Tuesday, October 16, 2012

ඔබ....


විටෙක 

සිත රිදවන 
නෙතු හඞවන 
නපුරු වී රුදු 
වදන් තෙපලන....  

තවත් විටෙක 

මිහිරි තෙපුලක් 
කනට මුමුණන 
යලි යලිත් මට 
සිනහ කැන්දන.... 


ෆෝන් එකක් නිසා වෙච්ච දෙයක්...


ෆෝන් එකක් එහෙම නැත්තම් ජංගම දුරකථනයක් කියන්නේ අද අපි කාටත් නැතුව බැරි දෙයක්. අද බැලුවොත් පුංචි ළමයෙක්ගේ ඉදන් වැඩිහිටි කෙනෙක් දක්වා හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තියනවා. කොටින්ම කිව්වොත් ජංගම දුරකථනයක් කියන්නේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. මේ ජංගම දුරකථන නිසා අපේ වැඩ පහසු වුනත් සමහරුන්ට නම් නොසිතූ කරදර වලට මුහුණ දෙන්න වෙලා තියනවා.

අපේ නැදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. මෙයාට තවම අවුරුදු 16යි. ඉතින් ඒ වයසේ හැමෝටම වගේ දැන් ජංගම දුරකථනයක් තියනවනේ. ඉතින් මෙයාටත් ඕනේ වුණා ෆෝන් එකක් ගන්න. කොහොමහරි ගෙදරට කරදර කරලා ෆෝන් එකක් අරන්. ටික කාලෙකට පස්සේ මෙයාට සල්ලි හදිස්සියක් ඇවිත්. ගෙදරින් ඉල්ලන්නත් බෑලු. කොහොමහරි සල්ලි ඕනේ වුණ හේතුව නම් දන්නේ නෑ. ඉතින් මෙයා යාලුවෙකුගේ මාර්ගයෙන් ෆෝන් එක විකුණලා. යාළුවා තමයිලු ෆෝන් එක විකුණලා දුන්නේ. මෙයාටත් ඉතින් සල්ලි හම්බවෙච්ච නිසා වැඩිය විපරම් කරලා නෑ. 

ගෙදරින් දන්නෙත් නෑ දැන් මෙයා ෆෝන් එක විකුණලා කියලා. ඔහොම ටික දවසක් ගිහින්. ඊට පස්සේ සතියේ මෙයාලගේ ගෙදරට පොලිසියෙන් ඇවිත්. ඇහුවලු ෆෝන් එක පෙන්නලා මේ ෆෝන් එකේ අයිතිකාරයා කවුද කියලා. මල්ලි කියලා එයාගේ ෆෝන් එක හැබැයි සතියකට කලින් විකුණුවා කියලා. කොහොමහරි පොලිසියෙන් ඇවිත් තියෙන්නේ මේ මල්ලිව අත්අඩංගුවට ගන්න. හේතුව තමයි එයාගේ ෆෝන් එකේ 18+ වීඩියෝ ක්ලිප් එකක් තිබීම. පොලිසියෙන් ආවට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මෙයා බාල වයස්කාරයෙක් කියලා. ඒ මොහොතේම දෙමව්පියන් එක්ක පොලිසියට එන්න කියලා. පොලිසියට ගියාම තමයි දැනගෙන තියෙන්නේ ෆෝන් එක ගත්ත කෙනා 18+ වීඩියෝ ක්ලිප් එකක් තියන ෆෝන් එකත් එක්ක පොලිසියට මාට්ටු වෙලා. එය කියලා අහවල් කෙනාගෙන් තමයි ෆෝන් එක ගත්තේ කියලා මල්ලිගේ යාළුවා ගැන කියලා. මල්ලිගේ යාළුවාගේ ගෙදරට පොලිසියෙන් ගිහින් ඇහුවම මල්ලි ගැන කියලා. 

