Friday, October 5, 2012

සංවේදී වීම වරදක්ද?



සංවේදී බව කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් හැඟීම් දැනීම. අපි බොහෝ විට සංවේදී වෙන්න උත්සහ කරනවා. වෙනත් කෙනෙකුගේ දුකකදි කරදරයකදි ඒ දුක දැනෙනවා නම් ඒක තමයි සංවේදී බව කියන්නේ. ජීවිතයේ විවිධ අවස්ථාවල් එනවා සංවේදී වීම අත්‍යවශ්‍ය. ඒ වගේම සංවේදී වීම අනවශ්‍ය අවස්ථාත් එනවා. සංවේදී විය යුත්තේ දුකකදී පමණක් නෙවෙයි. වෙනත් අයෙකුගේ සතුටකදී පවා සංවේදී වීම අත්‍යවශ්‍යයි. වෙනත් අයෙකුගේ සතුටක් දෙස බලා සතුටු වීමේ හැකියාවත් ඉතා වටිනවා.

සමහර අවස්ථාවල සංවේදී වීම සමාජය අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් සමහර අවස්ථාවල සංවේදී වීම නිසා සමාජය ඔබ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණු ළමයි, පිරිමි ළමයින්ට වඩා සංවේදියි කියලා සමාජයේ පිළිගැනීමක් තියනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි සිදුවීමකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්කම් දක්වන්න පුළුවන්. කිසියම් ශෝකජනක සිදුවීමකට ගැහැණු ළමයෙක් හැඬීමෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒත් ඒ සිදුවීමටම පිරිමි ළමයෙක් හැඬීමෙන් ප්‍රතිචාර දැක්විය යුතු නැහැ. “ Boys don’t cry” කියලා කියන්නෙත් ඒ නිසා තමයි. මෙය සැමවිටම සත්‍ය නැහැ. එහෙත් යම් තරමකට මෙහෙම පිළිගැනීමක් තියනවා.

නමුත් යම්තාක් දුරට අපි හැඟීම් වලට ඉඩදිය යුතුයි. හැඟීම් වලට වහල් විය යුතු නෑ. තීරණ ගැනීමේදී එය ගොඩක් වැදගත්. සමහර අය ඉන්නවා අති සංවේදියි. ඔවුන්ට දුක හිතෙන් පොතක් කියෙව්වත් හැඬෙනවා. ශෝකාන්ත චිත්‍රපටියක් බැලුවත් හැඬෙනවා. තමන් අවට තියන් පොඩි දෙයක් ගැන පවා සංවේදියි. බොහෝම පොඩි දෙයක් ගැන පවා ඔවුන් හුඟක් දුර හිතනවා. අපි නොහිතන බොහොම සුළු දේවල් ගැන පවා. මේ නිසා අපි කියන පොඩි දේකින් වුණත් අපි නොහිතන විදියට ඔවුන්ගේ හිත් රිදෙන්න පුළුවන්. මේ වගේම කිසිම් දෙයක් ගැන සංවේදී නොවන ගල් හිතක් තියන අය අපි අතරෙ ඉන්නවා.  අනිත් අයට පේන්නේ ඔවුන් කිසිවක් ගනන් ගන්නේ නැති අය කියලා. එහෙත් හැඟීම් පිටතට නොපෙන්නුවාට ඇතුළතින් ඔවුන් බොහෝ සංවේදී අය වෙන්න පුළුවන්. හැම වෙලේම සතුටින් ඉන්න කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ කියලා පෙන්නගෙන හිටියට තනිව සිටින විට ඔවුන් බොහෝ දුකින් සිටිනවා වෙන්න පුළුවන්.

හිත් රිදීම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. අනව්ශ්‍ය ලෙස ස්ංවේදී වීම නිසා අනවශ්‍ය සිත් රිදීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් බොහෝවිට එය පුද්ගලයාගේ වරදක් නොවෙයි. එය ඔහුගේ හෝ ඇයගේ සංවේදී බව නිසා ඇතිවන්නක්. නමුත් මෙසේ සංවේදී වීම වරදක් බවයි බොහෝ දෙනා දකින්නේ. එය එම පුද්ගලයාගේ අඩුපාඩුවක් හැටියටත් සමහරවිට සැලකෙනවා. ඔබත් මෙසේ යම් කෙනෙක් ගැන කියා ඇති.

“ ඔව් ඉතින් එයාට පුළුවන් ඕනේ දේකට අඬන්න තමයි.”

