Tuesday, September 25, 2012

පොත් සල්පිල හා තවත් කතා



කලින් පෝස්ට් එකේ දෙවනි කොටස දාන්නත් තියනවා. ඒත් පොත් සල්පිල හෙටින් ඉවර වෙනවනෙ. ඒ නිසා ඒක ගැන ලියන්නයි හිතුවෙ.


පොත් සල්පිල ගැන මගේ මතකය නම් ගොඩක් ඈතට දිව යන එකක්. අපි පොත් සල්පිලට යන්න පටන් ගත්තේ කොයි කාලේද කියලා හරියටම මතක නැති වුණත් අපි මතක ඇති කාලෙක පටන්ම පොත් සල්පිලට යනවා කියලා නම් මතකයි. ගොඩක් වෙලාවට අපි නම් යන්නේ පටන් ගන්නම දවසෙ. එදාට වැඩිය සෙනග නැති නිසා පොත් තෝරගන්න ලේසියි. හැම් සැරේම වගේ පොත් සල්පිල ආරම්භ කරන්නේ සෙනසුරාදා දවසක නිසා එහෙම යන්න පුළුවන් වුණා. ඒත් මේ සැරේ පටන් ගත්තේ අඟහරුවාදා දවසක. අපි ඉතින් මේ දවස්වල ගෙදරනේ කැම්පස් වහලා නිසා. ඒ නිසා මේ සැරේත් පටන් ගන්න දවසේ යන්න පුළුවන් වුණා.


මීට අමතරව අපි පොත් සල්පිලේ අන්තිම් දවසට හරි ඊට කලින් දවසෙ හරි යන්නත් පුරුදු වෙලා ඉන්නවා වෙලාවක් තිබුනොත්. ඒ නම් යන්නේ පාවිච්චි කරපු පොත් එහෙම් නැත්තම් බාගේන් බුක්ස් ගන්න. අපි තවම යැපෙන්නේ ගෙදරින්. පොත් ගන්න කියලා එහෙමටම ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි. අධ්‍යාපනික පොත් පත් වලටත් සෑහෙන ගානක් වියදම් වෙනවනේ. කොච්චර පොත් ගත්තත් අපි දෙන්නා සතියක් යනකොට ඒ ඔක්කොම කියවලා ඉවරයි. ඒ නිසා කොච්චර පොත් ගත්තත් මදි. ඒ නිසා අපි බාගේන් පොත් තියන පැත්තේ ගැවසෙනවා වැඩියි.


පොත් සල්පිල ගැන් ලියවුණු ලිපි කිහිපයක්ම කියෙව්වා මම. වට්ටම් නම් අඩුයි මේ සැරේ. විජේසූරිය එකට එහෙම කිට්ටු කරන්නවත් බෑ. ඒත් කොහොම කොහොම හරි හිතේ තිබුණ පොත් ඔක්කොම වගේ ගන්න පුළුවන් වුණා. හිතාගෙන හිටපු පොත් වලින් ගන්න බැරි වුණේ සිටුවර පුවත හා තුන් තකතීරු කම් කරපු කෙනෙක් මං කියන පොත් දෙක විතරයි. හෙටත් යන්න හිතන් ඉන්න නිසා ඒ පොත් දෙකත් ගන්න බලාපොරොත්තු වෙනවා.


පාවිච්චි කරපු පොත් පත් විකුණන කඩවල් හෙවත් බාගේන් බුක් ෂොප්ස් ගැන තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සැරේ බාගේන් බුක් ෂොප්ස් නම් හරිම අඩුයි. ”කේ” ශාලාවේ කඩවල් කිහිපයක් සහ “ජේ” ශාලාවේ කඩවල් කිහිපයක් තමයි තිබුණේ. කලින් තිබුණු පොත් සල්පිල් එක්ක බලනකොට මේ හරිම අඩු සංඛ්‍යාවක්. ගිය පාර නම් තනිකරම ශාලාවක් තිබුණා. ඒ වගේම මෙහි තිබුණ පාවිච්චි කරපු පොත් වලත් අඩුවක් තමයි තිබුණේ. ඒවගේ මිලත් කියන්න තරම් අඩුවක් තිබුණේ නෑ.


මේ පොත් පාවිච්චි කරපු ඒවාම වෙන්න ඕනේත් නෑ. මුද්‍රණ දෝෂ තියන පොත්, සුළු සුළු හානි වෙලා තියන පොත් වගේ විව්ධ පොත් පත් මේ කඩවල් වල තියනවා. අපිට නම් මේ කඩවල් වලින් බොහොම වටිනා පොත් පත් බොහෝම අඩු මිලකට හම්බ වෙලා තියනවා. දැනට මුද්‍රණයේ නැති පොත් පත් වගේම බොහෝම පැරණි පොත්පත් මේ කඩවල් වලින් මිලට ගන්න පුළුවන්. හැබයි ඉතින් ටිකක් මහන්සි වෙලා හොයන්න ඕනේ මේ පොත් පත් හොයාගන්න.


