Monday, December 30, 2013

උගත් පාඩම් පිළිබඳ වාර්තාව 2013


දන්නෙ නැතුවම 2013 ගෙවිලා ඉවරවෙලා 2014ත් කිට්ටුවටම ඇවිත්. ඕනෙම වැඩක් කරලා ඉවර වුණාම වැඩේ මීට වඩා හොඳට කරන්න පුළුවන්කම තිබ්බා කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. අවුරුද්දට වුණත් ඒක පොදුයි. ඕනෙම අවුරුද්දක් ගත කරලා ඉවර වුණාම හිතෙනවා අවුරුද්ද මීට වඩා හොඳට ගත කරන්න පුළුවන්කම තිබුණා නේද කියලා.

කොහොමහරි මේ අවුරුද්දෙ මම ඉගෙන ගත්ත පාඩම් කීපයක්ම තියෙනවා.



 මානසික

• කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න එපා, ඒකෙන් වෙන්නෙ  අපි මුලින් දැකපු පැති වලටත් වඩා අලුත් පැති පෙනිලා ප්‍රශ්නෙ ඩබල් වෙන එකයි.
• වැඩි බලාපොරොත්තු ඕනේම නැත.
• කේන්ති යාම අඩු කරගැනීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එම කේන්තිය පෙන්වීම පාලනය කිරීමයි.

බස් ගමන් 

• බස් එකේ යනවිට සැම විටම හෑන්ඩ්ස්ෆ්රී එක ගෙනයා යුතුය.
• තේ බීමට බස් එක නවත්තන තැනින් බස් එකෙන් බැස්ස විට සැම විටම තමා පැමිණි බස් රථයටම නැග්ග යුතුය.
• බස් එකේ එහා පැත්තේ වාඩි වන මිනිසාට කියන බොරු පිළිබඳව සැලකිලිමත් වන්න. නැතිනම් පසුව ඔබටම පැටලීමට ඉඩ ඇත.
• බස් ගාස්තුව සැමවිටම නිවැරදිව ගෙන යා යුතුය. එවිට කොන්දොස්තරට ටිප් දීමෙන් වැළකිය හැක.
• බස් එකේ යන දිනවලදී පිරිටන් බීමෙන් වැළකිය යුතුය.
• කොළඹ බස් එකක් බලාපොරොත්තුවෙන් බස් හෝල්ට් එකට ගිය විට මහකන්ද බස් රාශියක් පැමිණෙනු ඇත.

සමාජයීය 

• අනිත් අයට බැලීම සඳහා චිත්‍රපටි හා ටීවී සීරීස් දීමේදි ප්‍රවේශම් වෙන්න. නැත්නම් ඔබට ඉන්පසු අලුතෙන් එන සෑම එපිසෝඩ් එකක්ම උන්ට දීම සඳහා බෑමට සිදුවනු ඇත. එයින් කෙළවෙන්නේ ඔබේ දුප්පත් බයිට් ටිකටය.
• අන් අයගේ විලාසිතා ගැන කමෙන්ට් කිරීමේදී  ප්‍රවේශම් විය යුතුය.
• පොත් සාප්පු අසලින් යාමේදි ප්‍රවේශම් විය යුතුය. පොත් සාප්පු වලට ගිය විට ලිපි ද්‍රව්ය විකිණීමට ඇති කොටසට නොයා සිටීම පසුම්බියට ගුණය.
• කිසියම් පුද්ගලයෙක්ට බනින විට එම් පුද්ගලයා අසල සිටී දැයි සැලකිලිමත් විය යුතුය. 

වෙනත් 

• එක්ස්පයර් විමට පෙර ස්ටාර් පොයින්ට්ස් වියදම් කිරීමට මතක තබා ගන්න.
• කිරිබත් කෑමට කොපමණ ආස වුණත් විජේවර්ධන කැන්ටිමේ කිරිබත් නොකෑ යුතුය. මන්දයත් ඒවාට කිරිවත් ලුණුවත් නැති බැවිනි.
• කඩවල්වල ඇති පාන්පිටි කෑම පෙරේතකමට නොකෑ යුතුය..නැත්නම් පාඩුව මටමය.
• නිවසින් පිට එක් දිනක් ගත් කිරීමට ගියත් ෆෝන් එකේ චාජරය ගෙන යා යුතුයි. නැත්තම් විශ්වාස කළ නොහැකි පරිදි ෆෝන් එකේ බැටරි බසිනු ඇත.


මේවා තමයි මම ඉගෙන ගත්ත පාඩම්. ඔයාලා හැමෝටම එළඹෙන 2014 සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 

Thursday, December 26, 2013

හීනයක්.....

තණ බිස්සට 
පිණි වැටිලා 
ඊට උඩින් 
මල් වැටිලා 
ඇවිද යන්න 
ආස වුණත් 
සීතලටම 
ගුලි ගැහිලා.... 

රෑ අහසේ 
තරු පිරිලා 
සඳ කුමරිත් 
හිනා වෙලා
ළඟට එන්න 
ආස වුණත් 
මගෙ අත්තටු 
සිඳ දමලා....

Saturday, December 7, 2013

බිම් ගෙවල්...


කෝච්චිය පැය බාගයක් පරක්කුයි. අද කෝච්චිය නැති වෙයිද කියලා නොසන්සුන් හිතකින් හිටපු මට සැනසුම් සුසුමක් හෙලුනේ උඩරට මැණිකෙ දෙවනි වේදිකාවට ආවට පස්සෙ.

එච්චර සෙනගකුත් නැහැ. නුවරින් ගොඩක් අය බැහැපු නිසා මට හිතේ හැටියට මනෝ ගහන් යන්න පුළුවන් ජනේලයක් අයිනේ සීට් එකක් හම්බ වුණා. ඒත් අපි යාළුවෝ සෙට් එකට නම් එක ළඟ වාඩි වෙන්න ලැබුනේ නැහැ.

නුවර ඉඳන් කොළඹට එනකොට උඩරට දුම්රිය මාර්ගයේ නොවරදින දෙයක් තමයි බිම් ගෙවල්. කෝච්චියේ යන කවුරුත් මේ බිම් ගෙවල් වලට ආසයි. පොඩිහිටියෝ වගේම සමහර වැඩිහිටියොත් බිම් ගෙවල් ඇතුලෙන් යද්දි යටිගිරියෙන් කෑ ගහන්නේ, හූ තියන්නේ ඒ නිසා තමයි. හැමදාම කෝච්චියේ එද්දි බිම් ගෙවල් ගණන් කරනවා කියලා හිතාගෙන ආවත් මොකක් හරි හේතුවක් නිසා ඒක මඟ හැරෙනවා.

ඔහොම බිම් ගෙවල් දෙක තුනක් පාස් වෙද්දි මට හිතුනේ අපේ ජීවිතත් හරියට මේ රේල් පාර වගේ නේද කියලා.

බිම් ගෙවල් හරියට අපේ ජීවිතේ අඳුරු කාල සීමා වගේ.

සමහර බිම් ගෙවල් දිගයි. සමහර වෙලාවට හිතෙනවා මේ බිම්ගේ ඉවර වෙන්නෙම නැද්ද කියලා. අපේ ජීවිතේ සමහර අඳුරු කාල ඒ වගේ. ඒවා කොච්චර දිගද කියනව නම් අපිටම ඇතිවෙලා බලාපොරොත්තු අතෑරලා දාන වෙලාවල් තියනවා. කරන කිසිම දෙයක් හරියන්නේ නැති, මේ ජීවිතේ තේරුම මොකද්ද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න අවස්ථා එමටයි.

ඒත් සමහර බිම්ගෙවල් හරිම කෙටියි. තවත් බිම්ගෙයක් නේද කියලා හිතන කොටත් බිම්ගේ  ඉවර වෙලා. අපේ ජීවිතේ සමහර අඳුරු  කාල ඒ වගේ. ප්‍රශ්නෙට මුහුණ දෙන්න හිත හදාගන්නකොටම ප්‍රශ්නෙ විසඳිලත් ඉවරයි.

ඒත් මේ හැම බිම්ගෙයක්ම වගේ ජීවිතේ අඳුරු කාල සීමා තියෙන්නෙත් ජීවිතේ එක් කාලෙකදි විතරයි. ගමනාන්තය දක්වාම බිම් ගෙවල් නෑ වගේ අඳුරු කාල සීමා හරිම කෙටියි. හැබැයි ඒ ජීවිත කාලයට සාපේක්ශව.

මොන ප්‍රශ්නෙ ආවත් ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් අපේ ජීවිතේ සාර්ථකයි. දෙන්නෙක්ගේ ජීවිත සංසන්දනය කරන්න බැහැ. ඒ එක එක්කෙනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වෙනස් නිසා..ඔබේ ජීවිතයයි මගේ ජීවිතයයි සමාන නොවන නිසා. මට බොහෝ කරදර දෙන ප්‍රශ්නයක් ඔබට ප්‍රශ්නයක් දැයි හිතෙන තරමට නොවටිනා වෙන්න පුළුවන්.  


