Tuesday, August 27, 2013

ගැස්ට්‍රයිටිස්

අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන මිනිස්සු. වැඩ කිව්වම එකක් නෙවෙයි ඉවරයක් නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ වැදගත් නැහැ කියලා මගහරින දේවල් ගොඩක් තියනවා. කෑම එහෙම් මගහරින දෙයක් වුණොත් කොහොමද? දවස් ගණන් නොකා නොබී ඉන්න අපි කාටවත් බැහැනේ. ඒ නිසා අපි දවසකට එක වේලක් මගහරින්න පුරුදු වෙලා. අවාසනාවකට අපි මගහරින කෑම වේල තමයි දවසේ වැදගත්ම කෑම වේල. ඒ කියන්නේ උදෑසන ආහාර වේල.

අපි මේ උදෑසන ආහාර වේල මග හැරියාම අපි අපිටම නිදහසට කරුණු ඉදිරිපත් කර ගන්නවා. “මට වෙලාවක් තිබ්බේ නැහැ උදේට කන්න ඒ නිසා මම දවල්ට හොඳට කනවා” වගේ හේතු අපි තමන්ටම ඉදිරිපත් කරගන්නවා. මේක තමයි භයානකම දේ. අපි කලින් දවසේ රෑට කන්නේ රෑ 8ට වගේ කිව්වොත් උදේට 8ට වත් කෑවේ නැත්තම් අපි දවල්ට කනකල් පැය 12කට වඩා වැඩි වෙලාවක් අපි බඩගින්නේ ඉන්නවා. මේ කාල සීමාව ඇතුළත ආමාශයට ආමාශයික යුශ ස්‍රාවය වෙන එක නොනැවැත්වීම සිදු වෙනවා. ආමාශයික යුශ වල තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ආමශයික යුශ වල අරමුණ තමයි අපි ආහාරයට ගත්ත දේවල් වල ජීරණය ආරම්භ කරන එක. ඒත් ආමාශයේ ආහාර තිබ්බේ නැත්තම් ආමාශය තමන්ගේම පටක ජීර්ණය කරගන්න පටන් ගන්නවා.

ඒත් මේක එක පාරටම වෙන දෙයක් නෙවෙයි. එක් දවසක් එක ආහාර වේලක් මගහැරියා කියලා මේක වෙන්නේ නෑ. දීර්ඝ කාලයක් තිස්සේ ආමාශයික යුශ වලට ආමාශයික පටක නිරාවරණය වුණාම තමයි මේක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අධික ආම්ලික ගතියෙන් ආමාශය ආරක්ෂා කරගන්න ශ්ලේෂ්මල පටලයකින් ආමශයික පටක ආවරණය වෙලා තියනවා. ඒත් දිගු කාලයක් ආමශයික යුෂ වලට නිරාවරණය වීම නිසා මේ පටලය තුවාල වෙලා ආමාශයේ පටක අම්ලයට නිරාවරණය වෙනවා. එතකොට ආමශයික පටක ස්වයං ජීරණයට ලක්වීම නිසා ආමාශයේ තුවාල හැදෙන්න පටන් ගන්නවා.

ඔන්න කෑමවේල් මග ඇර ඇර කට්ටි පැනපු අයට දැන් තමයි තරු විසික් වෙන්න පටන් ගන්නේ. දැන් මේ අයට එක දිගට බඩගින්නේ ඉඳලා කෑමක් කාපු ගමන් පපුවේ මැද හරියේ දැවිල්ලකට සමාන වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව විඳලම තමයි බලන්න ඕනෙ. එච්චරට අමාරුයි. ඒ වගේම ඇඹුල් රසට උගුරට එන ගතිය, කෑම අරුචිය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය දරුණු වෙලා ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම වුණාම තවත් විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ අයට කොච්චර බඩ පිරෙන්න කෑමක් කෑවත් පැයක් ඇතුළත නැවත බඩගිනි වෙනවා. ඉතා දරුණු තත්වයක් නම් වමනය සමග ලේ පිටවීම, මල සමග ලේ පිටවීම වගේ දේවලුත් දකින්න පුළුවන්.

ඒත් වැදගත්ම දේ තමයි මේ හැම එකක්ම වළක්වා ගන්න පුළුවන් වෙන එක. හැම ආහාර වේලක්ම වෙලාවට ගන්නවා නම් මේ තත්වය ඇති වෙන එක වලක්ව ගන්න පුළුවන්. බඩ දැවිල්ලක් හැදුනොත් ප්‍රති අම්ල පෙත්තක් (උදා-: Digene) හපලා කන්න ඕනේ. මේ පෙති ජලයේ දියවෙන්න වැඩි වෙලාවක් ගන්න නිසා පෙති බොන එකෙන් නම් ඒ හැටි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊට අමතරව සුදු කිරි ( කහට නොදා හදන ඒවා ) බොන්න  හෝ යෝගට් එකක් කන්න පුළුවන්. එයිනුත් යම් සහනයක් තියෙයි.