මෙවැනි දෙයක් ඉතා සංවේදී පුද්ගලයෙකුට අත්දකින්න සිදු වූ විට ඔහු හෝ ඇය සිතනවා එසේ සංවේදී වීම වරදක් බව. විශේෂයෙන්ම කුඩා කාලයේදී එහෙම වුණාම හැඟීම් පිට නොකර සිටීමට පවා පුරුදු වෙනවා. මේ නිසා මානසික රෝගී තත්ව පවා ඇතිවෙන්න පුළුවන්. තමන්ගේ හැඟීම් පිට නොකර බොහෝ කල් සිටි විට තමයි ආතතියක් ඇතිවෙන්නේ. ආතතිය තමන්ට වගේම අනිත් අයටත් හානිදායක වෙන්න පුළුවන්. මේ ආතතිය පිට වෙන්නේ කෝපයක් ලෙසින් වෙන්න පුළුවන්. සංවේදී මිනිසුන්ව සිට හැඟීම් පිට නොකිරීම නිසා දැඩි ආතතියකට ලක් වූවන් තමයි නිතරම කෝප ගන්නේ. නිරන්තරයෙන්ම කෝප ගැනීමේ හානිදායක බව ඔබත් මමත් දන්නවා.

සංවේදී වීම් වරදක් නොවෙයි. අද ලෝකය මෙවන් තැනක් බවට පත් වෙලා තියෙන්නේ සංවේදී මිනිසුන්ගේ හිඟකම නිසා. ඔබත් සංවේදී නොවන්නට තීරණය කළහොත් උදව් ඇවැසි මිනිසුන්ට යන කල කුමක්ද?

පින්තූරය ගූගල් වෙතින් 

30 comments:

  1. හුගක් වටින පෝසටුවක්. ඇත්තමට අනවශ්‍ය සංවේදී කම අවශ්‍ය නෑ. හැමදේකටම සීමාවක් තියෙන්න ඕනි..... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      හැමදේකටම සීමාවක් තියාගන්න එක හරිම වැදගත්.. :)

      Delete
  2. ඔව් මෙ කතාවට නම් මාත් එකගයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආයෙමත් මේ පැත්තේ ආවට!

      Delete
  3. ඇත්ත තමයි...ඔයා හරි.. අවශ්‍ය තරමට හැමදේම වැදගත්...
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      ඔයාටත් ජය වේවා!

      Delete
  4. හැම දෙයක්ම සීමාවක් තුල සිට කළ යුතුයි.සංවෙදී බව අයුධයක් කර නොගත යුතුයි.ජය!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      සංවේදී බව ආයුධයක් කරගත්ත නිසා අද සංවේදීබවට තියෙන තැන අඩු වෙලා.

      ඉඩ තියන වෙලාවක ආයෙමත් මේ පැත්තට එන්න!

      Delete
  5. සිතූ විශ්වාස කරයිද දන්නෙ නෑ. මම පොත් කියවලා ‍ෆිල්ම් බලලා සමහරවෙලාවට කඳුලු සලනවා. මම ඒක ගැන ලැජ්ජාවෙන්නෙ නෑ. අර වෝක් ‍ටු රිමෙම්බර් මමහොඳටම අඬපු පොතක්/චිත්‍රපටයක්.

    එහෙම අඬන එක සෞඛයයටත් හොඳයි මම හිතන්නෙ. අනික කඳුලු හංගන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ.

    Men don't cry කතාව දැන් out of fashion වෙලා හුඟාක් කල්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය තැනදි සංවේදී වීම වැදගත්. ඒ වගෙ වෙලාවට සංවේදී වීම ගැන ලැජ්ජා විය යුතු නෑ.
      මගේ යාළුවෝ මාත් එක්ක දුක හිතෙන ෆිල්ම් එකක් බලන්න කැමති නෑ. මොකද එයාලා අන්තිමට කරන්නේ ෆිල්ම් එක බලන එක පැත්තකට දාලා මම අඬන හැටි බලන් ඉන්න එක.

      Delete
  6. ඔයාගෙ අදහසුත් එක්ක එකඟයි . සංවේදීබවත් ඕනෙවට වඩා වැඩි උනාම කරදයරක් වෙනවා .
    …හොඳ ලිපියක් සිතූ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      ඕනෙවට වඩා සංවේදී වුණාම සංවේදී බවට තියන වටිනාකම අඩු වෙනවා.

      Delete
  7. හොඳ නිර්මාණ බිහිවන්නේ සංවේදී අය අතින් විතරයි සීතූ.

    ReplyDelete
    Replies
    1. ඔව්. සංවේදී අය නැත්තම් ලෝකේ ජීවත් වෙන එක මීට වඩා ගොඩක් අමාරු වෙයි.