හැම බිම්ගෙයක් අවසානෙදිම කෝච්චිය හිරු එළිය දකිනවා වගේ අපිත් හැම ප්‍රශ්නයක්ම අවසානයේ ජීවිතය දකිනවා. ප්‍රශ්න නැති ජීවිත නැහැ. හැම ප්‍රශ්නෙකටම මුහුණ දෙන්න ධෛර්යයයි වැදගත්.. 


සීත කාලය පැමිණේවි 
තද හිම කුණාටු හමාවි 
හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි... 

ඒත්.... 

වසන්තය එනවා සත්තයි!! 

(ගුරු ගීතය) 


පින්තූරය මෙතනින්... 

Friday, November 15, 2013

තාරකාවී

ට්‍රීං ට්‍රීං ට්‍රීං…..


එලාම් එකේ සද්දෙට මාව උඩගිහින් ඇහැරුණා. කම්මැලිකමට පොරෝනෙන් එක ඇහැක් එළියට දාලා බැලුවා. තාම කලුවරයි.

 “කවුද යකෝ මේ උදේ පාන්දර එලාම් තියන එකා?” මම දිගාගෙන් ඇහුවා.

“මේක හරි කෙළියක්නේ. උඹ හිතුවද උඹේ ෆෝන් එකෙන් මම එලාම් තියනවා කියලා?” ඌ ඇහුවා. ඒ කියන්නේ මම තමයි එලාම් තියලා තියෙන්නේ. අඩේ මට මොන පිස්සුවක් වැහීගෙන එනවද? කවදාවත් එලාම් තියන්නේ නැති මම අද එලාම් තියලා.

ආහ්.. මතක් වුණා නේන්නම්. අද සෙනසුරාදා.. අද පාඩම් කරන්න ලයිබ්‍රරි යන දවස. හරියටම කිව්වොත් පාඩම් කරන්න නෙවෙයි හැම සෙනසුරාදම ලයිබ්‍රි එකට පායන පුංචි තාරකාවි බලන්න ලයිබ්‍රරි යන දවස.

දැන් සති දෙකක ඉඳන් මම මේ වැඩේ කරන්නේ. කවදාවත් ෆැකල්ටියේදි ලයිබ්‍රරි එක පැත්ත පළාතේ නොයන මම මේ හදිස්සියේ හැම සෙනසුරාදම පාඩම් කරන්න කියලා ලයිබ්‍රි ගතවෙන එක මගේ යාළුවන්ටත් හරිම පුදුමයක්.

“කියපන් ඇත්තටම.. උඹ ඔය ලයිබ්‍රි යන්නේ මොකක් හරි වෙන කේස් එකකට නේද? නැත්තම් උඹට මේ හදිස්සියේම පාඩම් කරන්න හිතක් පහළ වුණේ කොහොමද?” දිගා ඇහුවේ ඌට මේ ගැන සැකයක් ඇති වෙලා තිබ්බ නිසාමයි.

“පිස්සුද උඹට ? එක්සෑම් එකත් කට ළඟටම ඇවිත්. අපි එක්සෑම් ගොඩ දාගන්න හදනකොට තමයි උඹලත් අපිට අනං මනං කියන්නේ. අර බොග පණුවෝ දවස තිස්සේ ලයිබ්‍රි එකේ ඉන්නේ. උන්ට මුකුත් කියන්නෙ නැහැ උඹලා.” මම දිගාව මුලින්ම කපලා දැම්මා. ඌ මගේ රූමා වුණත් ඌට මේ ගැන කියන්න හිතක් තිබ්බේ නැහැ මට. ඌ හිතයි මට පිස්සු කියලා.

මම දඩ බඩ ගාලා මූණ හෝදගෙන ඇඳගෙන කැන්ටිමට ගියා. ගිහින් මගේ ජාතික ආහාරය වෙච්ච පාන් බාගෙකුයි ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු හොද්දකුයි ඇදල ඇරියා. ඊට පස්සේ පොත් ටිකත් අරගෙන පයින්ම ෆැකල්ටිය පැත්තට ඇවිදගෙන ගියා. එයා ඇවිත් ද දන්නේ නැහැ. මම පය ඉක්මන් කළා.

ලයිබ්‍රිය ඇතුලට ඇවිත් මම සුපුරුදු තැන වාඩි වුණා. මෙතනට මම කැමති මෙතන වාඩි වුණාම තාරකාවි වාඩි වෙන තැන හොඳට පේන නිසා. ඒත් ඒ සුපුරුදු තැන හිස්. තාම වෙලාව අටයි නේ. එයා ඒවී තව ටිකකින්.

තාරකාවි... ඒ එයාගේ ඇත්ත නම නෙවෙයි. ඒත් යන යන තැන දීප්තිමත් කරවන නිසා මමයි එයාට ඒ නම් දැම්මෙ. එයා හරිම ලස්සනයි. හරියටම කියනව නම් පුංචි සුරංගනාවියක් වගේ. ලස්සන  වගේම තමයි එයාගෙ කටත්. පුදුම කියවිල්ලක් තියෙන්නේ. එයා මුලින් ලයිබ්‍රි ආවාම සිකියුරිටි ඇන්ටි එක්කත් පැය ගාණක් කියවනවා. ඊට පස්සෙ පොතක් රිටන් කරන්න ගියාමත් එතනත් කියවිල්ල. අනේ මන්දා මේ ගෑණු ළමයි ඔච්චර කියවන්න දේවල් කොහෙන් හොයා ගන්නවද කියලා.

එයා හිටියේ කැම්පස් එකට අලුතින්ම ආපු බැච් එකේ.හොඳ වෙලාවට අපේ ඩීන් කාරයා අපි දෙගොල්ලන්ටම එක්සෑම් එකම කාලෙ දැම්මේ. නැත්තම් කොහොමද මම වගේ එවුන්ට ලයිබ්‍රරි එන්න හේතුවක් හොයාගන්නේ.

ඊට පස්සේ එයා ඇවිත් පොත් ටික මේසේ උඩින් තියලා ගිහින් එයාටත් වැඩිය ලොකු පොතක් අමාරුවෙන් උස්සන් එනවා. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්නෙවත් නැතුව වැඩ. ලියනවා, මකනවා, වෙලාවකට පොතට රවනවා, ඔරවනවා. මම මේ ඔක්කොම බලාගෙන ඉන්නවා.

දහයට විතර ඔන්න එපාවෙලා වගේ ඈනුමක් එහෙම ඇරලා නැගිටලා තේ බොන්න යනවා. මමත් ඒ වෙලාවට හෙමීට කවුරුහරි බලන් ඉන්නවද කියලා වටපිට බලලා එහෙම පහළට යනවා. එයා තේ බොන්න යන්නේ තනියම නෙවෙයිනේ. කොයි වෙලෙත් එයාව වට කරන් එයාගේ යාළුවෝ ටික. කිචි බිචි ගගා තේ බොන්නම පැය බාගයක් විතර යනවා. මාත් ඉතින් ඔහෙ මොනවහරි හප හප එයාලා දිහා බලන් ඉන්නවා. සමහර වෙලාවට අපේ එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා කැන්ටිමේදි. ඉතින් උන් එක්කත් කයියක් ගහන් ඉන්නවා. එයාලා තේ බීලා ඉවර වුණ ගමන් මාත් “එහෙනං මචං මම යන්නම් කියලා” ආපහු ලයිබ්‍රරි ගත වෙනවා.

හීන ලෝකෙක අතරමං වෙච්ච මම ඔරලෝසුව දිහා බැලුවේ බඩගින්නක් දැණුන නිසාමයි. කෝ මෙයා තාමත් නෑනේ. අද එන්නෙ නෑ වගේ. එනවනම් මෙලහට ඇවිත්. එයා නැතුව මම විතරක් මෙහෙ ඉඳලා මොකටද? බලන් ඉඳලා වැඩක් නෑ. මම යනවා යන්න. පොත් ටිකත් එකතු කරගෙන මම පහළට ආවා.

බඩගින්නකුත් තියනවා. ඒත් එයා නැතුව මට කැන්ටිමට වත් යන්න හිතෙන්නේ නෑ. යනගමන් කිරිහලට වත් යන්න ඕනේ. මම හෙමින් හෙමින් කිරිහල පැත්තට ඇවිදගෙන ගියා.  

“හලෝ මචං, උඹව දැක්ක කල්” කවුද මන්දා පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට පාරක් ගැහුවා.
                         
