Wednesday, August 28, 2013

බස වෙනස

ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂා ව්යවහාරය ගොඩක් වෙනස්. එක් ප්‍රදේශයක සාමාන්‍යයෙන් භාවිතා වෙන වචනයක තේරුම වෙනත් ප්‍රදේශයක් ඊට බොහෝ සෙයින් වෙනස් වචනයකට භාවිතා වෙන්න පුළුවන්.

කැම්පස් ආවට පස්සෙ විවිධ පළාත් වලින් විවිධ මිතුරු මිතුරියෝ අඳුර ගන්න ලැබුණානේ. ඒතකොට තමයි දැනගත්තේ අපි පාවිච්චි කරනවට වඩා ගොඩක් වෙනස් වචන එකම දේවල් වලට පාවිච්චි වෙනවා කියලා. අපේ කට්ටිය හැමදාම මරාගන්න වචනයක් තමයි ඔය ව්යංජන වලට මාලු කියන එක.

දවසක් ඔන්න කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉන්නකොට මගේ යාළුවෙක්ගෙන් පිටිපස්සේ ඉන්න අපේ බැචෙක් අහනවලු “ අද මොනවද මාලු?” කියලා. එතකොට යාළුවා කිව්වලු “ජාතිය නම් දන්නේ නෑ බැදපු ඒවා තමයි තියෙන්නේ කියලා.” බලනකොට එයාගෙන් අහලා තියෙන්නේ අද ව්යංජන මොනවද තියෙන්නේ කියලා. ඔය කතාව අපිට කිව්වම හිනාවෙලා ඉවරයක් නැහැ.

තව ඉතින් කට්ටිය හිනාවෙනවා මම පඬි කිව්වම. අපි ඔය බල්ලොන්ගේ පූසොන්ගේ මවිල් වලට කියන්නේ පඬි කියලා. යාලුවො කියන්නේ පඬි කියන්නේ පණ්ඩිතයා කියන එකටලු. තවත් එකක් තමයි ඔය දෑවා කියන එක. ඒක නම් ඉතින් අපේ බැචාලා ගොඩක් අය ඔය දෑවා කියන එක පාවිච්චි කරනවා. අපේ කට්ටිය ඉතින් ඔය වචනෙ කාගෙහරි කටින් පනිනකම් තමයි බලන් ඉන්නෙ. අල්ලගෙන බයිට් කරන්න.

අපේ අම්මලගේ ගමේත් වෙනස් වචන ගොඩක් පාවිච්චි වෙනවා. එයාලා ආච්චි අම්මට කියන්නේ කිරි අම්මා කියලා. සීයාට කිරි අත්තා. අපිත් ඉතින් එහෙම තමයි කියන්නේ ඒ විදියට පුරුදු වෙලා.

එළවළු උයන වලං වලට කියන්නේ හොදි අප්පල්ලෙ කියල. ගාල ඉතුරුවෙන පොල් බෑ වලට කියන්නේ පොල් අඩලෙ කියල. මැටි කෝප්පෙට කියන්නේ මඩක්කුව කියලා. ඒ පැත්තෙ මොකක්හරි අරන් තියන්න කියන එකට කියන්නේ ඇන්න තියන්න කියලා. දුඹුරු පාටට කියන්නේ ගුරු පාට කියලා. මම ඉස්සර හිතන් හිටියේ ගුරු පාට කියන්නේ ගුරු පාරේ පාටට කියලා. බලන් යනකොට ඒකෙත් වැරැද්දක් නැහැ. තවත් දෙයක්. ඒ පැත්තේ තමයි ඔය බස් හිටවන්නේ එහෙම.

