Wednesday, September 4, 2013

මගේ කේන්තිය



කේන්තිය, තරහව, කෝපය ඔය මොන නමින් හැඳින්වුවත් ඒ හැමදේකින්ම හඳුන්වන්නේ එකම දේ. අපි අතරෙන් ගොඩක් අයට කේන්ති යනවා. මොනම දේකට හෝ කේන්ති නොගත්ත කෙනෙක් අපි අතරෙ නැතුව ඇති. සමහරුන්ට නිතරම කේන්ති යනවා. සමහරුන්ට ගොඩක් පොඩි දේවල් වලට කේන්ති යනවා. සමහරුන්ට නිතර කේන්ති යන්නේ නැහැ. ඒත් කේන්ති ගියාම හරිම දරුණුයි.

ඇයි අපිට කේන්ති යන්නේ? කේන්ති ගියාම අපි විවිධ විදියට ඒ තරහව පිට කරනවා. බුම්මගෙන ඉන්නවා. ළඟ ඉන්න අයට බනිනවා. කෑ ගහනවා. බඩු පොලවේ ගහනවා වගේ නොයෙක් දේවල්. ගොඩක්ම කේන්ති ගියාම තමයි රණ්ඩු කරනවා, ගහගන්න යනවා. එහෙමත් බැරි වුණාම ඔය ප්‍රශ්න මිනීමැරුම් දක්වා දුර දිග යනවා. ගොඩක් දරුණු ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ අන්තිමට පොඩිම පොඩි දෙයක්.

තරහ ආවාම පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. ඒත් මම ඒක සාර්ථකව අත්හදා බලලා නම් නැහැ. මේ ලියන මමත් ගොඩක් කේන්ති ගන්න කෙනෙක්. කේන්තියක් ආවාම එකේ ඉදන් දහයට ගණන් කරන්න වගේ දේවල් දැනගෙන හිටියත් ඒවා මතක් වෙනකොට තරහ අරන් ඒවට ප්‍රතික්‍රියා දක්වලත් ඉවරයි. මම නම් ඉතින් ගොඩක් වෙලාවට බුම්මගෙන ඉන්න එකයි අහල පහළ අයට කෑ ගහන එකයි තමයි කරන්නේ.

සමහරුන්ට මොනව කලත් කේන්ති යන්නේ නෑ. සමහරුන්ට පොඩි දේකටත් කේන්ති යනවා. මේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මම නම් කොච්චර උත්සහ කළත් කේන්ති නොගෙන ඉන්න බැහැ. කොච්චර හිතාගෙන හිටියත් මම අද කේන්ති ගන්නේ නැහැ කියලා අන්තිමට බලනකොට මොන විදියකින් හරි මම ඒ කේන්තිය පිට කරලා.

සමහර වෙලාවට කේන්ති ගත්ත දේ ගැන මට හරියට ලැජ්ජ හිතෙනවා කේන්ති ගත්තට පස්සෙ. ඒ ගැන පස්සෙ හිතල බලනකොට අනේ මට මේ පොඩි දේකටනේ කේන්ති ගිහින් තියෙන්නෙ කියල මතක් වෙලා හරියට පසුතැවෙනවා. ඒත් මගේ ප්‍රතික්‍රියා කාලය හරිම අඩු නිසා වගේම ක්ෂණිකව හිතල තීරණයක් ගන්න පුළුවන් කමේ මඳකම් නිසාද මන්දා මට හරියට තරහ යන්නේ. මට ඕක නෙවෙයි කරන්න තිබ්බෙ කියලා මතක් වෙනකොට ගොඩක් පරක්කු වැඩියි.

