Sunday, April 28, 2013

පුංචි කාලේ නිවාඩු මතක.....


කාලෙකට පස්සෙ. ලියන්න දෙයක් නැතුවමත් නෙවෙයි. කම්මැලිකම කම්මැලිකම. මේ දවස් වල කරන්න කියල එහෙමටම වැඩක් නැති එකේ ෆිල්ම් එකක් කාරිය බලල ඔහේ ඉන්නවා. අනේ අම්මප මේ ගත වෙන්නේ අපේ වටිනා කියන කාලෙ නේද? ඔව්වා නම් ඉතින් අනේ මන්දා.

මාස දෙකකට විතර පස්සේ කැම්පස් එක පැත්තේ ඇවිදලා ගස් කොළන් වල දුක සැප බලාගෙන එන්න ගියා නේ. බස් එකේ යන එකත් එපා වෙන වැඩක්. පැය 4ක් විතර එකම් විදියට වාඩි වෙලා මෙලෝ රහක් නැති බස් සින්දු අහගෙන යනකොට මට නම් හැමදාම ඔලුවෙ කැක්කුමක් හැදෙනවාමයි.

බස් එක කඩුගන්නාව නගිද්දි පාර දෙපැත්තේ විකුණන්න ජම්බෝල ගොඩ ගහලා තියනවා දැක්කා. අවුරුදු පහළවක් විතර ආපස්සට ඔක්කොම එක පාරට මතක් වුණා.

අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන හින්දා ඉස්කොලේ නිවාඩු කාලෙට නංගිවයි මාවයි දෙන්නවම ආම්බාන් කරන එක හරිම අමාරු වැඩක්. ඒ නිසා ඉස්කෝලේ නිවාඩුව පටන් ගත්ත ගමන් මාව අපේ ගමට පිටත් කරනවා. එක්ක යන්න කවුරුවත් හිටියේ නැත්තම් ගමෙන් කවුරුහරි එනවා මාව කුදලන් යන්න. ඒ යන්නේ ඉතින් කෝච්චියෙ තමයි. ඒ දවස් වල හැමදාම උදේ හවස කෝච්චියේ ගියපු නිසා කෝච්චියේ ගමන නම් විශේෂයක් වුණේ නෑ.

ගමේ ගියාම හැමදේටම එපා කියන්න කවුරුවත් නෑ. ඕනේ තැනක රවුම් ගහන්න, ඇළේ නැත්තම් වැවේ පැනලා නාන්න ඕනේ දෙයක් පුළුවන්. නිතර ලෙඩ වෙන ළමයෙක් වෙච්ච මට ගෙදරදි ඔය කියන එකක්වත් කරන්න ලැබුණේ නෑ. ඒ නිසා ගමේදි ලැබෙන නිදහස ඕනේවටත් වැඩියි.

මහම්මා නෑදෑ ගෙවල් වල යනකොට මමත් පස්සෙන් වැටීගෙන යනවා. ඔන්න දවසක් ලොකු මහම්මා ඒ කියන්නේ මහම්මාගේ අක්කගේ ගෙදර ගියා මහම්මයි, මමයි, මල්ලියි. එහෙ තියනවා ලොකුම ලොකු වත්තක්. මමයි මල්ලියි ඉතින් ගෙට ගොඩ වෙන්නේ වත් නැතුව වත්ත පුරා ඇවිදිනවා. ඔහොම යනකොට අපි දෙන්නට හම්බුණා ජම්බෝල ගහක්. බලන්න එපැයි ඒ ගහ. හැබයි අපි දෙන්නම ඊට කලින් කවදාවත් ජම්බෝල ගහක් දැකලා වත් තිබ්බේ නෑ.

මහම්මා ගේ ඇතුලේ ලොකු කතාවක්. දැන්ම එන පාටකුත් නෑ. ඉතින් අපි දෙන්නා ලේස්ති වුණා ජම්බෝල කඩන්න. කොහෙන්ද මන්දා කෙක්කකුත් හොයාගෙන් ඇවිත් කොහොමහරි ගෙඩියක් කැඩුවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ජම්බෝල කන්නයි ලේස්ති වුණේ.

එක පාරටම මහම්මා කොහෙන්ද මන්දා මතු වුණා.

“ මොකද දෙන්නත් එක්ක කරන්න හදන්නේ? විසි කරන්න් ඔය ජරාව. කෑවෙ හෙම නෑ නේද? ඔව්වා වහ”

අපි දෙන්නට හිතාගන්න බැරි වුණා මොකද්ද කරන්නේ කියලා. ඒ ගෙඩිය එතනින් විසි වුණාද, මහම්මා විසි කළාද දන්නේ නෑ. ඒක එක් පාරටම අතුරුදහන් වුණා. ඊට පස්සේ අපි දෙන්නවම ඇදගෙන ගේ ඇතුළට ගියා.
එදා ආපහු ගෙදර යනකල්ම අපි දෙන්නට බැනුම්.

“මේ කෙල්ලට මොනව හරි වුණොත් මට ළමයෙක් වදල තමයි දෙන්න වෙන්නේ” ඔන්න ඔහොම අපි ගෙදරට යනකල්ම් බැනුම් වැස්සක තෙමුණා තෙත බරියන් වෙනකල්ම.

ගොඩක් කාලෙක ඉදන් අපි එදා කන්න හදපු වස ගෙඩි ජාතියේ නම හෙව්වට හොයාගන්න් බැරි වුණා. ඒ පැත්තේ නම් ඒවට කියන්නේ “බරි ගෙඩි”. ජම්බෝල වලට හැම අතින්ම් සමානයි ඒ ගෙඩි.

ආයෙමත් ඒ කාලෙට යන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා. ෆෝන් එකෙනුයි අන්තර්ජාලෙනුයි නිදහස් වෙලා සතියක් හරි ගමට වෙලා නිදහසේ ඉන්න දැන් ගොඩක් කාලෙක ඉඳන් හිතන් ඉන්නේ. මේ වගේ දිග නිවාඩු අපිට දෙන්නේ ඒකට වෙන්න ඇති. ඒත් ගමත් දැන් වෙනස් වෙලා….


පින්තූරය මෙතැනින්