වලටයි වැඩියෙන් වැඩකරන්න වෙනවා. මේ නිසා නින්දටත් බාධා ඇති වෙනවා.

බොහෝ වෙලාවට මුලින්ම මත්පැන් පානය කරන අයට මේක හොඳින්ම අත්දකින්න පුළුවන්. එයාලාට මත්පැන් පානය කළාට පස්සේ වෙනදාට නැති තෙහෙට්ටුවක් දැනෙවි. ඒත් එහෙම කියලා මත්පැන් නම් අත්හදා බලන්න යන්න එපා!

ඉහිල් වෙන්න, සැහල්ලු වෙන්න මත්පැන් වලට වඩා හොඳ ක්‍රම ඕනේ තරම් තියනවා. සංගීතයට සවන් දෙන් එක, හොඳ තේ කෝප්පයක් බොන එක වගේම හොඳ පොතක් කියවන එකත් ඉහිල් වෙන්න හොඳ ක්‍රමයක්.

හැකි විදියට පුංචි ව්යායාමයක් කරන එකත් ඉහිල් වෙන්න හොඳ ක්‍රමයක්. මිනිත්තු 20ක් විතර හොඳට ඇවිදින්න. සතියකට 3පාරක් විතර මෙහෙම් කරන්න පුළුවන් නම් හොඳයි. නින්දට යන්න ආසන්න වෙලාවට නම් ව්යායාමයේ යෙදෙන්න එපා. හොඳ නින්දක් ලබන්න ඒක බාධාවක්.


සමහර දවස් තියනවා අපිට මුළු දවස පුරාම ඉවසගන්න බැරි කම්මැලිකමක් එන. කිසිම හේතුවක් නැතුව දවස පුරාම ඈනුම් යනවා. ඒ වගේ දවස් වලට මොකද කරන්න පුළුවන්?

මොකක් හරි වැඩක් කරන්න කම්මැලි නම් ඒ වැඩේට ටිකක් අවධානය යොමු කරලා බලන්න. ඒ ගැන අත්දැකීම් තියන කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ටිකක් හරි කම්මැලිකම අඩුවෙයි.

දිනපතාම පුරුදු වෙලා ඉන්න දේවල් ටිකක් වෙනස් කරන්න බලන්න. පුංචි දෙයක් සමහරවිට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. දිනපතා අහන රේඩියෝ චැනල් එක මාරු කරලා බලන්න. හැමදාම වැඩට යන පාර වෙනුවට ටිකක් වෙනස් පාරකින් ගිහින් බලන්න. දිවා ආහාරයට විශේෂ දෙයක් එකතු කරගන්න. මේ වගේ පුංචි දේවල් වලින් පුළුවන් ඔබේ තෙහෙට්ටුව නැති කරගන්න.

ජීවිතේ පුංචි වෙනසකට පුළුවන් ලොකු දෙයක් කරන්න. ඒ නිසා විනෝදය ගැනත් ටිකක් හිතන්න. දිගටම වැඩ ගැනම හිතන්න එපා. මානසික ආතතියකට ලක් වුණාම අපේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙනවා. මේ නිසා සෛල වලට රුධිර සැපයුම අඩු වෙනවා. මේ නිසා තමයි තෙහෙට්ටුව ඇති වෙන්නේ. ඒ නිසා මානසික ආතතිය ගැන සැලකිලිමත්වීම හරිම වැදගත්.


ඔයාලාගේ ජීවිත වලට වැදගත් දෙයක් එකතු වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලාට පුළුවන්නම් ඔයාලාට තෙහෙට්ටුවක්, මානසික ආතතියක් දැණුනු වෙලාවට සැහල්ලු වෙන්න, ඉහිල් වෙන්න පාවිච්චි කරන ක්‍රම පහතින් සටහන් කරලා යන්න. මට ඒක ගොඩක් වැදගත් වෙයි.. 