“ මේ කැලුමා නේ? උඹ කොහෙද මෙහෙ? හම්මෝ උඹලව දකින්න තියන අමාරුව”  මම කිව්වා. කැලුම් ඉස්කෝලෙ මගෙ අතිජාත මිත්‍රයෙක්. ඌ දැන් කටුබැද්දෙ ඉන්ජෙක්.

“උඹ හෙනට වෙනස් වෙලානේ. අඳුරන්නත් බැහැ” ඌ කිව්වා.

“ ඉතින් බං, උඹ කොහෙද මෙහෙ” මම ඇහුවා.

“නංගි බලන්න ආවා බං” ඌ කිව්වා. මුට මම දන්න තරමින් නම් නංගියෙක් නැහැ. ෂුවර් එකට මූ කියන්නේ උගෙ හිච් එක ගැන වෙන්න ඕනේ.

“නංගි, මේ සම්පත්, ඉස්කෝලෙ මගෙ හොඳම යාළුවා” ඌ පිටිපස්ස හැරිලා කිව්වා. 

එතන අයිස්ක්‍රීම් දෙකකුත් අතේ තියන් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.. මගේ තාරකාවී....

ප.ලි:  බොග පණුවා = උදේ ඉදන් රෑ වනතුරු ලයිබ්‍රරියේ සිට පාඩම් කරන තැනැත්තා.. 

හිච් එක = පෙම්වතා හෝ පෙම්වතිය 

ප. ප. ලි : මේ බ්ලොග් එකට මුලින්ම ලියපු කතාව. පිරිමි ළමයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ලිව්වේ. වැරදි තියේනම් කියන්න.

Saturday, November 9, 2013

මවාපෑම

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
ඉන්පසු නොමැත කිසිවෙකුගෙත් සැලකිල්ල 
ඒ ගැන සිතා නොම වන්නට වැනසිල්ල 
මගේ හිසට මගේ අතමයි සෙවණැල්ල 

උඩින් මිතුරු කම් පානා බොහෝ වෙති 
ඇති තැන අනේ පණ දෙන්නට කතා වෙති 
උදව් ඕනේ විට පමණක් සොයා එති 
මට නම් කිසිම තරහක් මගෙ හිතේ නැති

මම කරනා හැම දෙයකම දොස් හොයලා 
උන් කරනා හැම දෙයක්ම හරි කියලා 
කිසි වරදක් නොමැති ලෙසට රඟපාලා 
බොරු කරනා මිනිසුන් මට තිත්ත වෙලා  

පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු 
නැති තැන අපේ පලු යන්නට බනිනවලු 
හිතේ කහට නැහැ කියලත් කියනවලු 
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ 

Wednesday, November 6, 2013

මේ දවස්වල....

බැලූ බැලූ අත
හිස් ගොඩවල්
ඈත බලන්...
පුස්තකාලේ
හුස්ම ගන්න
ඉඩක් කඩක්
නැති වෙන්නම
පිරිලා ගිහින්....
රාක්ක වල
දූවිලි වැදි වැදී
උන් පොත් ටික
අතුරුදහන්....
මටත් වඩා උස
පොත් කන්දක්
මේසේ උඩ
දත නියවන්....
අගක් මුලක්
හිතාගන්න
බැරි කමටම
මගේ හිතත්
ඉබාගාතේ
ඇවිද ගිහින්....


Saturday, November 2, 2013

සතුට සොයා යමු

හීන, අපි හැමෝටම හීන තියනවා. හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.

සතුට, අපි හැමෝම හොයන්නේ සතුට. මැරෙන්න බැරි කමට ජීවත් වෙන කෙනෙක් වුණත් සතුටක් ලැබෙන පුංචිම දෙයක් වුණත් අතහරින්න කැමති නැහැ. අපි ආස කරන හැමදෙයක්ම ලං කරගන්න හදන්නේ ඒ දෙයින් අපිට සතුටක් ලැබෙයි කියලා හිතන නිසා. කොච්චර සල්ලි තිබුණත් මොකටද හිතේ සතුටක් නැත්තම්? ප්‍රශ්න එනකොට දුප්පත් පොහොසත් බේදයක් නැහැ. හැමෝටම ප්‍රශ්න තියනවා ඒත් සල්ලි නැත්තම් අපි හිතන්නේ සල්ලි නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා.

හැම  වෙලාවෙම අපි හිතන්නේ නැති දේවල් ගැන. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? ඔබේ ජීවිතයේ තියන ඔබට නොහැඟෙන තරම් පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක් ජීවිත කාලෙම පෙරුම් පුරලා ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් වෙන්න පුළුවන්. දෙයක වටිනාකම තදින්ම දැනෙන්නෙයි, ඒ දේ වැඩියෙන්ම ඕන වෙන්නෙයි ඒ දේ තමන්ගෙන් ගිලිහුණාම. ඒ නිසයි දත් තියන කාලේ ඇති තරම් හිනාවෙන්න කියන්නේ.

හිතල හෝ නොහිතා කරන ගොඩක් පුංචි දේකින් කෙනෙක්ගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්. වැඩිදුර හිතන්නේ නැතුව පිට කරන පුංචි වචනයක් වුණත් ඇති තවත් කෙනෙක්ගේ හිත ආයෙ සනීප කරන්න බැරි තරම් රිද්දන්න. ඒ වගේමයි සතුටත්. පුංචිම පුංචි දේකට තවත් කෙනෙගේ ජීවිතේ සතුටට පත් කරන්න පුළුවන්. දවස් ගාණකින් හිනා නොවුණ කෙනෙක්ගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුළුවන්.

මේ දේවල් ලියන්න හිතුණේ අද බලපු චිත්‍රපටයක් නිසා. චිත්‍රපටයේ නම අමීලී (Amelie). 2001 වසරේ නිෂ්පාදනය වුණ මෙය ප්‍රංශ චිත්‍රපටයක්. ඈ ආදරය නොලැබූ කෙනෙක්. සමාජයෙන් වෙන්ව හැදුණු කෙනෙක්. ඇය ගෙදරින් වෙන්ව සමාජය සොයා ජීවිතය සොයා යනවා. අහම්බෙන් ඇයට කුඩා ළමයෙක් තමන්ගේ වස්තුව සැඟවූ පුංචි පෙට්ටියක් හමු වෙනවා. ඈ එහි නියම අයිතිකරු සොයා යනවා.

ඒ සිදුවීම් දාමයත් එක්ක ඈ සතුට සොයන්නියක් බවට පත් වෙනවා. ආදරය නොලැබූ අයට ඈ ආදරය ළං කරනවා. සතුට නොලැබූ අයට ඈ සතුට ළං කරනවා. ඒත් ඈ ජීවිතයෙන් සතුටක් ලබයිද? හැමෝටම සතුට ගෙනාපු ඇය ඇගේ ජීවිතයට සතුට සොයාගනියිද?


මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියපු සම්මානනීය චිත්‍රපටයක්. ඒත් වැදගත්කම ඒක නෙවෙයි. හදවතේ ගැඹුරුම තැනක හැඟීම් අවදි කරන්න මේ චිත්‍රපටයට පුළුවන්. බලලා ඉවර වුණාම හැඟීම් සමුදායක අතරමං කරන්න මෙ චිත්‍රපටයට පුළුවන් වුණා. ඒ අපි හැමෝම ඈ තුල ජීවත් වෙන නිසයි. ඇය තුලින් අපි අපිවම දකින නිසයි.

ප. ලි. මේ චිත්‍රපටය හොයලා දීපු රවීන් අයියට ගොඩක් ස්තූතියි. 

Saturday, October 19, 2013

මිනිස්සු

දෙවන වේදිකාවට දැන් පැමිණි සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ..  දුම්රිය නවත්වන්නේ රඹුක්කන, පොල්ගහවෙල, මීරිගම , වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව”

නුවර ඉඳන් එන කෝච්චිය පේරාදෙණිය ස්ටේශන් එකට ආවා. කාලයක් මගෙ ජීවිතෙත් එක්ක බද්ධ වුණු කෝච්චිය කාලයත් එක්කම මගේ ජීවිතෙන් දුරස් වුණා. ඒත් තාමත් ඉඳල හිටලා හරි කෝච්චියේ යන්න ලැබෙන එකම ඇති.

