Wednesday, September 26, 2012

කම්මැලිද නැත්තම් නිදිමතද? (දෙවනි කොටස)



මේකේ පළවෙනි කොටස දාල නම් දැන් දවස් කිහිපයක් වෙනවා. එක එක වැඩ රාජකාරි නිසා දෙවනි කොටස් දාන්න ටිකක් පරක්කු වුණා. ඒ ගැන සමාවෙන්න හොඳේ. පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

එදා කිව්වේ උදේ පාන්දරම සහ දිවා ආහාරයෙන් පස්සේ නිදිමතක් එහෙම නැත්තම් කම්මැලිකමක් ආවොත් ඒක මගහරවා ගන්නේ කොහොමද කියලා. අද කියන්න බලාපොරොත්තු වෙන්නේ කම්මැලිකමක් නැත්තම් නිදිමතක් එන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක් ගැන.

වේලාව-: හවස නැත්තම් සති අන්ත වල

ලක්ෂණ-: ඔබ සේවා ස්ථානයේදී හොඳට කාර්යක්ෂමව වැඩ කරනවා. ඒත් ගෙදර ආවම හවසටත් සති අන්තයේදිත් කිසිම වැඩක් කරන්න බැරි තරම් තෙහෙට්ටුවක්, කම්මැලිකමක් දැනෙනවා.

හේතු සහ කළ යුතු දේ-:

ඔබ දවස පුරාම මහන්සි වෙලා හොඳට වැඩ කරනවා කියන්නේ ඔබේ ශරීරයේ ඇඩ්‍රිනලින් හෝමෝනය හොඳින් ස්‍රාවය වෙනවා. මේ නිසා ශරීරයේ pH සමතුලිතතාවය භාෂ්මික සිට ආම්ලික දක්වා වෙනස් වෙනවා. මේ තමයි හවසට එහෙම නැත්තම් සති අන්තයේදී ඇතිවන තෙහෙට්ටුවට හේතුව. මේ නිසා දේහයේ ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා.

මේ වෙනස බොහෝම පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. ඒ සඳහා හොඳින් හුස්ම ගැනීම, ගැඹුරු ලෙස ආශ්වාස කිරීම කරන්න පුළුවන්. හොඳින් පිරිසිදු ජලය පානය කරන එකත්  හොඳයි. ඒ වගේම ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වෙන්න ටිකක් දුවලා පැනලා ඉන්න එකත් හොඳයි.

මේ දැනෙන මහන්සිය මගහරව ගන්න කියලා මත්පැන් ළං කරගන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ මහන්සිය නැති කරන එක නෙවෙයි මහන්සිය වැඩි කරන එක. අපි මත්පැන් පානය කළාම ඒවා බිඳ හෙළන්න අක්මාවටයි වකුගඩු වලටයි වැඩියෙන් වැඩකරන්න වෙනවා. මේ නිසා නින්දටත් බාධා ඇති වෙනවා.

බොහෝ වෙලාවට මුලින්ම මත්පැන් පානය කරන අයට මේක හොඳින්ම අත්දකින්න පුළුවන්. එයාලාට මත්පැන් පානය කළාට පස්සේ වෙනදාට නැති තෙහෙට්ටුවක් දැනෙවි. ඒත් එහෙම කියලා මත්පැන් නම් අත්හදා බලන්න යන්න එපා!

ඉහිල් වෙන්න, සැහල්ලු වෙන්න මත්පැන් වලට වඩා හොඳ ක්‍රම ඕනේ තරම් තියනවා. සංගීතයට සවන් දෙන් එක, හොඳ තේ කෝප්පයක් බොන එක වගේම හොඳ පොතක් කියවන එකත් ඉහිල් වෙන්න හොඳ ක්‍රමයක්.

හැකි විදියට පුංචි ව්යායාමයක් කරන එකත් ඉහිල් වෙන්න හොඳ ක්‍රමයක්. මිනිත්තු 20ක් විතර හොඳට ඇවිදින්න. සතියකට 3පාරක් විතර මෙහෙම් කරන්න පුළුවන් නම් හොඳයි. නින්දට යන්න ආසන්න වෙලාවට නම් ව්යායාමයේ යෙදෙන්න එපා. හොඳ නින්දක් ලබන්න ඒක බාධාවක්.