කොහොම නමුත් මම උත්සහ කරන එක නවත්තලා නෑ. පුළුවන් හැම වෙලාවෙදිම පුළුවන් තරම් අඩුවෙන් කේන්ති ගන්න මම උත්සහ කරනවා. කේන්ති නොගෙන ඉන්න නෙවෙයි. ඒකට නම් මට සෑහෙන්න ඉවසීම පුරුදු කරන්න වෙයි. හැම් පොඩි දේකටම කේන්ති ගන්න එක හරිම මානසික පීඩාවක්. විඳින්න ඕනේ අවස්ථා ගොඩක් මඟහැරිලා තියනවා මගේ මේ කේන්තිය නිසා. මම sense of humor නැති කෙනෙකුත් නෙවෙයි. (සමාවෙන්න. මට මේකට කියන හරිම සිංහල වචනෙ හොයාගන්න බැරි වුණා) ඒත් මට හිතාගන්න බැරි කොච්චර උත්සහ කළත් ඇයි මට කේන්ති ගන්නෙ නැතුව ඉන්න බැරි කියලා
.
යාළුවො නම් කියන්නේ මාව දැක්ක ගමන් පේන්නේ මේ වගේලු..


හැබැයි ටික දවසක් ආශ්ර්ය කරනකොට ලු හිතෙන්නේ මේ පින්තූරේ වගේ කියලා. :D



මොනයම් හෝ ක්‍රමයකින් කේන්ති යන එක පාලනය කරගත්ත ඇත්තෝ බ්ලොග් අවකාශයේ ඇති..අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ අයගෙන් මම උපදෙසක් බලාපොරොත්තු වෙනවා. 

41 comments:

  1. කේන්ති යනවයි කියන්නේ මානසික ස්වබාවයක්. නමුත් ඒකේ අසීමිත හැගීම මානසික රෝගයක්.. සමහර අය ගෙදරදි කෝප උනාට එළීයට බැස්සම හූනෝ වගේ.. ඒ ඒ මනෝභාව. නමුත් කේන්තිය එන්නේ හිතේ පිරැනු සුපහන් හැගුම් නැති උනාමයි. ස්ට්‍රෙස් එක.. ඒක නිසා මම හිතන්නේ හැගිම් ලිහිල් නං කේන්තියත් ලිහිල් කියලයි..

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රෙස් එක වැඩිවුණාම නම් කේන්ති යනවා වැඩියි තමයි. විභාගයක් එහෙම ළං වුණාම සාමන්‍යයෙන් කේන්ති නොයන අයටත් කේන්ති යනවනේ.

      කොහොම වුණත් වැඩිය දේවල් හිතන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොටවත් මේ කේන්තියේ අඩුවක් වෙයිද බලන්න..

      Delete
    2. මටත් කේන්ති යනවා.මගෙන් වරදක් නොවී මම වරදකරු කරද්දි මට තරහ එන එක පාලනය කරගන්න අමාරුයි.මගේ කේන්තිය පිටකරන්නෙ කතානොකර බුම්මන් ඉදල තමයි.ඉවසීම පුරුදු කරගන්න මම හුගාක් උනන්දු වෙනවා..ගනන් කිරීමේ ක්‍රමය මට නම් සාර්තක නෑ.මට වගේම මම ආදරය කරන කෙනාටත් එහෙමයි.එයාට නම් පොඩි දේටත් ත් කේන්ති ගන්නව.එයාගෙ අතින් වැ‍රැද්ද උනත් ඒක මට පටලනව.මට හරියට බනිනව.එයාම දන්නෙ නෑ එයා මොනව කියනවද කියල.අපි තරහ වෙලා ඉන්න වාර අනන්තයි.එයාට ඉවසීම පොඩ්ඩක් වත් නෑ.මේ හින්දා මාත් මානසිකව පීඩා විදිනව.කොහොම නමුත් ඉවසීම පුරුදු කරගන්න විදියක් මාත් හොයනව.ඒ නිසා මේකෙ යන කමෙන්ට් මම ටච් කරගෙන ඉන්නවා

      Delete
    3. මගෙන් වරදක් නොවී මාව වරදකරු කරන්න එන එක නම් කේන්ති ගන්න ඕනෙ වැඩක් තමයි. ඉවසීම නම් මමත් ප්‍රගුණ කළ යුතු දෙයක්. මටත් ඉවසීම ඇත්තෙම නැහැ. වැරැද්ද අනිත් අය පිට පටවන්න මමත් හරි දක්ශයි. ඒත් ඒකෙන් වෙන පාඩුවත් මටමයි කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියිද මන්දා. කොහොමහරි ඉවසීම පුරුදු කරගන්න උත්සහ කරනවා.