බස් ගමන් අප්පිරිය මම වගේ කෙනෙක්ට කෝච්චි ගමන නම් හරිම රසවත්. බස් එකේදි වාඩි වුණොත් නින්දක් දාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් කෝච්චියේ යද්දි නම් හොඳටම නිදිමත වුණොත් ඇරෙන්න මට නම් නින්ද යන්නේ නෑ. කෝච්චියේ යද්දි බලන්න දේවල් කොච්චර නම් තියනවද? ජනේලෙන් එහා පේන දේවල් විතරක් නෙවෙයි. කෝච්චියේ යන මිනිසුන්ගේ හැංගිච්ච කොච්චර නම් කතා ඇත්ද? මගේ විනෝදංශයක් තමයි කෝච්චියේදි මුණගැහෙන එක එක චරිත තෝරගෙන ඒ අයට කතා ගොතන එක. එහෙමත් නැත්තම් මම ලියාගෙන යන කතාවක චරිතයකට ඒ එක එක මිනිස්සු ආදේශ කරලා බලන එක. සමහර වෙලාවට මගේ හිතේ ඇඳිච්ච චරිතයටම ගැළපෙන අය ලැබෙනවා. එහෙම චරිතයකට නොගැළපෙන ඒත් හිත් ඇදගන්න කෙනෙක් හම්බ වුණොත් මම අලුතෙන් චරිතයක් හදලා හරි ඒ කතාවට එකතු කරනවා.

මිනිස්සු… මිනිස්සු කොච්චර එකිනෙකාගෙන් වෙනස් ද? ස්වරූපය, ගති පැවතුම්, අඳින පළඳින විදිය වුණත් කොච්චර එකිනෙකාගෙන් වෙනස්ද? අපි හොඳයි කියල හිතන් ඉන්න අය නරකම කෙනෙක් බවට පත් වෙන්න එක විනාඩි පහක් ඇති.  අපි නරකයි කියලා හිතන් ඉන්න අය ගැන අපේ තියන ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එකම එක වචන පේළියකට පුළුවන්.

මේ ළඟදි මම හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් හරිම ප්‍රාථමික මට්ටමේ වැඩක් කළා. මම ඒ ගැන ගොඩක් කම්පාවෙන් ඉන්නකොට මගේ යාලුවෙක් කිව්වේ "කලු මිනිස්සුවත් සුදු මිනිස්සුවත් මේ ලෝකේ නෑනේ. ඉන්නෙ ඔක්කොම අලු පාට මිනිස්සු. සමහරු තද අලු පාටයි. සමහරු ලා අලු පාටයි. ඒක තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනේ."  කියලා. ඒකත් ඇත්ත. මිනිස්සු හරියට ඇපල් වගේ. රතු ඇපල්, කොළ , කහ ඇපල්... පොත්ත අයින් කළාම එකයි. මිනිස්සුත් ඒ වගේ. හැමෝගෙම ඇඟ ඇතුලේ දුවන්නේ එකම ලේ වුණාට බාහිරෙන් කොච්චර වෙනස්ද? 

හොඳම යාළුවෝ කියලා හිතන් ඉන්න අයගෙ සමහර වෙනස් වීම් දරාගන්න බැරි වෙන අවස්ථා ඕනේ තරම් තියනවා. ඇත්තටම බලද්දි උදව් ගන්න විතරයි යාලුකමෙන් ඉඳලා තියෙන්නේ. එහෙම දේවල් ගැන හිතද්දි නම් හිතට පුදුම කළකිරීමක් දැනෙනවා. හිතට එකඟව කතා කරන්න බැරි නම් කතා නොකර ඉන්න එක වඩා හොඳයි.

දවසෙන් දවස අපේ ළඟින්ම ඉන්න අය කරන වැඩ නිසා හිත අවුල් වෙනවා වැඩියි. මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමීද කියලා වෙලාවකට තේරුම් ගන්න බැරි තරම්. ඒත් අනිත් අය ඉපදිලා ඉන්නේ අපිව සතුටු කරන්න නෙවෙයිනේ. තමන් කරන වැඩ වල ප්‍රතිඵල කවදහරි තමන්ටමයි. 

අහිමි වුණ මිතුරුදම් කිහිපයක මතක සටහන් එක්ක අද මම තනිවෙලා. එයාලට මාව හොඳ නැති නිසා වෙන්න ඇති නේ ඈත් වෙන්න ඇත්තේ. අඩුම ගානේ හේතුවක්වත් කියලා ඈත් වෙනවනම් ලොකු දෙයක්. නැත්තම් මම එක එක විකාර හිතනවනේ. 

අනිත් අයට මහන්සිවෙලා තමන්ගේ කාලේ කැප කරගෙන උදව් කරපු මම අන්තිමට මෝඩයා වෙලා තියෙන්නේ. හැම කෙනෙක්වම අතේ දුරින් තියාගන්න ඕනේ කියන එක තමයි මම ජීවිතෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම. 

වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන 
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් 
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්... 

කන්ට බෑ කියා තනිවම  එන්ට යැයි කියා ගමටම 
බත් බුලත් නිතර දන්දුන් පියවරුන් වෙතින් 
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී 
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්... 

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ 
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්..
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද 
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්... 

ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ 
තනුව : රෝහණ වීරසිංහ 
ගායනය : සුනිල් එදිරිසිංහ 

Wednesday, September 4, 2013

මගේ කේන්තිය



කේන්තිය, තරහව, කෝපය ඔය මොන නමින් හැඳින්වුවත් ඒ හැමදේකින්ම හඳුන්වන්නේ එකම දේ. අපි අතරෙන් ගොඩක් අයට කේන්ති යනවා. මොනම දේකට හෝ කේන්ති නොගත්ත කෙනෙක් අපි අතරෙ නැතුව ඇති. සමහරුන්ට නිතරම කේන්ති යනවා. සමහරුන්ට ගොඩක් පොඩි දේවල් වලට කේන්ති යනවා. සමහරුන්ට නිතර කේන්ති යන්නේ නැහැ. ඒත් කේන්ති ගියාම හරිම දරුණුයි.

ඇයි අපිට කේන්ති යන්නේ? කේන්ති ගියාම අපි විවිධ විදියට ඒ තරහව පිට කරනවා. බුම්මගෙන ඉන්නවා. ළඟ ඉන්න අයට බනිනවා. කෑ ගහනවා. බඩු පොලවේ ගහනවා වගේ නොයෙක් දේවල්. ගොඩක්ම කේන්ති ගියාම තමයි රණ්ඩු කරනවා, ගහගන්න යනවා. එහෙමත් බැරි වුණාම ඔය ප්‍රශ්න මිනීමැරුම් දක්වා දුර දිග යනවා. ගොඩක් දරුණු ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ අන්තිමට පොඩිම පොඩි දෙයක්.

තරහ ආවාම පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. ඒත් මම ඒක සාර්ථකව අත්හදා බලලා නම් නැහැ. මේ ලියන මමත් ගොඩක් කේන්ති ගන්න කෙනෙක්. කේන්තියක් ආවාම එකේ ඉදන් දහයට ගණන් කරන්න වගේ දේවල් දැනගෙන හිටියත් ඒවා මතක් වෙනකොට තරහ අරන් ඒවට ප්‍රතික්‍රියා දක්වලත් ඉවරයි. මම නම් ඉතින් ගොඩක් වෙලාවට බුම්මගෙන ඉන්න එකයි අහල පහළ අයට කෑ ගහන එකයි තමයි කරන්නේ.

සමහරුන්ට මොනව කලත් කේන්ති යන්නේ නෑ. සමහරුන්ට පොඩි දේකටත් කේන්ති යනවා. මේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මම නම් කොච්චර උත්සහ කළත් කේන්ති නොගෙන ඉන්න බැහැ. කොච්චර හිතාගෙන හිටියත් මම අද කේන්ති ගන්නේ නැහැ කියලා අන්තිමට බලනකොට මොන විදියකින් හරි මම ඒ කේන්තිය පිට කරලා.

සමහර වෙලාවට කේන්ති ගත්ත දේ ගැන මට හරියට ලැජ්ජ හිතෙනවා කේන්ති ගත්තට පස්සෙ. ඒ ගැන පස්සෙ හිතල බලනකොට අනේ මට මේ පොඩි දේකටනේ කේන්ති ගිහින් තියෙන්නෙ කියල මතක් වෙලා හරියට පසුතැවෙනවා. ඒත් මගේ ප්‍රතික්‍රියා කාලය හරිම අඩු නිසා වගේම ක්ෂණිකව හිතල තීරණයක් ගන්න පුළුවන් කමේ මඳකම් නිසාද මන්දා මට හරියට තරහ යන්නේ. මට ඕක නෙවෙයි කරන්න තිබ්බෙ කියලා මතක් වෙනකොට ගොඩක් පරක්කු වැඩියි.