පින්තූරය ගූගල් වෙතින් 

Tuesday, September 25, 2012

පොත් සල්පිල හා තවත් කතා



කලින් පෝස්ට් එකේ දෙවනි කොටස දාන්නත් තියනවා. ඒත් පොත් සල්පිල හෙටින් ඉවර වෙනවනෙ. ඒ නිසා ඒක ගැන ලියන්නයි හිතුවෙ.


පොත් සල්පිල ගැන මගේ මතකය නම් ගොඩක් ඈතට දිව යන එකක්. අපි පොත් සල්පිලට යන්න පටන් ගත්තේ කොයි කාලේද කියලා හරියටම මතක නැති වුණත් අපි මතක ඇති කාලෙක පටන්ම පොත් සල්පිලට යනවා කියලා නම් මතකයි. ගොඩක් වෙලාවට අපි නම් යන්නේ පටන් ගන්නම දවසෙ. එදාට වැඩිය සෙනග නැති නිසා පොත් තෝරගන්න ලේසියි. හැම් සැරේම වගේ පොත් සල්පිල ආරම්භ කරන්නේ සෙනසුරාදා දවසක නිසා එහෙම යන්න පුළුවන් වුණා. ඒත් මේ සැරේ පටන් ගත්තේ අඟහරුවාදා දවසක. අපි ඉතින් මේ දවස්වල ගෙදරනේ කැම්පස් වහලා නිසා. ඒ නිසා මේ සැරේත් පටන් ගන්න දවසේ යන්න පුළුවන් වුණා.


මීට අමතරව අපි පොත් සල්පිලේ අන්තිම් දවසට හරි ඊට කලින් දවසෙ හරි යන්නත් පුරුදු වෙලා ඉන්නවා වෙලාවක් තිබුනොත්. ඒ නම් යන්නේ පාවිච්චි කරපු පොත් එහෙම් නැත්තම් බාගේන් බුක්ස් ගන්න. අපි තවම යැපෙන්නේ ගෙදරින්. පොත් ගන්න කියලා එහෙමටම ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි. අධ්‍යාපනික පොත් පත් වලටත් සෑහෙන ගානක් වියදම් වෙනවනේ. කොච්චර පොත් ගත්තත් අපි දෙන්නා සතියක් යනකොට ඒ ඔක්කොම කියවලා ඉවරයි. ඒ නිසා කොච්චර පොත් ගත්තත් මදි. ඒ නිසා අපි බාගේන් පොත් තියන පැත්තේ ගැවසෙනවා වැඩියි.


පොත් සල්පිල ගැන් ලියවුණු ලිපි කිහිපයක්ම කියෙව්වා මම. වට්ටම් නම් අඩුයි මේ සැරේ. විජේසූරිය එකට එහෙම කිට්ටු කරන්නවත් බෑ. ඒත් කොහොම කොහොම හරි හිතේ තිබුණ පොත් ඔක්කොම වගේ ගන්න පුළුවන් වුණා. හිතාගෙන හිටපු පොත් වලින් ගන්න බැරි වුණේ සිටුවර පුවත හා තුන් තකතීරු කම් කරපු කෙනෙක් මං කියන පොත් දෙක විතරයි. හෙටත් යන්න හිතන් ඉන්න නිසා ඒ පොත් දෙකත් ගන්න බලාපොරොත්තු වෙනවා.


පාවිච්චි කරපු පොත් පත් විකුණන කඩවල් හෙවත් බාගේන් බුක් ෂොප්ස් ගැන තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සැරේ බාගේන් බුක් ෂොප්ස් නම් හරිම අඩුයි. ”කේ” ශාලාවේ කඩවල් කිහිපයක් සහ “ජේ” ශාලාවේ කඩවල් කිහිපයක් තමයි තිබුණේ. කලින් තිබුණු පොත් සල්පිල් එක්ක බලනකොට මේ හරිම අඩු සංඛ්‍යාවක්. ගිය පාර නම් තනිකරම ශාලාවක් තිබුණා. ඒ වගේම මෙහි තිබුණ පාවිච්චි කරපු පොත් වලත් අඩුවක් තමයි තිබුණේ. ඒවගේ මිලත් කියන්න තරම් අඩුවක් තිබුණේ නෑ.