දකුණු පළාතේ භාවිතා වෙන වචන ඔයිට සම්පූර්ණයෙන්ම වෙනස්  නේ. එහෙ කාටහරි කතා කරන්නේ ඔහේ කියලා. තව ඒ පැත්තෙ අය පොල් ඔයනවා. දොඩවනවා. යන්නේ කාණ්ඩ ගැහිලා. හිච්චි මහත්තුරු, හාමිනේලත් ඉන්නේ ඔය පැත්තේ තමයි. තනියම යනවට කියන්නේ ඉබේ යනවා කියලා. තව ඔය වගේ වචන නම් ගොඩයි. ඒ පළාතේ වචන ගැන නම් මට ඒ හැටි දැනුමක් නෑ.


එකම භාෂාවක් වුණත් ලංකාවේ විවිධ පළාත් වල වෙනස් විදියට තමයි භාවිතා වෙන්නේ. නමුත් පාවිච්චි කරන වචන වෙනස් වුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. වැදගත්ම දේ ඒකයි. 

පින්තූරය මෙතනින් 

Tuesday, August 27, 2013

ගැස්ට්‍රයිටිස්

අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන මිනිස්සු. වැඩ කිව්වම එකක් නෙවෙයි ඉවරයක් නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ වැදගත් නැහැ කියලා මගහරින දේවල් ගොඩක් තියනවා. කෑම එහෙම් මගහරින දෙයක් වුණොත් කොහොමද? දවස් ගණන් නොකා නොබී ඉන්න අපි කාටවත් බැහැනේ. ඒ නිසා අපි දවසකට එක වේලක් මගහරින්න පුරුදු වෙලා. අවාසනාවකට අපි මගහරින කෑම වේල තමයි දවසේ වැදගත්ම කෑම වේල. ඒ කියන්නේ උදෑසන ආහාර වේල.

අපි මේ උදෑසන ආහාර වේල මග හැරියාම අපි අපිටම නිදහසට කරුණු ඉදිරිපත් කර ගන්නවා. “මට වෙලාවක් තිබ්බේ නැහැ උදේට කන්න ඒ නිසා මම දවල්ට හොඳට කනවා” වගේ හේතු අපි තමන්ටම ඉදිරිපත් කරගන්නවා. මේක තමයි භයානකම දේ. අපි කලින් දවසේ රෑට කන්නේ රෑ 8ට වගේ කිව්වොත් උදේට 8ට වත් කෑවේ නැත්තම් අපි දවල්ට කනකල් පැය 12කට වඩා වැඩි වෙලාවක් අපි බඩගින්නේ ඉන්නවා. මේ කාල සීමාව ඇතුළත ආමාශයට ආමාශයික යුශ ස්‍රාවය වෙන එක නොනැවැත්වීම සිදු වෙනවා. ආමාශයික යුශ වල තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමශයික යුශ වල අරමුණ තමයි අපි ආහාරයට ගත්ත දේවල් වල ජීරණය ආරම්භ කරන එක. ඒත් ආමාශයේ ආහාර තිබ්බේ නැත්තම් ආමාශය තමන්ගේම පටක ජීර්ණය කරගන්න පටන් ගන්නවා.

ඒත් මේක එක පාරටම වෙන දෙයක් නෙවෙයි. එක් දවසක් එක ආහාර වේලක් මගහැරියා කියලා මේක වෙන්නේ නෑ. දීර්ඝ කාලයක් තිස්සේ ආමාශයික යුශ වලට ආමාශයික පටක නිරාවරණය වුණාම තමයි මේක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අධික ආම්ලික ගතියෙන් ආමාශය ආරක්ෂා කරගන්න ශ්ලේෂ්මල පටලයකින් ආමශයික පටක ආවරණය වෙලා තියනවා. ඒත් දිගු කාලයක් ආමශයික යුෂ වලට නිරාවරණය වීම නිසා මේ පටලය තුවාල වෙලා ආමාශයේ පටක අම්ලයට නිරාවරණය වෙනවා. එතකොට ආමශයික පටක ස්වයං ජීරණයට ලක්වීම නිසා ආමාශයේ තුවාල හැදෙන්න පටන් ගන්නවා.

