Saturday, October 19, 2013

මිනිස්සු

දෙවන වේදිකාවට දැන් පැමිණි සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ..  දුම්රිය නවත්වන්නේ රඹුක්කන, පොල්ගහවෙල, මීරිගම , වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව”

නුවර ඉඳන් එන කෝච්චිය පේරාදෙණිය ස්ටේශන් එකට ආවා. කාලයක් මගෙ ජීවිතෙත් එක්ක බද්ධ වුණු කෝච්චිය කාලයත් එක්කම මගේ ජීවිතෙන් දුරස් වුණා. ඒත් තාමත් ඉඳල හිටලා හරි කෝච්චියේ යන්න ලැබෙන එකම ඇති.

බස් ගමන් අප්පිරිය මම වගේ කෙනෙක්ට කෝච්චි ගමන නම් හරිම රසවත්. බස් එකේදි වාඩි වුණොත් නින්දක් දාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් කෝච්චියේ යද්දි නම් හොඳටම නිදිමත වුණොත් ඇරෙන්න මට නම් නින්ද යන්නේ නෑ. කෝච්චියේ යද්දි බලන්න දේවල් කොච්චර නම් තියනවද? ජනේලෙන් එහා පේන දේවල් විතරක් නෙවෙයි. කෝච්චියේ යන මිනිසුන්ගේ හැංගිච්ච කොච්චර නම් කතා ඇත්ද? මගේ විනෝදංශයක් තමයි කෝච්චියේදි මුණගැහෙන එක එක චරිත තෝරගෙන ඒ අයට කතා ගොතන එක. එහෙමත් නැත්තම් මම ලියාගෙන යන කතාවක චරිතයකට ඒ එක එක මිනිස්සු ආදේශ කරලා බලන එක. සමහර වෙලාවට මගේ හිතේ ඇඳිච්ච චරිතයටම ගැළපෙන අය ලැබෙනවා. එහෙම චරිතයකට නොගැළපෙන ඒත් හිත් ඇදගන්න කෙනෙක් හම්බ වුණොත් මම අලුතෙන් චරිතයක් හදලා හරි ඒ කතාවට එකතු කරනවා.

මිනිස්සු… මිනිස්සු කොච්චර එකිනෙකාගෙන් වෙනස් ද? ස්වරූපය, ගති පැවතුම්, අඳින පළඳින විදිය වුණත් කොච්චර එකිනෙකාගෙන් වෙනස්ද? අපි හොඳයි කියල හිතන් ඉන්න අය නරකම කෙනෙක් බවට පත් වෙන්න එක විනාඩි පහක් ඇති.  අපි නරකයි කියලා හිතන් ඉන්න අය ගැන අපේ තියන ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එකම එක වචන පේළියකට පුළුවන්.

මේ ළඟදි මම හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් හරිම ප්‍රාථමික මට්ටමේ වැඩක් කළා. මම ඒ ගැන ගොඩක් කම්පාවෙන් ඉන්නකොට මගේ යාලුවෙක් කිව්වේ "කලු මිනිස්සුවත් සුදු මිනිස්සුවත් මේ ලෝකේ නෑනේ. ඉන්නෙ ඔක්කොම අලු පාට මිනිස්සු. සමහරු තද අලු පාටයි. සමහරු ලා අලු පාටයි. ඒක තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනේ."  කියලා. ඒකත් ඇත්ත. මිනිස්සු හරියට ඇපල් වගේ. රතු ඇපල්, කොළ , කහ ඇපල්... පොත්ත අයින් කළාම එකයි. මිනිස්සුත් ඒ වගේ. හැමෝගෙම ඇඟ ඇතුලේ දුවන්නේ එකම ලේ වුණාට බාහිරෙන් කොච්චර වෙනස්ද? 

හොඳම යාළුවෝ කියලා හිතන් ඉන්න අයගෙ සමහර වෙනස් වීම් දරාගන්න බැරි වෙන අවස්ථා ඕනේ තරම් තියනවා. ඇත්තටම බලද්දි උදව් ගන්න විතරයි යාලුකමෙන් ඉඳලා තියෙන්නේ. එහෙම දේවල් ගැන හිතද්දි නම් හිතට පුදුම කළකිරීමක් දැනෙනවා. හිතට එකඟව කතා කරන්න බැරි නම් කතා නොකර ඉන්න එක වඩා හොඳයි.