මේ පොත් පාවිච්චි කරපු ඒවාම වෙන්න ඕනේත් නෑ. මුද්‍රණ දෝෂ තියන පොත්, සුළු සුළු හානි වෙලා තියන පොත් වගේ විව්ධ පොත් පත් මේ කඩවල් වල තියනවා. අපිට නම් මේ කඩවල් වලින් බොහොම වටිනා පොත් පත් බොහෝම අඩු මිලකට හම්බ වෙලා තියනවා. දැනට මුද්‍රණයේ නැති පොත් පත් වගේම බොහෝම පැරණි පොත්පත් මේ කඩවල් වලින් මිලට ගන්න පුළුවන්. හැබයි ඉතින් ටිකක් මහන්සි වෙලා හොයන්න ඕනේ මේ පොත් පත් හොයාගන්න.


ලංකාවේ නමගිය පොත් සාප්පු වලින් මේ පොත් විකුණන්න ස්ටෝල්ස් කරනවා. ඒ එයාලගේ පොත් සාප්පු වලින් ඉවත් කරන පොත්  පත් සඳහා. ඒ වගේම ප්‍රධාන ලෙසම පාවිච්චි කරපු පොත්පත් විකුණන කඩවල් පවා තියනවා. මේ දෙගොල්ලන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඉන්නවා. ඒත් මෙවර නම් මට සතුටු විය හැකි මට්ටමට මෙවැනි පොත් තිබුණේ නෑ. පොත් ප්‍රමාණ ය වගේම හොඳ පොත් අඩුයි මෙවර. මීට මාස 3කට පමණ පෙර පාවිච්චි කළ පොත් පත් සල්පිලක් පැවැත්වුණා කොළඹ මහජන පුස්තකාලයේ. එහි නම් හොඳ පොත් පත් තිබුණා. එය සංවිධානය කරලා තිබුණේ සරසවි පොත්හල මගින්. එහිදී නම් වටිනාකම රුපියල් 5000ක් පමණ වෙන පොත් රුපියල් 1000කට පමණ මිලට ගැනීමට හැකිවුණා. එය නම් වටිනා අවස්ථාවක්.


මොනවා වුණත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ හොඳ ප්‍රවණතාවයක්. ලංකාවේ ගොඩක් දෙනෙක් ට පොත පත මිලට ගන්නට ලැබෙණ වටිනා අව්ස්ථාවක්. දැන් එය සංස්කෘතික අංගයක් තරම්ම ජනතාව අතරට ගිහින්. පොත් ගන්න, යාළුවෝ එක්ක විනෝද වෙන්න, මැගී කන්න ගොඩක් දෙනෙක් පොත් සල්පිලට යනවා. මේ නිසා පොත් පත් වලට ආදරය කරන අයට වගේම අනිත් හැමෝටම මේ ඉතාම වැදගත් අවස්ථාවක්. හැබැයි ඉතින් විලාසිතාවට යන්නන් වාලේ ගිහින් පොත් අරගෙන වැඩක් නෑ. ගන්න පොත් කියවන්න ඕනේ. මම දන්න පවුලක් ඉන්නවා ගිය සැරේ පොත් සල්පිලට ගිහින් පොත් ගොඩක් ගත්තා. ඒත් තවම ඒවා තිබ්බ තැනමයි ලු. ඒවගේ නම් ඉතින් වැඩක් නෑ. තමන් කියවන්නේ නැත්තම් කියවන කෙනෙක්ට හරි ඒකෙන් ප්‍රයෝජනයක්  ගන්න දෙන්න.