කොහොම නමුත් මම උත්සහ කරන එක නවත්තලා නෑ. පුළුවන් හැම වෙලාවෙදිම පුළුවන් තරම් අඩුවෙන් කේන්ති ගන්න මම උත්සහ කරනවා. කේන්ති නොගෙන ඉන්න නෙවෙයි. ඒකට නම් මට සෑහෙන්න ඉවසීම පුරුදු කරන්න වෙයි. හැම් පොඩි දේකටම කේන්ති ගන්න එක හරිම මානසික පීඩාවක්. විඳින්න ඕනේ අවස්ථා ගොඩක් මඟහැරිලා තියනවා මගේ මේ කේන්තිය නිසා. මම sense of humor නැති කෙනෙකුත් නෙවෙයි. (සමාවෙන්න. මට මේකට කියන හරිම සිංහල වචනෙ හොයාගන්න බැරි වුණා) ඒත් මට හිතාගන්න බැරි කොච්චර උත්සහ කළත් ඇයි මට කේන්ති ගන්නෙ නැතුව ඉන්න බැරි කියලා
.
යාළුවො නම් කියන්නේ මාව දැක්ක ගමන් පේන්නේ මේ වගේලු..


හැබැයි ටික දවසක් ආශ්ර්ය කරනකොට ලු හිතෙන්නේ මේ පින්තූරේ වගේ කියලා. :D



මොනයම් හෝ ක්‍රමයකින් කේන්ති යන එක පාලනය කරගත්ත ඇත්තෝ බ්ලොග් අවකාශයේ ඇති..අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ අයගෙන් මම උපදෙසක් බලාපොරොත්තු වෙනවා. 

Monday, September 2, 2013

පොඩ්ඩොන්ගේ කතා 3

අදත් කියන්න යන්නේ පොඩ්ඩෙක්ගේ කතාවක්. හැබැයි මේක පොඩ්ඩියෙක්ගේ කතාවක් කිව්වොත් හරි. මේ පොඩ්ඩි අපේ පුංචිගේ දුව. තාම අවුරුදු 3යි. මෙයාලගේ මොන්ටිසෝරියේ බණක් තිබ්බලු දවසක්. 

බණට වැඩිය හාමුදුරුවෝ කියලා දෙනවලු හොඳ පුරුදු ගැන. දරුවන්ගේ හොඳ පුරුදු ගැන කියලා දෙන ගමන් දෙමව්පියන්ගේ හොඳ පුරුදු ගැනත් ළමයින්ට කියලා දුන්නලු. පොඩි ළමයින්ට දෙමව්පියන්ගේ ගතිගුණ සෑහෙන්න වෙනස් කරන්න පුළුවන්නේ.

දැන් හාමුදුරුවෝ කියනවලු “සමහර දරුවන්ගේ තාත්තලා රෑට බීලා ඇවිල්ලා අම්මාටයි දරුවන්ටයි ගහනවා. ඒ තාත්තලා නම් හරිම නරකයි. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ඔන්න කවුරුවත් අත ඉස්සුවේ නෑලූ. ඒ පාර හාමුදුරුවෝ කිව්වලු “මේ දුවලා පුතාලාගේ තාත්තලා නම් හරිම හොඳයි” කියලා .

ඊළඟට කියනවලු “සමහර දුවලා පුතාලාගේ අප්පච්චිලා සත්තුන්ට ගහනවා. හිංසා කරනවා. ඒකත් හරිම නරක වැඩක්. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ටික වෙලාවක් ගියාලු. කවුරුවත් අත උස්සන පාටක් නෑලු. ඒ පාර මේ පොඩ්ඩි නැගිට්ටලු. නැගිටලා මුළු හෝල් එකටම ඇහෙන්න හයියෙන් කිව්වලු “අපේ අප්පච්චිට නම් පූසෝ පේන්න බෑ” කියලා.



Wednesday, August 28, 2013

බස වෙනස

ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂා ව්යවහාරය ගොඩක් වෙනස්. එක් ප්‍රදේශයක සාමාන්‍යයෙන් භාවිතා වෙන වචනයක තේරුම වෙනත් ප්‍රදේශයක් ඊට බොහෝ සෙයින් වෙනස් වචනයකට භාවිතා වෙන්න පුළුවන්.

කැම්පස් ආවට පස්සෙ විවිධ පළාත් වලින් විවිධ මිතුරු මිතුරියෝ අඳුර ගන්න ලැබුණානේ. ඒතකොට තමයි දැනගත්තේ අපි පාවිච්චි කරනවට වඩා ගොඩක් වෙනස් වචන එකම දේවල් වලට පාවිච්චි වෙනවා කියලා. අපේ කට්ටිය හැමදාම මරාගන්න වචනයක් තමයි ඔය ව්යංජන වලට මාලු කියන එක.

දවසක් ඔන්න කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉන්නකොට මගේ යාළුවෙක්ගෙන් පිටිපස්සේ ඉන්න අපේ බැචෙක් අහනවලු “ අද මොනවද මාලු?” කියලා. එතකොට යාළුවා කිව්වලු “ජාතිය නම් දන්නේ නෑ බැදපු ඒවා තමයි තියෙන්නේ කියලා.” බලනකොට එයාගෙන් අහලා තියෙන්නේ අද ව්යංජන මොනවද තියෙන්නේ කියලා. ඔය කතාව අපිට කිව්වම හිනාවෙලා ඉවරයක් නැහැ.

තව ඉතින් කට්ටිය හිනාවෙනවා මම පඬි කිව්වම. අපි ඔය බල්ලොන්ගේ පූසොන්ගේ මවිල් වලට කියන්නේ පඬි කියලා. යාලුවො කියන්නේ පඬි කියන්නේ පණ්ඩිතයා කියන එකටලු. තවත් එකක් තමයි ඔය දෑවා කියන එක. ඒක නම් ඉතින් අපේ බැචාලා ගොඩක් අය ඔය දෑවා කියන එක පාවිච්චි කරනවා. අපේ කට්ටිය ඉතින් ඔය වචනෙ කාගෙහරි කටින් පනිනකම් තමයි බලන් ඉන්නෙ. අල්ලගෙන බයිට් කරන්න.

අපේ අම්මලගේ ගමේත් වෙනස් වචන ගොඩක් පාවිච්චි වෙනවා. එයාලා ආච්චි අම්මට කියන්නේ කිරි අම්මා කියලා. සීයාට කිරි අත්තා. අපිත් ඉතින් එහෙම තමයි කියන්නේ ඒ විදියට පුරුදු වෙලා.

එළවළු උයන වලං වලට කියන්නේ හොදි අප්පල්ලෙ කියල. ගාල ඉතුරුවෙන පොල් බෑ වලට කියන්නේ පොල් අඩලෙ කියල. මැටි කෝප්පෙට කියන්නේ මඩක්කුව කියලා. ඒ පැත්තෙ මොකක්හරි අරන් තියන්න කියන එකට කියන්නේ ඇන්න තියන්න කියලා. දුඹුරු පාටට කියන්නේ ගුරු පාට කියලා. මම ඉස්සර හිතන් හිටියේ ගුරු පාට කියන්නේ ගුරු පාරේ පාටට කියලා. බලන් යනකොට ඒකෙත් වැරැද්දක් නැහැ. තවත් දෙයක්. ඒ පැත්තේ තමයි ඔය බස් හිටවන්නේ එහෙම.

දකුණු පළාතේ භාවිතා වෙන වචන ඔයිට සම්පූර්ණයෙන්ම වෙනස්  නේ. එහෙ කාටහරි කතා කරන්නේ ඔහේ කියලා. තව ඒ පැත්තෙ අය පොල් ඔයනවා. දොඩවනවා. යන්නේ කාණ්ඩ ගැහිලා. හිච්චි මහත්තුරු, හාමිනේලත් ඉන්නේ ඔය පැත්තේ තමයි. තනියම යනවට කියන්නේ ඉබේ යනවා කියලා. තව ඔය වගේ වචන නම් ගොඩයි. ඒ පළාතේ වචන ගැන නම් මට ඒ හැටි දැනුමක් නෑ.


එකම භාෂාවක් වුණත් ලංකාවේ විවිධ පළාත් වල වෙනස් විදියට තමයි භාවිතා වෙන්නේ. නමුත් පාවිච්චි කරන වචන වෙනස් වුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. වැදගත්ම දේ ඒකයි. 

පින්තූරය මෙතනින් 

Tuesday, August 27, 2013

ගැස්ට්‍රයිටිස්

අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන මිනිස්සු. වැඩ කිව්වම එකක් නෙවෙයි ඉවරයක් නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ වැදගත් නැහැ කියලා මගහරින දේවල් ගොඩක් තියනවා. කෑම එහෙම් මගහරින දෙයක් වුණොත් කොහොමද? දවස් ගණන් නොකා නොබී ඉන්න අපි කාටවත් බැහැනේ. ඒ නිසා අපි දවසකට එක වේලක් මගහරින්න පුරුදු වෙලා. අවාසනාවකට අපි මගහරින කෑම වේල තමයි දවසේ වැදගත්ම කෑම වේල. ඒ කියන්නේ උදෑසන ආහාර වේල.

