Sunday, February 10, 2013

ආගන්තුක සත්කාරය


ලංකාව කොහොමත් ආගන්තුක සත්කාරයට කැමති මිනිස්සු ඉන්න රටක්. ඉස්සර ඉඳන්ම ලෝකෙ බොහෝම ප්‍රසිද්ධ වුණා ලංකාව ඒ ගැන. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනකොට අපි අතරෙ තිබුණ හොඳ ගුණාංග ටිකෙන් ටික අපෙන් ඈත් වෙනවද මන්දා. ආගන්තුක  සත්කාරයත් ඒ වගේ අපෙන් ඈත් වේගෙනයි යන්නේ. ඉස්සර ගමක ගෙදරකට ගොඩ වුණාම තේ කහට ටිකක්, තැඹිලි ගෙඩියක් එහෙමත් නැත්තම් බුලත් විටක් වරදින්නේ නෑ. දැන් නම් එහෙම සිරිතක් අපි අතරෙ තිබුණද කියලවත් සමහරුන්ට මතක නැති ගානයි.

ඒ ගැන කොහොම වෙතත් අද නම් කියන්න යන්නේ “ලු” කතාවක්. ඒ කියන්නේ මම අහපු කතාවක්. එහෙම නැතුව මට සිද්ධ වෙච්ච දෙයක් නම් නෙවෙයි. කතා නායකයට අපි සමන් කියමු. සමන් විශ්ව විද්‍යාල සිසුවෙක්. දවසක් ඔහු ටිකක් දුර බැහැර පිහිටි මිතුරෙකුගේ ගෙදර යන්න සූදානම් වුණා. මගට බැස්සට මොකද ඒ පැත්තට යන බස් එහෙම හරිම අඩුයි. ඔහොම ගොඩක් රස්තියාදු වෙලා අන්තිමට බස් එහෙකයි ලොරියකයි ගිහින් තව කිලෝමීටරයක් විතර පයිනුත් ගිහින් හොඳටම දවල් වෙලා තමයි යාලුවාගේ ගෙදර ගිහින් තියෙන්නේ.

ඔහොම ගිහින් ටිකක් වෙලා යාලුවත් එක්ක තොරතුරු කතා කර කර හිටියලු. තේ එකකුත් ලැබුණලු. ඒත් ඉවසන්න බැරි බඩගින්නක් තියනවලු සමන්ට. දවල් කෑම වෙලාවට හතුරෙක් ආවත් බත් කටක් නොදී යවන්නේ නැති නිසා සමනුත් දැන් කන්න කතාකරයි කියලා බලාගෙන ඉන්නවලු . ඒත් කෑමට කතා කරන පාටක් නැතිලු.

ටික වෙලාවකින්  යාලුවාගෙ තාත්තා ආවලු එළියට. සමන් දිහා බලලා උගුරෙ රැල් බුරුල් හෙම ඇරලා කිව්වලු
“ඔය ළමයා දැන් යන්න. අපි මේ දවල්ට කන්නයි ලෑස්ති වෙන්නේ.”

සමන්ට තරු විසික් වුණාලු. මොනව කරන්නද ඉතින්. යාලුවාටත් යන්නම් කියල නැට්ටත් කකුල් දෙක අස්සේ ගහගෙන ආපහු එන්න ආවලු. එන ගමන් ටවුමේ කඩේකින් බඩ කට පිරෙන්න කන්නත් අමතක කළේ නැතිලු.

මේ කතාව ඇහුවාම සමන්ගේ අම්මා කියලා තියෙන්නේ ඕවා ඔහොම තමයි පුතේ. හැමෝම එක වගේ නෑනේ කියලා. සමන්ගෙ යාලුවා ඒ ගමේ වත් පොහොසත්කම් තියන පවුලක වෙලත් ඔහොම කරපු එක සමන්ට හිතාගන්න බැරි වුණාලු.

ඇත්තටම දැන් කාලේ වෙන දේවල් තමයි මේ. මේක ඇත්ත සිදුවීමක්.


ප. ලි
විභාග කටයුතු තවම ඉවර නෑ. බ්ලොග් එක පාලුවට අරින්න බැරි නිසා පුංචි කතාවක් දැම්මේ. 

30 comments:

  1. අලේ...ඕමත් වෙනවද අප්පා,, වත්පොහොසත් කම් තිබ්බට මනුස්සකම් ගුණදම් අතින්නම් මහ හිඟන මනුස්සයෙක්
    (ඇත්තටම හිතුනු දේ කීවේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ශම්මි. මේක ඇත්තටම වෙච්ච දෙයක්. සල්ලි අතින් පොහොසත් වුණාට ගොඩක් අය ගුණ දහම් වලින් නම් අන්ත දුප්පත්.

      ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනේ නෑ කියනවනේ.

