Wednesday, August 28, 2013

බස වෙනස

ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂා ව්යවහාරය ගොඩක් වෙනස්. එක් ප්‍රදේශයක සාමාන්‍යයෙන් භාවිතා වෙන වචනයක තේරුම වෙනත් ප්‍රදේශයක් ඊට බොහෝ සෙයින් වෙනස් වචනයකට භාවිතා වෙන්න පුළුවන්.

කැම්පස් ආවට පස්සෙ විවිධ පළාත් වලින් විවිධ මිතුරු මිතුරියෝ අඳුර ගන්න ලැබුණානේ. ඒතකොට තමයි දැනගත්තේ අපි පාවිච්චි කරනවට වඩා ගොඩක් වෙනස් වචන එකම දේවල් වලට පාවිච්චි වෙනවා කියලා. අපේ කට්ටිය හැමදාම මරාගන්න වචනයක් තමයි ඔය ව්යංජන වලට මාලු කියන එක.

දවසක් ඔන්න කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉන්නකොට මගේ යාළුවෙක්ගෙන් පිටිපස්සේ ඉන්න අපේ බැචෙක් අහනවලු “ අද මොනවද මාලු?” කියලා. එතකොට යාළුවා කිව්වලු “ජාතිය නම් දන්නේ නෑ බැදපු ඒවා තමයි තියෙන්නේ කියලා.” බලනකොට එයාගෙන් අහලා තියෙන්නේ අද ව්යංජන මොනවද තියෙන්නේ කියලා. ඔය කතාව අපිට කිව්වම හිනාවෙලා ඉවරයක් නැහැ.

තව ඉතින් කට්ටිය හිනාවෙනවා මම පඬි කිව්වම. අපි ඔය බල්ලොන්ගේ පූසොන්ගේ මවිල් වලට කියන්නේ පඬි කියලා. යාලුවො කියන්නේ පඬි කියන්නේ පණ්ඩිතයා කියන එකටලු. තවත් එකක් තමයි ඔය දෑවා කියන එක. ඒක නම් ඉතින් අපේ බැචාලා ගොඩක් අය ඔය දෑවා කියන එක පාවිච්චි කරනවා. අපේ කට්ටිය ඉතින් ඔය වචනෙ කාගෙහරි කටින් පනිනකම් තමයි බලන් ඉන්නෙ. අල්ලගෙන බයිට් කරන්න.

අපේ අම්මලගේ ගමේත් වෙනස් වචන ගොඩක් පාවිච්චි වෙනවා. එයාලා ආච්චි අම්මට කියන්නේ කිරි අම්මා කියලා. සීයාට කිරි අත්තා. අපිත් ඉතින් එහෙම තමයි කියන්නේ ඒ විදියට පුරුදු වෙලා.

එළවළු උයන වලං වලට කියන්නේ හොදි අප්පල්ලෙ කියල. ගාල ඉතුරුවෙන පොල් බෑ වලට කියන්නේ පොල් අඩලෙ කියල. මැටි කෝප්පෙට කියන්නේ මඩක්කුව කියලා. ඒ පැත්තෙ මොකක්හරි අරන් තියන්න කියන එකට කියන්නේ ඇන්න තියන්න කියලා. දුඹුරු පාටට කියන්නේ ගුරු පාට කියලා. මම ඉස්සර හිතන් හිටියේ ගුරු පාට කියන්නේ ගුරු පාරේ පාටට කියලා. බලන් යනකොට ඒකෙත් වැරැද්දක් නැහැ. තවත් දෙයක්. ඒ පැත්තේ තමයි ඔය බස් හිටවන්නේ එහෙම.

දකුණු පළාතේ භාවිතා වෙන වචන ඔයිට සම්පූර්ණයෙන්ම වෙනස්  නේ. එහෙ කාටහරි කතා කරන්නේ ඔහේ කියලා. තව ඒ පැත්තෙ අය පොල් ඔයනවා. දොඩවනවා. යන්නේ කාණ්ඩ ගැහිලා. හිච්චි මහත්තුරු, හාමිනේලත් ඉන්නේ ඔය පැත්තේ තමයි. තනියම යනවට කියන්නේ ඉබේ යනවා කියලා. තව ඔය වගේ වචන නම් ගොඩයි. ඒ පළාතේ වචන ගැන නම් මට ඒ හැටි දැනුමක් නෑ.