      Delete
  2. Replies
    1. මම දැනුයි දැක්කේ. මගේ බ්ලොග් එකේ 70වෙනි ෆලෝවර් සමී නේද? සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  3. බලෙන් හිතලා කේන්ති නොගෙන ඉන්න ඉතින් දත කාගෙන. ඔහොම කේන්ති ගත්තොතින් ඉක්මනටම නාකි වේවි ඈ

    ReplyDelete
    Replies
    1. රයිටර් කිව්වමයි මතක් වුණේ. හැබෑටම ඉක්මනින් නාකි වෙයි නේද? පුළුවන් තරම් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ.

      Delete
  4. මට නං කේන්ති යන්නේ මොකක් හරි හොර වැඩක් කරලා අපෙ මහත්තයට මාට්ටු වෙලා බැනුම් අහනකොට තමයි... මොකද වැරැද්ද මගේ අතේනෙ... හි හි...

    කේන්ති යෑම වැඩි වෙන්න හිතේ ප්‍රශ්න වැඩි වීමත් බලපානව.. මොකක් හරි දේකට තරහක් හිතේ තියෙනව නං ඕනෙ එකටයි එපා එකටයි තරහ යන ගතිය වැඩියි.... ඒ වගේම විසඳගන්න අමාරු හෝ විසඳෙන්‌ෙන නැති කේස් එකක් හිතේ තියෙනවනං ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්... හැබැයි කේන්තිය හිතේ තදකරගෙන ඉන්න එකත් එච්චරම හොඳ නෑ.. මොකක් හරි පොළවෙ ගහලා හරි අඩුකරගන්න එක හොදයි... කෙනෙක්ගෙ හිතක් බිඳිනවට වඩා බඩුවක් කඩලා දාන එක හොඳයි කියලා මගේ නං අදහස...

    ReplyDelete
    Replies
    1. "කෙනෙක්ගෙ හිතක් බිඳිනවට වඩා බඩුවක් කඩලා දාන එක හොඳයි කියලා මගේ නං අදහස..."
      මේක නම් ඇත්ත. මටත් ගොඩක් වෙලාවට හිතේ ප්‍රශ්නයක් තියනකොට ගොඩක් කේන්ති යනවා. ස්ට්‍රෙස් පිට ඉන්නකොට, විභාගයක් එහෙම ළං වුණාම ඕක වැඩියි. මම ටිකක් ඕනෙවට වඩා හිතනවා. සමහරවිට ඒකත් මගේ කේන්තියට හේතුවක් වෙන්න ඇති.

      Delete
    2. බඩුවක් බිදල නොදාන්න වැඩ කරන එක තමා හොදම දේ.. මම නං හිතන්නෑ ඒක හරි දෙයක් කියලා. ඒක කෝපයේ සංකේතයක්. කෝපය පහනොවුනොත් දිගටම බඩු හම්බ වේවි

      Delete
    3. තරහ ගන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් හැමදේටම හොඳයි වගේ.. උත්සහ කරන්න ඕනේ.

      Delete
  5. උපදෙස් දෙන්න තරම් දැනුමක් නම් නෑ... ඒත් කේන්තිය කියන සබ්ජෙක්ට් එක ගැන මගේ අදහස කියන්න නම් පුළුවන්...

