Tuesday, October 9, 2012

නස්රුදීන්ගේ කතාව සහ මගේ කතාව



නස්රුදීන් ගැන කවුරුත් අහලා ඇතිනේ. ඉතින් නස්රුදීන්ගේ කතාවක් තමයි මේ.

දවසක් රජතුමාට ඕනේ වුණාලු ලෝකේ ඉන්න ලොකුම් මෝඩයෝ තුන්දෙනාව හොයාගන්න. ඉතින් රජතුමායි නස්රුදීනුයි බූරුවෝ පිටේ නැගලා මෝඩයෝ හොයන්න පිටත් වුණාලු.

දවසෙම ඇවිද්දාලු. ඒත් තවම් එක මෝඩයෙක් වත් හොයාගන්න හම්බ් වුණේ නෑ ලු. රජතුමාටයි නස්රුදීන්ටයි හොඳටම මහන්සියි ලු. දැන් හොඳටම රෑ වෙලාලු. මේ  දෙන්නා ඔහොම යනකොට විදී ලාම්පුවක්  ළඟ මනුස්සයෙක් මොනවද හොයනවලු. නස්රුදීන් මේ මනුස්සයගෙන් ඇහුවලු මොනවද හොයන්නේ කියලා. මේ මනුස්සයා කිව්වලු ගෙදර යතුර නැති වුණා, ඒක හොයනවා කියලා.

නස්රුදීන් ඇහුවලු කොතනදිද නැති වුණේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වලු පාරෙන් එහා පැත්තෙදි නැති වුණේ ඒත් මෙතන එළිය තියන නිසා මෙතනදි හොයනවා කියලා.

ඉතින් එතනින් ටිකක් එහාට ගිහින් රජතුමාට නස්රුදීන් කිව්වලු රජතුමනි ඒ තමයි ලෝකෙ ලොකුම මෝඩයන්ගෙන් එක්කෙනෙක් කියලා. රජතුමා කිව්වලු එක්කෙනෙක් නම් හොයාගත්තාට අනෙක් මෝඩයෝ දෙන්නා හොයාගන්න බැරි වුණා නේද කියලා.

එතකොට නස්රුදීන් කිව්වලු රජතුමනි අපි ඒ මෝඩයෝ දෙන්නාවත් හොයාගත්තා කියලා. දැන් රජතුමාට හරිම පුදුමයිලු. ඉතින් රජතුමා ඇහුවලු කවුද අනිත් මෝඩයෝ දෙන්නා කියලා. එතකොට නස්රුදීන් කිව්වලු ඇයි රජතුමනි, රජ වාසලේ අච්චර වැඩ තියෙද්දී මෝඩයෝ හොය හොය ඇවිදින අපි දෙන්නා තම්යි අනිත් මෝඩයෝ දෙන්නා කියලා.

ඒ නස්රුදීන්ගේ කතාව.

දැන් මගේ කතාව.

උසස් පෙළ කරලා ප්‍රතිඵල ආවට පස්සේ තමයි මිනිස්සු අනිත් අය ගැන කොච්චර උනන්දු වෙනවද කියලා මට දැනගන්න ලැබුණේ. පළවෙනි පාර උසස් පෙළ කළාම බලාපොරොත්තුවෙන් හිටපු විෂය හදාරන්න ලකුණු මදි වුණානේ. ඉතින් මග තොටදි වගේම ගෙදරට කෝල් කරලාත් ප්‍රතිපල අහන අයගෙන් අඩුවක් තිබුනේ නෑ. ගොඩක් අය කතා කළේ කණගාටුව ප්‍රකාශ කරන්න. ඒගොල්ලෝ මට කතා කළේ කලින් මගේ ප්‍රතිඵල දැනගෙන. ඒක ඇත්තද කියලා දැනගන්න. මටත් ඉතින් ඕවට උත්තර දීල ඉවරයක් නෑ. එක ඇන්ටි කෙනෙක් මගෙන් හතර පාරක්ම ඇහුවා එකම දවසෙ.

