Monday, January 14, 2013

නැළවිලි ගී



දැන් කාලේ හැමදේම වෙනස් වෙලා. ඉස්සර අම්මලා අපිව නැළෙව්වේ නැළවිලි ගී කියලා. දැන් හැමෝම උවමනාවටත් වඩා කාර්යබහුල වෙලා නිසා නැළවිලි ගී කියන්න වෙලාවක් නැහැ. ඊටත් වඩා නැළවිලි ගී දන්න අය අඩුයිනේ.

ඉතින් ඒ නිසා මේ නැළවිලි ගී ටික බ්ලොග් එකේ දාන්න හිතුවා. මේවා නම් කියලා දුන්නේ අපේ අම්මා. මේ නැළවිලි ගී ඇහෙන කොට නිතැතින්ම මම ආයෙත් පුංචි කාලෙට යනවා. 

කන්දක් ගිනි ඇවිළෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නළවන්නේ
නින්දක් නිදියාගනන්නේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ නාඬ දොයියන්නා

අතට ගිගිරි  කොයින් පුතේ
ඉනට හවඩි කොයින් පුතේ
කනට තෝඩු කොයින් පුතේ
දැනට නිදා ගනින් පුතේ

පුතේ නුඹේ ලොකු අයියා
බසේ මියුරු තෙපළයියා
ලසේ නොවී දැන් එයියා
දුවේ නාඬ දොයි දොයියා

හැලප කන්න ගිහින් පුතේ
තලප කන්න වුණා පුතේ
ඒවා කාලාද පුතේ
දැනට නිදා ගනින් පුතේ



 ප. ලි : මේ කවි පන්තියේ තවත් කවි තියනවලු. දන්න කෙකෙන් ඉන්නවනම් පහළින් කමෙන්ට් එකක් විදියට දාන්න. :)

18 comments:

  1. දැන් ඉන්න අය මේවා දන්නෙත් නෑ සිතුවෝ... අපි තරම්වත් ගොඩක් අය දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ශම්මි. ඒක නම් ඇත්ත. ඉස්සරහට බේතකටවත් හොයාගන්න නැතිවෙයි.

      Delete
  2. කියව කියව ඉන්නකොට නින්ද ගියානේ..:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳට නිදාගන්න. :D

      Delete
  3. ඔය නැලවිලි ගීය නං අහලා නෑ ...... ඒ උනාට පොඩි කාලේ අම්මගෙන් නැලවිලි ගීයක් නැත්තං නින්ද යන්නෙත් නෑ ....ඇත්තටම අද ඉන්න කෙල්ලේ නැලවිලි ගී දන්නේ නැති එකට වග කියන්න ඔනේ ඒගොල්ලෝ වගේම කලින් පරම්පරාවේ දෙමව්පියෝ දුවෙක් දෙනකොට දායද දෙන්න ඔනේ කියන්නේ මෙන්න මේවගේ දෙවල් දෙන්න ඔනේ කියන එකයි. කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොන්ටත් පොදුයි , පොඩි කාලේ අම්මා වැඩ කරන කන් අපේ තාත්තා මට අනන්තවත් නැලවිලි ගී කියලා තියෙනවා .
    අඩුම ගානේ අපේ දැන් ඉන්න උන් පොඩි එකෙකුට කියලා දෙන්න , අන්දරේගේ කථාවක් වත් දන්නවාද ! !! නෑනේ ......
    කාලයත් එක්ක අපේ රටත් බටහිර රටවල් වගේම වෙයි ... අද උපන් එකාත් වෙනම කාමරයක නිදියන කාලයක් එයි .

    ReplyDelete
    Replies
    1. මේකට හේතුව නම් තනි කාරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ වෙච්ච දේවල් වල ප්‍රතිඵල තමයි මේ. අපි ටිකෙන් ටික දියුණු වෙනවා කියලා හිතල අතාරින දේවල් නිසා කාලෙකට පස්සේ අපි දන්නෙම නැතුව අපිට තිබුණ වටිනාම දේවල් නැති කරගෙන.
      ඒත් ඒක තේරුම් ගන්නකොට අපි ගොඩක් පරක්කු වැඩි වෙන්න පුළුවන්..

      Delete
  4. බ්‍ර්ර්.....බ්‍ර්ර්......ගොරවමින්....හරිම ලස්සනයි ඈ!! දැන් ඉතිං කොහෙන් කියලා මේවා අහන්නද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ටික දවසක් යද්දි මේවා අපෙන් නැති වෙලාම යයි.

      Delete
  5. මීට අමතරව ජාතික තොටිල්ලෙත් ලස්සන කවි තියෙනවා. අද කාලේ නම් ඇහෙන්නේ නැතිම තරම්.
    මාත් දවසක් ඔහොම කවියක් ලිව්වා.ඔය ලිපියේ කමෙන්ට් වල තියෙනවා ජාතික තොටිල්ලේ කවි ලින්ක් එක. ෆිහින්ම බලන්න. මෙන්න පාර

    ReplyDelete
    Replies
    1. ඒ කවි ටිකත් බැලුවා. අපි නොදන්න ඒ වගේ කවි තව කොච්චර ඇත්ද? අද කාලේ නම් ඇහෙන්නේම නැති තරම්.

      Delete
  6. අනේ අම්මේ...මට නම් පොඩි කාලේ සිංදුවක් කතාවක් අහන නැතුව ඉන්නම බෑ.... දැනටත් ඕව අහන්න හරි ආසයි. දැන් කාලේ අම්මල ඕව දන්නෙත් නෑ... එයාලට වෙලාවකුත් නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළී. ඉස්සරහට පොඩි ළමයින්ට ඒ අත්දැකීම නැති වෙයි.

      Delete
  7. ඉතුරු ටික දන්නේ නැතෝ

    දැන් කාලේ මොඩර්න් අම්මලා නැලවිලි ගී කියන්නේ නෑ. ඒ නැලවිලි ගී තියන රෙකොර්ඩින්ග් එකක් දාන්නේ. හෙහ් හෙහ් හේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි නැළවිලි ගී ටික රැකෙනවානම් ලොකු දෙයක් නේද?

      Delete
  8. උඩින් විහිලු කලාට හරිම ආස නැලවිල්ලක් දරුවෝ.මේවා මෙහෙම හෝ රැකෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
  9. මේක රැකෝඩ් කොරලා දැම්මනම් මීටත් වැඩිය අගෙයි කිව්වා. ඔය නින්ද යන්නේ නැති වෙලාවට දාගෙන අහන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මම ඕක කිව්වොත් එහෙම නිදාගෙන ඉන්න අයත් ඇහැරේවි!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......