      Delete
  2. ලියල තියාගෙන දාන්නේ නැතුව ඉන්නවා කියල කිව්වට මේ දාල තියෙන්නේ... :D
    පාඩම් කරලා ඉවර ඇති නේ..:P

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳට පාඩම් කරලද කියනවනම් දැන් මම මානසිකව වැටිලා දණිස් දෙකම තුවාල වෙලා තියෙන්නේ. එච්චරට තිත්ත වෙලා.

      Delete
    2. එහෙනම් තත්ත්වේ බරපතලයි...:p

      Delete
  3. මිනිස්සුන්ට මිනිස්කම අමතක වෙලාද, එහෙමත් නැත්තම් මිනිස්කම් වලට වඩා මිනිස්සු වෙන දේවල් ගැන සැළකිලිමත් වෙනවද කියන එක ගැටළුවක්..!!

    ReplyDelete
    Replies
    1. "එහෙමත් නැත්තම් මිනිස්කම් වලට වඩා මිනිස්සු වෙන දේවල් ගැන සැළකිලිමත් වෙනවද කියන එක ගැටළුවක්..!!"

      මිනිස්කම් වලට වඩා දැන් ඉන්න මිනිස්සුන්ට වටින කොච්චර දේවල් තියනවද? සල්ලි සල්ලි සල්ලි තමයි හැම දේටම.

      Delete
  4. අඩේ මටනං තාම එහෙම එවුංව හම්බෙලා නෑ...
    කොහෙ ගියත් කන්නනං දෙනවා එපා කිවුවත්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් දෙයියනේ කියලා කාලා බීලා එන එකයි තියෙන්නේ.... :)

      Delete
  5. දුප්පත්ම මිනිහා ලග තමයි ගොඩාක් ආගන්තුක සත්කාර තියෙන්නේ.. ඒක තමයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. සල්ලි වලින් පොහොසත් වෙනකොට මිනිස්සු අනිත් දේවල් වලින් දුප්පත් වෙනවා.

      Delete
  6. මිනිසත් කම නැති සල්ලි වලින් පොහොසත් ජිවිතයක් කුමකටද?ඉතිරි කළ සියල්ල මිහිදන් කරන වළ ලඟට පමණයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් නොගන්න නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.

      Delete
  7. Replies
    1. මිනිස්සු විවිධාකාරයිනේ.

      Delete
  8. එතකොට අර යාලුවා කියන එකා පස්සෙ මොනවද කිව්වයි කියන්නෙ?

    හරි හරි මට උත්තර දෙන්න ඕනෙ නෑ. පාඩමට යන්න ආපහු.

    ReplyDelete
    Replies
    1. මේක මමත් අහපු කතාවක්. කියපු කෙනා හම්බුණාම ආයෙ අහන්න ඕනේ ඒ යාලුවා මොනවද කිව්වෙ කියලා.

      පාඩම නම් අනේ මන්දා. බ්ලොග් කෙරුවාවත් කාන්දමක් වගේනේ.

      Delete
  9. අපි නොදන්නවා වුණාට එදා ඒ ගෙදර ලොකු අවුලක් තිබුණා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. අපි කවුරුවත් නොහිතපු පැත්තක් ඒක.

      Delete
  10. ඇත්තටම එහෙම වුණා කිව්වමත් හරි පුදුමයි. ඒකත් ඒ තාත්තා ඒක කියපු එක.
    නලීන් අයියා කියන විදියට එහෙම අවුලක් තිබුණා වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම වුණ දෙයක්.
      පුදුමයි නම් තමයි ඒත් එතන මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද කියලා මට මේ වෙනකල්ම හිතුනෙ නෑනේ.

      Delete
  11. අප්පා.... කන්න නැත්තන් ඉතින් හදට ගියත් වැඩක් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමාට නම් ඉතින් රාජ භෝජන ලැබෙනවා ඇතිනේ. :)

      Delete
  12. අඩේ අප්පා සමන්ට පොල්ලෙන් ගැහුවා වගේ වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. කොහොමද හොඳටම බඩගින්නේ ඉන්න වෙලාවක ඒ වගේ කතාවක් අහන්න ලැබුණාම.

      Delete
  13. හපොයි දෙවියනේ, මාර මිනිස්සුනේ.. කන දේකින් තියෙන විදියට බෙදලා දුන්නා නම් මක් වෙනවද නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්. තියන විදියට හරි දුන්නනම් හොඳයිනේ. බඩගිනි වෙලාවට රස ගුණ හොයන්නේ නෑනේ.

      Delete
  14. පිස්සෙක් නෙ, හරිනම් තමන්ට කන්න තියෙන දෙයක් හරි අමුත්තෙකුට දෙන එකනෙ සිරිත.. හිතාගන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ඒත් මේක ඇත්තටම වුණ දෙයක්. හැමෝම එක වගේ නෑනේ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......