ඔන්න කෑමවේල් මග ඇර ඇර කට්ටි පැනපු අයට දැන් තමයි තරු විසික් වෙන්න පටන් ගන්නේ. දැන් මේ අයට එක දිගට බඩගින්නේ ඉඳලා කෑමක් කාපු ගමන් පපුවේ මැද හරියේ දැවිල්ලකට සමාන වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව විඳලම තමයි බලන්න ඕනෙ. එච්චරට අමාරුයි. ඒ වගේම ඇඹුල් රසට උගුරට එන ගතිය, කෑම අරුචිය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය දරුණු වෙලා ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම වුණාම තවත් විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ අයට කොච්චර බඩ පිරෙන්න කෑමක් කෑවත් පැයක් ඇතුළත නැවත බඩගිනි වෙනවා. ඉතා දරුණු තත්වයක් නම් වමනය සමග ලේ පිටවීම, මල සමග ලේ පිටවීම වගේ දේවලුත් දකින්න පුළුවන්.

ඒත් වැදගත්ම දේ තමයි මේ හැම එකක්ම වළක්වා ගන්න පුළුවන් වෙන එක. හැම ආහාර වේලක්ම වෙලාවට ගන්නවා නම් මේ තත්වය ඇති වෙන එක වලක්ව ගන්න පුළුවන්. බඩ දැවිල්ලක් හැදුනොත් ප්‍රති අම්ල පෙත්තක් (උදා-: Digene) හපලා කන්න ඕනේ. මේ පෙති ජලයේ දියවෙන්න වැඩි වෙලාවක් ගන්න නිසා පෙති බොන එකෙන් නම් ඒ හැටි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊට අමතරව සුදු කිරි ( කහට නොදා හදන ඒවා ) බොන්න  හෝ යෝගට් එකක් කන්න පුළුවන්. එයිනුත් යම් සහනයක් තියෙයි.

ගැස්ට්‍රයිටිස් හෙවත් ආමාශයික ප්‍රදාහයි තියන ඇත්තෝ ආහාර ගනිද්දි බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඹුල් රස කෑම, මිරිස් ගම්මිරිස් යහමින් දාපු කෑම, ෂෝට් ඊට්ස් ඇතුළු පාන් පිටි වලින්  සාදන සියලුම කෑම මේ හැම දෙයක්ම ඔබේ රෝගී තත්වය වැඩි කරනවා. ඒ වගේමයි සමහර බෙහෙත් වර්ගත්. ඒ නිසා ඔබ කුමන ලෙඩකට බෙහෙත් ගන්න ගියත් දොස්තරට ඔබ මෙම රෝගයෙන් පෙළෙනවා නම් ඒ බව දැනුම් දෙන්න.

ඒත් ඔය හැම දේකටම වඩා ලේසියි මේ රෝගී තත්වයෙන් වැළකුණාම. නැත්තම් කැමති කෑමක් කන්න නැහැ. අනිත් අය දිහා බල බල හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ. මෙය දිගුකාලීන තත්වයක් හැටියට තියනවානම් තවත් භයානකයි. මානසික ආතතිය නිසාත් මේ තත්වය දරුණු වෙන්න පුළුවන්. අපේ බැච් එකේ ළමයෙක්ට දෙපාරක්ම විභාගෙ ලියන්න බැරි වුණා විභාග ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා.

ඒත් දැන් මේ ලෙඩේ  තමන්ගේ කාර්යබහුලත්වය පෙන්නන්නත් සමහරු යොදා ගන්නවා. ඒ කියන්නේ බිසී අයට පමණක් හැදෙන ලෙඩක් විදියට ගොඩක් අය හිතන් ඉන්නවා.
“අනේ මම හරි බිසී මෙයා. කොච්චර බිසීද කියනවානම් මට හරියට බ්‍රෙක්ෆස්ට් ගන්න වත් වෙලාවක් නැහැ. ඒ නිසා මට දැ ගැස්ට්‍රයිටිසුත් හැදිලා”

ඔන්න ඕකයි තත්වේ.  තත්වය පෙන්නන්න ලෙඩ යොදා ගන්න එක නම් හරිම් විහිලුවක්. කොයි ලෙඩත් ලෙඩම තමයි. 