ලංකාවේ නමගිය පොත් සාප්පු වලින් මේ පොත් විකුණන්න ස්ටෝල්ස් කරනවා. ඒ එයාලගේ පොත් සාප්පු වලින් ඉවත් කරන පොත්  පත් සඳහා. ඒ වගේම ප්‍රධාන ලෙසම පාවිච්චි කරපු පොත්පත් විකුණන කඩවල් පවා තියනවා. මේ දෙගොල්ලන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඉන්නවා. ඒත් මෙවර නම් මට සතුටු විය හැකි මට්ටමට මෙවැනි පොත් තිබුණේ නෑ. පොත් ප්‍රමාණ ය වගේම හොඳ පොත් අඩුයි මෙවර. මීට මාස 3කට පමණ පෙර පාවිච්චි කළ පොත් පත් සල්පිලක් පැවැත්වුණා කොළඹ මහජන පුස්තකාලයේ. එහි නම් හොඳ පොත් පත් තිබුණා. එය සංවිධානය කරලා තිබුණේ සරසවි පොත්හල මගින්. එහිදී නම් වටිනාකම රුපියල් 5000ක් පමණ වෙන පොත් රුපියල් 1000කට පමණ මිලට ගැනීමට හැකිවුණා. එය නම් වටිනා අවස්ථාවක්.


මොනවා වුණත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ හොඳ ප්‍රවණතාවයක්. ලංකාවේ ගොඩක් දෙනෙක් ට පොත පත මිලට ගන්නට ලැබෙණ වටිනා අව්ස්ථාවක්. දැන් එය සංස්කෘතික අංගයක් තරම්ම ජනතාව අතරට ගිහින්. පොත් ගන්න, යාළුවෝ එක්ක විනෝද වෙන්න, මැගී කන්න ගොඩක් දෙනෙක් පොත් සල්පිලට යනවා. මේ නිසා පොත් පත් වලට ආදරය කරන අයට වගේම අනිත් හැමෝටම මේ ඉතාම වැදගත් අවස්ථාවක්. හැබැයි ඉතින් විලාසිතාවට යන්නන් වාලේ ගිහින් පොත් අරගෙන වැඩක් නෑ. ගන්න පොත් කියවන්න ඕනේ. මම දන්න පවුලක් ඉන්නවා ගිය සැරේ පොත් සල්පිලට ගිහින් පොත් ගොඩක් ගත්තා. ඒත් තවම ඒවා තිබ්බ තැනමයි ලු. ඒවගේ නම් ඉතින් වැඩක් නෑ. තමන් කියවන්නේ නැත්තම් කියවන කෙනෙක්ට හරි ඒකෙන් ප්‍රයෝජනයක්  ගන්න දෙන්න.


තාමත් ඔයාලා පොත් ප්‍රදර්ශනේට ගියේ නැද්ද? හෙට වෙනකන් අවස්ථාව තියනවා. හොඳ පොතක් කියන්නේ හරියට හොඳ යාළුවෙක් වගේ. ඉතින් ඔයාලාටත් හොඳ යාළුවෝ ටිකක් වගේම හොඳ පොත් ටිකකුත් ජීවිතේට එකතු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 

20 comments:

  1. අපිත් පටන් ගත්තු දවසේ ම ගියා.. එදා නම් bargain එකේ හොඳ පොත් තිබුනේ ම නැති තරම්. රුපියල් 550කට බොහොමයක් stalls වල විකිණීමට තබා තිබුණු පොතක් රුපියල් 40කට ගන්න නම් හැකියාව ලැබුණා.
    ඊට පස්සේ ඊයෙත් ගියා. ඇත්තට ම ගිය පාරට වඩා bargain පොත් නම් බොහොම අඩු ප්‍රමාණයක් තිබුණේ. ගාල්ල වගේ දුර බැහැර ඉඳලා, පොත් සල්පිලට ඇවිත් පොත් ගනිද්දී අඩු ගානේ බස් එකට වියදම් කළ මුදලට පාඩුවක් නොවෙන්න පොත් ගන්න ඕන නේ. මේ පාර නම් සාපේක්ෂව වට්ටම් බොහොම අඩුයි. ලබන පාර වත් යම් වෙනසක් වෙයි කියලා හිතනවා! :)
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

      වට්ටම් නම් බොහෝම අඩුයි තමයි. අඩුම ගානේ ස්වීය ප්‍රකාශන වලට වත් 30%ක වත් වට්ටමක් දෙන්න තිබුණා. bargain stalls වල නම් හොඳ පොත් ඉතාම අඩුවෙන් තමයි තිබුණේ. ඉගෙනීම් කටයුතු වලට අවශ්‍ය පොත් ටිකක් ගන්න ගියත් සමහර ඒවා තිබුණේ නෑ. තිබුණ ඒවගෙත් ගණන් හොඳටම වැඩියි. බස් ගාස්තු වලටත් පාඩුයි තමයි.
      මමත් ලබන පාර යම් වෙනසක් වෙයි කියලා හිතනවා.

