Friday, September 14, 2012

කම්මැලි ද නැත්තම් නිදිමත ද?



වෙහෙසකාරි දවසක් අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම දේ තමයි සුවබර නින්දක් . හොඳ නින්දක් ලැබුවාම අපි අවදි වෙන්නේ ප්‍රබෝධමත් සිතකින්. ඒත් මේ නිදිමත සමහර වෙලාවල අපිට හරිම කරදරයක් වෙනවා. ඉඳලා ඉඳලා වැදගත් වැඩක් කරන්න පටන් ගත්ත ගමන් කොහේවත් නැති නිදිමතක් ඇවිත් ඒ වැඩේ අවුල් කරලා දානවා. ඔෆිස් එකේ වැදගත් මීටිමක් වෙලාවට නිදිමතක් ආවොත් එහෙම? ප්‍රධානියෝ ඔක්කොම  ඉන්න තැනකදි නොනවත්වා ඈනුම් යන්න පටන් ගත්තාම? ඒක ඔබේ රැකියාවටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ නිසා අනවශ්‍ය වෙලාවට එන නිදිමත පලවා හරින ක්‍රම ටිකක් තමයි අද ඔයාලට කියන්නේ.

*නිදිමත උදේම ඇවිත්!
ලක්ෂණ-: ඔබ නින්දට යන්නේ මධ්‍යම රාත්‍රියටත් කලින්. ඒත් උදේට නැගිටින්න හිතෙන්නෙම නෑ ඇඳටම ඇලිලා වගේ. නැගිටින්න වෙන්නේත් ඔලුවෙ කැක්කුමක් එහෙමත් නැත්තම් බෙල්ලේ අමාරුවක් අරන්.

කළ හැකි දේ-:

මෙහෙම දේවල් වෙන්නේ අපි ගොඩක් වෙලාවට නැගිටින්න සුදුසු වෙලාව තෝර ගන්නේ නැති  නිසා. මුළු රාත්‍රියේම අපිට එක විදියට නින්ද යන්නේ නෑ. නින්ද නැති කාල සීමාවක්, අඩ නින්දේ ඉන්න කාල සීමාවක් පහු කරලා අපි ගැඹුරු නින්දකට පිවිසෙනවා. මේ ගැඹුරු නින්දට පිවිසුන ගමන්ම එලාම් එක වැදුනොත් එහෙම? ගැඹුරු නින්දෙදි මොළය විවේක ගන්නවා. මේ වෙලාවේ අපි හදිස්සියේ නැගිට්ටොත් එහෙම මොළයට ඒ හදිසි තත්වයට අනුගත වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි උදේ නැගිට්ට ගමන්ම කම්මැලිකමක් නිදිමතක් දැනෙන්නේ. මේකට කරන්න පුළුවන් දේ තමයි ටිකක් වේලාසනින් නින්දට යන එක. නින්දට යනවා කියන්නේ ඇඳට යන එකට නෙවෙයි. ඇඳට ගිහින් බාහිර දේවල් ගැන හිතන එක නවත්තලා දාලා ජංගම දුරකථනය එහෙම පැත්තකින් තියලා ලයිට් එක ඕෆ් කරලා ඇස්දෙක පියාගෙන හිත එකඟ කර ගත්තාම නින්ද නිතැතින්ම ළඟාවෙනවා. මේ විදියට කලාම අපි ගැඹුරු නින්දේ ඉන්නේ මධ්‍යම රාත්‍රියේ දී. ඊට පස්සේ අඩ නින්දකට එනවනේ. ඒ කාල සීමාවේදී නැගිටින්න හිතාගෙන එලාම් එක සෙට් කරලා තිබ්බම වැඩේ ගොඩ. ප්‍රබෝධමත් විදියට නැගිටින්න පුළුවන්.

