Sunday, February 10, 2013

ආගන්තුක සත්කාරය


ලංකාව කොහොමත් ආගන්තුක සත්කාරයට කැමති මිනිස්සු ඉන්න රටක්. ඉස්සර ඉඳන්ම ලෝකෙ බොහෝම ප්‍රසිද්ධ වුණා ලංකාව ඒ ගැන. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනකොට අපි අතරෙ තිබුණ හොඳ ගුණාංග ටිකෙන් ටික අපෙන් ඈත් වෙනවද මන්දා. ආගන්තුක  සත්කාරයත් ඒ වගේ අපෙන් ඈත් වේගෙනයි යන්නේ. ඉස්සර ගමක ගෙදරකට ගොඩ වුණාම තේ කහට ටිකක්, තැඹිලි ගෙඩියක් එහෙමත් නැත්තම් බුලත් විටක් වරදින්නේ නෑ. දැන් නම් එහෙම සිරිතක් අපි අතරෙ තිබුණද කියලවත් සමහරුන්ට මතක නැති ගානයි.

ඒ ගැන කොහොම වෙතත් අද නම් කියන්න යන්නේ “ලු” කතාවක්. ඒ කියන්නේ මම අහපු කතාවක්. එහෙම නැතුව මට සිද්ධ වෙච්ච දෙයක් නම් නෙවෙයි. කතා නායකයට අපි සමන් කියමු. සමන් විශ්ව විද්‍යාල සිසුවෙක්. දවසක් ඔහු ටිකක් දුර බැහැර පිහිටි මිතුරෙකුගේ ගෙදර යන්න සූදානම් වුණා. මගට බැස්සට මොකද ඒ පැත්තට යන බස් එහෙම හරිම අඩුයි. ඔහොම ගොඩක් රස්තියාදු වෙලා අන්තිමට බස් එහෙකයි ලොරියකයි ගිහින් තව කිලෝමීටරයක් විතර පයිනුත් ගිහින් හොඳටම දවල් වෙලා තමයි යාලුවාගේ ගෙදර ගිහින් තියෙන්නේ.

ඔහොම ගිහින් ටිකක් වෙලා යාලුවත් එක්ක තොරතුරු කතා කර කර හිටියලු. තේ එකකුත් ලැබුණලු. ඒත් ඉවසන්න බැරි බඩගින්නක් තියනවලු සමන්ට. දවල් කෑම වෙලාවට හතුරෙක් ආවත් බත් කටක් නොදී යවන්නේ නැති නිසා සමනුත් දැන් කන්න කතාකරයි කියලා බලාගෙන ඉන්නවලු . ඒත් කෑමට කතා කරන පාටක් නැතිලු.

ටික වෙලාවකින්  යාලුවාගෙ තාත්තා ආවලු එළියට. සමන් දිහා බලලා උගුරෙ රැල් බුරුල් හෙම ඇරලා කිව්වලු
“ඔය ළමයා දැන් යන්න. අපි මේ දවල්ට කන්නයි ලෑස්ති වෙන්නේ.”

සමන්ට තරු විසික් වුණාලු. මොනව කරන්නද ඉතින්. යාලුවාටත් යන්නම් කියල නැට්ටත් කකුල් දෙක අස්සේ ගහගෙන ආපහු එන්න ආවලු. එන ගමන් ටවුමේ කඩේකින් බඩ කට පිරෙන්න කන්නත් අමතක කළේ නැතිලු.

මේ කතාව ඇහුවාම සමන්ගේ අම්මා කියලා තියෙන්නේ ඕවා ඔහොම තමයි පුතේ. හැමෝම එක වගේ නෑනේ කියලා. සමන්ගෙ යාලුවා ඒ ගමේ වත් පොහොසත්කම් තියන පවුලක වෙලත් ඔහොම කරපු එක සමන්ට හිතාගන්න බැරි වුණාලු.

ඇත්තටම දැන් කාලේ වෙන දේවල් තමයි මේ. මේක ඇත්ත සිදුවීමක්.


ප. ලි
විභාග කටයුතු තවම ඉවර නෑ. බ්ලොග් එක පාලුවට අරින්න බැරි නිසා පුංචි කතාවක් දැම්මේ.