Saturday, September 29, 2012

“ඕන වෙනකොට ළඟට ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි”



මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක්. පණ දෙන්න වගේ ළඟින් ඉන්න මිනිස්සු වෙනස් වෙන්න යන්නේ තත්පර 10කටත් අඩු කාලයක්.  යහපත් මිනිස්සු මේ ලෝකේ ඉන්නේ කොච්චර අඩුවෙන්ද? එහෙම නැත්තම් මට තවම යහපත් මිනිස්සු මුණ ගැහිලා නැද්ද? 100% හොඳ මිනිස්සු නම් අපි අතරේ නැහැනේ. ඒත් අඩුම ගානේ තවත් කෙනෙක් ගැන හිතන්න පුළුවන් කීයෙන් කී දෙනාද අපි අතරෙ ඉන්නේ?

අපිට මුණ ගැසෙන හැම කෙනාම අපිට කැමති වෙන්නේ නෑ. කිසිම හේතුවක් නැතුව අපි සමහර පුද්ගලයන්ව අප්‍රිය කරනවා නේද? අපිවත් ඒ වගේ අප්‍රිය කරන මිනිස්සු කී දෙනෙක් මේ ලෝකෙ ඇත්ද? සමහර අය නම් පණ දෙන්න වගේ කතාව. ඒත් අපිට කරදරයක් වුණ වෙලාවට පැත්තවත් බලන්නේ නෑ. මම හොඳින්ම අත්විඳලා තියන දෙයක් තමයි සමහර අයට උදව්වක් ඕනේ වුණාම කරන වර්ණනා කිරිල්ල. මටවත් හිතාගන්න බෑ මේ කියන්නේ මම ගැනද කියලා. එච්චරට මම හොඳයිලු. හැමෝටම උදව් කරනවාලු. ඒත් ඒ හැම දෙයක්ම උදව්වක් ගන්නකල් විතරයි. ඊට පස්සේ පැත්තවත් බලන්නේ නෑ.

අද හැම දෙයක්ම මිල මුදල්, සමාජ තත්වය මත පදනම් වෙලා. අපේ උසස් පෙළ පන්තියේදි රසායන විද්‍යා ගුරුතුමිය කිව්ව දෙයක් තමයි දැන් අපිට ජීවිතේ මුණගැහෙන හොඳම යාළුවෝ ටික මුණගැහිලා ඉවරයි කියන එක. පාසලේදි අපි ගොඩක් වෙලාවට යාළු මිත්‍රකම් ඇතිකරගනිද්දි ඔය වත් පොහොසත්කම් එහෙම බලන්නේ නෑනේ. ඒ වුණත් එහෙම බලපාපු අවස්ථා නැත්තේමත් නෑ. ඒ ගැන ඕනේතරම් අත්දැකීම් ඇති ප්‍රසිද්ධ යැයි සම්මත පාසල් වල අයට. ඒත් මම හිතන විදියට පිරිමි ළමයි අතර ඒ වගේ ඒ වගේ භේද නෑ කියන එක. මම ගියේ බාලිකා පාසලකට. එහෙ නම් ඕනේ තරම් ඔය භේද තිබුණා.

සාමාන්‍ය දවස්වලට උන්නද මළාද කියලා හොයලා බලන්නේ නැති සමහරුන්ට උදව්වක් ඕනේ වෙන වෙලාවල් තමයි බලන්න වටින්නේ. එතකොට කියන්නේ මම කීප දවසක් ඔයාගේ ලෑන්ඩ් ෆෝන් එකට ට්ර්යි කළා. ඒත් ආන්සර් කලේ නෑනේ කියලා. මට ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට ඉතින් ආ කවුරුවත් ගෙදර ඉන්න නැතුව ඇති කියලා ෂේප් වෙනවා. උදව්ව කළාට පස්සේ මිසින් ඉන් ඇක්ෂන්. අපි උදව්වක් කරන්නේ ආපහු උදව්වක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. කරපු උදව් ගැන තැන තැන කියවන එකත් හොඳ නෑ තමයි. ඒත් එහෙම උදව් කරපු පස්සේ මූණට හම්බුණත් අහක බලාගෙන යනකොට නම් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.