නැගිට්ටාම හිසේ කැක්කුමක්, හක්කේ හරි බෙල්ලේ අමාරුවක් හරි තියෙනවානම් ඒකට හේතුව තමයි නින්දේදි දත්මිටි කන එක. නින්දෙන් දත්මිටි කන එක නිසා ගැඹුරු  නින්දකට පිවිසෙන්න තිබෙන අවස්ථාවත් නැති වෙනවා. ඔබ යම් කිසි දෙයක් ගැන සිත් තැවුලෙන් ඉන්නවා නම් නොදැනීම නින්දේදි දත්මිටි කනවා වෙන්න පුළුවන්. මේකට නම් ඉතින් කරන්න තියෙන්නේ සිත් තැවුල නැති කරගන්න එක තමයි.

නැගිට්ටට පස්සේ මේ නිදිමත නැති කරගන්න විදියක් නැද්ද? මොකද ආයි නිදාගන්න කියලද? මෙහෙම් වෙලාවට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔබේ උදේ කෑම වේල ජනේලයක් අයිනට වෙලා පිටත බලමින් කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උදේ ඉර එළිය උදව්වක් වේවි ඔබේ නිදිමත නැති කරගන්න. ඒ වගේම කාර්යාලයට නැත්තම් පාසලට යන ගමනෙන් කොටසක් ඇවිදගෙන යන්න පුළුවන් නම් ඒකත් නිදිමත නැති කරන්න උදව්වක් වේවි. මිතුරෙක් හෝ අසල්වාසියෙක් සමග හිනාවෙලා කතා කරන්න. ඔබේ නිදිමත නැතිවේවි. හැකියාවක් තියෙනවනම් ඔබ ප්‍රිය කරන කෙනෙක්ගේ මූණ බලන්න උදේම. ප්‍රතිඵල දන්නවා ඇතිනේ හැමෝම.


දවල් කෑමෙන් පස්සේ එන නිදිමත-
ලක්ෂණ-: දවල් කෑමෙන් පස්සේ එනව නිදිමතක්. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හරියට පොඩි කෝමා තත්වයක් වගේ.


කළ හැකි දේ-:

මෙයට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ දිවා ආහාරයේ බර  වැඩි කම. මේ ගැන නම් මීට කලින් පෝස්ට් එකකිනුත් කියලා ඇති. බර වැඩි ආහාරයක් දිවා ආහාරය වශයෙන් ගත්තාම ජීර්ණය පහසු කරන්න ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම තාවකාලිකව වැඩි කරනවා. ඒ නිසා මොළයේ රුධිර සැපයුම සුළු වේලාවකට අඩු වෙනවා. මේ තමයි නිදිමතට හේතුව.

දිවා ආහාරයේ ප්‍රමාණය ටිකක් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මදි පාඩුවට පලතුරු ටිකක් කන්න. එහෙම නැත්තම් වාඩි වෙලාම ඉන්නෙ නැතුව ටිකක් ඇවිදලා එන්න. ඔෆිස් එක වටේ හරි කමක් නෑ. රසවත් පොතක කොටසක්, පුවත්පතක් එහෙම නැත්තම් බ්ලොග් එකක් හරි කමක් නෑ කියවන්න. හැබැයි තවත් නිදිමත වැඩි වෙන ජාතියේ ඒවා නම් කියවන්න එපා. පඩිපෙළක් නැගලා බහින්න. ඒකත් හොඳයි.

නැත්තම් ගේම් එකක් ගහන්න. ළඟ ඉන්න යාළුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මොකක් හරි වැඩකට එළියට යන්න වෙනවානම් ඒකත් මේ වෙලාවෙදි යොදාගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් දවල්ට හැදෙන නිදිමත අඩු කරගන්න පුළුවන්.

මේ මොකක් වත් හරියන්නේ නැත්තම් විනාඩි 5ක් විතර ඇස් පියාගෙන් ඉන්න. කාගෙවත් බාධාවක් නැතුව. ගෙදර නම් ඉන්නේ කරන්න වැඩකුත් නැත්තම් (මේ අපි වගේ) ටිකක් නිදාගන්න.

