Sunday, August 25, 2013

බස් කතා

පාඩම් කරන්න තියා මොනම හදිස්සියකටවත් උදේ පාන්දරම නැගිටින්නේ නැති මම එදා උදේ පාන්දරම නැගිට්ටේ පැය 5ක් 6ක් බස් එකේ හිටගෙන යන්න බැරි නිසාමයි. නිදිමතේ වැනි වැනි ලෑස්ති වෙලා මටත් වඩා බර මල්ලකුත් උස්ස ගෙන එළියට බැස්සේ ටෝච් එකත් අතට අරගෙන. ඒත් මේ හොඳට එළිය වැටිලා තියෙන්නේ. යාළුවෝ ටික හිනා වෙනවා මම ටෝච් එකකුත් අරන් ආවට. ඒ ඉතින් මගේ පාන්දර තමයි. කොහොමින් කොහොමහරි පාරටත් ආවා. 


මුලින්ම ආව බස් එකේ සීට් තිබුණ නිසා හොඳට ගියා. ඔන්න මම අයිනේ සීට් එකකුත් අල්ලගෙන උදේ පාන්දරම නැගිටපු ඒවගේ ඇරියස් එකටත් එක්ක හොඳ නින්දක් දාන්නයි ලේස්ති වුණේ. වෙලාවට තවම මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑ. නැත්තම් ඉතින් කන පුරෝලා බස් සින්දු අහන් ඉන්න වෙනවනේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් මම සීට් එකට හේත්තු වෙලා නිදාගන්න ලේස්ති වුණා. යාන්තම් නින්ද යාගෙන ආවා විතරයි මෙන්න කන ළඟින්ම ලොකුම ලොකු සද්දයක්. කන ළගින්ම බස් අජිත් බෙරිහන් දෙනවා. මම ඉතින් බස් ඩ්‍රයිවර් ට පින් අනුමෝදන් කරගෙන නැගිටල මූණත් රකුසු කරගෙන වටපිට බැලුවා. ම්හ්... කෝ මේ බස් එකේ රේඩියෝ එක දාලා නෑනේ. ඒත් කොහෙන්ද මේ සද්දේ එන්නෙ? මම වටපිට බැලුවා. ආ මේ තියෙන්නේ. බස් එකේ රේඩියෝ එක දාලා නැති නිසා ඒ අඩුව පුරවන්න බස් එකේ යන අංකල් කෙනෙක් එයාගේ ෆෝන් එකෙන් මුළු බස් එකටම ඇහෙන්න සින්දු දාලා. නිකන්ම නිකන් සිංදු නෙවෙයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම බස් සිංදු. 


ඒ මනුස්සයගේ රසවින්දනය ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මිනිස්සු වුණාම අපිට අයිතියක් තියනවා බස් එකේ යනකොට කන් දෙකට වදයක් නොදී යන්න. මට විතරක් නෙවෙයි බස් එකේ යන අනිත් මිනිස්සුන්ටත් ඒ සින්දු ටික හරිම වදයක් වුණා. ඒ අයගේ මූණු බැලුවාම් ඒ බව නම් හොඳට පෙණුනා. ඉතින් කන් දෙක බීරි වුණත් කමක් 
නෑ කියලා මම හෑන්ඩ්ස් ෆ්රී එක කනේ ගහගෙන සද්දෙත් උපරිමේටම දාගෙන සින්දු අහ අහ ආවා. ඒ මනුස්සයාගේ රස වින්දනය වෙනුවෙන් මට මගේ දුප්පත් අසරණ නින්ද පූජා කරන්න සිද්ධ වුණා. 


ඒත් එක්කම බස් මගීන්ට සිද්ධ වෙන අකටයුතුකම් ගැනයි ටිකක් කතා කරන්න හිතුවේ. බස් එක ලංකාවේ ගොඩක් දෙනෙක්ගෙ පොදු වාහනේ. අතේ මිටේ යහමින් තියන උදවිය නම් වාහනේක හරි කැබ් එකක හරි එහෙමත් නැත්තම් ත්‍රී වීලර් එකක හරි යනවනේ. එහෙම් යන්න බැරි දුප්පතාගේ හිතවතා තමයි බස් එක. බස් එකක යනකොට අපිට සිද්ධ වෙන මුල්ම අකටයුත්ත තමයි කොන්දොස්තර මහත්තයාගෙන් ඉතුරු සල්ලි හරියට හම්බවෙන්නේ නැති එක. හදිස්සියේවත් බස් ගාස්තුව රුපියල් නවයක් වුණොත් එහෙම උතුරු රුපියල සින්න වෙලාම යනවා.
ඒ නිසා බස් ගාස්තු වලට තවත් රුපියලක් එකතු කරලම් තමයි ගණන් හදන්න වෙන්නේ. 