මීට ගැස්ට්‍රයිටිස් නිසා පීඩාවට පත් ජනතාව නියෝජනය කරමින්,
සිතුවිලි සිතූ

ප. ලි. 
බ්ලොග් එකේ ඇඳුම ටිකක් වෙනස් කලා. ඒකට මට උදව් කළේ ශම්මි. ශම්මි ඔයාට ගොඩක් ස්තූතියි. 

පින්තූරය ගත්තේ මෙතැනින්...

Sunday, August 25, 2013

බස් කතා

පාඩම් කරන්න තියා මොනම හදිස්සියකටවත් උදේ පාන්දරම නැගිටින්නේ නැති මම එදා උදේ පාන්දරම නැගිට්ටේ පැය 5ක් 6ක් බස් එකේ හිටගෙන යන්න බැරි නිසාමයි. නිදිමතේ වැනි වැනි ලෑස්ති වෙලා මටත් වඩා බර මල්ලකුත් උස්ස ගෙන එළියට බැස්සේ ටෝච් එකත් අතට අරගෙන. ඒත් මේ හොඳට එළිය වැටිලා තියෙන්නේ. යාළුවෝ ටික හිනා වෙනවා මම ටෝච් එකකුත් අරන් ආවට. ඒ ඉතින් මගේ පාන්දර තමයි. කොහොමින් කොහොමහරි පාරටත් ආවා. 


මුලින්ම ආව බස් එකේ සීට් තිබුණ නිසා හොඳට ගියා. ඔන්න මම අයිනේ සීට් එකකුත් අල්ලගෙන උදේ පාන්දරම නැගිටපු ඒවගේ ඇරියස් එකටත් එක්ක හොඳ නින්දක් දාන්නයි ලේස්ති වුණේ. වෙලාවට තවම මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑ. නැත්තම් ඉතින් කන පුරෝලා බස් සින්දු අහන් ඉන්න වෙනවනේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් මම සීට් එකට හේත්තු වෙලා නිදාගන්න ලේස්ති වුණා. යාන්තම් නින්ද යාගෙන ආවා විතරයි මෙන්න කන ළඟින්ම ලොකුම ලොකු සද්දයක්. කන ළගින්ම බස් අජිත් බෙරිහන් දෙනවා. මම ඉතින් බස් ඩ්‍රයිවර් ට පින් අනුමෝදන් කරගෙන නැගිටල මූණත් රකුසු කරගෙන වටපිට බැලුවා. ම්හ්... කෝ මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑනේ. ඒත් කොහෙන්ද මේ සද්දේ එන්නෙ? මම වටපිට බැලුවා. ආ මේ තියෙන්නේ. බස් එකේ රේඩියෝ එක දාලා නැති නිසා ඒ අඩුව පුරවන්න බස් එකේ යන අංකල් කෙනෙක් එයාගේ ෆෝන් එකෙන් මුළු බස් එකටම ඇහෙන්න සින්දු දාලා. නිකන්ම නිකන් සිංදු නෙවෙයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම බස් සිංදු. 


ඒ මනුස්සයගේ රසවින්දනය ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මිනිස්සු වුණාම අපිට අයිතියක් තියනවා බස් එකේ යනකොට කන් දෙකට වදයක් නොදී යන්න. මට විතරක් නෙවෙයි බස් එකේ යන අනිත් මිනිස්සුන්ටත් ඒ සින්දු ටික හරිම වදයක් වුණා. ඒ අයගේ මූණු බැලුවාම් ඒ බව නම් හොඳට පෙණුනා. ඉතින් කන් දෙක බීරි වුණත් කමක් 
නෑ කියලා මම හෑන්ඩ්ස් ෆ්රී එක කනේ ගහගෙන සද්දෙත් උපරිමේටම දාගෙන සින්දු අහ අහ ආවා. ඒ මනුස්සයාගේ රස වින්දනය වෙනුවෙන් මට මගේ දුප්පත් අසරණ නින්ද පූජා කරන්න සිද්ධ වුණා. 