තවත් පොඩි දෙයක් කියන්නම්. හැම වෙලාවෙම ශරීරයට අවම වෙහෙසක් දෙන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මේ නිසාත් කම්මැලිකමට ශරීරය හුරු වෙනවාලු. ඒ නිසා එදිනෙදා වැඩ වලදි පොඩ්ඩක් ඇඟ මහන්සි කරවන්න. එතකොට නිදිමත නිකන්ම ඇරිලා යයි.

පෝස්ට් එක ටිකක් දිග වැඩියි වගේ, ඒ නිසා ඉතිරි කොටස වෙන පෝස්ට් එකකින් දාන්නම්. එතකන් කියලා තියෙන දේවල් අත්හදා බලන්නකෝ. 


පින්තූර ගූගල් වෙතින්

22 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්,

    මට නම් දිවා ආහාරයට පස්සෙ නිදිමතක් එන්නෙ.. ඒත් ඒක වැඩ අඩු දවස් වල තමයි. ඒක නරක දෙයක්ද?

    නිදිමත ඉතින් නැතිවත් බැරි දෙයක්, ඒ ගැනත් පුලුවන්නම් ලියන්න. සමහර අයට නිදිමත එන්නෙම නැහැ. සමහර අයට ගොඩක් අඩුවෙන් නින්ද යන්නෙ.

    ඒකටනම් දවසක් රූපවාහිනියෙ ආයුර්වේද වෙදමහත්මියක් කියනවා මට ඇහුන, නිදිකුම්බා වර්ගයක් තම්බලා බොන්න කියල....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..

      දිවා ආහාරයට පස්සේ නිදිමතක් එන එක නරක දෙයක් නම් නෙවෙයි. ඒත් ඒ නිසා වැඩ පාඩු වෙනවානම් ඒක තමයි නරක දේ.

      නින්ද නොයාම ගැනත් ලියන්න හිතන් ඉන්නවා. තවත් විස්තර ටිකක් එකතු කරගෙනම ඒ ගැන ලියන්නම්කෝ.

      නිදිකුම්බා වර්ගයක්?? ඒ ගැන නම් හොයලා බලන්න ඕනේ.

      Delete
  2. හම්මෝ.. රෑ නිදියගෙන උදේ නැගිටින එක තමයි මං පනුච්චිට තියෙන ලොකුම ප්‍රශ්නේ.. දවල්ට නම් නිදියන්නෙම නෑ ලෙඩක් හැදුනොත් මිසක්...
    හ්ම්ම්ම්.. අදයි මේ පැත්තේ ආවේ.. ආයිත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා!

      උදේට නැගිටින්න නම් මමත් ආසම නෑ. ඒත් ඉතින් මොනව කරන්නද? එස්. බී මාමාගේ පිහිටෙන් දැන් නම් දවල් වෙනකල් නිදාගන්න පුළුවන්.

      ආයෙමත් මේ පැත්තේ එන්නකෝ.

      Delete
  3. මං ගෙදර ඉන්නවා නම් දවල් කෑවට පස්සේ අනිවාර්යෙන්ම නිදාගන්ඩ ඕනා. කාලා අතහෝදලා ටික වෙලාවකින් නිදාගන්නවා. ඔය සීන් එක හන්දා අපේ අම්මා නොසෑහෙන්ඩ කෑ ගහන වෙලාවලුත් නැතුවම නෙමෙයි.

    සමහර දවස් තියෙනවා දවස පුරාම නිදියන.. :)

    ReplyDelete
    Replies
    1. ගෙදර දි නම් කොහොමහරි නිදාගන්නවා. ඒත් ලෙක්චර්ස් වලදි තමයි ඉවසන්න බැරි.

      දවස පුරාම නිදියනවද? එතකොට නැගිට්ටාම නිකන් හොල්මන් වෙලා වගේ නේද? උදේද හවසද කියලාවත් හිතාගන්න බෑ.