ෆෝන් එකේ දැන් අයිතිකාරයා කියනවලු එය ෆෝන් එක ගන්නකොටම ඒ  වීඩියෝ ක්ලිප් එක තිබුන කියලා. මල්ලි කියනවලු එහෙම එකක් තිබුනේ නෑ කියලා. කොහොමින් කොහොමහරි පොලිසියේ අය තුන් දෙනාටම දැඩි ලෙස අවවාද කරලා දඩයකුත් නියම කරලා. මල්ලිගේ අම්මල ඒ දඩය ගෙවල මල්ලිවත් එක්කරගෙන ගෙදර ඇවිත්. ඊට පස්සේ ආයේ ෆෝන් එකක් අල්ලන්නවත් හිතෙන්නේ නැති වෙන්න බැන්න කියලා තමයි මල්ලි කිව්වේ. 

ෆෝන් එකක් මිලට ගනිද්දී වගේම විකුණද්දීත් අපි සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නොහිතන විදියට ඒ නිසා අපි නොහිතන කරදරයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ෆෝන් එක විකුද්දී විකුණන කෙනා කවුද, ෆෝන් එක විකුනද්දී මොන තත්ත්වයෙන්ද තිබුනේ කියන එක සහන් වෙන රිසිට් එකක් ගත්තනම් හොයි. ඒ රිසිට් එක පරිස්සම් කරලා තියාගන්න එකත් හරිම වැදගත්. නැත්තම් අපි නොහිතන විදියට නොහිතන කරදරේකට මුහුණ දෙන්න වෙයි! 

පින්තුරය ගුගල් වෙතින් 

Thursday, October 11, 2012

අපි නොදන්න කඩ්ඩ!



ඉංග්‍රිසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. අපි හැමෝටම ජීවිතේ අනිවාර්යයෙන් දවසක ඉංග්‍රිසි අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉංග්‍රිසි ඉගෙන ගන්න පෙළඹිලා තියනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒත් ඉතින් අද හැමදේකටම වෙලා තියනවා වගේ ඉංග්‍රීසි භාෂාවත් තමන්ගේ තත්ත්වය පෙන්න්වන්න පුළුවන් දෙයක් හැටියට භාවිත වෙනවා. සිංහලෙන්ම කියනවනම් ඇඩ් එකට කඩ්ඩ වනන අය වැඩියි. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන හරි දැනීමක් නැති අය කියන එක නම් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මුහුණ දෙන්න වුණ සිදුවීමක් තමයි මේ.
  
උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ගෙදර ඉන්න බැරි නිසා මම පොඩි රැකියාවක් කළා. ඒ ආයතනය තිබුන ගොඩනැගිල්ලෙන් වෙනත් තැනකට අරන් ගියා මම වැඩකරන දවස්වල. ඉතින් මේ කියන දවස්වල ඒ ආයතනයට එන ලියුම් එහෙම ආවෙ පරණ ලිපිනයටමයි. අලුත් ලිපිනයට ඒ ලියුම් එවන්න කියල දැනුම් දීලා තිබුණත් එහෙම වුණේ නෑ ටික දවසක් යනකන්. අලුත් තැන ඉදන් මෙතන තිබුණෙ ඒ හැටි දුරකින් නෙවෙයි. ඉතින් අපි කවුරුහරි එතනට ගිහින් ලියුම් අරන් එන එක තමයි කළේ.

දවසක් මමයි තව අක්කා කෙනෙකුයි ගියා ලියුම් අරන් එන්න. ඒ ගොඩනැගිල්ලේ වෙන ඔෆිස් එකක් තිබුණා. එහාට තමයි ලියුම් ඔක්කොම යන්නේ. එතන පිළිගැනීමේ නිලධාරිනිය විදියට හිටියේ නිතරම ඉංග්‍රීසියෙන් කතාකරන තමන් පොෂ් යැයි හිතාගත්ත අක්කා කෙනෙක්. අපි ඉතින් හැමවෙලේම ලියුම් හොයාගෙන යන නිසා එයාට අපිව කරදරයක් වෙලා තිබුණද දන්නෙත් නෑ. අපි ගියාම මෙයා අපිව ගොඩක් වෙලා රස්තියාදු කරවනවා. ලියුම් නැත්තම් නෑ කිව්වනම් ඉවරනේ. මෙයා ඉතින් හරි බිසී කියලා පෙන්නලා අපිව රස්තියාදු කරලා තමයි හැමදාම ලියුම් ටික දෙන්නේ. අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ගියා.