ඒත් එක්කම බස් මගීන්ට සිද්ධ වෙන අකටයුතුකම් ගැනයි ටිකක් කතා කරන්න හිතුවේ. බස් එක ලංකාවේ ගොඩක් දෙනෙක්ගෙ පොදු වාහනේ. අතේ මිටේ යහමින් තියන උදවිය නම් වාහනේක හරි කැබ් එකක හරි එහෙමත් නැත්තම් ත්‍රී වීලර් එකක හරි යනවනේ. එහෙම් යන්න බැරි දුප්පතාගේ හිතවතා තමයි බස් එක. බස් එකක යනකොට අපිට සිද්ධ වෙන මුල්ම අකටයුත්ත තමයි කොන්දොස්තර මහත්තයාගෙන් ඉතුරු සල්ලි හරියට හම්බවෙන්නේ නැති එක. හදිස්සියේවත් බස් ගාස්තුව රුපියල් නවයක් වුණොත් එහෙම උතුරු රුපියල සින්න වෙලාම යනවා.
ඒ නිසා බස් ගාස්තු වලට තවත් රුපියලක් එකතු කරලම් තමයි ගණන් හදන්න වෙන්නේ. 


බස් වල විවිධ වේග තියනවා. අපිට ඉක්මනට කොහෙහරි යන්න ඕනේ වුණාම නගින බස් එක යන්නේ ගොළුබෙල්ලෙකුටත් වඩා හෙමින්. ඒත් සාමන්‍ය ගමනක් යන්න ඕනේ වුණාම බස් එක අහළ පහළ වාහන වලට වෙට්ටු දදා තවත් බස් එකක් එක්ක රේස් යන්නේ බස් එක ඇතුළේ ඉන්න හැම් මනුස්සයගේම ඇඟේ ලේ වතුර කරලා. තවත් සමහර බස් ඩ්‍රයිවර් ලට රේඩියෝ එකේ බස් සින්දු දැම්මේ නැත්තම් බස් එක එළවන්න බැරිලු. දැන් නම් බස් වල ටීවීත් තියනවනේ. ඒවා දැක්කාම නම් සසර කලකිරෙනවා. ඒවයේ යන සින්දුත් එකයි නැටුමුත් එකයි නටන අය ඇඳන් ඉන්න ඇඳුමුත් එකයි.


මේ ඉතින් බස් වල දුර ගමන් යන අපිට මුහුණ දෙන්න වෙන කරදර වලින් ටිකක් විතරයි. තව මෙකී නොකී කරදර ගොඩක්ම තියනවනේ බස් වල යන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම. කවදාහරි මේ කරදර එකක්වත් නැති බස් රථයක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. 

Thursday, August 22, 2013

වැස්ස


ලක්මවට බත් දෙනු පිණිස, 
වැව් බැඳි රටේ ගොවියන්, 
දෑත් දිගුකොට කෙරූ යාදිනි, 
වැකී සවන'ත තෙදැති දෙවියන්, 
රවා හුන් සැඩ රිවිඳු පලවා, 
රජරට කෙත් යායට 
දුන්න වැස්ස.....


දයාවෙන් පිරි ගුණැති මිනිසුන්, 
අතර වෙසෙනා නරුම දුදනන්, 
පුරා වසරක් කෙරූ පව්කම්, 
හොඳින් සෝදා හැරපියන්නට, 
සිනාසී හුන් අහස කළුකර
දියකපනා දා, 
සෙංකඩගල පුරවරයට 
වහින වැස්ස...