    ඉක්මනට කේන්ති යන්නෙ හිත හොඳ උදවියගෙ කියල තැන තැන තිබුනට මම නම් විස්වාස කරන්නෙ එහෙම වෙන්නෙ දුර්වල උදවියට කියල... අනිත් අතට බැඳීම් කියන එක කේන්තියට සෑහෙන බලපානව කියලයි මට හිතෙන්නෙ.. මට 99%ක්ම කේන්ති යන්නෙ ගෙදර උදවිය එක්ක... මොකද යම් තරමකට හෝ දැනෙන බැඳීමක් එක්ක මම මොනව හරි බලාපොරොත්තු වෙනව නම් ඒ ගෙදර අයගෙන් පමණක් හින්දා... යම්කිසි කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් වැඩිවෙන තරමට අපිට ඒ පුද්ගලය එක්ක කේන්ති යන්න හරි, ඒ කෙනා ගැන අසන්තෝෂයක් හිතේ ඇති කරගන්න හරි තියෙන ඉඩ වැඩී...

    ගෙදරින් එලියෙ නම් කේන්ති යන්නෙ ඔලමොට්ටල විදිහට ඩ්‍රයිව් කරන උදවිය හින්දා තමා ;)

    කොහොම වුනත් සාමාන්‍ය මට්ටමකට කේන්ති යෑමේ අවුලක් මම දකින්නෙ නම් නෑ... ඒ වුනත් කවුරු හරි කෙනෙක් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කේන්ති ගන්නව නම්, කේන්ති ගිහින් ඒ කේන්තිය පිට තියෙන ප්‍රශ්න අවුල් කරගන්නව නම්, තවත් කෙනෙක්ගෙ පිටින් ඒ කේන්තිය පිට කරනව නම්, එහෙම පුද්ගලයොන්ව නම් කොච්චර වැදගත් වුනත් ඈත් කරල දානව දෙපාරක් හිතන්නෙ නැතුව...

    කේන්තිය පාලනය කරගැනීම ;)
    ඕලෙවල් කරන කාලෙ නම් මටත් හොස්ස ලඟින් මැස්සා යන්න බෑ... ඒ තත්ත්වය නැති කරගන්න ප්‍රධානම උදව්ව වුනේ සටන් කලාව ඉගෙනගන්න පටන් ගත්තු එක... සටන් කලාව කිව්ව ගමන් වැඩි දෙනා ගහමරාගන්න එකක් හිතා ගත්තට ඒ හරහ දැනෙන මානසික සුවය නම් උපරිමයි... අදටත් ටික කාලයක් පුහුණුවීම් නවත්තල හිටියොත් කේන්ති යන ගතිය දවසින් දවස වැඩි වෙනෝ... කවුරුහරි කේන්තිය පාලනය කරගන්න විදිහක් ඇහුවොත් මම කියන්නෙ නම් මොකක් හරි සටන් කලාවක් ඉගෙන ගන්න කියන එක තමා...

    කේන්තිය පාලනය වෙන්න අනිත් හේතුව මානසිකව දුර්වලයෙක්ය කියල දැනෙන හැඟීමට තියෙන අකමැත්ත...

    ReplyDelete
    Replies
    1. අනිත් අතට බැඳීම් කියන එක කේන්තියට සෑහෙන බලපානව කියලයි මට හිතෙන්නෙ..//

      අනිවාර්යයෙන්ම.. ඕක මං ඊයෙත් අපෙ මහත්තයත් එක්ක කියපු දෙයක්.. පාරේ යන මිනිස්සු එක්ක කේන්ති යන් නෑනේ තමන් ආදරේ කරන අයත් එක්ක කේන්ති යන තරං... ඒක නිසා කේන්ති ගන්න කලින් ටිකක් කල්පනා කරන්න පුලුවන් නං හොඳයි තමන් මොකකටද මේ කේන්ති ගන්නෙ කියලා.. මොකද ආදරේ කරන අයගේ හිත් රිදුනට පස්සෙ හදන්න උත්සාහ කළාට වැඩක් නෑ.. ඒවා හොඳ වෙන්නැති තුවාල විතරයි...