ඔන්න එදත් අපි යනකොට මෙයා ටෙලිෆෝන් එකෙන් ලොකු කතාවක්. ඇහුන විදියට නම් පෞද්ගලික කතාවක් වගේ. අපි දෙන්නා හිටගෙන හිටියා එතනට වෙලා. මෙයාටත් හොඳට පේනවා අපි ඉන්නවා කියලා. ඒත් ගනන් ගත්තේ නෑ. අපි දෙන්නටත් හිටන් ඉදල එපාවෙලා එතන තිබ්බ පුටුවෙ වාඩිවෙලා හිටියා. ඒත් මේ කතාව ඉවරවෙන පාටක් නෑ. අපි දෙන්නටත් හොඳටම එපාවෙලා. මොනව කරන්නද ඉතින්. කියන්නම එපැයි. අපි එනකොට සිංහලෙන් කතා කර කර හිටපු මෙයා අපිව දැක්කා විතරයි ඉංග්‍රීසියට මාරු වුණා. “ඉයස් ඩාලින්”, “නෝ ඩාලින්”, ”සෝ ප්‍රිටී ඩාලින්” වගේ ඒවා අපිට අතරින් පතර ඇහුනා. අපිත් ඉතින් නෑහුණා වගේ හිටියා. අපිට එයා කියන ඒවා තේරෙයි කියලා වෙන්න ඇති එහෙම කළේ.

ඔන්න පැයකට විතර පස්සේ මෙයාගෙ කතාව ඉවර වුණා. තවත් වෙලා ඉන්න බැරි නිසා අපි දෙන්නා ටක් ගාලා නැගිටලා ගිහින් ඇහුවා  අපිට ආපු ලියුම් තියනවද  කියලා. මෙයා ඉතින් අපි දෙන්නට අමුතු බැල්මක් දාලා කට උල් කරලා ඇතුලේ හිටපු එක්කෙනෙක්ට කිව්වා,

“බලන්න මෙයාලගේ ලියුම්ස් තියනවද කියලා ” .

අපි දෙන්නට ඉතින් හොඳටම හිනා. අපි දිව හපාගෙන ලේන්සු කටේ ඔබාගෙන හිනාව නවත්තගන්න ෆුල් ට්‍රයි එක දුන්නා. ලියුම් ගෙනත් දීපු ගමන් මුකුත් කියන්නෙත් නැතුව ලියුම් ටික ඩැහැගෙන එළියට පැන්නා. එළියට ඇවිත් පාර කියලා බලන්නැතුව ඇති වෙනකම් හිනා වුණා. පව් අප්පා ඒ අක්කා. එයාට වැරදුණේ කොතනද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති.

අපි දෙන්න ඉතින් ඔෆිස් එකට ඇවිල්ලා වෙච්ච දේ රඟපාලාම පෙන්නුවා අනිත් අයට. කට්ටියට ඒක කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් එදා ඉදන් අපේ ඔෆිස් එකෙත් ලියුම් වලට “ලියුම්ස්” කියලා තමයි කිව්වේ.  

Tuesday, October 9, 2012

නස්රුදීන්ගේ කතාව සහ මගේ කතාව



නස්රුදීන් ගැන කවුරුත් අහලා ඇතිනේ. ඉතින් නස්රුදීන්ගේ කතාවක් තමයි මේ.

දවසක් රජතුමාට ඕනේ වුණාලු ලෝකේ ඉන්න ලොකුම් මෝඩයෝ තුන්දෙනාව හොයාගන්න. ඉතින් රජතුමායි නස්රුදීනුයි බූරුවෝ පිටේ නැගලා මෝඩයෝ හොයන්න පිටත් වුණාලු.

දවසෙම ඇවිද්දාලු. ඒත් තවම් එක මෝඩයෙක් වත් හොයාගන්න හම්බ් වුණේ නෑ ලු. රජතුමාටයි නස්රුදීන්ටයි හොඳටම මහන්සියි ලු. දැන් හොඳටම රෑ වෙලාලු. මේ  දෙන්නා ඔහොම යනකොට විදී ලාම්පුවක්  ළඟ මනුස්සයෙක් මොනවද හොයනවලු. නස්රුදීන් මේ මනුස්සයගෙන් ඇහුවලු මොනවද හොයන්නේ කියලා. මේ මනුස්සයා කිව්වලු ගෙදර යතුර නැති වුණා, ඒක හොයනවා කියලා.

