Friday, November 15, 2013

තාරකාවී

ට්‍රීං ට්‍රීං ට්‍රීං…..


එලාම් එකේ සද්දෙට මාව උඩගිහින් ඇහැරුණා. කම්මැලිකමට පොරෝනෙන් එක ඇහැක් එළියට දාලා බැලුවා. තාම කලුවරයි.

 “කවුද යකෝ මේ උදේ පාන්දර එලාම් තියන එකා?” මම දිගාගෙන් ඇහුවා.

“මේක හරි කෙළියක්නේ. උඹ හිතුවද උඹේ ෆෝන් එකෙන් මම එලාම් තියනවා කියලා?” ඌ ඇහුවා. ඒ කියන්නේ මම තමයි එලාම් තියලා තියෙන්නේ. අඩේ මට මොන පිස්සුවක් වැහීගෙන එනවද? කවදාවත් එලාම් තියන්නේ නැති මම අද එලාම් තියලා.

ආහ්.. මතක් වුණා නේන්නම්. අද සෙනසුරාදා.. අද පාඩම් කරන්න ලයිබ්‍රරි යන දවස. හරියටම කිව්වොත් පාඩම් කරන්න නෙවෙයි හැම සෙනසුරාදම ලයිබ්‍රි එකට පායන පුංචි තාරකාවි බලන්න ලයිබ්‍රරි යන දවස.

දැන් සති දෙකක ඉඳන් මම මේ වැඩේ කරන්නේ. කවදාවත් ෆැකල්ටියේදි ලයිබ්‍රරි එක පැත්ත පළාතේ නොයන මම මේ හදිස්සියේ හැම සෙනසුරාදම පාඩම් කරන්න කියලා ලයිබ්‍රි ගතවෙන එක මගේ යාළුවන්ටත් හරිම පුදුමයක්.

“කියපන් ඇත්තටම.. උඹ ඔය ලයිබ්‍රි යන්නේ මොකක් හරි වෙන කේස් එකකට නේද? නැත්තම් උඹට මේ හදිස්සියේම පාඩම් කරන්න හිතක් පහළ වුණේ කොහොමද?” දිගා ඇහුවේ ඌට මේ ගැන සැකයක් ඇති වෙලා තිබ්බ නිසාමයි.

“පිස්සුද උඹට ? එක්සෑම් එකත් කට ළඟටම ඇවිත්. අපි එක්සෑම් ගොඩ දාගන්න හදනකොට තමයි උඹලත් අපිට අනං මනං කියන්නේ. අර බොග පණුවෝ දවස තිස්සේ ලයිබ්‍රි එකේ ඉන්නේ. උන්ට මුකුත් කියන්නෙ නැහැ උඹලා.” මම දිගාව මුලින්ම කපලා දැම්මා. ඌ මගේ රූමා වුණත් ඌට මේ ගැන කියන්න හිතක් තිබ්බේ නැහැ මට. ඌ හිතයි මට පිස්සු කියලා.

මම දඩ බඩ ගාලා මූණ හෝදගෙන ඇඳගෙන කැන්ටිමට ගියා. ගිහින් මගේ ජාතික ආහාරය වෙච්ච පාන් බාගෙකුයි ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු හොද්දකුයි ඇදල ඇරියා. ඊට පස්සේ පොත් ටිකත් අරගෙන පයින්ම ෆැකල්ටිය පැත්තට ඇවිදගෙන ගියා. එයා ඇවිත් ද දන්නේ නැහැ. මම පය ඉක්මන් කළා.

ලයිබ්‍රිය ඇතුලට ඇවිත් මම සුපුරුදු තැන වාඩි වුණා. මෙතනට මම කැමති මෙතන වාඩි වුණාම තාරකාවි වාඩි වෙන තැන හොඳට පේන නිසා. ඒත් ඒ සුපුරුදු තැන හිස්. තාම වෙලාව අටයි නේ. එයා ඒවී තව ටිකකින්.