      Delete
  8. ඇත්ත.ඔනවට වඩා සංවේදී වීම හොද නෑ.සවේදී නොවීමත් හොද නෑ.හැම දෙයක්ම මධ්‍යස්තව තියාගන්න ඕනි.මං හිතන්නේ සංවේදී කම යහපත් සමාජයක් බිහිකිරීමේ ප්‍රධානතම උපකරණය කියලා.හැබැයි වර්ථමාන ධනවාදී අර්ථ ක්‍රමයත් එක්ක මිනිස්සු සල්ලි ගැන පමණක් හිතනවා.ඒ නිසා තවත් මිනිසෙකුට වෙන අසාධාරණකම් ගණන් ගන්නේ නෑ.දුක සතුට දෙකම ගිලිහෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වටිනා ප්‍රතිචාරයට.
      අද වෙනත් කෙනෙක් ගැන සැලකිලිමත් වීමත් අනවශ්‍ය දෙයක් හැටියටයි ගැනෙන්නේ. සල්ලි වලට හැමදේම යටයි.

      Delete
  9. මම මේක දැක්කේ දැන් නේ...:O
    කමෙන්ට් කරන්න දෙයක් හිතා ගන්න බෑ..:)

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. කියෙව්වානේ. ඒත් ඇති! :)

      Delete
  10. මං මේක කියවන්න හිතුවෙම මං over sensitive නිසාමයි.කොහොමද සංවේදී වැඩිකමින් ඈත්වෙන්නේ කියලා ලිව්වා නම් තවත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සංවේදී වැඩිකම වරදක් නෙවෙයි. සංවේදී වැඩිකමින් ඈත්විය යුතු නෑ. තීරණ ගැනීමේ දී ඒ ගැන ටිකක් සැලකිලිමත් වුණා නම් ඇති කියලයි මම හිතන්නේ.

      Delete
  11. කිව්වට මොකද මට නම් ඔය මළගෙවල් වලදි එහෙම කවදාවත් ඇඬිලා නෑ... පිරිමි අඬන්න හොඳනෑ කිව්වට ඒ වගේ වෙලාවකදි නාඞා ඉන්න කෙනෙක් නැ නේ... ඒත් පොඩි කාලේ නම් කව්රු හරි අඞනවා දැක්කත් ඇඞිලා තියෙනවා මට හොඳට මතකයි... අද වෙනකොට එහෙම රළු වෙන්න මේ පෝස්ට් එකේ කියලා තියෙනවා වගේ හේතුත් ගොඩක් තිබුණා... ඒ හේතු නොතිබුණා නම් එදා වගේම අඞ අඞාම ඉඳියි... පරිසරයෙන් රළු දේවල් ලැබුනම මිනිස්සුන්ගේ සංවේදීකම, ඒ කියන්නේ මනුස්සකමත් ටික ටික අඩු වෙනවා තමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මනුස්සකම අඩුවෙන්න පරිසරය ගොඩක් බලපානවා. නිතරම අනිත් අය ගැන හිතන කෙනෙක්ට නපුරුකම් අත්විඳින්න වුණාම සංවේදී විය යුතු දේවල් වලට පවා සංවේදී නොවී ඉන්න පෙළඹෙනවා.නිතරම අනිත් අයට උදව් කරන කෙනෙක් නම් උදව් නොකර ඉන්න පෙළඹෙනවා. අපි නොහිතුවත් මේ දේවල් සංවේදී අයට ගොඩක් බලපානවා.

      Delete
  12. මම ඉස්සර ඉඳන් විස්වාස කරන දෙයක් තමයි හැඟීම් කියන දේවල් පාලනය කරන්න ඕන!එත් යටපත් කරන්න ඕන නෑ කියල!සැබෑ මිනිසුන් සංවේදියි තමයි,එත් සමාජය විසින් දැන් උගන්වන්නේ සංවේදී වීම වරදක් කියල!

    ReplyDelete
    Replies
    1. සමාජය විසින් සංවේදී වීම වරදක් කියලා දකින නිසා තමයි අද සංවේදී මිනිස්සු මෙච්චර අඩු! හැමෝම හැඟීම් යටපත් කරගන්න පෙළඹිලා.

      Delete
  13. ඇත්තෙන්ම කෙටියෙන්ම කිව්වොත් ඔබේ පෝස්ටුවට මම එකඟයි සහෝ!
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාමත් මේ පැත්තේ එනවට!
      ජය!

      Delete
  14. ඇත්ත.. ඕනාවට වඩා සංවේදි වෙන්න ගියාම ප්‍රශ්ණ තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්. හැඟීම් පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ.

      Delete
  15. පමණට වැඩ සංවේදී වීමත් අවුලක්. නමුත් නිර්මාණකරුවෙකු සංවේදී වන තරමට ඔහුගෙන් හෝ ඇයගෙන් බිහිවන නිර්මාණය ගුණාත්මක බැවින් ඉහලයි කියල තමයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. නිර්මාණකරුවෙක් සංවේදී විය යුතුයි. ඒත් සාමාන්‍ය ජීවිතයේදී උවමනාවට වඩා සංවේදී වීම තීරණ ගැනීමට බාධාවක් වෙයි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......