හැමෝම කතා කරලා බනිනවා. අපේ ඉස්කෝලෙට බනිනවා. අපේ ඉස්කෝලේ හොඳ ගුරුවරු නෑලු. අපරාදේ වෙන ඉස්කෝලෙකට යන්න තිබ්බලු. කොහොමත් අපේ ඉස්කෝලේ ඒ ලෙවල් රිසල්ට්ස් සවුත්තුයිලු. මමත් ඉතින් එකේ ඉඳන් දහයටයි දහයෙ ඉඳ එකටයි ගනන් කර කර ඕවට උත්තර දෙනවා. තවත් සමහරු අහනවා ටියුෂන් ගියේ කා ගාවටද කියලා. ඊට පස්සේ කියනවා අපෝ ඒ සර් හොඳ නෑනේ. මේ සර් තමයි හොඳ. එය ගාවට යන්න තිබ්බනේ කියලා. මමත් ඉතින් ඒක තමයි කියනවා. ඔය වගේ හේතු ගොඩයි.

හොඳ වෙලාවට අපේ ගෙදර අයගෙන් නම් කිසිම පීඩනයක් තිබ්බෙ නෑ. එත් අපි හැමෝටම ඇති වෙලා තිබුනේ කට්ටියගේ කණගාටුව ප්‍රකාශ කරන එක. කතා කරපු හැමෝම හිතන්න ඇති මම රිසල්ට්ස් අවුල් නිසා අප්සට් වෙලා ඉන්නවා කියලා. මට නම් කිසිම අප්සට් එකක් තිබ්බේ නෑ. කොයි ඉස්කෝලේට ගියත් මොන ටියුෂන් පන්තියට ගියත් විභාගේ ලියන්නේ මම නෙ. මම පාඩම් කළේ නැත්තම් මේ මොනවා කළත් වැඩක් නෑ. ඉතින් පළවෙනි සැරේ විභාගේ අවුල් වෙන්න හේතු මොනවද කියලා මම හොඳට දැනගෙන හිටියා. ඒව ඉතින් ඔය අහන අයට තේරුම් කරලා දීල වැඩක් නැති නිසා මම එයාලා කියන දේකට එහෙයි කියාගෙන හිටියා.

තවත් සමහරු කියලා තිබ්බලු බැරි වැඩ කරන්න යනවට හොඳ වැඩේ. පුළුවන් දෙයක් කරගෙන ඉන්න කියලා. ඒවත් ඉතින් ආරංචි වුණා. හිත රිදුනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ. කොහොමහරි ඊළඟ පාර හොඳට  කරනවා කියලයි හිතාගත්තේ.

මට අදටත් හිතාගන්න බැරි කරුණක් තමයි මිනිස්සු තමන්ගේ දේට වඩා අනුන්ගේ දේ ගැන මෙච්චර උනන්දු ඇයි කියලා. මම කියන්නේ අනුන් ගැන් සැලකිලිමත් වෙන් එක ගැන නෙමෙයි. අනුන්ගේ ඕපදූප හොයන එක ගැන. අද ගොසිප් අඩවි වලට මෙච්චර ජනප්‍රියතාවයක් ලැබිලා තියෙන්නෙත් ඒ නිසා තමයි.

කොහොම වුණත්  මිනිස්සු විවිධාකාරයිනේ. එහෙම ඕපදූප හොයන කට්ටිය හිටියේ නැත්තම් අපිටත් කම්මැලිකම නැති කරගන්න විදියක් නැති වෙනවානේ කියලවත් සතුටු වෙමු. 

33 comments:

  1. Opa dupa valath hena somiyak athi ekayi minissu mechchara evata aasa.anika gossip site unath kochchaara prasiddada eka ehema vela thiyenne opa dupa valata minissunge kamaththa nisa ne
    Kavuru monava kivvath eva ganan nogena api ape gamana yana ekayi karanna one :)

    ReplyDelete
    Replies
    1. ඔව්. තමන්ගේ පාඩුවේ ඉන්නවනම් ඒ මොනවත් නෑ. ඒත් මිනිස්සු ගොඩක් අය කැමතියි ඕපදූප වලට. සමහරවිට තමන්ගේ දේටත් වඩා.

      Delete
  2. හික්ස් මේක නම් සිරා ලිපියක්... :)
    ඇත්තම සීන් එක ලියල තියෙනවා.. ඒකට ගැලපෙන කතාවකුත් සෙට් කරපු එක තවත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! :)
      කතාව මතක් වෙලා තමයි මේක ලියන්න හිතුනේ.