එකම භාෂාවක් වුණත් ලංකාවේ විවිධ පළාත් වල වෙනස් විදියට තමයි භාවිතා වෙන්නේ. නමුත් පාවිච්චි කරන වචන වෙනස් වුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. වැදගත්ම දේ ඒකයි. 

පින්තූරය මෙතනින් 

16 comments:

  1. ඔහේ මක්කයි මේ දොඩන්නෙ ? මට නිච්චියක් නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔහේ බෙන්තර ගඟෙන් එහාය?

      Delete
    2. නැතුව. අපි රියල් දකුණෙ.. බෙන්තර ගඟෙනුත් එහා, නිල්වලා ගඟෙනුත් එහා මුහුදෙන් මෙහා... :)

      Delete
    3. හික්ස්.. මම හිතුවෙ මුහුදෙනුත් එහා කියලා. ඒ කියන්නේ මාතර නේ..

      Delete
  2. අප්පේ මටත් ඔය සීන් එක අත් දකින්න උනා කැම්පස් ගිහාම! මම "පෙළක්" කියන වචනේ එහෙම පාවිච්චි කරනවා! ඒක පාවිච්චි වෙන්නේ අපේ පැත්තේ විතරලු බලාගෙන යද්දී!

    ReplyDelete
    Replies
    1. පෙළක් කියන එක නම් මමත් අහලා තියනවා. මම තව බයිට් වුණ එකක් තමයි අනිත් අය කිව්වෙ කියන එකට මම කියන්නේ කීවේ කියලා.

      Delete
  3. ඔහේ මක්කැයි මේ දොඩන්නෙ?
    අනේ යන්ට අනේ යන්ට.
    දුවන්ඩයි කිව්වේ මගෙන් ගුටියක් නොකා.

    ReplyDelete
    Replies
    1. දොඩන්නැත්තෙ මේ අවාරෙනේ..

      යන්ට කියන්නේ නුවර පැත්තේ නේද? කන්ඩ බොන්ඩ දුවන්ඩ කියන්නේ මොන පැත්තෙද හැබෑට?

      Delete
    2. අපේ පැත්තේ. ඒ කියන්නේ බස්නාහිර පළාතේ.

      Delete
    3. දැන් නම් එහෙම වෙන පළාත් වල ඈයොත් කියනවා...

      Delete
  4. බදුල්ල පැත්තෙත් බාසාව හරි ම වෙනස්නේ. ඊට පස්සේ කියන එක කියන්නේ ඒ කොල්ලා කියලා. අපි බලනවා කෝ කොල්ලා කියලා!

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ලා අහකලා හිටං... :D:D

      Delete
    2. ඒක නම් අදමයි ඇහුවේ. හිතෙන්නෙ කොල්ලෙක් ගැන කියනවා කියලනේ.

      Delete
    3. චන්දන: ඒ නගාට කොලොප්පන් කරන්න නාකයි නොවැ. :D

      Delete
  5. මාලුව කියන වචනෙ නම් අපිත් පාවිච්චි කරනව. වඩා වැඩි ප්‍රමාණයක් කියන එක වෙනුවට යෙදෙන 'ගොඩ' කියන වචනෙ අපි කියන්නෙ 'ගොඩක්' කියලයි. තව 'යකෝ, අම්මපා, හත්තිලව්වයි, පැලහැට්ට...' කොච්චර තියනව ද එහෙම වචන නේද... :)

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරු ඉන්නවා අපි ඇත්තද කියලා අහන එකට එයාලා අහන්නේ ඔව්ද කියලා. ඒ නම් බණ්ඩාරවෙල පැත්තේ මම හිතන්නේ. තව කෑවද බිව්වද අහන එකට කෑ...වා බිව්..වා කියලා ඇදලා අහන අයත් ඉන්නවා.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......