ගැස්ට්‍රයිටිස් හෙවත් ආමාශයික ප්‍රදාහයි තියන ඇත්තෝ ආහාර ගනිද්දි බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඹුල් රස කෑම, මිරිස් ගම්මිරිස් යහමින් දාපු කෑම, ෂෝට් ඊට්ස් ඇතුළු පාන් පිටි වලින්  සාදන සියලුම කෑම මේ හැම දෙයක්ම ඔබේ රෝගී තත්වය වැඩි කරනවා. ඒ වගේමයි සමහර බෙහෙත් වර්ගත්. ඒ නිසා ඔබ කුමන ලෙඩකට බෙහෙත් ගන්න ගියත් දොස්තරට ඔබ මෙම රෝගයෙන් පෙළෙනවා නම් ඒ බව දැනුම් දෙන්න.

ඒත් ඔය හැම දේකටම වඩා ලේසියි මේ රෝගී තත්වයෙන් වැළකුණාම. නැත්තම් කැමති කෑමක් කන්න නැහැ. අනිත් අය දිහා බල බල හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ. මෙය දිගුකාලීන තත්වයක් හැටියට තියනවානම් තවත් භයානකයි. මානසික ආතතිය නිසාත් මේ තත්වය දරුණු වෙන්න පුළුවන්. අපේ බැච් එකේ ළමයෙක්ට දෙපාරක්ම විභාගෙ ලියන්න බැරි වුණා විභාග ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා.

ඒත් දැන් මේ ලෙඩේ  තමන්ගේ කාර්යබහුලත්වය පෙන්නන්නත් සමහරු යොදා ගන්නවා. ඒ කියන්නේ බිසී අයට පමණක් හැදෙන ලෙඩක් විදියට ගොඩක් අය හිතන් ඉන්නවා.
“අනේ මම හරි බිසී මෙයා. කොච්චර බිසීද කියනවානම් මට හරියට බ්‍රෙක්ෆස්ට් ගන්න වත් වෙලාවක් නැහැ. ඒ නිසා මට දැ ගැස්ට්‍රයිටිසුත් හැදිලා”

ඔන්න ඕකයි තත්වේ.  තත්වය පෙන්නන්න ලෙඩ යොදා ගන්න එක නම් හරිම් විහිලුවක්. කොයි ලෙඩත් ලෙඩම තමයි. 

මීට ගැස්ට්‍රයිටිස් නිසා පීඩාවට පත් ජනතාව නියෝජනය කරමින්,
සිතුවිලි සිතූ

ප. ලි. 
බ්ලොග් එකේ ඇඳුම ටිකක් වෙනස් කලා. ඒකට මට උදව් කළේ ශම්මි. ශම්මි ඔයාට ගොඩක් ස්තූතියි. 

පින්තූරය ගත්තේ මෙතැනින්...

21 comments:

  1. අම්මේ මටත් තියනවා පුදුම දුකක් විදිනවා...

    ReplyDelete
    Replies
    1. තියන අයම තමයි විඳින දුකත් දන්නේ..

      Delete
  2. මාත් සෑහෙන්න කල් විඳෙව්වා. දැන් නම් මඟ හැරිලා ගිහින් වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් කාලයක් පරිස්සම් වෙනකොට මඟහැරිලා යනවා.

      Delete
  3. මටනං ඕක ලේසියෙන් හැදෙන්නේ නැති වෙයි... මොකද මම හැමතිස්සෙම කරන්නේ කන එකනේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් රජාට කවදාවත් මේ ලෙඩේ හැදෙන්නේ නැති වෙයි! :D

      Delete
  4. මාත් ටිකක් කලක් මේ රෝගයෙන් පීඩා වින්දා බෙහෙතක් සැර වීම නිසා . ඔය රෝගය ඔච්චරටම අමාරු කියල දැන ගත්තෙ ඒකෙන් පස්සේ .

    ReplyDelete
    Replies
    1. දැන් හොඳයිද අක්කට? සමහර බෙහෙත් වලට ඔය රෝගය වැඩිවෙනවා.

      Delete
  5. අප්පේ.. මොනවා උනත් උදේ කෑමනම් වරද්දන්නේ නෑ! අනිත් වේලවල් ටිකත් එහෙමයි! :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවදාවත් හැදෙන එකක් නෑ. සතුටුයි!