තාමත් ඔයාලා පොත් ප්‍රදර්ශනේට ගියේ නැද්ද? හෙට වෙනකන් අවස්ථාව තියනවා. හොඳ පොතක් කියන්නේ හරියට හොඳ යාළුවෙක් වගේ. ඉතින් ඔයාලාටත් හොඳ යාළුවෝ ටිකක් වගේම හොඳ පොත් ටිකකුත් ජීවිතේට එකතු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 

Friday, September 14, 2012

කම්මැලි ද නැත්තම් නිදිමත ද?



වෙහෙසකාරි දවසක් අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම දේ තමයි සුවබර නින්දක් . හොඳ නින්දක් ලැබුවාම අපි අවදි වෙන්නේ ප්‍රබෝධමත් සිතකින්. ඒත් මේ නිදිමත සමහර වෙලාවල අපිට හරිම කරදරයක් වෙනවා. ඉඳලා ඉඳලා වැදගත් වැඩක් කරන්න පටන් ගත්ත ගමන් කොහේවත් නැති නිදිමතක් ඇවිත් ඒ වැඩේ අවුල් කරලා දානවා. ඔෆිස් එකේ වැදගත් මීටිමක් වෙලාවට නිදිමතක් ආවොත් එහෙම? ප්‍රධානියෝ ඔක්කොම  ඉන්න තැනකදි නොනවත්වා ඈනුම් යන්න පටන් ගත්තාම? ඒක ඔබේ රැකියාවටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ නිසා අනවශ්‍ය වෙලාවට එන නිදිමත පලවා හරින ක්‍රම ටිකක් තමයි අද ඔයාලට කියන්නේ.

*නිදිමත උදේම ඇවිත්!
ලක්ෂණ-: ඔබ නින්දට යන්නේ මධ්‍යම රාත්‍රියටත් කලින්. ඒත් උදේට නැගිටින්න හිතෙන්නෙම නෑ ඇඳටම ඇලිලා වගේ. නැගිටින්න වෙන්නේත් ඔලුවෙ කැක්කුමක් එහෙමත් නැත්තම් බෙල්ලේ අමාරුවක් අරන්.

කළ හැකි දේ-:

මෙහෙම දේවල් වෙන්නේ අපි ගොඩක් වෙලාවට නැගිටින්න සුදුසු වෙලාව තෝර ගන්නේ නැති  නිසා. මුළු රාත්‍රියේම අපිට එක විදියට නින්ද යන්නේ නෑ. නින්ද නැති කාල සීමාවක්, අඩ නින්දේ ඉන්න කාල සීමාවක් පහු කරලා අපි ගැඹුරු නින්දකට පිවිසෙනවා. මේ ගැඹුරු නින්දට පිවිසුන ගමන්ම එලාම් එක වැදුනොත් එහෙම? ගැඹුරු නින්දෙදි මොළය විවේක ගන්නවා. මේ වෙලාවේ අපි හදිස්සියේ නැගිට්ටොත් එහෙම මොළයට ඒ හදිසි තත්වයට අනුගත වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි උදේ නැගිට්ට ගමන්ම කම්මැලිකමක් නිදිමතක් දැනෙන්නේ. මේකට කරන්න පුළුවන් දේ තමයි ටිකක් වේලාසනින් නින්දට යන එක. නින්දට යනවා කියන්නේ ඇඳට යන එකට නෙවෙයි. ඇඳට ගිහින් බාහිර දේවල් ගැන හිතන එක නවත්තලා දාලා ජංගම දුරකථනය එහෙම පැත්තකින් තියලා ලයිට් එක ඕෆ් කරලා ඇස්දෙක පියාගෙන හිත එකඟ කර ගත්තාම නින්ද නිතැතින්ම ළඟාවෙනවා. මේ විදියට කලාම අපි ගැඹුරු නින්දේ ඉන්නේ මධ්‍යම රාත්‍රියේ දී. ඊට පස්සේ අඩ නින්දකට එනවනේ. ඒ කාල සීමාවේදී නැගිටින්න හිතාගෙන එලාම් එක සෙට් කරලා තිබ්බම වැඩේ ගොඩ. ප්‍රබෝධමත් විදියට නැගිටින්න පුළුවන්.