තාරකාවි... ඒ එයාගේ ඇත්ත නම නෙවෙයි. ඒත් යන යන තැන දීප්තිමත් කරවන නිසා මමයි එයාට ඒ නම් දැම්මෙ. එයා හරිම ලස්සනයි. හරියටම කියනව නම් පුංචි සුරංගනාවියක් වගේ. ලස්සන  වගේම තමයි එයාගෙ කටත්. පුදුම කියවිල්ලක් තියෙන්නේ. එයා මුලින් ලයිබ්‍රි ආවාම සිකියුරිටි ඇන්ටි එක්කත් පැය ගාණක් කියවනවා. ඊට පස්සෙ පොතක් රිටන් කරන්න ගියාමත් එතනත් කියවිල්ල. අනේ මන්දා මේ ගෑණු ළමයි ඔච්චර කියවන්න දේවල් කොහෙන් හොයා ගන්නවද කියලා.

එයා හිටියේ කැම්පස් එකට අලුතින්ම ආපු බැච් එකේ.හොඳ වෙලාවට අපේ ඩීන් කාරයා අපි දෙගොල්ලන්ටම එක්සෑම් එකම කාලෙ දැම්මේ. නැත්තම් කොහොමද මම වගේ එවුන්ට ලයිබ්‍රරි එන්න හේතුවක් හොයාගන්නේ.

ඊට පස්සේ එයා ඇවිත් පොත් ටික මේසේ උඩින් තියලා ගිහින් එයාටත් වැඩිය ලොකු පොතක් අමාරුවෙන් උස්සන් එනවා. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්නෙවත් නැතුව වැඩ. ලියනවා, මකනවා, වෙලාවකට පොතට රවනවා, ඔරවනවා. මම මේ ඔක්කොම බලාගෙන ඉන්නවා.

දහයට විතර ඔන්න එපාවෙලා වගේ ඈනුමක් එහෙම ඇරලා නැගිටලා තේ බොන්න යනවා. මමත් ඒ වෙලාවට හෙමීට කවුරුහරි බලන් ඉන්නවද කියලා වටපිට බලලා එහෙම පහළට යනවා. එයා තේ බොන්න යන්නේ තනියම නෙවෙයිනේ. කොයි වෙලෙත් එයාව වට කරන් එයාගේ යාළුවෝ ටික. කිචි බිචි ගගා තේ බොන්නම පැය බාගයක් විතර යනවා. මාත් ඉතින් ඔහෙ මොනවහරි හප හප එයාලා දිහා බලන් ඉන්නවා. සමහර වෙලාවට අපේ එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා කැන්ටිමේදි. ඉතින් උන් එක්කත් කයියක් ගහන් ඉන්නවා. එයාලා තේ බීලා ඉවර වුණ ගමන් මාත් “එහෙනං මචං මම යන්නම් කියලා” ආපහු ලයිබ්‍රරි ගත වෙනවා.

හීන ලෝකෙක අතරමං වෙච්ච මම ඔරලෝසුව දිහා බැලුවේ බඩගින්නක් දැණුන නිසාමයි. කෝ මෙයා තාමත් නෑනේ. අද එන්නෙ නෑ වගේ. එනවනම් මෙලහට ඇවිත්. එයා නැතුව මම විතරක් මෙහෙ ඉඳලා මොකටද? බලන් ඉඳලා වැඩක් නෑ. මම යනවා යන්න. පොත් ටිකත් එකතු කරගෙන මම පහළට ආවා.

බඩගින්නකුත් තියනවා. ඒත් එයා නැතුව මට කැන්ටිමට වත් යන්න හිතෙන්නේ නෑ. යනගමන් කිරිහලට වත් යන්න ඕනේ. මම හෙමින් හෙමින් කිරිහල පැත්තට ඇවිදගෙන ගියා.  