නස්රුදීන් ඇහුවලු කොතනදිද නැති වුණේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වලු පාරෙන් එහා පැත්තෙදි නැති වුණේ ඒත් මෙතන එළිය තියන නිසා මෙතනදි හොයනවා කියලා.

ඉතින් එතනින් ටිකක් එහාට ගිහින් රජතුමාට නස්රුදීන් කිව්වලු රජතුමනි ඒ තමයි ලෝකෙ ලොකුම මෝඩයන්ගෙන් එක්කෙනෙක් කියලා. රජතුමා කිව්වලු එක්කෙනෙක් නම් හොයාගත්තාට අනෙක් මෝඩයෝ දෙන්නා හොයාගන්න බැරි වුණා නේද කියලා.

එතකොට නස්රුදීන් කිව්වලු රජතුමනි අපි ඒ මෝඩයෝ දෙන්නාවත් හොයාගත්තා කියලා. දැන් රජතුමාට හරිම පුදුමයිලු. ඉතින් රජතුමා ඇහුවලු කවුද අනිත් මෝඩයෝ දෙන්නා කියලා. එතකොට නස්රුදීන් කිව්වලු ඇයි රජතුමනි, රජ වාසලේ අච්චර වැඩ තියෙද්දී මෝඩයෝ හොය හොය ඇවිදින අපි දෙන්නා තම්යි අනිත් මෝඩයෝ දෙන්නා කියලා.

ඒ නස්රුදීන්ගේ කතාව.

දැන් මගේ කතාව.

උසස් පෙළ කරලා ප්‍රතිඵල ආවට පස්සේ තමයි මිනිස්සු අනිත් අය ගැන කොච්චර උනන්දු වෙනවද කියලා මට දැනගන්න ලැබුණේ. පළවෙනි පාර උසස් පෙළ කළාම බලාපොරොත්තුවෙන් හිටපු විෂය හදාරන්න ලකුණු මදි වුණානේ. ඉතින් මග තොටදි වගේම ගෙදරට කෝල් කරලාත් ප්‍රතිපල අහන අයගෙන් අඩුවක් තිබුනේ නෑ. ගොඩක් අය කතා කළේ කණගාටුව ප්‍රකාශ කරන්න. ඒගොල්ලෝ මට කතා කළේ කලින් මගේ ප්‍රතිඵල දැනගෙන. ඒක ඇත්තද කියලා දැනගන්න. මටත් ඉතින් ඕවට උත්තර දීල ඉවරයක් නෑ. එක ඇන්ටි කෙනෙක් මගෙන් හතර පාරක්ම ඇහුවා එකම දවසෙ.

හැමෝම කතා කරලා බනිනවා. අපේ ඉස්කෝලෙට බනිනවා. අපේ ඉස්කෝලේ හොඳ ගුරුවරු නෑලු. අපරාදේ වෙන ඉස්කෝලෙකට යන්න තිබ්බලු. කොහොමත් අපේ ඉස්කෝලේ ඒ ලෙවල් රිසල්ට්ස් සවුත්තුයිලු. මමත් ඉතින් එකේ ඉඳන් දහයටයි දහයෙ ඉඳ එකටයි ගනන් කර කර ඕවට උත්තර දෙනවා. තවත් සමහරු අහනවා ටියුෂන් ගියේ කා ගාවටද කියලා. ඊට පස්සේ කියනවා අපෝ ඒ සර් හොඳ නෑනේ. මේ සර් තමයි හොඳ. එය ගාවට යන්න තිබ්බනේ කියලා. මමත් ඉතින් ඒක තමයි කියනවා. ඔය වගේ හේතු ගොඩයි.

