Tuesday, September 11, 2012

ඔබත් අන් අයට කරදරයක් ද?


අපි දැන් ජීවත් වෙන්නේ පැරණි සමාජයේ නෙවෙයි. අද පවතින් තරඟකාරී බවත් එක්ක අපි හැමෝම ජීවත් වෙන්නේ. අපි හැමෝම රේස් එකක් දුවන්නේ. ඒ රේස් එකේදි කාලය තමයි අපිට වැදගත්ම සාධකය වෙන්නේ. මුදල් කොපමණ තිබුණත් අපිට ඒ මුදල් වලින් තත්පරයක්වත් මිලට ගන්න බෑ. ඒ නිසා අපි කාලයත් සමග නොනවතින සටනක යෙදිලා ඉන්නවා. ඒ සටනෙදි අපි අපිත් එක්ක අපේ වටේ ඉන්න අයට කරදරයක් නම්? අපි හිතලා හෝ නොහිතලා කරන සමහර දේවල් අනිත් අයගේ ජීවන රටාවට බාධාවක් නම්?

අපිට ලෝකයා හදන්න බෑ. කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන් හැදෙන එක. අපි පොඩ්ඩක්වත් හිතන්නේ නැති දේකින් පුළුවන් තවත් කෙනෙක්ට අපිව එපා කරවන්න. මේ දේවල් සිද්ධවෙන්නේ හිතාමතා නෙවෙයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒත් ටිකක් හිතල බැලුවොත් මේ වගේ දේවල් අපිටම කොච්චර සිදු වෙලා ඇතිද කියලා අපිට දැනෙයි අපිත් නොදැනුවත්වම සමහර වෙලාවට අන් අයට කරදරයක් වෙනවා කියලා.

ලංකාවේ දැන් බොහෝමයක් සුපිරි වෙළඳසැල් තියෙනවා. ගොඩක් දෙනා එයින් බඩු ගන්නත් පුරුදුවෙලා ඉන්නවා. ඒ බඩු තෝරා ගැනීමේ තියෙන පහසුව නිසා. සුපිරි වෙළඳසැල් වලින් බඩු ගනිද්දි කැෂියර් එක ගාව ගොඩාක් වෙලාවට පෝලිමක් තියෙනවා. සමහර අය ඉන්නවා මේ පොලිමේ තමන්ගේ වාරය එනකල් ඉඳලා ගෙවියි යුතු මුදලත් කිව්වට පස්සෙ නානාප්‍රකාර හෑන්ඩ් බෑග්. පර්ස් කිහිපයක්ම එළියට ඇදලා මුදල් හොයන අය. මේ සඳහා ඔවුන් විනාඩි කිහිපයක්ම ගත කරනවා. ඇයි ඒ වගේ අවස්ථාවලදි පෝලිමේ ගත කරන විනාඩි කිහිපයේදි මුදල් සූදානම් කරලා තියාගන්න බැරි? මේගොල්ලෝ බිල දැම්මටත් පස්සේ සල්ලි හොයන්න යන වෙලාවෙ අර කැෂියර් එකේ ඉන්න කෙනාට තව දෙතුන් දෙනෙකුගෙම් බිල් දාන්න පුළුවන්. මේ වගේ දේවල් අපිත් නොහිතා කරනවා වෙන්න පුළුවන්. ඒත් අපි ඒ පෝලිමේ පිටිපස්සෙ හිටියනම් අපිත් ඒ කෙනාට බනිනවා නේද? ඉතින් ඒ වගේ වෙලාවට වත් කල්පනා කරලා මුදල් ටික අතට අරන් හිටියොත් ඒක බොහෝ දෙනෙක්ට පහසුවක් වෙනවා.

සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ අසුරලා තියෙන්නේ රාක්ක වලනේ. සමහර පුද්ගලයෝ ඉන්නවා මේ රාක්ක සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි හිටගෙන පැය ගනන් ගත කරනවා. ඒ වෙලාවට වෙනත් කෙනෙක්ට භාණ්ඩයක් ගන්න ඕනෙ වෙලා ”එක්ස්කියුස් මී” කිව්වොත් එහෙම ඒ කෙන දිහා බලන්නේ හරියට මේ ලෝකෙ තියෙන විශාලම වැරද්ද කළා වගේ. සමහර වෙලාවට බැනුම් අහන්නත් වෙනවා හරියට බඩුවක් තෝර ගන්න දෙන්නෙත් නෑ වගේ. ඒක නම් හරිම අමිහිරි දෙයක්.

ලංකාවෙ පොදු ප්‍රවාහන සේවය ගැන නම් ඉතින් ඉතින් කතා කරලා වැඩක් නෑනේ. දන්නවනේ ඉතින් බස් එකක හරි කෝච්චියක හරි ගමනක් යනකොට ගතවෙන වෙලාව ගැන. ගොඩක් දෙනා මේ වෙලාව ගත කරන්න් විවිධ ක්‍රම භාවිතා කරනවා. සමහරු සිංදු අහනවා. සමහරු පොත් කියවනවා, පත්තර කියවනවා. පත්තරයක් කියවන්න අතට ගත්තොත් ඒකට එබිලා බලනවා. පොතක් වුණත් එහෙමයි. අනිත් අය කියවන්නේ මොනවද කියලා හොයන එක නම් නරක පුරුද්දක්. තමන්ට පත්තරයක් මිලට ගැනීමට හැකියාවක් නැත්තම් පත්තරේ අයිතිකාරයා බලලා ඉවර වුණාට පස්සේ ඉල්ලගෙන බලන්නයි තියෙන්නෙ. මම දැකලා තියෙනවා මෙහෙම පිටු ඉල්ලගෙන බලන නිසා සමහර අය මුළු පත්තරේම පිටු ඉල්ලන කෙනාට දීලා නිකන් ඉන්නවා. අපි ඒ වගේ වෙලාවට හිතන්න ඕනේ තමන් ඒ වගෙ අවස්ථාවකට ලක් වුණොත් මොකද වෙන්නේ කියලා.