“හලෝ මචං, උඹව දැක්ක කල්” කවුද මන්දා පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට පාරක් ගැහුවා.
                         
“ මේ කැලුමා නේ? උඹ කොහෙද මෙහෙ? හම්මෝ උඹලව දකින්න තියන අමාරුව”  මම කිව්වා. කැලුම් ඉස්කෝලෙ මගෙ අතිජාත මිත්‍රයෙක්. ඌ දැන් කටුබැද්දෙ ඉන්ජෙක්.

“උඹ හෙනට වෙනස් වෙලානේ. අඳුරන්නත් බැහැ” ඌ කිව්වා.

“ ඉතින් බං, උඹ කොහෙද මෙහෙ” මම ඇහුවා.

“නංගි බලන්න ආවා බං” ඌ කිව්වා. මුට මම දන්න තරමින් නම් නංගියෙක් නැහැ. ෂුවර් එකට මූ කියන්නේ උගෙ හිච් එක ගැන වෙන්න ඕනේ.

“නංගි, මේ සම්පත්, ඉස්කෝලෙ මගෙ හොඳම යාළුවා” ඌ පිටිපස්ස හැරිලා කිව්වා. 

එතන අයිස්ක්‍රීම් දෙකකුත් අතේ තියන් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.. මගේ තාරකාවී....

ප.ලි:  බොග පණුවා = උදේ ඉදන් රෑ වනතුරු ලයිබ්‍රරියේ සිට පාඩම් කරන තැනැත්තා.. 

හිච් එක = පෙම්වතා හෝ පෙම්වතිය 

ප. ප. ලි : මේ බ්ලොග් එකට මුලින්ම ලියපු කතාව. පිරිමි ළමයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ලිව්වේ. වැරදි තියේනම් කියන්න.

Saturday, November 9, 2013

මවාපෑම

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
ඉන්පසු නොමැත කිසිවෙකුගෙත් සැලකිල්ල 
ඒ ගැන සිතා නොම වන්නට වැනසිල්ල 
මගේ හිසට මගේ අතමයි සෙවණැල්ල 

උඩින් මිතුරු කම් පානා බොහෝ වෙති 
ඇති තැන අනේ පණ දෙන්නට කතා වෙති 
උදව් ඕනේ විට පමණක් සොයා එති 
මට නම් කිසිම තරහක් මගෙ හිතේ නැති

මම කරනා හැම දෙයකම දොස් හොයලා 
උන් කරනා හැම දෙයක්ම හරි කියලා 
කිසි වරදක් නොමැති ලෙසට රඟපාලා 
බොරු කරනා මිනිසුන් මට තිත්ත වෙලා  

පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු 
නැති තැන අපේ පලු යන්නට බනිනවලු 
හිතේ කහට නැහැ කියලත් කියනවලු 
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ 

Wednesday, November 6, 2013

මේ දවස්වල....

බැලූ බැලූ අත
හිස් ගොඩවල්
ඈත බලන්...
පුස්තකාලේ
හුස්ම ගන්න
ඉඩක් කඩක්
නැති වෙන්නම
පිරිලා ගිහින්....
රාක්ක වල
දූවිලි වැදි වැදී
උන් පොත් ටික
අතුරුදහන්....
මටත් වඩා උස
පොත් කන්දක්
මේසේ උඩ
දත නියවන්....
අගක් මුලක්
හිතාගන්න
බැරි කමටම
මගේ හිතත්
ඉබාගාතේ
ඇවිද ගිහින්....


Saturday, November 2, 2013

සතුට සොයා යමු

හීන, අපි හැමෝටම හීන තියනවා. හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.