හොඳ වෙලාවට අපේ ගෙදර අයගෙන් නම් කිසිම පීඩනයක් තිබ්බෙ නෑ. එත් අපි හැමෝටම ඇති වෙලා තිබුනේ කට්ටියගේ කණගාටුව ප්‍රකාශ කරන එක. කතා කරපු හැමෝම හිතන්න ඇති මම රිසල්ට්ස් අවුල් නිසා අප්සට් වෙලා ඉන්නවා කියලා. මට නම් කිසිම අප්සට් එකක් තිබ්බේ නෑ. කොයි ඉස්කෝලේට ගියත් මොන ටියුෂන් පන්තියට ගියත් විභාගේ ලියන්නේ මම නෙ. මම පාඩම් කළේ නැත්තම් මේ මොනවා කළත් වැඩක් නෑ. ඉතින් පළවෙනි සැරේ විභාගේ අවුල් වෙන්න හේතු මොනවද කියලා මම හොඳට දැනගෙන හිටියා. ඒව ඉතින් ඔය අහන අයට තේරුම් කරලා දීල වැඩක් නැති නිසා මම එයාලා කියන දේකට එහෙයි කියාගෙන හිටියා.

තවත් සමහරු කියලා තිබ්බලු බැරි වැඩ කරන්න යනවට හොඳ වැඩේ. පුළුවන් දෙයක් කරගෙන ඉන්න කියලා. ඒවත් ඉතින් ආරංචි වුණා. හිත රිදුනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ. කොහොමහරි ඊළඟ පාර හොඳට  කරනවා කියලයි හිතාගත්තේ.

මට අදටත් හිතාගන්න බැරි කරුණක් තමයි මිනිස්සු තමන්ගේ දේට වඩා අනුන්ගේ දේ ගැන මෙච්චර උනන්දු ඇයි කියලා. මම කියන්නේ අනුන් ගැන් සැලකිලිමත් වෙන් එක ගැන නෙමෙයි. අනුන්ගේ ඕපදූප හොයන එක ගැන. අද ගොසිප් අඩවි වලට මෙච්චර ජනප්‍රියතාවයක් ලැබිලා තියෙන්නෙත් ඒ නිසා තමයි.

කොහොම වුණත්  මිනිස්සු විවිධාකාරයිනේ. එහෙම ඕපදූප හොයන කට්ටිය හිටියේ නැත්තම් අපිටත් කම්මැලිකම නැති කරගන්න විදියක් නැති වෙනවානේ කියලවත් සතුටු වෙමු. 

Friday, October 5, 2012

සංවේදී වීම වරදක්ද?



සංවේදී බව කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් හැඟීම් දැනීම. අපි බොහෝ විට සංවේදී වෙන්න උත්සහ කරනවා. වෙනත් කෙනෙකුගේ දුකකදි කරදරයකදි ඒ දුක දැනෙනවා නම් ඒක තමයි සංවේදී බව කියන්නේ. ජීවිතයේ විවිධ අවස්ථාවල් එනවා සංවේදී වීම අත්‍යවශ්‍ය. ඒ වගේම සංවේදී වීම අනවශ්‍ය අවස්ථාත් එනවා. සංවේදී විය යුත්තේ දුකකදී පමණක් නෙවෙයි. වෙනත් අයෙකුගේ සතුටකදී පවා සංවේදී වීම අත්‍යවශ්‍යයි. වෙනත් අයෙකුගේ සතුටක් දෙස බලා සතුටු වීමේ හැකියාවත් ඉතා වටිනවා.

සමහර අවස්ථාවල සංවේදී වීම සමාජය අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් සමහර අවස්ථාවල සංවේදී වීම නිසා සමාජය ඔබ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණු ළමයි, පිරිමි ළමයින්ට වඩා සංවේදියි කියලා සමාජයේ පිළිගැනීමක් තියනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි සිදුවීමකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්කම් දක්වන්න පුළුවන්. කිසියම් ශෝකජනක සිදුවීමකට ගැහැණු ළමයෙක් හැඬීමෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒත් ඒ සිදුවීමටම පිරිමි ළමයෙක් හැඬීමෙන් ප්‍රතිචාර දැක්විය යුතු නැහැ. “ Boys don’t cry” කියලා කියන්නෙත් ඒ නිසා තමයි. මෙය සැමවිටම සත්‍ය නැහැ. එහෙත් යම් තරමකට මෙහෙම පිළිගැනීමක් තියනවා.