නැගිට්ටාම හිසේ කැක්කුමක්, හක්කේ හරි බෙල්ලේ අමාරුවක් හරි තියෙනවානම් ඒකට හේතුව තමයි නින්දේදි දත්මිටි කන එක. නින්දෙන් දත්මිටි කන එක නිසා ගැඹුරු  නින්දකට පිවිසෙන්න තිබෙන අවස්ථාවත් නැති වෙනවා. ඔබ යම් කිසි දෙයක් ගැන සිත් තැවුලෙන් ඉන්නවා නම් නොදැනීම නින්දේදි දත්මිටි කනවා වෙන්න පුළුවන්. මේකට නම් ඉතින් කරන්න තියෙන්නේ සිත් තැවුල නැති කරගන්න එක තමයි.

නැගිට්ටට පස්සේ මේ නිදිමත නැති කරගන්න විදියක් නැද්ද? මොකද ආයි නිදාගන්න කියලද? මෙහෙම් වෙලාවට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔබේ උදේ කෑම වේල ජනේලයක් අයිනට වෙලා පිටත බලමින් කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උදේ ඉර එළිය උදව්වක් වේවි ඔබේ නිදිමත නැති කරගන්න. ඒ වගේම කාර්යාලයට නැත්තම් පාසලට යන ගමනෙන් කොටසක් ඇවිදගෙන යන්න පුළුවන් නම් ඒකත් නිදිමත නැති කරන්න උදව්වක් වේවි. මිතුරෙක් හෝ අසල්වාසියෙක් සමග හිනාවෙලා කතා කරන්න. ඔබේ නිදිමත නැතිවේවි. හැකියාවක් තියෙනවනම් ඔබ ප්‍රිය කරන කෙනෙක්ගේ මූණ බලන්න උදේම. ප්‍රතිඵල දන්නවා ඇතිනේ හැමෝම.


දවල් කෑමෙන් පස්සේ එන නිදිමත-
ලක්ෂණ-: දවල් කෑමෙන් පස්සේ එනව නිදිමතක්. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හරියට පොඩි කෝමා තත්වයක් වගේ.


කළ හැකි දේ-:

මෙයට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ දිවා ආහාරයේ බර  වැඩි කම. මේ ගැන නම් මීට කලින් පෝස්ට් එකකිනුත් කියලා ඇති. බර වැඩි ආහාරයක් දිවා ආහාරය වශයෙන් ගත්තාම ජීර්ණය පහසු කරන්න ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම තාවකාලිකව වැඩි කරනවා. ඒ නිසා මොළයේ රුධිර සැපයුම සුළු වේලාවකට අඩු වෙනවා. මේ තමයි නිදිමතට හේතුව.

දිවා ආහාරයේ ප්‍රමාණය ටිකක් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මදි පාඩුවට පලතුරු ටිකක් කන්න. එහෙම නැත්තම් වාඩි වෙලාම ඉන්නෙ නැතුව ටිකක් ඇවිදලා එන්න. ඔෆිස් එක වටේ හරි කමක් නෑ. රසවත් පොතක කොටසක්, පුවත්පතක් එහෙම නැත්තම් බ්ලොග් එකක් හරි කමක් නෑ කියවන්න. හැබැයි තවත් නිදිමත වැඩි වෙන ජාතියේ ඒවා නම් කියවන්න එපා. පඩිපෙළක් නැගලා බහින්න. ඒකත් හොඳයි.

