Thursday, December 27, 2012

මගේ පොත්ගුල


අඳුරු කුටිවල පිරුණු පොත්පත්                     
සැඟව සිටිමින් කරයි එබිකම්
පාලුවෙන් පිරි මගේ ලෝකය
එකලු කරනට පැමිණි මිතුරන්
දිය යටින් ගිනි ගෙනියන
දිය රෙද්දෙන් ගෙල සිඳලන
මිතුරු වෙස් ගත්තවුන්
පිරි ලොවක
හද පත්ලෙන්ම එන
සැබෑ මිතුදම්
ගෙනා මිතුරන්
සපිරි ලෝකය
දැනුම්  සක්වල
නුඹ බලන්නට
මාස දෙකකුත් දවස් ගානක්
ආවෙ නැති බවක් මතකද
මැදින් මස මුල ඉඩක් ලද විට
ඉගිල එමි මම නුඹේ තුරුලට .....

පින්තූරය ගත්තේ මෙතැනින්.... 

Monday, December 24, 2012

පොරක් වන්නේ කෙසේද?


රෑ දවල් නිදි වැරුවෙමි                               
උසස් පෙළ ගොඩ දැම්මෙමි
කැම්පස් එකට ආවෙමි         
පොරක් වන්නට සිහින මැව්වෙමි

එහා ගමේ උන් අයියා
ගිය වසරේ යුනි ආවා
දැන් සින්නෙක්ය කීවා
නියම පොර ඌ මිතුරො කිව්වා

අනේ බුදු අයියේ
පොරක් වන්නට ඕනේ
කොහොමද එහෙම වෙන්නේ
කියාදෙන් මට අනේ අයියේ

ඔහු මදෙස බැලුවා
මද සිනාවක් නැගුවා
පොරක් වන්නේ මෙහෙමයි
මට තෙලක් බෙදුවා

මල්ලි මේ අහපන්
පොරක් වන්නට මෙහෙම කරපන්
බැචාලට පම්පෝරි ගහපන්
අඩි දෙකක් වත් උඩින් පලයන්

හෙන මීටරේ වගේ හිටපන්
වැඩ බැරි වුණත් එහෙම හිටපන්
අමුතු ප්‍රශ්න අහපන්
බර වචන දා කතා කරපන්

හැම වැඩකටම බොක්ක දීපන්
ඒ නැතත් ඒ වගේ හිටපන්
වාසියක් හෙම නැත්තම්
වැඩේ අල කරපන් 

පොරක් වන්නට නම් 
මේ වැඩ මෙහෙම කරපන් 
අනාගත්තෝතින් නම් 
කවුරුවත් නෑ හොඳට දැනගන් 

Sunday, December 23, 2012

සිහිය



අමතකවීම නම් අපි කාටත් පොදු දෙයක්. කවදාවත් කිසිම දෙයක් අමතක නොකරපු කෙනෙක් අපි අතරෙ නැතුව ඇති. අමතකවීම් නිසා හොඳ පාඩු විඳපු අවස්ථා නම් ඕනෙතරම්. ඒත් අමතක වීම් නිසා වාසි වුණ අවස්ථාත් නැතුව නෙවෙයි.

පුරුද්දක් වශයෙන් හැමදෙයක්ම අමතක වෙන අය කොච්චර ඉන්නවද? අපේ යාලුවෙක් ඉන්නවා හොස්ටල් එකේදි කවදාවත් උදේට දත් මදින්න යනකොට දත් බුරුසුව අරන් යන්නෙ නැති. අනිත් අය දත් මදිනවා දැක්කාම තමයි එයාට දත් බුරුසුව මතක් වෙන්නේ. මේ වගේ අය කරන වැඩ නිසා අපිට හිනා වෙලා ඉවරයක් නෑ.