සතුට, අපි හැමෝම හොයන්නේ සතුට. මැරෙන්න බැරි කමට ජීවත් වෙන කෙනෙක් වුණත් සතුටක් ලැබෙන පුංචිම දෙයක් වුණත් අතහරින්න කැමති නැහැ. අපි ආස කරන හැමදෙයක්ම ලං කරගන්න හදන්නේ ඒ දෙයින් අපිට සතුටක් ලැබෙයි කියලා හිතන නිසා. කොච්චර සල්ලි තිබුණත් මොකටද හිතේ සතුටක් නැත්තම්? ප්‍රශ්න එනකොට දුප්පත් පොහොසත් බේදයක් නැහැ. හැමෝටම ප්‍රශ්න තියනවා ඒත් සල්ලි නැත්තම් අපි හිතන්නේ සල්ලි නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා.

හැම  වෙලාවෙම අපි හිතන්නේ නැති දේවල් ගැන. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? ඔබේ ජීවිතයේ තියන ඔබට නොහැඟෙන තරම් පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක් ජීවිත කාලෙම පෙරුම් පුරලා ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් වෙන්න පුළුවන්. දෙයක වටිනාකම තදින්ම දැනෙන්නෙයි, ඒ දේ වැඩියෙන්ම ඕන වෙන්නෙයි ඒ දේ තමන්ගෙන් ගිලිහුණාම. ඒ නිසයි දත් තියන කාලේ ඇති තරම් හිනාවෙන්න කියන්නේ.

හිතල හෝ නොහිතා කරන ගොඩක් පුංචි දේකින් කෙනෙක්ගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්. වැඩිදුර හිතන්නේ නැතුව පිට කරන පුංචි වචනයක් වුණත් ඇති තවත් කෙනෙක්ගේ හිත ආයෙ සනීප කරන්න බැරි තරම් රිද්දන්න. ඒ වගේමයි සතුටත්. පුංචිම පුංචි දේකට තවත් කෙනෙගේ ජීවිතේ සතුටට පත් කරන්න පුළුවන්. දවස් ගාණකින් හිනා නොවුණ කෙනෙක්ගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුළුවන්.

මේ දේවල් ලියන්න හිතුණේ අද බලපු චිත්‍රපටයක් නිසා. චිත්‍රපටයේ නම අමීලී (Amelie). 2001 වසරේ නිෂ්පාදනය වුණ මෙය ප්‍රංශ චිත්‍රපටයක්. ඈ ආදරය නොලැබූ කෙනෙක්. සමාජයෙන් වෙන්ව හැදුණු කෙනෙක්. ඇය ගෙදරින් වෙන්ව සමාජය සොයා ජීවිතය සොයා යනවා. අහම්බෙන් ඇයට කුඩා ළමයෙක් තමන්ගේ වස්තුව සැඟවූ පුංචි පෙට්ටියක් හමු වෙනවා. ඈ එහි නියම අයිතිකරු සොයා යනවා.

ඒ සිදුවීම් දාමයත් එක්ක ඈ සතුට සොයන්නියක් බවට පත් වෙනවා. ආදරය නොලැබූ අයට ඈ ආදරය ළං කරනවා. සතුට නොලැබූ අයට ඈ සතුට ළං කරනවා. ඒත් ඈ ජීවිතයෙන් සතුටක් ලබයිද? හැමෝටම සතුට ගෙනාපු ඇය ඇගේ ජීවිතයට සතුට සොයාගනියිද?


මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියපු සම්මානනීය චිත්‍රපටයක්. ඒත් වැදගත්කම ඒක නෙවෙයි. හදවතේ ගැඹුරුම තැනක හැඟීම් අවදි කරන්න මේ චිත්‍රපටයට පුළුවන්. බලලා ඉවර වුණාම හැඟීම් සමුදායක අතරමං කරන්න මෙ චිත්‍රපටයට පුළුවන් වුණා. ඒ අපි හැමෝම ඈ තුල ජීවත් වෙන නිසයි. ඇය තුලින් අපි අපිවම දකින නිසයි.

ප. ලි. මේ චිත්‍රපටය හොයලා දීපු රවීන් අයියට ගොඩක් ස්තූතියි.