දවසෙන් දවස අපේ ළඟින්ම ඉන්න අය කරන වැඩ නිසා හිත අවුල් වෙනවා වැඩියි. මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමීද කියලා වෙලාවකට තේරුම් ගන්න බැරි තරම්. ඒත් අනිත් අය ඉපදිලා ඉන්නේ අපිව සතුටු කරන්න නෙවෙයිනේ. තමන් කරන වැඩ වල ප්‍රතිඵල කවදහරි තමන්ටමයි. 

අහිමි වුණ මිතුරුදම් කිහිපයක මතක සටහන් එක්ක අද මම තනිවෙලා. එයාලට මාව හොඳ නැති නිසා වෙන්න ඇති නේ ඈත් වෙන්න ඇත්තේ. අඩුම ගානේ හේතුවක්වත් කියලා ඈත් වෙනවනම් ලොකු දෙයක්. නැත්තම් මම එක එක විකාර හිතනවනේ. 

අනිත් අයට මහන්සිවෙලා තමන්ගේ කාලේ කැප කරගෙන උදව් කරපු මම අන්තිමට මෝඩයා වෙලා තියෙන්නේ. හැම කෙනෙක්වම අතේ දුරින් තියාගන්න ඕනේ කියන එක තමයි මම ජීවිතෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම. 

වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන 
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් 
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්... 

කන්ට බෑ කියා තනිවම  එන්ට යැයි කියා ගමටම 
බත් බුලත් නිතර දන්දුන් පියවරුන් වෙතින් 
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී 
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්... 

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ 
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්..
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද 
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්... 

ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ 
තනුව : රෝහණ වීරසිංහ 
ගායනය : සුනිල් එදිරිසිංහ 

18 comments:

  1. මමත් හරි කැමති ගමනක් තමා කෝච්චි ගමන. පෙරේදත් ගොඩවුණා නොවැ නුවර ඉදන් කොළඹ ඒන්න....

    ReplyDelete
    Replies
    1. මම නම් එන්නේ පේරාදෙණියේ ඉඳන් කොළඹට තමයි. කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ කෝච්චියේ.

      Delete
  2. සිත් රිදීම වෙච්ච අලුතම ඔය අතේ දුරින් තියාගන්න හිතුනට, ටික කාලෙකින් ඕක අමතක් වෙලා කරටම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩූඩ් කරන්න බැරි, අන්තිමට දන්නෙත් නැතුවම කරට ගන්නවා අපි. ඒ මම හිතන්නේ අර මොන දේ කළත් එයාලට උදව්වක් ඕනේ වුණාම නොකර ඉන්න බැරිකම.

      Delete
    2. අන්න හරි කතාව ඩුඩ් අයියේ...... +++++++

      Delete
  3. //අනිත් අයට මහන්සිවෙලා තමන්ගේ කාලේ කැප කරගෙන උදව් කරපු මම අන්තිමට මෝඩයා වෙලා තියෙන්නේ. හැම කෙනෙක්වම අතේ දුරින් තියාගන්න ඕනේ කියන එක තමයි මම ජීවිතෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම. //

    ඔය පාඩම හරියට ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් ගොඩම තමයි නංගි.. ප්‍රශ්නේ තියෙන්නේ ටික කාලයක් යද්දී ඔය පාඩම අමතක වෙනවා. එතකොට ආයි පාරක් ඇන්දෙනවා.. එතකොට තමයි ආයි ඔය පාඩම මතක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපෙන් උදව් ගත්ත අය අපිට කොකා පෙන්නනකොට ඒවා මතක් වෙනවා. ඒත් ආයෙත් වෙන කවුරුහරි උදව්වක් ඉල්ලුවාම අර මුලින් හිතා ගත්ත ඒවයි ඉගෙන ගත්ත පාඩමුයි ඔක්කොම අමතක වෙන එක නම් නවත්තන්න මොන දෙයියන්ට වත් බෑ.

      Delete
  4. ඕවා වැඩිකල් හිටින මතක නෙමෙයි නේ අනික මේ ලොකේ ජීවත් වෙනවනං හිත කළඹන දේ වෙන බව හිතේ තබා ගත යුතුමයි... කෝචිචි නං මරු. මරදානේන් කියන කොට “ගැටකපන්නන් ගැවසෙන හෙයින් ඔබගේ මුදල් පසුම්බි ආරක්ෂා කරගන්න“ කියලා අපේ උන් ඒ දවස් වල මට හිනාවෙනවා.. මොකද කෝච්චියේ ගැට හොයන්නේ මම නිසා.. හැක්..