මේ කියන්න යන්නේ අපි දන්න කියන අක්කා කෙනෙක්ට වුණ වැඩක්. එයාගෙත් වැඩේ හැමදෙයක්ම අමතක කරන එක. එයා ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක ඉහළ පෙළේ රැකියාවක් තමයි කරන්නේ. දවසක් මෙයා වැඩ ඇරිලා එන ගමන් සුපර් මාර්කට් එකටත් ගිහින් බඩුත් අරන් ගෙදර ඇවිත්. ගෙදර ආවට පස්සෙ තමයි දන්නේ ෆෝන් එක දාලා ඇවිත් කියලා. මෙයා ඉතින් අඩුම ගානේ සතියකට තුන් සැරයක් වත් ෆෝන් එක ඔෆිස් එකේ දාලා එන නිසා වැඩිය ගනන් අරන් නෑ.

“අම්මේ මම ෆෝන් එක දාලා ඇවිත් නේ”

“අනේ මන්දා මේ ළමයගේ සිහිය නම්.”

“ ඒක තමයි අම්මේ. ෂුවර් එකටම ඔෆිස් එකේ දාලා එන්න ඇති.”

“කොයිකටත් රිං කරලා බලන්න”

අක්කා ෆෝන් නම්බර් එක ඩයල් කළා ලු අම්මාගේ ෆෝන් එකෙන්.

“අම්මේ රින්ග්ස් යනවා. ඔෆිස් එකේ තමයි දාලා එන්න ඇත්තේ”

“හ්ම්ම්. ඔයා කවදහරි ඔය ෆෝන් එක නැති කරගන්නවා.”

“හරි අම්මේ ආයේ දාලා එන්නේ නෑ.”

ඔන්න ටික වෙලාවකින් අක්කාගේ අම්මගේ ෆෝන් එක රින් වෙනවලු. නොදන්න නම්බර් එකක්. අක්කා ආන්ස්වර් කළා.

“හෙලෝ…..”

“හෙලෝ මිස් මම අහවල් සුපර් මාර්කට් එකෙන් කතා කරන්නේ”

“ඔව් කියන්න”

“මිස් සුපර් මාර්කට් එකේ ෆෝන් එකක් දාලා ගිහින් තිබුණා. ඒ ෆෝන් එකට මේ නම්බර් එකෙන් දැන් කෝල් එකක් ආවා. ඒක නිසා මම ආපහු මේ නම්බර් එකට කෝල් කළේ.”

“ ආ ඔව් ඒ මගෙ ෆෝන් එක තමයි. අහවල් වර්ගයේ ෆෝන් එකක් නේද?”

“ඔව් මිස්.”

“එහෙනම් මගෙ ෆෝන් එක තමයි. මම හෙට එන්නම් අරන් යන්න.”

“ හරි මිස්. අපි ෆෝන් එක අරන් තියන්නම්. මිස්ට මතකද ෆෝන් එක කොහෙද දාල ගිහින් තිබ්බේ කියලා?”

“මට මතක නෑනේ. මම හිතුවෙ ඔෆිස් එකේ දාලා ඇවිත් කියලා.”

“මිස් ෆෝන් එක දාලා ගිහින් තිබ්බෙ සුපර් මාර්කට් එකේ ෆ්රිජ් එකේ. ෆෝන් එක රිං වෙනකොට තමයි මෙහෙ වැඩ කරන කෙනෙක් හොයාගෙන තියෙන්නේ”

කොහොමද අක්කාගේ සිහිය?

පින්තූරේ ගත්තේ මෙතනින්

Sunday, December 9, 2012

මතකයන්......


කඳු මතින් සිනාසෙන සඳ තාම එළියයි ද
දොළ අයිනේ දඟ කරපු දණ්ඩි පැටවුන් කොහි ද
මැයි මාර ගහ තාම රතු මලින් පිරිලා ද
එදා අපි ඇවිද ගිය මල් පාර පාළුයි ද

හැන්දෑවෙ පාරුවෙන් එගොඩහට යනවා ද
නෙළුම් මල් මිටියකුත් අරගෙනම එනවා ද
පන්සලේ ඝන්ඨාරෙ හඬ තාම ඇහෙනව ද
බෝමළුව අමදින්න මං නැතුව බැහැ නේ ද

දැදුරු ඔය ඉස්මත්තෙ ගල් පඩිය පාළුයි ද
නොනවතින කිචිබිචිය නැති අඩුව දැනෙනව ද
ගතින් බොහො දුරස් මුත් හිත තාම මං ළඟ ද
ආදරය කියාදුන් ඒ දෑස මතකයි ද