අපි මේ උදෑසන ආහාර වේල මග හැරියාම අපි අපිටම නිදහසට කරුණු ඉදිරිපත් කර ගන්නවා. “මට වෙලාවක් තිබ්බේ නැහැ උදේට කන්න ඒ නිසා මම දවල්ට හොඳට කනවා” වගේ හේතු අපි තමන්ටම ඉදිරිපත් කරගන්නවා. මේක තමයි භයානකම දේ. අපි කලින් දවසේ රෑට කන්නේ රෑ 8ට වගේ කිව්වොත් උදේට 8ට වත් කෑවේ නැත්තම් අපි දවල්ට කනකල් පැය 12කට වඩා වැඩි වෙලාවක් අපි බඩගින්නේ ඉන්නවා. මේ කාල සීමාව ඇතුළත ආමාශයට ආමාශයික යුශ ස්‍රාවය වෙන එක නොනැවැත්වීම සිදු වෙනවා. ආමාශයික යුශ වල තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමශයික යුශ වල අරමුණ තමයි අපි ආහාරයට ගත්ත දේවල් වල ජීරණය ආරම්භ කරන එක. ඒත් ආමාශයේ ආහාර තිබ්බේ නැත්තම් ආමාශය තමන්ගේම පටක ජීර්ණය කරගන්න පටන් ගන්නවා.

ඒත් මේක එක පාරටම වෙන දෙයක් නෙවෙයි. එක් දවසක් එක ආහාර වේලක් මගහැරියා කියලා මේක වෙන්නේ නෑ. දීර්ඝ කාලයක් තිස්සේ ආමාශයික යුශ වලට ආමාශයික පටක නිරාවරණය වුණාම තමයි මේක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අධික ආම්ලික ගතියෙන් ආමාශය ආරක්ෂා කරගන්න ශ්ලේෂ්මල පටලයකින් ආමශයික පටක ආවරණය වෙලා තියනවා. ඒත් දිගු කාලයක් ආමශයික යුෂ වලට නිරාවරණය වීම නිසා මේ පටලය තුවාල වෙලා ආමාශයේ පටක අම්ලයට නිරාවරණය වෙනවා. එතකොට ආමශයික පටක ස්වයං ජීරණයට ලක්වීම නිසා ආමාශයේ තුවාල හැදෙන්න පටන් ගන්නවා.

ඔන්න කෑමවේල් මග ඇර ඇර කට්ටි පැනපු අයට දැන් තමයි තරු විසික් වෙන්න පටන් ගන්නේ. දැන් මේ අයට එක දිගට බඩගින්නේ ඉඳලා කෑමක් කාපු ගමන් පපුවේ මැද හරියේ දැවිල්ලකට සමාන වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව විඳලම තමයි බලන්න ඕනෙ. එච්චරට අමාරුයි. ඒ වගේම ඇඹුල් රසට උගුරට එන ගතිය, කෑම අරුචිය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය දරුණු වෙලා ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම වුණාම තවත් විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ අයට කොච්චර බඩ පිරෙන්න කෑමක් කෑවත් පැයක් ඇතුළත නැවත බඩගිනි වෙනවා. ඉතා දරුණු තත්වයක් නම් වමනය සමග ලේ පිටවීම, මල සමග ලේ පිටවීම වගේ දේවලුත් දකින්න පුළුවන්.

ඒත් වැදගත්ම දේ තමයි මේ හැම එකක්ම වළක්වා ගන්න පුළුවන් වෙන එක. හැම ආහාර වේලක්ම වෙලාවට ගන්නවා නම් මේ තත්වය ඇති වෙන එක වලක්ව ගන්න පුළුවන්. බඩ දැවිල්ලක් හැදුනොත් ප්‍රති අම්ල පෙත්තක් (උදා-: Digene) හපලා කන්න ඕනේ. මේ පෙති ජලයේ දියවෙන්න වැඩි වෙලාවක් ගන්න නිසා පෙති බොන එකෙන් නම් ඒ හැටි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊට අමතරව සුදු කිරි ( කහට නොදා හදන ඒවා ) බොන්න  හෝ යෝගට් එකක් කන්න පුළුවන්. එයිනුත් යම් සහනයක් තියෙයි.

ගැස්ට්‍රයිටිස් හෙවත් ආමාශයික ප්‍රදාහයි තියන ඇත්තෝ ආහාර ගනිද්දි බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඹුල් රස කෑම, මිරිස් ගම්මිරිස් යහමින් දාපු කෑම, ෂෝට් ඊට්ස් ඇතුළු පාන් පිටි වලින්  සාදන සියලුම කෑම මේ හැම දෙයක්ම ඔබේ රෝගී තත්වය වැඩි කරනවා. ඒ වගේමයි සමහර බෙහෙත් වර්ගත්. ඒ නිසා ඔබ කුමන ලෙඩකට බෙහෙත් ගන්න ගියත් දොස්තරට ඔබ මෙම රෝගයෙන් පෙළෙනවා නම් ඒ බව දැනුම් දෙන්න.

ඒත් ඔය හැම දේකටම වඩා ලේසියි මේ රෝගී තත්වයෙන් වැළකුණාම. නැත්තම් කැමති කෑමක් කන්න නැහැ. අනිත් අය දිහා බල බල හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ. මෙය දිගුකාලීන තත්වයක් හැටියට තියනවානම් තවත් භයානකයි. මානසික ආතතිය නිසාත් මේ තත්වය දරුණු වෙන්න පුළුවන්. අපේ බැච් එකේ ළමයෙක්ට දෙපාරක්ම විභාගෙ ලියන්න බැරි වුණා විභාග ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා.

ඒත් දැන් මේ ලෙඩේ  තමන්ගේ කාර්යබහුලත්වය පෙන්නන්නත් සමහරු යොදා ගන්නවා. ඒ කියන්නේ බිසී අයට පමණක් හැදෙන ලෙඩක් විදියට ගොඩක් අය හිතන් ඉන්නවා.
“අනේ මම හරි බිසී මෙයා. කොච්චර බිසීද කියනවානම් මට හරියට බ්‍රෙක්ෆස්ට් ගන්න වත් වෙලාවක් නැහැ. ඒ නිසා මට දැ ගැස්ට්‍රයිටිසුත් හැදිලා”

ඔන්න ඕකයි තත්වේ.  තත්වය පෙන්නන්න ලෙඩ යොදා ගන්න එක නම් හරිම් විහිලුවක්. කොයි ලෙඩත් ලෙඩම තමයි. 

මීට ගැස්ට්‍රයිටිස් නිසා පීඩාවට පත් ජනතාව නියෝජනය කරමින්,
සිතුවිලි සිතූ

ප. ලි. 
බ්ලොග් එකේ ඇඳුම ටිකක් වෙනස් කලා. ඒකට මට උදව් කළේ ශම්මි. ශම්මි ඔයාට ගොඩක් ස්තූතියි. 

පින්තූරය ගත්තේ මෙතැනින්...

Sunday, August 25, 2013

බස් කතා

පාඩම් කරන්න තියා මොනම හදිස්සියකටවත් උදේ පාන්දරම නැගිටින්නේ නැති මම එදා උදේ පාන්දරම නැගිට්ටේ පැය 5ක් 6ක් බස් එකේ හිටගෙන යන්න බැරි නිසාමයි. නිදිමතේ වැනි වැනි ලෑස්ති වෙලා මටත් වඩා බර මල්ලකුත් උස්ස ගෙන එළියට බැස්සේ ටෝච් එකත් අතට අරගෙන. ඒත් මේ හොඳට එළිය වැටිලා තියෙන්නේ. යාළුවෝ ටික හිනා වෙනවා මම ටෝච් එකකුත් අරන් ආවට. ඒ ඉතින් මගේ පාන්දර තමයි. කොහොමින් කොහොමහරි පාරටත් ආවා. 


මුලින්ම ආව බස් එකේ සීට් තිබුණ නිසා හොඳට ගියා. ඔන්න මම අයිනේ සීට් එකකුත් අල්ලගෙන උදේ පාන්දරම නැගිටපු ඒවගේ ඇරියස් එකටත් එක්ක හොඳ නින්දක් දාන්නයි ලේස්ති වුණේ. වෙලාවට තවම මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑ. නැත්තම් ඉතින් කන පුරෝලා බස් සින්දු අහන් ඉන්න වෙනවනේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් මම සීට් එකට හේත්තු වෙලා නිදාගන්න ලේස්ති වුණා. යාන්තම් නින්ද යාගෙන ආවා විතරයි මෙන්න කන ළඟින්ම ලොකුම ලොකු සද්දයක්. කන ළගින්ම බස් අජිත් බෙරිහන් දෙනවා. මම ඉතින් බස් ඩ්‍රයිවර් ට පින් අනුමෝදන් කරගෙන නැගිටල මූණත් රකුසු කරගෙන වටපිට බැලුවා. ම්හ්... කෝ මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑනේ. ඒත් කොහෙන්ද මේ සද්දේ එන්නෙ? මම වටපිට බැලුවා. ආ මේ තියෙන්නේ. බස් එකේ රේඩියෝ එක දාලා නැති නිසා ඒ අඩුව පුරවන්න බස් එකේ යන අංකල් කෙනෙක් එයාගේ ෆෝන් එකෙන් මුළු බස් එකටම ඇහෙන්න සින්දු දාලා. නිකන්ම නිකන් සිංදු නෙවෙයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම බස් සිංදු. 