බස් වල විවිධ වේග තියනවා. අපිට ඉක්මනට කොහෙහරි යන්න ඕනේ වුණාම නගින බස් එක යන්නේ ගොළුබෙල්ලෙකුටත් වඩා හෙමින්. ඒත් සාමන්‍ය ගමනක් යන්න ඕනේ වුණාම බස් එක අහළ පහළ වාහන වලට වෙට්ටු දදා තවත් බස් එකක් එක්ක රේස් යන්නේ බස් එක ඇතුළේ ඉන්න හැම් මනුස්සයගේම ඇඟේ ලේ වතුර කරලා. තවත් සමහර බස් ඩ්‍රයිවර් ලට රේඩියෝ එකේ බස් සින්දු දැම්මේ නැත්තම් බස් එක එළවන්න බැරිලු. දැන් නම් බස් වල ටීවීත් තියනවනේ. ඒවා දැක්කාම නම් සසර කලකිරෙනවා. ඒවයේ යන සින්දුත් එකයි නැටුමුත් එකයි නටන අය ඇඳන් ඉන්න ඇඳුමුත් එකයි.


මේ ඉතින් බස් වල දුර ගමන් යන අපිට මුහුණ දෙන්න වෙන කරදර වලින් ටිකක් විතරයි. තව මෙකී නොකී කරදර ගොඩක්ම තියනවනේ බස් වල යන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම. කවදාහරි මේ කරදර එකක්වත් නැති බස් රථයක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. 

14 comments:

  1. මටත් බං බස් ගමන් නම් අප්පිරියා වෙලා තියෙන්නේ! කෝච්චිය ටිකක් වත් හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඔව් කෝච්චියේ එනකොට නම් ඇඟට අමාරුවකුත් නැහැ. ඒත් කෝච්චියේ යන වෙළෙන්දෝ ටික තමයි පෙන්නන්න බැරි.

      Delete
  2. අප්පා බස් අජිත්ගේ සින්දු කොහොම වෙතත් හැටන් බස් එකක ගියොත් දෙමල සින්දු අහන්න වෙන එක නම් ඒකාන්තයි. ඒක හන්ද මම ඒ බස් එක මගෑරලා ගෙදර යන්නේ.

    ReplyDelete
    Replies
    1. එක දිගට දෙමළ සින්දු අහන්න ගියාම නම් එපා වෙනවා. ඒත් හැමදාම ඒ බස් එකේ යන අයට නම් ගානක් නැතුව ඇති.

      Delete
  3. මේක නං අමූලික ඇත්ත! බස් එකක යනවා කියන එක අපායේ යනවා වගේ තමයි! මට දැන් එපා කරපු වැඩක් තමයි ලංකාවේ බස්වල යන එක.

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක් නැති කමට බස් එකේ යනවා මිසක් වෙන මොනවා කරන්නද?

      Delete
  4. හපොයි ලියල වෑඩක් නෑ ඒ වදේ නම්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බස් නම් ඉතින් කියලා වැඩක් නෑ.

      Delete
  5. බස් වල යනකොට අහලම අප්පිරියාවෙලා තියෙන කෑල්ලක් තමයි. එහෙනං යනවකො ටැක්සියක් අරං කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ටැක්සියක් අරන් යන්න පුළුවන් නම් අපි බස් එකේ යනවද නේද?

      Delete
  6. මං නම් කෝච්චියෙම යන්න බලනවා.. ඒත් ඒ මඟුල් බස් වලට වඩා පරක්කු වෙනවනෙ :( ඔය වෙලාවට ජ්බොස් උනත් කමක් නෑ කියල බස් වල එල්ලෙනවා

    ReplyDelete
    Replies
    1. කෝච්චිය නම් බස් වලට වඩා දාහෙන් සම්පතයි. ඒ වුණාට ඉතින් කෝච්චි පරක්කු වෙන්නේ මිනිත්තු ගණන් වලින් නෙවෙයිනේ. කෙලින්ම පැය 2-3ක්..

      Delete
  7. "කන ළගින්ම බස් අජිත් බෙරිහන් දෙනවා. මම ඉතින් බස් ඩ්‍රයිවර් ට පින් අනුමෝදන් කරගෙන නැගිටල මූණත් රකුසු කරගෙන වටපිට බැලුවා."

    "හදිස්සියේවත් බස් ගාස්තුව රුපියල් නවයක් වුණොත් එහෙම උතුරු රුපියල සින්න වෙලාම යනවා."

    හික්ස්..ඒවා ලියල තියෙන විදිය මරු... :D

    ReplyDelete
  8. හරි ඉතින් මට කොහොමත් රකුසු මූණක් නෙ තියෙන්නෙ. :P

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......