සමහර දවස් තියනවා අපිට මුළු දවස පුරාම ඉවසගන්න බැරි කම්මැලිකමක් එන. කිසිම හේතුවක් නැතුව දවස පුරාම ඈනුම් යනවා. ඒ වගේ දවස් වලට මොකද කරන්න පුළුවන්?

මොකක් හරි වැඩක් කරන්න කම්මැලි නම් ඒ වැඩේට ටිකක් අවධානය යොමු කරලා බලන්න. ඒ ගැන අත්දැකීම් තියන කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ටිකක් හරි කම්මැලිකම අඩුවෙයි.

දිනපතාම පුරුදු වෙලා ඉන්න දේවල් ටිකක් වෙනස් කරන්න බලන්න. පුංචි දෙයක් සමහරවිට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. දිනපතා අහන රේඩියෝ චැනල් එක මාරු කරලා බලන්න. හැමදාම වැඩට යන පාර වෙනුවට ටිකක් වෙනස් පාරකින් ගිහින් බලන්න. දිවා ආහාරයට විශේෂ දෙයක් එකතු කරගන්න. මේ වගේ පුංචි දේවල් වලින් පුළුවන් ඔබේ තෙහෙට්ටුව නැති කරගන්න.

ජීවිතේ පුංචි වෙනසකට පුළුවන් ලොකු දෙයක් කරන්න. ඒ නිසා විනෝදය ගැනත් ටිකක් හිතන්න. දිගටම වැඩ ගැනම හිතන්න එපා. මානසික ආතතියකට ලක් වුණාම අපේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙනවා. මේ නිසා සෛල වලට රුධිර සැපයුම අඩු වෙනවා. මේ නිසා තමයි තෙහෙට්ටුව ඇති වෙන්නේ. ඒ නිසා මානසික ආතතිය ගැන සැලකිලිමත්වීම හරිම වැදගත්.


ඔයාලාගේ ජීවිත වලට වැදගත් දෙයක් එකතු වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලාට පුළුවන්නම් ඔයාලාට තෙහෙට්ටුවක්, මානසික ආතතියක් දැණුනු වෙලාවට සැහල්ලු වෙන්න, ඉහිල් වෙන්න පාවිච්චි කරන ක්‍රම පහතින් සටහන් කරලා යන්න. මට ඒක ගොඩක් වැදගත් වෙයි.. 

පින්තූරය ගූගල් වෙතින් 

10 comments:

  1. ජීවිතයට හරිම වටින ලිපියක්.

    ReplyDelete
  2. ඇල්කොහොල් ගත්තම රුධිර සංසරණය වේගය වැඩි වෙලා ක්‍රියාශීලි බවක් ඇති වෙනවා කියල අහල තියෙනවා මම!
    එහනම් ඒක බොරු වෙන්න ඇති!
    අපිත් පොඩ්ඩක් පානය කරලා තිබුණට එහෙම ක්‍රියාශීලි බවක් නම් දැනුනේ නෑ!:P
    ජය!

    ReplyDelete
    Replies
    1. ඒ තාවකාලිකව තමයි ක්‍රියාශීලි බවක් ඇති වෙන්නේ. ඊට වඩා අක්මාවට සහ වකුගඩු වලට වෙන හානිය බරපතලයි නේ.
      ක්‍රියාශීලි බවක් දැනුනේ නෑ කියලා අත්දැකීමෙන්ම කියලා තියෙන්නේ. :P
      ඔබටත් ජය!

      Delete
  3. ඒක හැබැයි.ඒකාකාරි ජීවිතය නිසා මෙහෙම වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. පුංචි වෙනසකින් ඒකාකාරී බව නැති කරගන්න පුළුවන්නේ.

      Delete
  4. අද හොයාගත්තා සති අන්තයේ මුකුත් කරන්ඩ හිතෙන්නේ නැති ලෙඩේට හේතුව...
    තෑන්ක්ස් බඩී ! :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් කියලා තියෙන ක්‍රම ටිකක් අත්හදා බලලා ලෙඩේ හොඳ කරගන්නකෝ.
      වෙල්කම් වෙල්කම්! :)

      Delete
  5. බොහොමත්ම ස්තුතියි ඔබට!
    හොඳ ලිපියක් යාලු .
    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හිරු..
      ඔබටත් ජයෙන් ජය!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......