      Delete
    2. බැඳීම් වැඩි වෙන තරමට අදාල පුද්ගලයන් එක්ක කේන්ති යනවා වැඩියි තමයි. කේන්ති යන්නත් හේතුවක් එපැයි. ළඟින්ම ඉන්න අයට හේතු වැඩියි නෙ කේන්ති ගන්න.

      සටන් කලාව නම් හොඳ උපක්‍රමයක් වගෙයි කේන්ති යන එක පාලනය කරගන්න. ඒත් මේ තියන වැඩත් එක්ක කොහොමද තවත් එකක් පටන් ගන්නේ? ඉවසීම පුරුදු කරන්න ඕනේ පුළුවන් තරම්.

      මානසිකව දුර්වලයි කියන කතාව මම පිළිගන්නවා. මොකද මම oversensitive එහෙම නැත්තම් overemotional කෙනෙක්. ඒ නිසා මට කේන්ති යන ගතිය තවත් වැඩි ඇති. මට දුක මගේ ඒ ගතිගුණ නිසා මාත් එක්ක ඉන්න අය පීඩාවට පත් වෙන එක.

      Delete
    3. :)
      ඉවසන්න ඕන වෙන්නෙ කේන්ති ගියොත් නේද?... කේන්ති ගියහමනම් ඒක පිටකරන එක හොඳයි හිර කරන් ඉන්නවට වඩා මම හිතන්නෙ...

      කේන්ති නොගෙන ඉන්න පුරුදු වෙන එක තමා වඩා වැදගත් මට හිතෙන විදිහට....

      @හිරු: මට පේන්නෙ මෙයා අර අහිංසකයව පුළුවන් තරම් බයිට් කරනෝ වගේ ;)

      Delete
    4. කේන්ති නොගෙන ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නයක් වත් නැහැ. ඒක වැදගත්..
      මොනව කළත් කේන්ති යන එකනෙ වැඩේ.

      Delete
    5. සාතන්.. හි හි... එයාව බයිට් නොකර මං කාව බයිට් කරන්නද... මට ඉන්නෙ එච්චරයිනේ.... හි හි

      Delete
  6. මෙහෙමයි! මම හිතන විදිහට අපිට කේන්ති යන්නේ අපේ නොදැනුවත්කම.. සැකය වගේ දේවල් නිසා. ඒ දේවල් නැති කර ගත්තනම් හරි.

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් කේන්ති යන එකට බලපානවා තමයි. උත්සහ කරන්න ඕනේ ඒ දේවල් නැති කරගන්න.

      Delete
  7. සැහැල්ලුවෙන් තමන් ගැන වැඩිය හිතන්නෙතුව ඉන්න පුරුදු වුණාම ගොඩක් දේවල් හරියනවා කියල හිතෙනව.එහෙම කිව්වට ඉතින් සමහර වෙලාවට මටත් කේන්ති යනවා.ඒත් දැන් නං ඉස්සර වගේ ගෙදර කට්ටියත් එක්ක රණ්ඩු කරලා හැමෝටම බැනලා පස්සෙ මටම දුක හිතුණම දවස් ගණණ් අඩන්නෑ.කේන්ති එන වෙලාවට මං කරන්නේ මගෙම වැරැද්ද දිහා මංම බලලා ඒක හදා/ක්ක එකයි!

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් දේවල් ගැන ඕනේවට වඩා හිතනවා. මම සමහරවිට නැති ප්‍රශ්න හදා ගන්නවද මන්දා. මීට වඩා පිළිවෙලකට ඒත් සැහැල්ලුවෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ගෙදරින් ඈත් වෙලා ජීවිතේ ගෙවනකොට පීඩනේ වැඩියි. ඒ පීඩනයදෝ මම පිටකරන්නේ කියලත් වෙලාවකට හිතෙනවා.