      Delete
  2. රැංගෝ කියපු කතාව ඇත්ත. පොත් වලට දීලා තියෙන වට්ටම මදි.
    ඊලඟ අවුරුද්ද වෙනකොට ඒ වට්ටමත් අඩු වෙලා යයිද මන්දා !

    ReplyDelete
    Replies
    1. ඊළඟ අවුරුද්ද වෙනකොට නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. මොනව වුණත් පාඩුව අපිටම තමයි.

      Delete
    2. ගත්ත පොත් මොනවද කියලා දැම්මා නම් හොදයි වගේ.
      ඊලඟ අවුරුද්දේ ලිස්ට් එකට හරි එහෙමත් නැත්නම් ඊලඟ මාසේ ගන්න ඉන්න පොත තෝරගන්න පහසුවක් වේවි :)

      Delete
    3. මම නම් ඒ හැටි පොත් ගොඩක් ගත්තේ නෑ. බිඳුනු බිළින්දා, මර උගුල වගේ පොත් තමයි ගත්තේ. ඉගෙනීම් කටයුතු වලට ඕනේ වෙන පොත් තමයි වැඩිපුර ගත්තේ.

      Delete
    4. මර උගුල මාත් ගත්තා.
      සිතුවිලි සිතු තාම ඉගෙන ගන්න කෙනෙක් දෑ.. අදමයි දන්නේ. :)

      Delete
    5. ඔව් ඔව්. තාම ඉගෙන ගන්නවානේ. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ. :)

      Delete
    6. ඒ කියන්නේ සෑහෙන පුංචි ගෑල්ලමයෙක් නෙව... :)

      Delete
    7. හ්ම්ම් හ්ම්ම්. තව කොච්චර කල් ෆස්ට් ඉයර් ඉන්න වෙයිද දන්නේ නෑ.

      Delete
  3. අපිත් ගියා දවස් දෙකකට විතර පස්සේ... :)

    ReplyDelete
    Replies
    1. මම දැනටම දවස් 3ක් ගියා. ඔයාලාව දකින්නත් ඇති... :)

      Delete
    2. පනුයි මායි එකට තමා ගියේ හී හී :)

      Delete
    3. අයියෝ! එහෙනම් දකින්නම ඇති.. ඒත් කොහෙද ඉතින් කලින් දැකල තියෙන එකක්යැයි අඳුරගන්න. :)

      Delete
  4. බාගෙන් ස්ටෝල්ස් වල ඇත්තටම මහ ලොකු අඩුවක් තිබුනේ නැ.. නොතිබ්බාම නෙවෙයි.. ඒත් වෙන සැර වලට වඩා ගාන වැඩි කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      මට දැණුනු විදියට නම් ස්ටෝල් ගණන අඩුයි. ගානත් වැඩියි. අද නම් ගාන ටිකක් අඩුවට තිබුණා. හෙට මීටත් වඩා අඩුවෙයි.

      Delete
  5. බාගෙන් ස්ටෝල් නම් තිබුනෙම නැති තරම්.මේ පාර ගොඩගේ එකෙන්වත් තිබ්බේ නෑනේ !
    වට්ටම් නම් සැහෙන්න මදි.පොතක් ප්‍රකාශනය කල සමගම ම ඒ පොහට 20%ක වට්ටමක් දෙන 1 අසාධාරණයි!30%ක්වත් දුන්නනම් වටිනවා!

    ReplyDelete
    Replies
    1. ගොඩගේ එකෙන් බාගේන් ස්ටෝල් එකක් තිබුනේ නැති එකට මගෙ හිතටත් ගොඩක් අමාරුයි. වෙනදට ඒකෙන් ගොඩක් පොත් ගන්නවා. මරදානේ ගොඩගේ පොත් මැදුරේ 50% වට්ටමක් දෙනවා කියලා ආරංචියක් ලැබුණා. එහෙට වත් ගිහින් බලන්න ඕනේ.

      Delete
  6. මමත් පොත් ගත්තා එත් සල්පිලෙන්නම් නෙමේ. සල්පිල අද ෆැෂන් එකක් වෙලා.

    ReplyDelete
    Replies
    1. සල්පිල නම් ෆැෂන් එකක් වෙලා තමයි. ඒත් ඒ නිසා කියවීමට පිරිස නැඹුරු වෙන එක ගැන නම් සතුටුයි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......