නමුත් යම්තාක් දුරට අපි හැඟීම් වලට ඉඩදිය යුතුයි. හැඟීම් වලට වහල් විය යුතු නෑ. තීරණ ගැනීමේදී එය ගොඩක් වැදගත්. සමහර අය ඉන්නවා අති සංවේදියි. ඔවුන්ට දුක හිතෙන් පොතක් කියෙව්වත් හැඬෙනවා. ශෝකාන්ත චිත්‍රපටියක් බැලුවත් හැඬෙනවා. තමන් අවට තියන් පොඩි දෙයක් ගැන පවා සංවේදියි. බොහෝම පොඩි දෙයක් ගැන පවා ඔවුන් හුඟක් දුර හිතනවා. අපි නොහිතන බොහොම සුළු දේවල් ගැන පවා. මේ නිසා අපි කියන පොඩි දේකින් වුණත් අපි නොහිතන විදියට ඔවුන්ගේ හිත් රිදෙන්න පුළුවන්. මේ වගේම කිසිම් දෙයක් ගැන සංවේදී නොවන ගල් හිතක් තියන අය අපි අතරෙ ඉන්නවා.  අනිත් අයට පේන්නේ ඔවුන් කිසිවක් ගනන් ගන්නේ නැති අය කියලා. එහෙත් හැඟීම් පිටතට නොපෙන්නුවාට ඇතුළතින් ඔවුන් බොහෝ සංවේදී අය වෙන්න පුළුවන්. හැම වෙලේම සතුටින් ඉන්න කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ කියලා පෙන්නගෙන හිටියට තනිව සිටින විට ඔවුන් බොහෝ දුකින් සිටිනවා වෙන්න පුළුවන්.

හිත් රිදීම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. අනව්ශ්‍ය ලෙස ස්ංවේදී වීම නිසා අනවශ්‍ය සිත් රිදීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් බොහෝවිට එය පුද්ගලයාගේ වරදක් නොවෙයි. එය ඔහුගේ හෝ ඇයගේ සංවේදී බව නිසා ඇතිවන්නක්. නමුත් මෙසේ සංවේදී වීම වරදක් බවයි බොහෝ දෙනා දකින්නේ. එය එම පුද්ගලයාගේ අඩුපාඩුවක් හැටියටත් සමහරවිට සැලකෙනවා. ඔබත් මෙසේ යම් කෙනෙක් ගැන කියා ඇති.

“ ඔව් ඉතින් එයාට පුළුවන් ඕනේ දේකට අඬන්න තමයි.”

මෙවැනි දෙයක් ඉතා සංවේදී පුද්ගලයෙකුට අත්දකින්න සිදු වූ විට ඔහු හෝ ඇය සිතනවා එසේ සංවේදී වීම වරදක් බව. විශේෂයෙන්ම කුඩා කාලයේදී එහෙම වුණාම හැඟීම් පිට නොකර සිටීමට පවා පුරුදු වෙනවා. මේ නිසා මානසික රෝගී තත්ව පවා ඇතිවෙන්න පුළුවන්. තමන්ගේ හැඟීම් පිට නොකර බොහෝ කල් සිටි විට තමයි ආතතියක් ඇතිවෙන්නේ. ආතතිය තමන්ට වගේම අනිත් අයටත් හානිදායක වෙන්න පුළුවන්. මේ ආතතිය පිට වෙන්නේ කෝපයක් ලෙසින් වෙන්න පුළුවන්. සංවේදී මිනිසුන්ව සිට හැඟීම් පිට නොකිරීම නිසා දැඩි ආතතියකට ලක් වූවන් තමයි නිතරම කෝප ගන්නේ. නිරන්තරයෙන්ම කෝප ගැනීමේ හානිදායක බව ඔබත් මමත් දන්නවා.

සංවේදී වීම් වරදක් නොවෙයි. අද ලෝකය මෙවන් තැනක් බවට පත් වෙලා තියෙන්නේ සංවේදී මිනිසුන්ගේ හිඟකම නිසා. ඔබත් සංවේදී නොවන්නට තීරණය කළහොත් උදව් ඇවැසි මිනිසුන්ට යන කල කුමක්ද?

