Wednesday, September 4, 2013

මගේ කේන්තිය



කේන්තිය, තරහව, කෝපය ඔය මොන නමින් හැඳින්වුවත් ඒ හැමදේකින්ම හඳුන්වන්නේ එකම දේ. අපි අතරෙන් ගොඩක් අයට කේන්ති යනවා. මොනම දේකට හෝ කේන්ති නොගත්ත කෙනෙක් අපි අතරෙ නැතුව ඇති. සමහරුන්ට නිතරම කේන්ති යනවා. සමහරුන්ට ගොඩක් පොඩි දේවල් වලට කේන්ති යනවා. සමහරුන්ට නිතර කේන්ති යන්නේ නැහැ. ඒත් කේන්ති ගියාම හරිම දරුණුයි.

ඇයි අපිට කේන්ති යන්නේ? කේන්ති ගියාම අපි විවිධ විදියට ඒ තරහව පිට කරනවා. බුම්මගෙන ඉන්නවා. ළඟ ඉන්න අයට බනිනවා. කෑ ගහනවා. බඩු පොලවේ ගහනවා වගේ නොයෙක් දේවල්. ගොඩක්ම කේන්ති ගියාම තමයි රණ්ඩු කරනවා, ගහගන්න යනවා. එහෙමත් බැරි වුණාම ඔය ප්‍රශ්න මිනීමැරුම් දක්වා දුර දිග යනවා. ගොඩක් දරුණු ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ අන්තිමට පොඩිම පොඩි දෙයක්.

තරහ ආවාම පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. ඒත් මම ඒක සාර්ථකව අත්හදා බලලා නම් නැහැ. මේ ලියන මමත් ගොඩක් කේන්ති ගන්න කෙනෙක්. කේන්තියක් ආවාම එකේ ඉදන් දහයට ගණන් කරන්න වගේ දේවල් දැනගෙන හිටියත් ඒවා මතක් වෙනකොට තරහ අරන් ඒවට ප්‍රතික්‍රියා දක්වලත් ඉවරයි. මම නම් ඉතින් ගොඩක් වෙලාවට බුම්මගෙන ඉන්න එකයි අහල පහළ අයට කෑ ගහන එකයි තමයි කරන්නේ.

සමහරුන්ට මොනව කලත් කේන්ති යන්නේ නෑ. සමහරුන්ට පොඩි දේකටත් කේන්ති යනවා. මේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මම නම් කොච්චර උත්සහ කළත් කේන්ති නොගෙන ඉන්න බැහැ. කොච්චර හිතාගෙන හිටියත් මම අද කේන්ති ගන්නේ නැහැ කියලා අන්තිමට බලනකොට මොන විදියකින් හරි මම ඒ කේන්තිය පිට කරලා.

සමහර වෙලාවට කේන්ති ගත්ත දේ ගැන මට හරියට ලැජ්ජ හිතෙනවා කේන්ති ගත්තට පස්සෙ. ඒ ගැන පස්සෙ හිතල බලනකොට අනේ මට මේ පොඩි දේකටනේ කේන්ති ගිහින් තියෙන්නෙ කියල මතක් වෙලා හරියට පසුතැවෙනවා. ඒත් මගේ ප්‍රතික්‍රියා කාලය හරිම අඩු නිසා වගේම ක්ෂණිකව හිතල තීරණයක් ගන්න පුළුවන් කමේ මඳකම් නිසාද මන්දා මට හරියට තරහ යන්නේ. මට ඕක නෙවෙයි කරන්න තිබ්බෙ කියලා මතක් වෙනකොට ගොඩක් පරක්කු වැඩියි.

කොහොම නමුත් මම උත්සහ කරන එක නවත්තලා නෑ. පුළුවන් හැම වෙලාවෙදිම පුළුවන් තරම් අඩුවෙන් කේන්ති ගන්න මම උත්සහ කරනවා. කේන්ති නොගෙන ඉන්න නෙවෙයි. ඒකට නම් මට සෑහෙන්න ඉවසීම පුරුදු කරන්න වෙයි. හැම් පොඩි දේකටම කේන්ති ගන්න එක හරිම මානසික පීඩාවක්. විඳින්න ඕනේ අවස්ථා ගොඩක් මඟහැරිලා තියනවා මගේ මේ කේන්තිය නිසා. මම sense of humor නැති කෙනෙකුත් නෙවෙයි. (සමාවෙන්න. මට මේකට කියන හරිම සිංහල වචනෙ හොයාගන්න බැරි වුණා) ඒත් මට හිතාගන්න බැරි කොච්චර උත්සහ කළත් ඇයි මට කේන්ති ගන්නෙ නැතුව ඉන්න බැරි කියලා
.
යාළුවො නම් කියන්නේ මාව දැක්ක ගමන් පේන්නේ මේ වගේලු..


හැබැයි ටික දවසක් ආශ්ර්ය කරනකොට ලු හිතෙන්නේ මේ පින්තූරේ වගේ කියලා. :D



මොනයම් හෝ ක්‍රමයකින් කේන්ති යන එක පාලනය කරගත්ත ඇත්තෝ බ්ලොග් අවකාශයේ ඇති..අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ අයගෙන් මම උපදෙසක් බලාපොරොත්තු වෙනවා. 

Monday, September 2, 2013

පොඩ්ඩොන්ගේ කතා 3

අදත් කියන්න යන්නේ පොඩ්ඩෙක්ගේ කතාවක්. හැබැයි මේක පොඩ්ඩියෙක්ගේ කතාවක් කිව්වොත් හරි. මේ පොඩ්ඩි අපේ පුංචිගේ දුව. තාම අවුරුදු 3යි. මෙයාලගේ මොන්ටිසෝරියේ බණක් තිබ්බලු දවසක්. 

බණට වැඩිය හාමුදුරුවෝ කියලා දෙනවලු හොඳ පුරුදු ගැන. දරුවන්ගේ හොඳ පුරුදු ගැන කියලා දෙන ගමන් දෙමව්පියන්ගේ හොඳ පුරුදු ගැනත් ළමයින්ට කියලා දුන්නලු. පොඩි ළමයින්ට දෙමව්පියන්ගේ ගතිගුණ සෑහෙන්න වෙනස් කරන්න පුළුවන්නේ.

දැන් හාමුදුරුවෝ කියනවලු “සමහර දරුවන්ගේ තාත්තලා රෑට බීලා ඇවිල්ලා අම්මාටයි දරුවන්ටයි ගහනවා. ඒ තාත්තලා නම් හරිම නරකයි. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ඔන්න කවුරුවත් අත ඉස්සුවේ නෑලූ. ඒ පාර හාමුදුරුවෝ කිව්වලු “මේ දුවලා පුතාලාගේ තාත්තලා නම් හරිම හොඳයි” කියලා .

ඊළඟට කියනවලු “සමහර දුවලා පුතාලාගේ අප්පච්චිලා සත්තුන්ට ගහනවා. හිංසා කරනවා. ඒකත් හරිම නරක වැඩක්. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ටික වෙලාවක් ගියාලු. කවුරුවත් අත උස්සන පාටක් නෑලු. ඒ පාර මේ පොඩ්ඩි නැගිට්ටලු. නැගිටලා මුළු හෝල් එකටම ඇහෙන්න හයියෙන් කිව්වලු “අපේ අප්පච්චිට නම් පූසෝ පේන්න බෑ” කියලා.