අනිත් අයට කරදරයක් වෙන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. අපි නොහිතන වෙලාවක අපි නොහිතන කෙනෙක්ට අපිව කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ඒ ගැන හිතන්න පුළුවන්නම් ඒක තමයි හොඳ.  

14 comments:

  1. සමහර කල්පනාව අඩු වැඩිහිටි උදවියට නම් සමාව දෙන්න පුලුවන්, ඒත් අද සමාජය ගත්තම මේවගේ දේවල් ලොකුම දේවල් නොවුනත්, ඒ පොඩි දේත් හදාගත්ත කෙනා තමා නියම පැවැත්මකින් ජීවත්වෙන්නෙ... මේ වගේ දෙයක් තරුණයන්/ තරුණියන් අතින් වුනොත් එයාලා ඊළග අවස්ථාවේ ඒක හදාගන්න ඕන? නැත්නම් යම් අවස්ථාවක එයාලටම ලැජ්ජාවට පත්වෙන්න වේවී?

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ වගේ පොඩි දේවල් ගැන පවා අපි හිතන්න ඕනේ.

      "මේ වගේ දෙයක් තරුණයන්/ තරුණියන් අතින් වුනොත් එයාලා ඊළග අවස්ථාවේ ඒක හදාගන්න ඕන. නැත්නම් යම් අවස්ථාවක එයාලටම ලැජ්ජාවට පත්වෙන්න වේවී"

      මේක නම් සහතික ඇත්ත!

      Delete
  2. ඔය බස් එහෙක කෝච්චියන යනකොට පොත් බලන උන්දලාට වෙන කරදර ගැන නදී අක්කත් දවසක් ලියලා තිබ්බා.
    මට මතකයි එක මනුස්සයෙක් දවසක් පත්තරයක් බලනවා අංශක 30ට විතර.. බැලින්නම් දෙපැත්තේ දෙන්නගෙන් බේරෙන්ඩ බැරිම තැනලූ එහෙම බලන්නේ !!

    ReplyDelete
    Replies
    1. අංශක 30කට? කොහොම බැලුවද දන්නේ නෑ පත්තරේ? බස් කෝච්චි වල යනකොට මේවා සාමාන්‍ය දේවල් වෙලා දැන්නම්.

      Delete
    2. හ්ම්... හෙන අමාරුවෙන් බැලුවේ...

      Delete
    3. නොබලා හිටියානම් හොඳයි කියලා හිතෙන්න ඇති.

      Delete
  3. කෝච්චියේ පොත් කියවනවා කිව්වම මතක් උනේ,ගිය සිකුරාදා ගාලු කුමාරි දුම්රියේ මම ගෙදර එනකොට එක ළඟ ශීට් 1ක එක කෙල්ලෙක් පොතක් කියවනවා අනෙක් කොල්ල හෑන්ඩ්ෆ්‍රී 1 ගහගෙන සින්දු අහනව.කොටුවෙන් පොඩි දරුවෙක් වඩාගෙන නගපු අම්ම කෙනෙක්ට ශීට් 1 දෙන්න වෙනවට මුන් මුන්ගේ ලෝක වල.එදා නම් මට ගොඩක් තරහා ගියා.ඒ මිනිස්සු පොත් වල කියවන්නේ කොහේ තියෙන ජීවිතයක් ද කියල හිතුන!
    පොස්ටුව ගැන කියනවනම් අපි අනුන්ට කරන ලොකුම උදව්ව තමයි ඔවුන්ට කරදරයක් නොවී ජීවත් වීම!
    වටිනා අදහස් ගොන්නක්!:)

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් අය බස් කෝච්චි වල ශීට් නම් දෙන්නේ නෑ කොච්චර අපහසුවෙන් ඉන්න කෙනෙක්ට වුණත්. සමහර අය ජීවත් වෙන්නේ මවා ගත්ත ලෝක වල.


      කාටවත් කරදරයක් නොවී ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.
      ස්තූතියි වටිනා ප්‍රතිචාරයට.... :)

      Delete
  4. ඔන්න අපිත් ආවා :)
    හැම මිනිහම අනිකට එක විදියක කරදරයක් තමයි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා!

      ඔව් ඔව්. එහෙම අවස්ථාවලුත් නැතුවම නෙවෙයි..

      Delete
  5. හ්ම්ම්..ඔයා හිතන දේ හරි යාලු..
    කාටත් කරදරයක් නොවී ඉන්න පුළුවන් නම් අන්න!එච්චරයි! :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ. කාටවත් කරදරයක් නැතුව ඉන්න අපි උත්සාහ කරමු. :)

      Delete
  6. අපේ හුගක් මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි අනේ මන්දා රට කවද හැදේද කියලා

    ReplyDelete
    Replies
    1. දැන් දැන් ඒක වැඩියි වගේ. රට හැදෙන්න නම් ගොඩක් කල් යාවි.

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......