      Delete
  3. ඒක නං ඇත්ත... හදිස්සියකට උදව්වකට නැති මිනිස්සු ඕනතරම් ඉන්නවා අපේ වගතුග හොයන්න... නිකමට හිතන්න කව්රු හරි පවුලේ කෙනෙක් කසාද බඳිනවා කියලා... මෙච්චර නැයෝ අපේ පවුලේ හිටියද කියලත් හිතෙනව ඇති ඒ වෙලාවට... එච්චරකට නෑයෝ ‍කට්ටිය කෝල් කර කර අහනවා මනමාලයා කව්ද, මනමාලි කව්ද, එයාගේ තත්වේ මොකක්ද, එයා‍ගේ ආගම ජාතිය කුලය... ඕන නැති මගුලක් නෑ... හැබැයි ඉගෙනගද්දි ඒවට ගන්න පෑනේ ඉඳන් විශ්ව විද්‍යාල ගාස්තු වෙනකල් හොයා ගන්න ඕන තමන්මයි... ගෙදර ඉද්දි සල්ලි නැත්නම් සීනි අතට කාලා කහටයක් බිලා ඉන්න ඕන තමන්මයි... එතකොට බලු බල්ලෙක් නෑ හොයලා බලන්න...

    මම නම් හිතාගෙනම ඉන්නේ කසාද බඳින්න කෙල්ලෙක් හොයාගත්ත දවසකට ඇද කුද හොයන්න ආවො‍ත් හොඳවයින් දෙකක් කියලා දෙන්න කියලා... වෙලාවට තාම ආවේ නෑ එහෙම දවසක්...

    ReplyDelete
    Replies
    1. මඟුල් ගෙවල් වල ඔය තත්වේ වැඩියි. කසාද බඳින දෙන්නාටත් වඩා අමාරුවක් තමයි අහල පහළ අයට තියෙන්නේ. බඳින්න කලින් අහනවා දැන්ම බඳින්නැද්ද කියලා. බැන්දට පස්සේ අහනවා තාම බබෙක් නැද්ද කියලා. ඔයවගේ ප්‍රශ්න කෝටියයි.

      //මම නම් හිතාගෙනම ඉන්නේ කසාද බඳින්න කෙල්ලෙක් හොයාගත්ත දවසකට ඇද කුද හොයන්න ආවො‍ත් හොඳවයින් දෙකක් කියලා දෙන්න කියලා... වෙලාවට තාම ආවේ නෑ එහෙම දවසක්...//

      හික්ස්! ඇද කුද හොයන්න එන අයට දෙවියන්ගේ පිහිටයි!

      Delete
  4. මේ අද්දැකීම විභාග ලියපු බොහොදෙනකුට ඇති අපුරුවට ගලපලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් අයට මේ අත්දැකීම ඇති.
      ස්තූතියි!

      Delete
  5. හැබෑව හැබෑව ... ක්ලාස් වලදි ටොයිලට් එනකට බොහෝම හදිසස්යෙන් යනකොට ජීවිතේට දන්නැති උන් ආහ් මචං කියල පැයගනන් කථෘ කරකර ඉන්න හදනව ඒත් පන්තිය ඇතුලේ වතුර බොන්න ඔනේ වෙලා වට පිට බැළුවහම දන්න කි‍ටන මොකෙක්වත් නෑ .... ඕක තමයි තත්වේ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ඒක තමයි හැමවෙලේම වෙන්නේ. ඕනේ වෙලාවට කවුරුවත් නෑ.

      ආයෙමත් මේ පැත්තට එන්න!

      Delete
  6. නියම කතාවක්නෙ කියල තියෙන්නෙ . සමහරු බොරු අනුකම්පාවක් පෙන්වනවා අපිට වැරදුනාම . ඒත් හිත යටින් සතුටු වෙනවා . මිනිස්සු ඔහොම තමා . ඕව එකක්වත් ගනන් නොගෙන ඉදිරියට යන්න . ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. වැරදුනු වෙලාවට විතරක් බොරු අනුකම්පාව පෙන්නන අය හැමවෙලේම හිත යටින් සතුටු වෙනවා!

