Saturday, October 19, 2013

මිනිස්සු

දෙවන වේදිකාවට දැන් පැමිණි සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ..  දුම්රිය නවත්වන්නේ රඹුක්කන, පොල්ගහවෙල, මීරිගම , වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව”

නුවර ඉඳන් එන කෝච්චිය පේරාදෙණිය ස්ටේශන් එකට ආවා. කාලයක් මගෙ ජීවිතෙත් එක්ක බද්ධ වුණු කෝච්චිය කාලයත් එක්කම මගේ ජීවිතෙන් දුරස් වුණා. ඒත් තාමත් ඉඳල හිටලා හරි කෝච්චියේ යන්න ලැබෙන එකම ඇති.

බස් ගමන් අප්පිරිය මම වගේ කෙනෙක්ට කෝච්චි ගමන නම් හරිම රසවත්. බස් එකේදි වාඩි වුණොත් නින්දක් දාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් කෝච්චියේ යද්දි නම් හොඳටම නිදිමත වුණොත් ඇරෙන්න මට නම් නින්ද යන්නේ නෑ. කෝච්චියේ යද්දි බලන්න දේවල් කොච්චර නම් තියනවද? ජනේලෙන් එහා පේන දේවල් විතරක් නෙවෙයි. කෝච්චියේ යන මිනිසුන්ගේ හැංගිච්ච කොච්චර නම් කතා ඇත්ද? මගේ විනෝදංශයක් තමයි කෝච්චියේදි මුණගැහෙන එක එක චරිත තෝරගෙන ඒ අයට කතා ගොතන එක. එහෙමත් නැත්තම් මම ලියාගෙන යන කතාවක චරිතයකට ඒ එක එක මිනිස්සු ආදේශ කරලා බලන එක. සමහර වෙලාවට මගේ හිතේ ඇඳිච්ච චරිතයටම ගැළපෙන අය ලැබෙනවා. එහෙම චරිතයකට නොගැළපෙන ඒත් හිත් ඇදගන්න කෙනෙක් හම්බ වුණොත් මම අලුතෙන් චරිතයක් හදලා හරි ඒ කතාවට එකතු කරනවා.

මිනිස්සු… මිනිස්සු කොච්චර එකිනෙකාගෙන් වෙනස් ද? ස්වරූපය, ගති පැවතුම්, අඳින පළඳින විදිය වුණත් කොච්චර එකිනෙකාගෙන් වෙනස්ද? අපි හොඳයි කියල හිතන් ඉන්න අය නරකම කෙනෙක් බවට පත් වෙන්න එක විනාඩි පහක් ඇති.  අපි නරකයි කියලා හිතන් ඉන්න අය ගැන අපේ තියන ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එකම එක වචන පේළියකට පුළුවන්.

මේ ළඟදි මම හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් හරිම ප්‍රාථමික මට්ටමේ වැඩක් කළා. මම ඒ ගැන ගොඩක් කම්පාවෙන් ඉන්නකොට මගේ යාලුවෙක් කිව්වේ "කලු මිනිස්සුවත් සුදු මිනිස්සුවත් මේ ලෝකේ නෑනේ. ඉන්නෙ ඔක්කොම අලු පාට මිනිස්සු. සමහරු තද අලු පාටයි. සමහරු ලා අලු පාටයි. ඒක තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනේ."  කියලා. ඒකත් ඇත්ත. මිනිස්සු හරියට ඇපල් වගේ. රතු ඇපල්, කොළ , කහ ඇපල්... පොත්ත අයින් කළාම එකයි. මිනිස්සුත් ඒ වගේ. හැමෝගෙම ඇඟ ඇතුලේ දුවන්නේ එකම ලේ වුණාට බාහිරෙන් කොච්චර වෙනස්ද? 

හොඳම යාළුවෝ කියලා හිතන් ඉන්න අයගෙ සමහර වෙනස් වීම් දරාගන්න බැරි වෙන අවස්ථා ඕනේ තරම් තියනවා. ඇත්තටම බලද්දි උදව් ගන්න විතරයි යාලුකමෙන් ඉඳලා තියෙන්නේ. එහෙම දේවල් ගැන හිතද්දි නම් හිතට පුදුම කළකිරීමක් දැනෙනවා. හිතට එකඟව කතා කරන්න බැරි නම් කතා නොකර ඉන්න එක වඩා හොඳයි.

දවසෙන් දවස අපේ ළඟින්ම ඉන්න අය කරන වැඩ නිසා හිත අවුල් වෙනවා වැඩියි. මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමීද කියලා වෙලාවකට තේරුම් ගන්න බැරි තරම්. ඒත් අනිත් අය ඉපදිලා ඉන්නේ අපිව සතුටු කරන්න නෙවෙයිනේ. තමන් කරන වැඩ වල ප්‍රතිඵල කවදහරි තමන්ටමයි. 

අහිමි වුණ මිතුරුදම් කිහිපයක මතක සටහන් එක්ක අද මම තනිවෙලා. එයාලට මාව හොඳ නැති නිසා වෙන්න ඇති නේ ඈත් වෙන්න ඇත්තේ. අඩුම ගානේ හේතුවක්වත් කියලා ඈත් වෙනවනම් ලොකු දෙයක්. නැත්තම් මම එක එක විකාර හිතනවනේ. 

අනිත් අයට මහන්සිවෙලා තමන්ගේ කාලේ කැප කරගෙන උදව් කරපු මම අන්තිමට මෝඩයා වෙලා තියෙන්නේ. හැම කෙනෙක්වම අතේ දුරින් තියාගන්න ඕනේ කියන එක තමයි මම ජීවිතෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම. 

වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන 
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් 
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්... 

කන්ට බෑ කියා තනිවම  එන්ට යැයි කියා ගමටම 
බත් බුලත් නිතර දන්දුන් පියවරුන් වෙතින් 
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී 
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්... 

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ 
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්..
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද 
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්... 

ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ 
තනුව : රෝහණ වීරසිංහ 
ගායනය : සුනිල් එදිරිසිංහ