නැත්තම් ගේම් එකක් ගහන්න. ළඟ ඉන්න යාළුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මොකක් හරි වැඩකට එළියට යන්න වෙනවානම් ඒකත් මේ වෙලාවෙදි යොදාගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් දවල්ට හැදෙන නිදිමත අඩු කරගන්න පුළුවන්.

මේ මොකක් වත් හරියන්නේ නැත්තම් විනාඩි 5ක් විතර ඇස් පියාගෙන් ඉන්න. කාගෙවත් බාධාවක් නැතුව. ගෙදර නම් ඉන්නේ කරන්න වැඩකුත් නැත්තම් (මේ අපි වගේ) ටිකක් නිදාගන්න.

තවත් පොඩි දෙයක් කියන්නම්. හැම වෙලාවෙම ශරීරයට අවම වෙහෙසක් දෙන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මේ නිසාත් කම්මැලිකමට ශරීරය හුරු වෙනවාලු. ඒ නිසා එදිනෙදා වැඩ වලදි පොඩ්ඩක් ඇඟ මහන්සි කරවන්න. එතකොට නිදිමත නිකන්ම ඇරිලා යයි.

පෝස්ට් එක ටිකක් දිග වැඩියි වගේ, ඒ නිසා ඉතිරි කොටස වෙන පෝස්ට් එකකින් දාන්නම්. එතකන් කියලා තියෙන දේවල් අත්හදා බලන්නකෝ. 


පින්තූර ගූගල් වෙතින්

Tuesday, September 11, 2012

ඔබත් අන් අයට කරදරයක් ද?


අපි දැන් ජීවත් වෙන්නේ පැරණි සමාජයේ නෙවෙයි. අද පවතින් තරඟකාරී බවත් එක්ක අපි හැමෝම ජීවත් වෙන්නේ. අපි හැමෝම රේස් එකක් දුවන්නේ. ඒ රේස් එකේදි කාලය තමයි අපිට වැදගත්ම සාධකය වෙන්නේ. මුදල් කොපමණ තිබුණත් අපිට ඒ මුදල් වලින් තත්පරයක්වත් මිලට ගන්න බෑ. ඒ නිසා අපි කාලයත් සමග නොනවතින සටනක යෙදිලා ඉන්නවා. ඒ සටනෙදි අපි අපිත් එක්ක අපේ වටේ ඉන්න අයට කරදරයක් නම්? අපි හිතලා හෝ නොහිතලා කරන සමහර දේවල් අනිත් අයගේ ජීවන රටාවට බාධාවක් නම්?

අපිට ලෝකයා හදන්න බෑ. කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන් හැදෙන එක. අපි පොඩ්ඩක්වත් හිතන්නේ නැති දේකින් පුළුවන් තවත් කෙනෙක්ට අපිව එපා කරවන්න. මේ දේවල් සිද්ධවෙන්නේ හිතාමතා නෙවෙයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒත් ටිකක් හිතල බැලුවොත් මේ වගේ දේවල් අපිටම කොච්චර සිදු වෙලා ඇතිද කියලා අපිට දැනෙයි අපිත් නොදැනුවත්වම සමහර වෙලාවට අන් අයට කරදරයක් වෙනවා කියලා.