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ ගැට කොයින්ද? පෙට්ටි පෙට්ටිනෙ තියෙන්නෙ :P

      Delete
    2. ඉස්සර ත්‍රස්තවාදී තර්ජන තියන කාලේ කෝච්චි පෙට්ටිවල ගහලා තියෙන්නේ මීළඟ පිපිරීම ඔබ අසල විය හැක කියලා. ඉතින් යාළුවෝ ඕක මට තමයි කියන්නේ මට කේන්ති යන නිසා..

      Delete
  5. මමත් හැමදාම උදේ හවස හුචස් හුචස් එකේ තමයි යන්නේ.. ඕකෙ හැමදාම යන අයගෙ වෙනම උප සංස්කෘතියකුත් තියෙනවා. සමහර දේවල් රසවත්, සමහර ඒව අනුමත කරන්න බෑ... කොහොම උනත් මිනිස්සු හැමෝම එක වගේ උනා නම් ලෝකෙ මෙලෝ රහක් නෑ..
    කුඩුකාරයො, ගණිකාවො, පොලිසිය, හාමුදුරුවො, බේබද්දො, ගුරුවරු මේ ඔක්කොගෙම සම්මිශ්‍රණය නිසා තමයි ලෝකෙ බැලන්ස් වෙන්නෙ... ඒක එහෙමම තිබුණාවෙ...

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ උපසංස්කෘතිය ගැන නම් කියන්න කතා එමටයි. ඉඩක් ලැබුණු වෙලාවට එව්වත් ටිකක් ලියන්න ඕනේ.
      //කොහොම උනත් මිනිස්සු හැමෝම එක වගේ උනා නම් ලෝකෙ මෙලෝ රහක් නෑ.. //
      මේක නම් සහතික ඇත්ත. වෙනස් මිනිස්සු නිසා තමයි ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ.

      Delete
  6. අර කළු සුදු සහ අලු කතාව නම් ඇත්තම තමා. කාට වුනත් කියපු කෙනාගෙ කටේ මසුරන් දාන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කතාව නම් සහතික ඇත්ත. :D

      Delete
  7. අර ඇපල් ගැන කිව්ව කතාව ඇත්ත.. මිනිස්සු මතුපිටින් විතරයි වෙනස් වෙන්නේ.. ඇතුලතින් ඉන්නේ එකම මනුස්සයෙක්.
    කාලෙකින් ඔබතුමියගේ බ්ලොගයට ආවේ.

    මාත් සෑහෙන ආස ගමණක් තමා කෝච්චියෙන් යන එක.. මම දැනට නොගිහින් තියෙන්නේ අවිස්සාවේල්ල පාරේ විතරයි. ඒකත් ලඟදිම යන්ඩ ඕන :)

    ReplyDelete
    Replies
    1. මමත් අවිස්සාවේල්ල පාරේ නම් ගිහින් නැහැ. ඒත් ඒ කෝච්චි අපේ ගෙදර ඉස්සරහින් හැමදාම යනවා.
      මම ඒත් බැලුවා ඔබතුමා කොහෙද කියලා. දැන් වැඩ රාජකාරී බොහොම ඇති.

      Delete
  8. මන්දා කිසි දෙයක් ගැන වැඩි දුර නොහිතු දුවන ජිවිතෙට දුවන්න දිලා ජිවිතේ රසවිදින්න පුරැදු වුණාම ජිවත් වෙන්න ලෙසි. මගේ ජිවිතේ ගෙවෙන්නෙ වැඩි හරියක් තනියම එත් මම තනිකමට පුදුමාකාරව ආදරේයි. මන්දා මිනිස්සුන්ට වඩා තනිකම, පාළුවට මනුස්ස ගති තියෙනවා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ගොඩක් දෙනා අතරෙ ඉන්නකොටත් අපිට පාලුව තනිකම දැනෙන එකේ තනියම ඉන්න එක ගොඩක් හොඳයි කියලා හිතෙන වෙලාවල් අනන්තයි. ඒත් මේ සමාජයේ ගොඩක් වෙලාවට තනිකමට ඉඩක් නෑ. අකමැති අයත් එක්ක වැඩ කරන්න වෙනවට වඩා තනියම ඉන්න එක දාහෙන් සම්පතයි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......