පින්තූරය ගූගල් වෙතින් 

Thursday, October 4, 2012

ප්‍රශ්නයක්!

මේක පොඩිම පොඩි ප්‍රශ්නයක්... 

බලන්නකෝ පහළ පින්තූරේ. 


මේ තියෙන්නේ බස් එකක්ලු... (එහෙම නැතත් ඒ වගේ හිතාගන්න හරිද? )

බස් එකක් කිව්වට අර පොඩි බස් හරිද? අර රෝසා බස් තියෙන්නේ. අන්න එයින් එකක් හරිද? 

මේ බස් එක පාරේ යනගමන් ගත්ත ෆොටෝ එකක් තමයි උඩින් දාලා තියෙන්නේ. 

ප්‍රශ්නෙ තමයි මේ බස් එක පාරේ යන්නේ මොන පැත්තටද? 

මේ පැති දෙක නම් කරලා තියනවා R සහ L කියලා. 

හැබැයි යන පැත්ත විතරක් කිව්වට මදි. උත්තරේට හේතුවත් කියන්න ඕනේ. 

අපි බලමු කවුද හරියටම උත්තරේ දෙන්නේ කියලා...... 

ප. ලි. 
මේක "පැදවීම දකුණෙන් වාහනයක්". ඩූඩ් කියපු නිසා මේ කොටසත් එකතු කළා. 

ප. ප. ලි. 
මෙන්න උත්තරේ....

උඩ පින්තූරෙ තිබුණේ මෙන්න මේ වගේ බස් එකක්ලු... 


දැන් යන පැත්ත හිතාගන්න පුළුවන් නේ... හේතුව තමයි දොර පේන්නේ නැති එක... 

(මම L R කියලා නම් කළේ පින්තූරේ ගැන හිතලා...)


Wednesday, October 3, 2012

ලැබේවිද තව වරක්..



සිතුවෙමි
මුළු ජීවිතය කියා,

කැපවුණෙමි
රැකගැනීමට
දිවා රෑ නොබලා,

නොවැටහුණි
බොහෝ දේ ගිලිහී ගිය බව
ඒ නිසා,

දැනෙන විට ඒ බව
බොහෝ දුර ගොස් අනෙක් අය

බලාසිටිමි මම
තව වරක් ලැබෙන තුරු .....



Monday, October 1, 2012

පොඩි එකාට තේරුණ දේ




අපේ නෑදෑ වෙන පොඩි එකෙක් ඉන්නවා. පොඩි එකෙක් වුණාට හරිම පණ්ඩිතයි. තාම මොන්ටිසෝරි. ඒ වුනාට කතාව නම් 60 පැනපු සීයා කෙනෙක් වගේ. මෙයා ඉතින් කොයි වෙලෙත් අපේ ගෙදර තමයි. මෙයාට ඉන්නවා අක්කා කෙනෙක්. එයා එක වසරෙ. මේ දෙන්නා කොයි වෙලෙත් වලි. වලි බේරන්න වෙන්නෙත් මටම තමයි. මොනවා වුණත් මෙයා ඉන්නකොට නම් පාලුවක් නෑ.


මෙයා තාම මොන්ටිසෝරිනේ. ඉතින් මෙයාට දවසක් උගන්නලා ලංකාවේ ජාතික පක්ෂියා, ජාතික වෘක්ෂය, ලංකාවේ ජනාධිපති, ප්‍රධාන ඇමතිවරු, ලංකාවේ දිගම ගඟ, උසම කන්ද වගේ බරපතල දේවල් ටිකක්. අපිට නම් ඕවා ඉගැන්නුවේ ඉස්කෝලේ ගියාට පස්සෙනේ. ටීචර් ඒ ටික පොතේ ලියලා දීල කිව්වලු ගෙදරදි හොඳට පාඩම් කරන් එන්න කියලා. ඉතින් ගෙදර ආවාට පස්සේ අපිට වෙන වැඩක් කරන්න නෑ. මෙයා මේ එක එක කිය කිය පස්සෙන් එනවා. පව්නේ කියලා මමත් ඉතින් ප්‍රශ්න අහ අහ පාඩම් කෙරෙව්වා.