ලංකාවේ දැන් බොහෝමයක් සුපිරි වෙළඳසැල් තියෙනවා. ගොඩක් දෙනා එයින් බඩු ගන්නත් පුරුදුවෙලා ඉන්නවා. ඒ බඩු තෝරා ගැනීමේ තියෙන පහසුව නිසා. සුපිරි වෙළඳසැල් වලින් බඩු ගනිද්දි කැෂියර් එක ගාව ගොඩාක් වෙලාවට පෝලිමක් තියෙනවා. සමහර අය ඉන්නවා මේ පොලිමේ තමන්ගේ වාරය එනකල් ඉඳලා ගෙවියි යුතු මුදලත් කිව්වට පස්සෙ නානාප්‍රකාර හෑන්ඩ් බෑග්. පර්ස් කිහිපයක්ම එළියට ඇදලා මුදල් හොයන අය. මේ සඳහා ඔවුන් විනාඩි කිහිපයක්ම ගත කරනවා. ඇයි ඒ වගේ අවස්ථාවලදි පෝලිමේ ගත කරන විනාඩි කිහිපයේදි මුදල් සූදානම් කරලා තියාගන්න බැරි? මේගොල්ලෝ බිල දැම්මටත් පස්සේ සල්ලි හොයන්න යන වෙලාවෙ අර කැෂියර් එකේ ඉන්න කෙනාට තව දෙතුන් දෙනෙකුගෙම් බිල් දාන්න පුළුවන්. මේ වගේ දේවල් අපිත් නොහිතා කරනවා වෙන්න පුළුවන්. ඒත් අපි ඒ පෝලිමේ පිටිපස්සෙ හිටියනම් අපිත් ඒ කෙනාට බනිනවා නේද? ඉතින් ඒ වගේ වෙලාවට වත් කල්පනා කරලා මුදල් ටික අතට අරන් හිටියොත් ඒක බොහෝ දෙනෙක්ට පහසුවක් වෙනවා.

සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ අසුරලා තියෙන්නේ රාක්ක වලනේ. සමහර පුද්ගලයෝ ඉන්නවා මේ රාක්ක සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි හිටගෙන පැය ගනන් ගත කරනවා. ඒ වෙලාවට වෙනත් කෙනෙක්ට භාණ්ඩයක් ගන්න ඕනෙ වෙලා ”එක්ස්කියුස් මී” කිව්වොත් එහෙම ඒ කෙන දිහා බලන්නේ හරියට මේ ලෝකෙ තියෙන විශාලම වැරද්ද කළා වගේ. සමහර වෙලාවට බැනුම් අහන්නත් වෙනවා හරියට බඩුවක් තෝර ගන්න දෙන්නෙත් නෑ වගේ. ඒක නම් හරිම අමිහිරි දෙයක්.

ලංකාවෙ පොදු ප්‍රවාහන සේවය ගැන නම් ඉතින් ඉතින් කතා කරලා වැඩක් නෑනේ. දන්නවනේ ඉතින් බස් එකක හරි කෝච්චියක හරි ගමනක් යනකොට ගතවෙන වෙලාව ගැන. ගොඩක් දෙනා මේ වෙලාව ගත කරන්න් විවිධ ක්‍රම භාවිතා කරනවා. සමහරු සිංදු අහනවා. සමහරු පොත් කියවනවා, පත්තර කියවනවා. පත්තරයක් කියවන්න අතට ගත්තොත් ඒකට එබිලා බලනවා. පොතක් වුණත් එහෙමයි. අනිත් අය කියවන්නේ මොනවද කියලා හොයන එක නම් නරක පුරුද්දක්. තමන්ට පත්තරයක් මිලට ගැනීමට හැකියාවක් නැත්තම් පත්තරේ අයිතිකාරයා බලලා ඉවර වුණාට පස්සේ ඉල්ලගෙන බලන්නයි තියෙන්නෙ. මම දැකලා තියෙනවා මෙහෙම පිටු ඉල්ලගෙන බලන නිසා සමහර අය මුළු පත්තරේම පිටු ඉල්ලන කෙනාට දීලා නිකන් ඉන්නවා. අපි ඒ වගේ වෙලාවට හිතන්න ඕනේ තමන් ඒ වගෙ අවස්ථාවකට ලක් වුණොත් මොකද වෙන්නේ කියලා.

අනිත් අයට කරදරයක් වෙන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. අපි නොහිතන වෙලාවක අපි නොහිතන කෙනෙක්ට අපිව කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ඒ ගැන හිතන්න පුළුවන්නම් ඒක තමයි හොඳ.