      Delete
  7. කියල වැඩක නෑ අප්පා.. සහතික ඇත්ත.. :) :)
    ජයවේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට!
      ජය වේවා ඔයාටත්!

      Delete
  8. හ්ම්ම්ම් අපුරුයි... හැමොටම ඔයට වගෙ ඇත්ත කියන්න බැ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්ත කියන එක ලේසියි නොවැ.

      Delete
  9. කේලම් කිටන එක එක අතිකින් හොදයි.සමහර වේලාවට ඒවගෙනුත් හොද ප්‍රයෝජන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කේලම් කියන එකෙන් තියන ප්‍රයෝජන මොනවද? මටත් හිතාගන්න බැරි ඒකයි.

      Delete
  10. අපේ ගමේත් ඉන්නවා ඕපේ හොයන අම්මණ්ඩිලා හතර පස් දෙනෙක්. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැති හින්දා අනුන්ගේ ඕප දුප හොයා හොයා ගම වටේ ගිහින් රස කර කර කියනවා. මට නම් ඔව්වට හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නැති අය තමයි ගොඩක් වෙලාවට ඔය වගේ ඕපදූප හොය හොය ඇවිදින්නේ.

      Delete
  11. කියල වැඩක් නෑ..මිනිස්සුන්ට තමන්ට වඩා දැන් වටින්නේ අනුන්ගේ කතා..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. අනුන්ගේ ඇහේ පොල් කෙඳි හොයන්න යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල පේන්නේ නෑ.

      Delete
  12. අනේ මන්දා, මට නම් අනුන්ගෙ රෙද්දවල් හොයන උන් පේන්න බෑ. කරුමෙට වැඩිපුරම ඉන්නෙ එහෙම උන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම ඉන්නේ එහෙම අය තමයි. තමන්ගේ පාඩුවේ ඉන්න අය හරිම අඩුයි.

      Delete
  13. මොය වගේ දේවල් නම් හරිම සුලබයි, තමන්ගේ වැරදි වහගන්න හදන්නේ අනුන් ගැන කතාකරලයි, තමන් ගැන තමන් හොඳටම දන්නවනේ, වුණ වැරදි හදාගෙන ඉදිරියටම යන්න නංගී! ජය !

    ReplyDelete
    Replies
    1. අනුන් ගැන හොයන අය හැමෝම වගේ තමන්ගේ වැරදි දකින්නේ නෑ. තමන් ගැන හොඳටම දන්නේ තමන් නිසා වැරදි හදාගන්න ලේසියි!
      ජය!

      Delete
  14. අනුන්ගේ වැරදි හොයන්නේ තමන්ගෙ වැරදි වහගන්න ඕන වුනාම... සැලෙන්න හොද නෑ... ඔයාට ජය!!! (සොරි හොදේ...මම පරක්කුයි.. :(

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකනම් ඇත්ත!
      කමක් නෑ අනේ. පරක්කු වෙලා හරි ආපු එකට ස්තූතියි!

      Delete
  15. තරඟය ජයට හේතුවේ..
    අනිත් අය මොනදේවල් කිව්වත් ජීවිතේ අපෙයි.. :)
    සුබ පතනවා නංගි ඉදිරියටම යන්න..!!

    ReplyDelete
    Replies
    1. //අනිත් අය මොනදේවල් කිව්වත් ජීවිතේ අපෙයි..//
      මේක නම් හරිම වැදගත්. අපේ ප්‍රශ්න වලට අපි තනියම මුහුණ දෙන්න ඕනේ.
      ස්තූතියි අක්කේ ඔයාට!!

      Delete
  16. මිනිස්සුන්ට ඕපාදුප හොයනවට වැඩිය වැඩක් නැහැ
    ඕපාදුපයක් හොයාගෙන ඒක රට වටේටම කිය කියා යනවා

    ReplyDelete
    Replies
    1. ඕපදූප හොයනවා විතරක් නෙවෙයි ඒවට තව ඒවා එකතු කරලනේ තැන් තැන් වල කියන්නේ. ඒක තමයි භයානක.

      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ආයෙමත් එන්න.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......