      Delete
  6. දෙයියනේ කන්න අමතක වෙන මිනිස්සුත් ඉන්නවද ? :(
    මට මගේ නම අමතක උනත් කන්න නම් අමතක වෙන්නෙ නෑ :) අපේ නංඟිට නම් ඕක තියෙනවා.. ඒකි කන්නෙ නෑ... ඩයට්ද මොකක්ද කරනව :D
    අර ENO බිව්වම තත්පර 8න් සහනය ලැබෙනවලුනෙ ඕකට

    ReplyDelete
    Replies
    1. තත්පර 8න් සහන ලැබුණට මොකද සෑහෙන්න විඳවන්න වෙනවනෙ. යසිත්ගේ නංගි ඩයට් කරනව එහෙනම්? යසිතුත් ඩයට් කළා නම් නරකද? :P

      Delete
  7. ගැස්ට්‍රයිටික් කියන්නෙ මගේ ලඟ හිටපු කෙනෙක් නෙ.. එහෙමත් සනීපයක්. :( මට හැදුනෙ හදිස්සියෙ කන්නෙ නැතුව වැඩට දුවන නිසා.. දැන් නම් නෑ.

    //මානසික ආතතිය නිසාත් මේ තත්වය දරුණු වෙන්න පුළුවන්.// අත්දැකීම් තිබේ.

    ReplyDelete
    Replies
    1. දැන් නැත්තම් කොච්චර හොඳද? මම නම් තාමත් විඳවනවා. ස්ට්‍රෙස් වැඩි දවස් වලට මොනවත් කන්න වත් හිතෙන්නේ නෑනේ. ඒ නිසා වෙන්න ඇති ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ.

      Delete
  8. බොහොම හොඳයි. සමාජෙ හුඟ දෙනෙකුට තියෙන තත්ත්වයක්.
    නමුත් මම අහලා තියෙන්නේ, කිරි, යෝගට් හෙමත් හොඳ නෑ කියලා ඔය තත්වයට. එතකොට ඩයිජීන් වගේ antacid වුනත් නිතර ගන්න හොඳ නෑලු.

    ReplyDelete
    Replies
    1. කිරි යෝගට් හෙම හොඳ නෑ කියන්නේ ඇයි? ඒ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ.

      Delete
    2. යෝගට් වල නම් ආම්ලික ගතියක් (acidic) තියෙන නිසා. කිරි කිව්වේ curd. ඒකත් එහෙමනේ

      Delete
    3. මම හිතුවෙ දියර කිරි ගැන කියලා. යෝගට් වල ආම්ලික ගතියක් තියනවා තමයි. එහෙනම් ඒවා හොඳ නැතුව ඇති.

      Delete
  9. අම්මෝ අම්මෝ මේ දවස්වල හොඳටම විඳවනවා

    ReplyDelete
    Replies
    1. රයිටර් එහෙනම් දන්නවා ඇති මේ ගැන හොඳට..

      Delete
  10. ගැස්ට්‍රයිටිස් වලින් ගොඩ එන්න බැරිම නෑ සිතූ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනව. මෙන්න මං කරපු සහ කරන දේවල්.

    1. උදේ නැගිටපු ගමන් තේ බොන පුරුද්ද අතාරින්න. ඒ වෙනුවට උදේට ඇල් වතුර ලීටරයක් බොන්න. මුලදි පුරුදු වෙන්න ටිකක් අමාරුයි. වතුර වීදුරුවකින් විතර පටන් ගන්නකො.

    2. තුන් වේල බත් කන්න පුරුදු වෙන්න. පිටි, තෙල්, මිරිස් පුළුවන් තරං අඩු කරන්න. විශේෂයෙන්ම ප්‍රධාන වේලක් ‘කසඩ‘ කෑමකින් පිරිමහගන්න එක කරන්න යන්න එපා.

    3. වේල් තුනට නියමිත වෙලාවක් තියා ගන්න. ඒ කිව්වෙ හැමදාම උදේ කෑම 7 - 8 අතරෙ ගන්න, දවල් කෑම 12 - 1 අතරෙ ගන්න, රෑ කෑම රෑ 7.30 - 8.30 අතරෙ වගේ ගන්න. ඊට පස්සෙ වැඩ වැඩියි, අරකයි මේකයි කියල කෑම වෙලාව පරක්කු කරන්නෙ නැතුව ඔය කාල සටහන දිගටම කරගෙන යන්න. වැඩ වැඩියි කියල කෑම වෙලාව මගඅරින එකෙන් වෙන්නෙ නිරපරාදෙ ලෙඩ වෙන එක විතරයි.

    4. කෘත්‍රිම කෑම (ක්ෂණික ආහාර) වර්ගයි ඔය කොකාකෝල, ක්‍රීම් සෝඩ, පෝටෙලෝ රෙඩ්බුල් වගේ දේවලුයි කන බොන එක අඩුම කරන්න, පුළුවන්නම් නවත්තලම දාන්න. ඒ වෙනුවට තැඹිලි වගේ මොනා හරි බොන්න.

    ගැස්ට්‍රයිටිස්නං ඕනිම නෑ...

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......