අපේ උසස් පෙළ පන්තියේ හිටියා ළමයි දෙන්නෙක්. මෙයාලා අඹ යාළුවො නොවුණත් සෑහෙන කිට්ටුවෙන් ආශ්‍රය කළා. එක්කෙනෙක් ශිෂ්‍ය නායිකාවක්. එයාලාට ඉතින් නිතරම වැඩ නේ. පන්තියේ නෑ කොයි වෙලාවකවත්. ඒ නිසා වැඩ බොහොමයක් අතපසු වුණා. ටියුෂන් පන්තිත් සෑහෙන අතපසු වුණා. එයාලා දෙන්නම් ගියේ එකම ටියුෂන් පන්තියකට. ඉතින් ඇයට අතපසු වෙන සටහන් යෙහෙළිය තමයි ලියලා දුන්නේ. උසස් පෙළ විභාගයට ආසන්නතම කාලයේදී (මැයි මාසයේ විතර) අතපසු වුණ සටහන් සම්පූර්ණ කරගන්න කියලා ඇය යෙහෙළියගේ ජීව විද්‍යා විෂයේ සටහන් ටික ඉල්ල ගත්තා. දන්නවනේ ඉතින් සටහන් ටික කිව්වට සටහන් වල තරම? අවුරුදු 2  1/2ක සටහන් නේ. ඊට සති 2කට විතර පස්සේ මෙන්න ඇය කියනවා සටහන් ටික ඇය අතින් නැති වුණා කියලා. අර යෙහෙළිය පත්වුණ අපහසුතාව වචනයෙන් විස්තර කරන්න බෑ. විභාගයට මාස 2යි. සටහන් අතුරුදන්. වෙනත් අයෙකුගෙන් ලියපු සටහන් ෆොටෝ කොපි කරගත්තත් තමන්ගේ සටහන් තරම් ඒවා හරියන්නේ නෑනේ. සටහන් ඉල්ලාගත් කෙනා මෙයාගේ මූණවත් බලන්නේ නෑලු. දකින කොට මගහැරලා යනවලු. ඒ දවස්වල ඉස්කෝලේ එන්නෙත් නෑනේ. කොහොමහරි දෙන්නම උසස් පෙළ සමත් වුණා. දැන් අර ශිෂ්‍ය නායක යෙහෙළිය රැකියාවක් කරනවා. අනිත් යෙහෙළිය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උපාධිය හදාරනවා.

අපි යාළුවෝ කියලා හිතාගෙන ඉන්න අයත් ඔහොම නම් අනිත් අය ගැන කවර කතා ද? මේ සිද්ධියෙන් අපි නම් හොඳ පාඩමක් ඉගෙනගත්තා. ඒත් ඒ අයට කවදාවත් ඒක අමතක වෙන එකක් නෑ නේද? එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඒ නිසා තමයි. මේ ලෝකේ අපි හිතන තරම් ලස්සන තැනක් නෙවෙයි. පරිස්සම් වෙන එක කාටත් හොඳයි. මොකද මිතුරු වෙසින් එන මේවගේ අය අපි ළඟම ඉන්න පුළුවන් නිසා.

පින්තූරය ගූගල් වෙතින්...

16 comments:

  1. මොකක්හරි වෙලා වගේ !:p
    ඒක පාරටම මේ වගේ දෙයක් ලියන්න හිතුනේ!
    ඒත් සම්පූර්ණ ඇත්ත!සමහර වෙලාවට මේ ගැන හිතීම පවා මාර වේදනාකාරියි!එච්චරට වින්දවල තියෙනවා යාලුවෝ නිසා!:-/

    ReplyDelete
    Replies
    1. හේතුවක් නැත්තේමත් නෑ කියමුකෝ.
      යාළුවෝ කියාගන්න අය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. සැබෑ යාළුවෝ නම් එහෙම නෑනේ කවදාවත්.

      Delete
  2. තමන් හිසට තම අතමය සෙවණැල්ල කියල කියමනක් තියෙන්නේ ඕකනේ දරුවෝ.කොහොමත් ඇත්තදේ ලස්සනට ලියලා තියනවා. අනුන් ගැන විශ්වාසය තබනවට වඩා වටින්නේ තමන් ගැන විශ්වාසයක් තබා ගැනීමයි.
    හොඳම යාලුවෝ හම්බවෙන්නේ ඉස්කෝලෙදී කියන කතාව බොහොම වැදගත් කතාවක්.මං ගියේ පිරිම් පාසලකට ඇත්තටම කොල්ලෝ යාලුකම් පැවැත්තුවේ වත්කම් තත්ත්වය ආදිය බලල නෙමේ. ඒක නම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. "අනුන් ගැන විශ්වාසය තබනවට වඩා වටින්නේ තමන් ගැන විශ්වාසයක් තබා ගැනීමයි."
      මේ නම් සහතික ඇත්ත! බාලිකා පාසල් වලත් හැමෝම එහෙම නෙවෙයි. සමහර අය ගැනයි කිව්වේ.