දැන් මෙයාට මේ ටික කට පාඩම්. හැබැයි ඉතින් අවබෝධයෙන් පාඩම් කරපු එකක් නෙවෙයි. එයාලා දන්නවැයි ඕවගේ වැදගත්කම්? වැඩේ තියෙන්නේ මෙයාගේ අක්කාවත් මේවා දන්නේ නෑ. ඉතින් මෙයාගේ වැඩේ අක්කාගෙන් එක එක ප්‍රශ්න අහනවා. අක්කා දන්නැති වුණාම හූ හූ ඕකවත් දන්නැද්ද කියලා අක්කව කේන්ති ගස්සනවා. ආයෙත් දෙන්නා වලි.


අපේ ගෙවල් ළඟ ගෙදරක අන්කල් කෙනෙක් ඉන්නවා. එයා යූ. එන්. පී එකේ ප්‍රබල පාක්ෂිකයෙක්. කැපුවත් කොළ. කොච්චර යූ. එන්. පී. එකට කැමතිද කියනවානම් එයාලාගේ ගෙදර අවුරුද්දට කිරිබත් හදන්නෙත් කොළ පාටට. ගෙදර ගාලා තියෙන්නෙත් කොළ පාට. ගේට්ටුවත් කොළ පාට. අන්කලුයි ඇන්ටියි විතරයි ගෙදර ඉන්නේ. එයාලට ළමයි නෑ. ඉතින් ඒ දෙන්නා මේ පොඩි දෙන්නට හරිම ආදරෙයි. ඇන්ටි තමයි පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ ටීචර්.


දවසක් එයාලාගේ ලියුමක් අපේ ගෙදරට වැරදිලා ඇවිත් තිබුණා. ඉතින් ඕක දෙන්න මම එහෙ ගියා. පොඩි දෙන්නත් ඉතින් මම යන දිහා කොහෙද අහල කිව්වට පස්සේ එන්න පොර කනවා. එහෙ ගියාම එයාලා දෙන්නට මාර සැලකිලි නේ. මමත් ඉතින් ඔන්න ඔහෙ එක්ක ගියා. එහෙ ගිහින් ලියුමත් දීලා ඇන්ටිත් එක්ක පොඩ්ඩක් කියව කියව හිටියා. අන්කලුත් එතන පත්තරයක් බල බල හිටියා.

 ඇන්ටි එකපාරටම මල්ලිගෙන් අහනවා “පුතා, ඔයාට ඉස්කෝලෙදි කියලා දීපුවා මතකද? “

 මෙයත් ගත් කටටම් ඔව් කිව්වා.

”එහෙනම් කියන්න බලන්න ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා? “

දැන් මෙයාට එකපාරටම මේක අමතක වෙලා. හැමෝගෙම මූණු දිහා බලනවා. ඇන්ටි කිව්වා “ ඇයි පුතා ඉස්කෝලෙදි හොඳට කිව්වනේ ඔයා” කියලා. 

දැන් එයාගෙ අක්කා පටන් ගත්තා වැඩේ.

“ හූ හූ අපෝ මහලොකු වැඩකාරයා. ඕකවත් මතක නැද්ද? “
දැන් මෙයාට ලැජ්ජයි කේන්තියි ඔක්කොම. මෙයා ටික වෙලාවක් කල්පනා කරලා එක පාරටම කිව්වා "ලංකාවේ ජාතික පක්ෂියා තමයි අතිගරු  [ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන නායකයෙකුගේ නමක්] ."


පත්තරේ බල බල හිටපු අන්කල් එක පාරටම ඔලුව උස්සලා කිව්වා ”ඔයාට විතරයි පුතා හරියටම ඕක තේරුනේ කියලා”

ප. ලි. කිසිම දේශපාලන පක්ෂයකටවත්, කිසිම පුද්ගලයෙකුටවත් අපහාස කිරීමේ චේතනාවක් නොමැති බව කාරුණිකව සලකන්න. 

පින්තූරේ ගූගල් වෙතින්