      Delete
    2. එතකොට ඔරලෝසුව බලලා තමයි අවුල ලිහා ගන්නේ. :)

      Delete
    3. මයේ හිතේ මම අවුරුදු පහකින්වත් දවාලක නිදාගන නැ

      Delete
    4. දවල්ට නිදා ගන්නේ නැත්තම් හොඳයිනේ. :)

      Delete
  4. දවල් කෑමෙන් පස්සෙනම් සැහෙන්න සැරට නින්දිමත එනවා!ඒත් මම නම් දවල්ට නිදාගන්නවා අඩුයි!අසනීපයක් එහෙම හැදුනොත් මිස!
    රෑට නම් හැමදාම වගේ නිදාගන්නේ මද්යම රාත්‍රියත් පහුවෙලා නිසා උදේ පාන්දරට ඔය කියන සංසිද්ධිය හැමදාම වගේ මුහුණ දෙනවා!:)

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුනේ. අද තමයි දැක්කේ. සමාවෙන්න.

      දවල්ට නිදාගන්නේ නැත්තම් හොඳයිනේ. රෑටත් ටිකක් කලින් නිදාගන්නවානම් එහෙම වෙන්නේ නැති වෙයි. විශේෂයෙන්ම උදේ පාන්දරම නැගිටින්න තියනවානම් ටිකක් කලින් නිදාගන්න උත්සාහ කරන්න. එතකොට උදේට නැගිටින එක ලේසි වෙයි.

      Delete
  5. වැදගත් ලිපියක්.
    මම නම් ටියුෂන් ගියාම නිතරම ඈනුම් යනවා.ඒත් නිදිමතකුත් නෑ.කාලත් ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙත් ඈනුම් යනවා.ගෙදර ඉද්දි නම් ඒ මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      නිදිමත නැතුව ඈනුම් යන ලෙඩේ නම් මටත් තියෙනවා. ටියුෂන් ක්ලාස් වලදි නම් හොඳට බයිට් වෙලාත් තියෙනවා ඈනුම් ඇරලා.

      Delete
  6. වැදගත් ලිපියක්

    ReplyDelete
  7. හ්ම්ම්..හොඳ ලිපියක්,මට නම් රෑට නින්ද යන්නේ නැහැ දවල්ටයි නින්ද යන්නේ .. අනේ මන්ද..එතකොට කරන වැඩත් ෆිට් එකක් නැහැ වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      ශරීරය හුරු වෙලා තියෙන පිළිවෙළක් තියෙනවා. හුරු නැති වෙලාවකට නිදාගත්තාම ඒ පිළිවෙල අවුල් වෙනවා. ඒ නිසා තමයි ෆිට් එකක් නැති වෙන්නේ.
      හැමදාම එකම වෙලාවට නිදාගත්තාම එහෙම වෙන්නේ නෑ.

      Delete
  8. //මේ ගැඹුරු නින්දට පිවිසුන ගමන්ම එලාම් එක වැදුනොත් එහෙම? //

    හෆොයි..! මේ වෙලාවට තමයි ඉතින් එලාම් එකට තටු ලැබෙන්නෙ.. :D

    වැදගත් ලිපියක්.. ස්තූතියි සිතූ.. :)

    ReplyDelete
    Replies
    1. එලාම් එකත් වදින්නේ අපිට ඕනේ නැති වෙලාවටම තමයි..

      මේ පැත්තේ ආවට ස්තූතියි... ආයෙමත් එන්න. :)

      Delete
  9. මටත් නින්ද යන්නේ උදේටමයි..නැගිටින්න පුදුම කම්මැලිකමක් තියෙන්නේ..!එත් ඉතින් වේලාසනින් නිදාගන්නේ නැහැ අප්පා..
    :(

    ReplyDelete
    Replies
    1. ටිකක් හරි වේලාසනින් නිදාගන්න උත්සහ කරලා බලන්නකෝ... උදේට නින්ද යන එක ටිකක් හරි අඩු වෙයි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......