      Delete
  3. හිස් අතින් ආ ගමන හිස් අතින් යා යුතුය, සංසාර සංචාරයේ..

    ‍මේක ඒකාන්ගික ටෙලියක තේමා ගීතයක්.

    කල්‍යාණ මිත්‍ර සම්පත්ති ලබන්න ගොඩාක් පින් කරල තියෙන්න ඕන. එහෙමයි මම විශ්වාස කරන බුදු දහමෙ බුදු හාමුදුරුවො කියල තියෙන්න.

    ReplyDelete
    Replies
    1. කවදාහරි යන්න වෙන්නේ හිස් අතින් තමයි!

      කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. මිතුරු වෙසින් එන සතුරන් ගැනත් දැනගන්න ඕනේ.

      Delete
  4. ඇත්ත සිතූ. කොච්චර ළගින් හිටියත් අපිට නරකක් කරන අය වැඩී. කලාතුරකින් ගොඩාක් හොද අය ඉන්නවා. අපේ අම්මලා තාත්තලා ඒ වගේ අයට උදාහරණ. :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලා තාත්තලා තරම් අපිට හොඳක් කරන කවුරුවත් නෑ තමයි. හුඟක් ළඟින් ඉඳලත් අපිට නරකක් කරන අය ඕනේ තරම්.

      Delete
  5. මොකක් හරි හේතුවක් නිසාද ලිවේ කියලා අහන්න මම මේ පැත්ත ගැන නම් දන්නේ නැනේ.... අද මුලින්ම ආවේ... සමහර වෙලාවට නම් ඔහොම තම.. එත් හොද අය නැතුවමත් නම් නෙමේ.....
    ජය වේවා.....
    ප්‍රශ්නයක් නම් ඉක්මනින්ම විසදෙන්න කියලත් පතනවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට!
      හොඳ අය නම් ඉන්නවා. ඒත් හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක්ගෙන් නරකක් වුණාම ඒක දැනෙනවා වැඩියි!
      ස්තූතියි ප්‍රතිචාරයට!
      ඉඩ තියෙන වෙලාවක ආයෙත් එන්න!

      Delete
  6. අනිවා.තමන්ගේ යහපත පිණිසිම කටයුතු කරන අය තමා ඉන්නේ.කණගාටුයි මටත් තාම හමුවෙලා නෑ පරාර්ථකාම් කෙනෙක්.මගේ අම්මයි තාත්තයි හැරෙන්න.

    අනික යාළුවෝ.මං නම් උන් තඹ සතයකට ගණන් ගන්නේ නෑ.මොකද උන් තමා අපිට කෙළවන ලොකුම අනතුර.උන් අපේන් උදව් අරන් හදිසියකට අපිට උදව්වක් කරන්නේ නෑ.මම නම් කොයි යාළුවත් ආශ්‍රය කරන්නේ අතේ දුරින්.හොද පාඩම් මාත් ඉගෙන ගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට ගොඩක් පාඩම් ඉගෙන ගන්න ලැබෙන්නේ ලොකුම ලොකු පාඩුවකුත් එක්ක. ඒක තමයි වෙන අවුල.

      හොඳ යාළුවෝ නැතුවමත් නෙවෙයි.

      //මම නම් කොයි යාළුවත් ආශ්‍රය කරන්නේ අතේ දුරින්.//
      මම හිතන්නේ ඒ තමයි හොඳම දේ!

      Delete
  7. අනේ මන්ද.................
    හැමදේම අපේ හිත් නිසා..
    කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්නේ නැතුව තමාට තමා විතරමයි කියල හිටියනම් හරි......

    ජය!

    ReplyDelete
    Replies
    1. කවදාහරි තමන්ට ඉතුරු වෙන්නේ තමන්වම විතරයි.. ඕනෙවට වඩා බැඳීම් ඇති කර ගත්තාම තමයි ඔක්කොම.

      ජය!

      Delete
  8. හ්ම්ම්ම් අම්මෝ මං පනුච්චි බයම වචනේ තමයි යාළුවො... තනිව විසීම තරම් සුරක්ෂිත දෙයක් නෑ තවත්... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. යාළුවො ඇතුවත් බෑ නැතුවත් බෑ නේ. තනිව විසිම සුරක්ෂිතයි තමයි. ඒත් මිනිසා කියන්නේ සමාජශීලි සත්වයෙක්නේ.
      ජය වේවා!!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......