ඒ මනුස්සයගේ රසවින්දනය ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මිනිස්සු වුණාම අපිට අයිතියක් තියනවා බස් එකේ යනකොට කන් දෙකට වදයක් නොදී යන්න. මට විතරක් නෙවෙයි බස් එකේ යන අනිත් මිනිස්සුන්ටත් ඒ සින්දු ටික හරිම වදයක් වුණා. ඒ අයගේ මූණු බැලුවාම් ඒ බව නම් හොඳට පෙණුනා. ඉතින් කන් දෙක බීරි වුණත් කමක් 
නෑ කියලා මම හෑන්ඩ්ස් ෆ්රී එක කනේ ගහගෙන සද්දෙත් උපරිමේටම දාගෙන සින්දු අහ අහ ආවා. ඒ මනුස්සයාගේ රස වින්දනය වෙනුවෙන් මට මගේ දුප්පත් අසරණ නින්ද පූජා කරන්න සිද්ධ වුණා. 


ඒත් එක්කම බස් මගීන්ට සිද්ධ වෙන අකටයුතුකම් ගැනයි ටිකක් කතා කරන්න හිතුවේ. බස් එක ලංකාවේ ගොඩක් දෙනෙක්ගෙ පොදු වාහනේ. අතේ මිටේ යහමින් තියන උදවිය නම් වාහනේක හරි කැබ් එකක හරි එහෙමත් නැත්තම් ත්‍රී වීලර් එකක හරි යනවනේ. එහෙම් යන්න බැරි දුප්පතාගේ හිතවතා තමයි බස් එක. බස් එකක යනකොට අපිට සිද්ධ වෙන මුල්ම අකටයුත්ත තමයි කොන්දොස්තර මහත්තයාගෙන් ඉතුරු සල්ලි හරියට හම්බවෙන්නේ නැති එක. හදිස්සියේවත් බස් ගාස්තුව රුපියල් නවයක් වුණොත් එහෙම උතුරු රුපියල සින්න වෙලාම යනවා.
ඒ නිසා බස් ගාස්තු වලට තවත් රුපියලක් එකතු කරලම් තමයි ගණන් හදන්න වෙන්නේ. 


බස් වල විවිධ වේග තියනවා. අපිට ඉක්මනට කොහෙහරි යන්න ඕනේ වුණාම නගින බස් එක යන්නේ ගොළුබෙල්ලෙකුටත් වඩා හෙමින්. ඒත් සාමන්‍ය ගමනක් යන්න ඕනේ වුණාම බස් එක අහළ පහළ වාහන වලට වෙට්ටු දදා තවත් බස් එකක් එක්ක රේස් යන්නේ බස් එක ඇතුළේ ඉන්න හැම් මනුස්සයගේම ඇඟේ ලේ වතුර කරලා. තවත් සමහර බස් ඩ්‍රයිවර් ලට රේඩියෝ එකේ බස් සින්දු දැම්මේ නැත්තම් බස් එක එළවන්න බැරිලු. දැන් නම් බස් වල ටීවීත් තියනවනේ. ඒවා දැක්කාම නම් සසර කලකිරෙනවා. ඒවයේ යන සින්දුත් එකයි නැටුමුත් එකයි නටන අය ඇඳන් ඉන්න ඇඳුමුත් එකයි.


මේ ඉතින් බස් වල දුර ගමන් යන අපිට මුහුණ දෙන්න වෙන කරදර වලින් ටිකක් විතරයි. තව මෙකී නොකී කරදර ගොඩක්ම තියනවනේ බස් වල යන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම. කවදාහරි මේ කරදර එකක්වත් නැති බස් රථයක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. 

Thursday, August 22, 2013

වැස්ස


ලක්මවට බත් දෙනු පිණිස, 
වැව් බැඳි රටේ ගොවියන්, 
දෑත් දිගුකොට කෙරූ යාදිනි, 
වැකී සවන'ත තෙදැති දෙවියන්, 
රවා හුන් සැඩ රිවිඳු පලවා, 
රජරට කෙත් යායට 
දුන්න වැස්ස.....


දයාවෙන් පිරි ගුණැති මිනිසුන්, 
අතර වෙසෙනා නරුම දුදනන්, 
පුරා වසරක් කෙරූ පව්කම්, 
හොඳින් සෝදා හැරපියන්නට, 
සිනාසී හුන් අහස කළුකර
දියකපනා දා, 
සෙංකඩගල පුරවරයට 
වහින වැස්ස... 




Monday, May 27, 2013

පොඩ්ඩොන්ගේ කතා 2

මේකත් පොඩ්ඩෙක්ගේ කතාවක්. එයා මේක කිව්වේ නොදන්නාකමට. ඒත් ඉතින් ඔයාලත් එක්ක
බෙදාගන්න හිතුනා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවෙන් කිසිම ආගමකට හෝ කිසිම කෙනෙක්ට අපහාසයක් සිදු කිරීමට අදහස් නොකරන බව. අනිත් එක තමයි මේ සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක්. 

වෙසක් කාලේ ඉතින් ගොඩක් අය වෙසක් බලන්න යනවනේ. ඉතින් පොඩි අයට මෙහෙම කොච්චර ඇවිද්දත් මදි. එයාලට ඕනේ කොහොමහරි තව ටිකක් ඇවිදින්න. 

ඔන්න ඉතින් මගේ යාළුවෙක් එයාගේ නෑදෑ වෙන පොඩ්ඩෝ දෙන්නෙක් එක්ක වෙසක් බලන්න ගිහින්. ගොඩක් රෑ වෙනකම් ඇවිදලා තොරන්, කූඩු එහෙම බැලුවත් ගෙදර එද්දි මේ දෙන්නට ගමන මදිලු. දෙන්නම ගෙදර කිට්ටු වෙද්දි මූණ ඇඹුල් කරන් ඉන්නවලු. 

ඉතින් යාළුවා මේ දෙන්නව සනසන්න හිතාගෙන කිව්වලු "ඊළඟ මාසෙ පොසොන් එනවනෙ. පොසොන් එකටත් මේ වගේම කූඩු බලන්න යමු" කියලා. 

ඔන්න එතකොට පොඩි එකා අහපි පොසොන් කියන්නේ මොකද්ද කියලා. 

ඉතින් මගේ යාළුවත් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු හැටි පොඩි එකාට තේරෙන විදියට කතාවක් වගේ කියලා දුන්නලු. දේවානම්පියතිස්ස රජතුමා මුවෙක් අල්ලන්න ගිය හැටියි මිහින්තලේදි මිහිඳු හාමුදුරුවො මුණගැහුණු හැටියි කියලා දුන්නලු. 

කතාව බොහොම සාවධානව අහන් හිටපු පොඩ්ඩා අන්තිමේට අහනවලු,

"ඉතින් එයාලා මේ අවුරුද්දෙත් එනවද කියලා... "

Saturday, May 18, 2013

ඇගේ කවිය

සිනිදු මල් පෙති 
අතුළ යහනක 
නිදා සිටි ඈ 
දුටුව සිහිනෙක 
සුදු අසෙකු පිට නැගි 
කුමරු පැමිණෙයි 
නැගී සිටි ඈ 
සුවඳ කැවූ කොළයක 
පාකර් පෑනකින් 
ලියා තැබුවා කවියක්..... 


රළ බිඳෙන හඬ 
ඇසෙන වෙරළක 
ගල් බාගයක් 
කඩල ගොට්ටක් 
සමග තනිවූ 
ඔහු 
සිගරට් පැකට්ටුවක 
පිටුපස 
අහුලාගත් පැන්සල් කොටයකින් 
ලිව්වා 
එයට පිළිතුරු කවියක්......

Sunday, April 28, 2013

පුංචි කාලේ නිවාඩු මතක.....


කාලෙකට පස්සෙ. ලියන්න දෙයක් නැතුවමත් නෙවෙයි. කම්මැලිකම කම්මැලිකම. මේ දවස් වල කරන්න කියල එහෙමටම වැඩක් නැති එකේ ෆිල්ම් එකක් කාරිය බලල ඔහේ ඉන්නවා. අනේ අම්මප මේ ගත වෙන්නේ අපේ වටිනා කියන කාලෙ නේද? ඔව්වා නම් ඉතින් අනේ මන්දා.

