Monday, September 2, 2013

පොඩ්ඩොන්ගේ කතා 3

අදත් කියන්න යන්නේ පොඩ්ඩෙක්ගේ කතාවක්. හැබැයි මේක පොඩ්ඩියෙක්ගේ කතාවක් කිව්වොත් හරි. මේ පොඩ්ඩි අපේ පුංචිගේ දුව. තාම අවුරුදු 3යි. මෙයාලගේ මොන්ටිසෝරියේ බණක් තිබ්බලු දවසක්. 

බණට වැඩිය හාමුදුරුවෝ කියලා දෙනවලු හොඳ පුරුදු ගැන. දරුවන්ගේ හොඳ පුරුදු ගැන කියලා දෙන ගමන් දෙමව්පියන්ගේ හොඳ පුරුදු ගැනත් ළමයින්ට කියලා දුන්නලු. පොඩි ළමයින්ට දෙමව්පියන්ගේ ගතිගුණ සෑහෙන්න වෙනස් කරන්න පුළුවන්නේ.

දැන් හාමුදුරුවෝ කියනවලු “සමහර දරුවන්ගේ තාත්තලා රෑට බීලා ඇවිල්ලා අම්මාටයි දරුවන්ටයි ගහනවා. ඒ තාත්තලා නම් හරිම නරකයි. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ඔන්න කවුරුවත් අත ඉස්සුවේ නෑලූ. ඒ පාර හාමුදුරුවෝ කිව්වලු “මේ දුවලා පුතාලාගේ තාත්තලා නම් හරිම හොඳයි” කියලා .

ඊළඟට කියනවලු “සමහර දුවලා පුතාලාගේ අප්පච්චිලා සත්තුන්ට ගහනවා. හිංසා කරනවා. ඒකත් හරිම නරක වැඩක්. ඒ වුණාට මේ පුංචි දුවලා පුතාලගේ තාත්තලා නම් එහෙම නැතුව ඇති. ඒ වගේ තාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්නවනම් අත් උස්සන්න බලන්න”

ටික වෙලාවක් ගියාලු. කවුරුවත් අත උස්සන පාටක් නෑලු. ඒ පාර මේ පොඩ්ඩි නැගිට්ටලු. නැගිටලා මුළු හෝල් එකටම ඇහෙන්න හයියෙන් කිව්වලු “අපේ අප්පච්චිට නම් පූසෝ පේන්න බෑ” කියලා.



12 comments:

  1. ඕක කියනකොට අප්පච්චි ළඟ ඉන්න තිබුණේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් හවස එයාව එක්ක යන්න අප්පච්චි ආවාම කිව්වලු අද හොඳ නම්බුවක් අරන් දුන්නා දෝනි කියලා.

      Delete
  2. ඇත්තනේ කතාව මොන පූසොද දන්නේ නැ පෙන්නන්න බැරි.

    ReplyDelete
    Replies
    1. පොඩි දරුවො කියන ගොඩක් දේවල් ඇත්ත.

      Delete
  3. Replies
    1. අප්පච්චිට හොඳ නම්බුව.

      Delete
  4. අප්පච්චිගේ සායම..පොඩි එවුන් බොරු කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනේ නැතිලු.

      Delete
  5. එහ්හෙනං. ඔන්න අපේ තාත්තගේ තියෙන දුර්වල කම, ඈ.:D

    බණ කියන නීති රීති නම් මම දන්නේ නෑ. නමුත් ගුරුවරයෙක් හැටියට නම් ඔය වගේ ප්‍රශ්ණ ළමයි පිරිසකගෙන් අහන එක සදාචාර විරෝධීයි. අනික එහෙම තාත්තෙක් ඉන්නවානම් ඒක ළමයින්ගේ වැ‍රැද්දකුත් නෙවෙයිනේ.

    (දැන් කවුරුහරි කිව්වොත් ගුරුවරු ඔයිට එහා ප්‍රශ්න අහලා ළමයි අපහසුතාවයට පත් කරනවා කියලා මම නෑයි කියන්නේ නෑ. ඔව් එහෙම වෙනවා. නමුත් ඒත් වැඩේ වැරදියි.)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි එයාගෙ ලොකුම දුර්වලකම..

      මමත් පිළිගන්නවා එහෙම ප්‍රශ්න අහන එක වැරදියි කියලා. ඒත් මේක ඇත්තටම වුණු දෙයක්. ළමයා වග කියන්න් ඕනේ තමන් කරන් දේවල් වලට විතරයි. දෙමව්පියන්ගේ වැරදි වලට ළමයි පළි නැහැ.

      Delete
  6. ඈක්ක මටත් පූසො පේන්න බෑ... මහ ආත්මාර්ථකාමී ජරා සතෙක්.. ඉස්සර අපේ ගෙදරත් හිටියා.. ඌට පේන්න අපි මුකුත් කෑවොත් ඇඳට ගිහින් ජරා කරනවා. පේරේත ජරා පූසො :(

    ReplyDelete
    Replies
    1. යසිත් දැඩි පූස් විරෝධියෙක් වගේ.. හොරා කන පූසො නම් මටත් පේන්න බැහැ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......