      Delete
  8. මටත් කේන්ති යනවා අප්පා. මට යකාම නගින්නේ පාරේ වාහන එලවනකොට. ඒ ඇර අජීවී වස්තු එක්කත් තරහ යනවා. ඇත්තෙන්ම සමීප අයත් එක්ක වඩා තරහ යන කතාව ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අජීවි වස්තු එක්ක තරහ යන්නේ ඇයි ඩූඩ්? මට නම් තරහ යන්නේ සජීවි වස්තු එක්ක.

      Delete
  9. මටත් කේන්ති නම් යනවා. හැබැයි ගොඩක් වෙලාවට නොපෙන්න ඉන්න තමා උත්සහ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මම තරහ ගිය බව නොපෙන්නා ඉන්න උත්සහ කළාට අන්තිමට දන්නෙම නැතුව තරහ පිටකරලා මොකක් හරි විදියකින්..

      Delete
  10. මම අදමයි මේ පැත්තෙ ආවෙ.. ඔන්න මමත් එල්ලුනා...



    ඇත්තම මමත් අකමැතිම වැඩේ තමා නිවැරදි මාව වැරදිකාරයො කරන එකට... අම්ම්පා එතකොට මරාගෙන මැරෙන්න හිතෙනව....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      නිවැරදි වෙලාවක වැරදිකාරයා කරනකොට කාටද අප්පා ඉවසන්න පුළුවන්?

      Delete
  11. කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...
    කේන්ති ගන්නේ මෝඩයෝ...

    ReplyDelete
    Replies
    1. මට මෝඩයා කියලා කිව්වා නේ?? ග්ර්ර්ර්ර්ර්ර්....

      Delete
  12. මට කේන්තිය යන විදිය නම් :/ මම හරිම අකමැතියි ඒකට,ඕනෙම දේයක කේන්ති යනවා හැබැයි උපරිම පැය බාගයයි විනාඩි 45යි ඒත් ඒ වෙද්දි යකා නටලා කෑ ගහලා ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම තමයි වෙන්නේ. පස්සේ හරියට ලැජ්ජ හිතෙනවා.

      Delete
    2. ඔය ප්‍රෝෆයිල් පික් එකෙන්ම ඒක පේනවනෙ ශම්මි.. නිකං තැම්බිච්ච බතල අලයක් වගේ මූණක් දාගෙන :)

      Delete
  13. කේන්ති යන එක අකුසලයක්...දැන් ලස්සන රූපයක් තියෙන්නෙ අපි කලින් අවස්ථා වල තරහා නොගෙන හිටිය නිසයි, ඒත් දැන් තරහා ගත්තොත් ඊළඟ ඉපදෙන තැනකදී ලස්සන රූපයක් ලැබේවිද? ඒ වගේ ම කේන්ති යන වෙලාවට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ නේද? හිත අවුල් වෙන ස්වභාවයෙන් යුක්තයි... ඒ නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව්. කේන්ති ගත්තාම අවලස්සන රූපයක් ලැබෙනවා කියලා මමත් අහලා තියනවා. කේන්ති නොගෙන ඉන්න උත්සහ කරනවා මම. හැමදේටම කලබල වෙලා අවුල් කරන්න කලින් ටිකක් හිතලා බලන්න උත්සහ කරනවා.

      Delete
  14. හඃ හා... නංගි කාට හරි බැනල වගේ..
    මාව ආදර්ශෙට අරන්වත් හැදෙන්න.. :D

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි! ආදර්ශයට ගන්නම්කෝ! :D

      Delete
  15. sathuta yanu kenthi nogena sitimai :P ............. but iwasala iwasala berima thena iwasima thamai iwasima kiyanne :P

    ReplyDelete
    Replies
    1. ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්නෙ කොහොමද?

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......