මාස දෙකකට විතර පස්සේ කැම්පස් එක පැත්තේ ඇවිදලා ගස් කොළන් වල දුක සැප බලාගෙන එන්න ගියා නේ. බස් එකේ යන එකත් එපා වෙන වැඩක්. පැය 4ක් විතර එකම් විදියට වාඩි වෙලා මෙලෝ රහක් නැති බස් සින්දු අහගෙන යනකොට මට නම් හැමදාම ඔලුවෙ කැක්කුමක් හැදෙනවාමයි.

බස් එක කඩුගන්නාව නගිද්දි පාර දෙපැත්තේ විකුණන්න ජම්බෝල ගොඩ ගහලා තියනවා දැක්කා. අවුරුදු පහළවක් විතර ආපස්සට ඔක්කොම එක පාරට මතක් වුණා.

අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන හින්දා ඉස්කොලේ නිවාඩු කාලෙට නංගිවයි මාවයි දෙන්නවම ආම්බාන් කරන එක හරිම අමාරු වැඩක්. ඒ නිසා ඉස්කෝලේ නිවාඩුව පටන් ගත්ත ගමන් මාව අපේ ගමට පිටත් කරනවා. එක්ක යන්න කවුරුවත් හිටියේ නැත්තම් ගමෙන් කවුරුහරි එනවා මාව කුදලන් යන්න. ඒ යන්නේ ඉතින් කෝච්චියෙ තමයි. ඒ දවස් වල හැමදාම උදේ හවස කෝච්චියේ ගියපු නිසා කෝච්චියේ ගමන නම් විශේෂයක් වුණේ නෑ.

ගමේ ගියාම හැමදේටම එපා කියන්න කවුරුවත් නෑ. ඕනේ තැනක රවුම් ගහන්න, ඇළේ නැත්තම් වැවේ පැනලා නාන්න ඕනේ දෙයක් පුළුවන්. නිතර ලෙඩ වෙන ළමයෙක් වෙච්ච මට ගෙදරදි ඔය කියන එකක්වත් කරන්න ලැබුණේ නෑ. ඒ නිසා ගමේදි ලැබෙන නිදහස ඕනේවටත් වැඩියි.

මහම්මා නෑදෑ ගෙවල් වල යනකොට මමත් පස්සෙන් වැටීගෙන යනවා. ඔන්න දවසක් ලොකු මහම්මා ඒ කියන්නේ මහම්මාගේ අක්කගේ ගෙදර ගියා මහම්මයි, මමයි, මල්ලියි. එහෙ තියනවා ලොකුම ලොකු වත්තක්. මමයි මල්ලියි ඉතින් ගෙට ගොඩ වෙන්නේ වත් නැතුව වත්ත පුරා ඇවිදිනවා. ඔහොම යනකොට අපි දෙන්නට හම්බුණා ජම්බෝල ගහක්. බලන්න එපැයි ඒ ගහ. හැබයි අපි දෙන්නම ඊට කලින් කවදාවත් ජම්බෝල ගහක් දැකලා වත් තිබ්බේ නෑ.

මහම්මා ගේ ඇතුලේ ලොකු කතාවක්. දැන්ම එන පාටකුත් නෑ. ඉතින් අපි දෙන්නා ලේස්ති වුණා ජම්බෝල කඩන්න. කොහෙන්ද මන්දා කෙක්කකුත් හොයාගෙන් ඇවිත් කොහොමහරි ගෙඩියක් කැඩුවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ජම්බෝල කන්නයි ලේස්ති වුණේ.

එක පාරටම මහම්මා කොහෙන්ද මන්දා මතු වුණා.

“ මොකද දෙන්නත් එක්ක කරන්න හදන්නේ? විසි කරන්න් ඔය ජරාව. කෑවෙ හෙම නෑ නේද? ඔව්වා වහ”

අපි දෙන්නට හිතාගන්න බැරි වුණා මොකද්ද කරන්නේ කියලා. ඒ ගෙඩිය එතනින් විසි වුණාද, මහම්මා විසි කළාද දන්නේ නෑ. ඒක එක් පාරටම අතුරුදහන් වුණා. ඊට පස්සේ අපි දෙන්නවම ඇදගෙන ගේ ඇතුළට ගියා.
එදා ආපහු ගෙදර යනකල්ම අපි දෙන්නට බැනුම්.

“මේ කෙල්ලට මොනව හරි වුණොත් මට ළමයෙක් වදල තමයි දෙන්න වෙන්නේ” ඔන්න ඔහොම අපි ගෙදරට යනකල්ම් බැනුම් වැස්සක තෙමුණා තෙත බරියන් වෙනකල්ම.

ගොඩක් කාලෙක ඉදන් අපි එදා කන්න හදපු වස ගෙඩි ජාතියේ නම හෙව්වට හොයාගන්න් බැරි වුණා. ඒ පැත්තේ නම් ඒවට කියන්නේ “බරි ගෙඩි”. ජම්බෝල වලට හැම අතින්ම් සමානයි ඒ ගෙඩි.

ආයෙමත් ඒ කාලෙට යන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා. ෆෝන් එකෙනුයි අන්තර්ජාලෙනුයි නිදහස් වෙලා සතියක් හරි ගමට වෙලා නිදහසේ ඉන්න දැන් ගොඩක් කාලෙක ඉඳන් හිතන් ඉන්නේ. මේ වගේ දිග නිවාඩු අපිට දෙන්නේ ඒකට වෙන්න ඇති. ඒත් ගමත් දැන් වෙනස් වෙලා….


පින්තූරය මෙතැනින් 

Wednesday, March 27, 2013

මතක නැති මතක


176 බස් එක. නුගේගොඩට යනකොටත් නුගේගොඩ ඉඳන් එනකොටත් සෙනග පිරිලා හොඳටම. පන්ති ඇරුනා විතරයි. නුගේගොඩ ටවුන් එකම එකපාරටම ඔළු ගොඩකින් වැහිලා ගිහින්. යන්තම් පන්තියෙන් එළියට පැනගත්තා කියමුකෝ. මේ කට්ට අව්වට මොකද අරන්නේ? බෑග් එකේ තියන කුඩේ එළියට ගන්නත් කම්මැලියි. ඔන්න ඔහෙ අව්වෙම යනවා. තව කොහෙ කළු වෙන්නද?

ඔන්න යන්තම් බස් හෝල්ට් එකට ආවා. කෝ ඉතින් බස් එකක්? පානදුර බසුයි, බත්තරමුල්ල බසුයි ඕනේ තරම්. හැත්තෑ හයක් නෑනේ. දැන් මේ අව්වේ බස් එකක් එනකම් ඉන්නත් එපැයි.

ඇති යන්තම්. අර බස් එකක් නේද එන්නේ?
බස් එක ආවා. ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු සත්තුවත්තේ යන්නේ ඉරිදටද කොහෙද? පුදුම සෙනගක් බස් එකේ.

බස් එකට නැග්ග වෙලාවේ ඉඳන් මගේ හිතේ වැඩ කරන්නේ එකම එක දෙයයි. ඕපන් යුනි එක ගාවින් මේ බස් එක මොන පාලමේ යයිද? මගේ එකම බලාපොරොත්තුව මේ බස් එක අර ඩක ඩක ගාන පරණ පාලම උඩින් යයි කියන එක.

ඒ පාලම උඩින් බස් එක යනකොට මට හිතෙන්නේ හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. හැබැයි ඒ බස් එක හදිස්සියේ වත් අලුත් පාලම උඩින් ගියොත් ඉවරයි. බස් එකෙන් බහින කම් මම කරන්නේ බස් ඩ්‍රයිවර් ට බනින එක. 

මහ වැඩකට නැති බස් එකක්. ආයේ ජීවිතේට ඒ බස් එකේ නම් යන්නේ නෑ. ඔන්න ඔහොම බැන බැන තමයි මම එන්නේ.

අදටත් ඒ පරණ පාලම උඩින් බස් එකේ යන එක මම කැමතිම වැඩක්. ඒත් ඒ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මගේ ළඟ නෑ.ඒ පාලමත් එක්ක බැඳුන විශේෂ මතකයක් වත් නැතුව මම ඒ පරණ පාලම උඩින් බස් එකේ යන්න ප්‍රිය කරන එක හරිම අමුතු දෙයක්.

කවදාවත් ගිහින් නැති තැනකට ගියාම පුරුදුයි වගේ දැනෙන්නේ ඇයි? කලින් ඇවිත් තියනවා වගේ දැනෙන්නේ ඇයි?

සමහර වෙලාවට වෙන දේවල් මීට කලින් හරියටම මේ විදියටම වෙලා තියනවා කියලා දැනෙන්නේ ඇයි?

අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර සිද්ධ වෙනවද?

පින්තූරය ගත්තේ මෙතනින්.