Wednesday, March 27, 2013

මතක නැති මතක


176 බස් එක. නුගේගොඩට යනකොටත් නුගේගොඩ ඉඳන් එනකොටත් සෙනග පිරිලා හොඳටම. පන්ති ඇරුනා විතරයි. නුගේගොඩ ටවුන් එකම එකපාරටම ඔළු ගොඩකින් වැහිලා ගිහින්. යන්තම් පන්තියෙන් එළියට පැනගත්තා කියමුකෝ. මේ කට්ට අව්වට මොකද අරන්නේ? බෑග් එකේ තියන කුඩේ එළියට ගන්නත් කම්මැලියි. ඔන්න ඔහෙ අව්වෙම යනවා. තව කොහෙ කළු වෙන්නද?

ඔන්න යන්තම් බස් හෝල්ට් එකට ආවා. කෝ ඉතින් බස් එකක්? පානදුර බසුයි, බත්තරමුල්ල බසුයි ඕනේ තරම්. හැත්තෑ හයක් නෑනේ. දැන් මේ අව්වේ බස් එකක් එනකම් ඉන්නත් එපැයි.

ඇති යන්තම්. අර බස් එකක් නේද එන්නේ?
බස් එක ආවා. ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු සත්තුවත්තේ යන්නේ ඉරිදටද කොහෙද? පුදුම සෙනගක් බස් එකේ.

බස් එකට නැග්ග වෙලාවේ ඉඳන් මගේ හිතේ වැඩ කරන්නේ එකම එක දෙයයි. ඕපන් යුනි එක ගාවින් මේ බස් එක මොන පාලමේ යයිද? මගේ එකම බලාපොරොත්තුව මේ බස් එක අර ඩක ඩක ගාන පරණ පාලම උඩින් යයි කියන එක.

ඒ පාලම උඩින් බස් එක යනකොට මට හිතෙන්නේ හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. හැබැයි ඒ බස් එක හදිස්සියේ වත් අලුත් පාලම උඩින් ගියොත් ඉවරයි. බස් එකෙන් බහින කම් මම කරන්නේ බස් ඩ්‍රයිවර් ට බනින එක. 

මහ වැඩකට නැති බස් එකක්. ආයේ ජීවිතේට ඒ බස් එකේ නම් යන්නේ නෑ. ඔන්න ඔහොම බැන බැන තමයි මම එන්නේ.

අදටත් ඒ පරණ පාලම උඩින් බස් එකේ යන එක මම කැමතිම වැඩක්. ඒත් ඒ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මගේ ළඟ නෑ.ඒ පාලමත් එක්ක බැඳුන විශේෂ මතකයක් වත් නැතුව මම ඒ පරණ පාලම උඩින් බස් එකේ යන්න ප්‍රිය කරන එක හරිම අමුතු දෙයක්.

කවදාවත් ගිහින් නැති තැනකට ගියාම පුරුදුයි වගේ දැනෙන්නේ ඇයි? කලින් ඇවිත් තියනවා වගේ දැනෙන්නේ ඇයි?

සමහර වෙලාවට වෙන දේවල් මීට කලින් හරියටම මේ විදියටම වෙලා තියනවා කියලා දැනෙන්නේ ඇයි?

අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර සිද්ධ වෙනවද?

පින්තූරය ගත්තේ මෙතනින්.

Wednesday, March 13, 2013

මොහොතක සැනසුමක්


අපි හැමෝටම නරක දවස් එනවා. නරක කාල ගැන නෙමෙයි මේ කියන්නේ. සමහර දවස් හරිම අපලයි. හරියට මේ අද වගේ. කරන කිසිම දෙයක් හරි නොයන දවස්. පටන් ගත්ත හැම දෙයක්ම වරදිනවා. මේ හැම දවසක්ම ඒ වගේ. කෙළවරක් නැති රස්නෙ. එළියට බැස්සාම පිච්චිලා යන තරම් අව්ව. කරන කිසිම දෙයක් හිතල මතල කෙරෙන්නේ නෑ. කරන්ට් කැපිලි, වතුර කැපිලි. එකක් ඉවර වෙනකොට තව එකක්.


මේ වගේ අමාරු දවස් ගත වෙන්නේ හරිම හෙමින්. ඒ මදිවට වියදම්? ඉස්සර රුපියල් 100කින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද. ඒකට දැන්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඉවරයි. මොනව කරන්නද ඉතින්? මේ අවුරුද්දෙ වැරැද්දක් ද මන්දා. එහෙම නැත්තම් නැති ප්‍රශ්න හදාගෙන විහින් දුක් වෙන මගේ පුරුද්දද මන්දා මට මේ හැටි වද දෙන්නේ.


පුංචි දේකට පුළුවන් මුළු දවසක්ම නැති නාස්ති කරලා දාන්න. උදේ පාන්දර බස් කොන්දොස්තරගෙන් අහන්න වෙන බැනුමක්, රේස් යන බස් එකක් නිසා බහින්න ඕනෙ තැනට වඩා හෝල්ට් දෙක තුනක් පහුවෙලා බහින්න වෙන එක. මේ වගේ දෙයක් උදේම වුණාම කොහොමට හිටියිද මුළු දවසම? කඩේකට බඩුවක් ගන්න ගියාම කඩේ මුදලාලිගෙන් අශෝබන විහිළු. මේවා දරාගන්න පුළුවන්ද. රජයේ ආයතනයකින් වැඩක් කරවගන්න ගියාම වෙන රස්තියාදුව නම් ඉතින් විස්තර කරන්න ඕනේ නෑනේ. අපි හැමෝම වැඩ රාජකාරි දාහක් තියන මිනිස්සු. ඉවරයක් නැති ප්‍රශ්න වලින් ඔලු පුරෝගෙන දුක් විඳින මිනිස්සු. මෙහෙම පීඩාවට පත්වෙන දවස් තනිකරම ජීවිතේ එපා කරවනවා.


මෙහෙම ගෙවෙන දවස් සහමුලින්ම වෙනස් කරන්න පුළුවන් හරිම පුංචි දේවල් වලට. හදිසියේ මුණගැහෙන පැරණි පාසල් මිතුරියක්. ඉස්කෝලෙදි වැඩිය කතා බහ නොකළට එහෙම හදිසියේම මුණගැහිලා කතා කළාම ලැබෙන සතුට! බස් එකේදි හරියට ඉතුරු සල්ලි ලැබෙන එක. රුපියල් නමයේ ගාස්තුවට රුපියල් දහයක් දුන්නාම ඉතුරු රුපියල හම්බවෙන එකත් සතුටු වෙන්න පුළුවන් දෙයක් නේ මේ දවස් වල.


මානසික පීඩාවෙන් පිරුණු මේ වගේ දවසකට නන්නාඳුනන කෙනෙක්ගෙන් ලැබෙන අවංක හිනාවකින් කියන්න බැරි තරම් වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස අත් විඳලම බලන්න ඕනේ. මගතොටදි දකින අයත් එක්ක අවංකව මොහොතක් හිනාවෙන්න. ඒක විඩාවෙන් පිරුණු ජීවිත වලට මොහොතක හරි සැනසීමක් ගෙනේවි.

Monday, March 11, 2013

පුරාජේරුව!


දුප්පත් නෑදෑයෝ

දන්නේ නැති,

පරණ යාළුවෝ

මතක නැති,

උදව් කරපු අය

අඳුරන්නේ නැති,

ඔයාගේ

පටන් ගත්තම

ඉවර කරන්නේ නැති 

පුරාජේරුව

මට නම් දැන් තිත්ත වෙලා!



පින්තූරය ගත්තේ මෙතනින්