Saturday, December 7, 2013

බිම් ගෙවල්...


කෝච්චිය පැය බාගයක් පරක්කුයි. අද කෝච්චිය නැති වෙයිද කියලා නොසන්සුන් හිතකින් හිටපු මට සැනසුම් සුසුමක් හෙලුනේ උඩරට මැණිකෙ දෙවනි වේදිකාවට ආවට පස්සෙ.

එච්චර සෙනගකුත් නැහැ. නුවරින් ගොඩක් අය බැහැපු නිසා මට හිතේ හැටියට මනෝ ගහන් යන්න පුළුවන් ජනේලයක් අයිනේ සීට් එකක් හම්බ වුණා. ඒත් අපි යාළුවෝ සෙට් එකට නම් එක ළඟ වාඩි වෙන්න ලැබුනේ නැහැ.

නුවර ඉඳන් කොළඹට එනකොට උඩරට දුම්රිය මාර්ගයේ නොවරදින දෙයක් තමයි බිම් ගෙවල්. කෝච්චියේ යන කවුරුත් මේ බිම් ගෙවල් වලට ආසයි. පොඩිහිටියෝ වගේම සමහර වැඩිහිටියොත් බිම් ගෙවල් ඇතුලෙන් යද්දි යටිගිරියෙන් කෑ ගහන්නේ, හූ තියන්නේ ඒ නිසා තමයි. හැමදාම කෝච්චියේ එද්දි බිම් ගෙවල් ගණන් කරනවා කියලා හිතාගෙන ආවත් මොකක් හරි හේතුවක් නිසා ඒක මඟ හැරෙනවා.

ඔහොම බිම් ගෙවල් දෙක තුනක් පාස් වෙද්දි මට හිතුනේ අපේ ජීවිතත් හරියට මේ රේල් පාර වගේ නේද කියලා.

බිම් ගෙවල් හරියට අපේ ජීවිතේ අඳුරු කාල සීමා වගේ.

සමහර බිම් ගෙවල් දිගයි. සමහර වෙලාවට හිතෙනවා මේ බිම්ගේ ඉවර වෙන්නෙම නැද්ද කියලා. අපේ ජීවිතේ සමහර අඳුරු කාල ඒ වගේ. ඒවා කොච්චර දිගද කියනව නම් අපිටම ඇතිවෙලා බලාපොරොත්තු අතෑරලා දාන වෙලාවල් තියනවා. කරන කිසිම දෙයක් හරියන්නේ නැති, මේ ජීවිතේ තේරුම මොකද්ද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න අවස්ථා එමටයි.

ඒත් සමහර බිම්ගෙවල් හරිම කෙටියි. තවත් බිම්ගෙයක් නේද කියලා හිතන කොටත් බිම්ගේ  ඉවර වෙලා. අපේ ජීවිතේ සමහර අඳුරු  කාල ඒ වගේ. ප්‍රශ්නෙට මුහුණ දෙන්න හිත හදාගන්නකොටම ප්‍රශ්නෙ විසඳිලත් ඉවරයි.

ඒත් මේ හැම බිම්ගෙයක්ම වගේ ජීවිතේ අඳුරු කාල සීමා තියෙන්නෙත් ජීවිතේ එක් කාලෙකදි විතරයි. ගමනාන්තය දක්වාම බිම් ගෙවල් නෑ වගේ අඳුරු කාල සීමා හරිම කෙටියි. හැබැයි ඒ ජීවිත කාලයට සාපේක්ශව.

මොන ප්‍රශ්නෙ ආවත් ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් අපේ ජීවිතේ සාර්ථකයි. දෙන්නෙක්ගේ ජීවිත සංසන්දනය කරන්න බැහැ. ඒ එක එක්කෙනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වෙනස් නිසා..ඔබේ ජීවිතයයි මගේ ජීවිතයයි සමාන නොවන නිසා. මට බොහෝ කරදර දෙන ප්‍රශ්නයක් ඔබට ප්‍රශ්නයක් දැයි හිතෙන තරමට නොවටිනා වෙන්න පුළුවන්.  


හැම බිම්ගෙයක් අවසානෙදිම කෝච්චිය හිරු එළිය දකිනවා වගේ අපිත් හැම ප්‍රශ්නයක්ම අවසානයේ ජීවිතය දකිනවා. ප්‍රශ්න නැති ජීවිත නැහැ. හැම ප්‍රශ්නෙකටම මුහුණ දෙන්න ධෛර්යයයි වැදගත්.. 


සීත කාලය පැමිණේවි 
තද හිම කුණාටු හමාවි 
හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි... 

ඒත්.... 

වසන්තය එනවා සත්තයි!! 

(ගුරු ගීතය) 


පින්තූරය මෙතනින්... 

40 comments:

  1. හරිම අර්ථාන්විත අදහසක්.
    ඇත්ත. ඒ බිම් ගෙවල් තියෙන තරමට රේල් පාර ලස්සන වෙනවා නේද....
    (Title එක දාන්න තිබුණේ බිම් ගෙවල් කියලා....)

    ReplyDelete
    Replies
    1. මාත් මුලින්ම හිතුවේ ඒ ටයිටල් එක. ඒත් ඊට පස්සෙ හිතුවා මේක හොඳයි කියලා. දැන් ආපහු වෙනස් කළා..

      බිම් ගෙවල් තියන නිසාමනේ උඩරට දුම්රිය මාර්ගය ඔච්චර ලස්සන වෙලා තියෙන්නෙත්, සංචාරක ආකර්ෂණය දිනාගෙන් තියෙන්නෙත්....

      ස්තූතියි!

      Delete
  2. පොඩි දේකින් ගැඹුරු අදහසක්. කෝච්චියෙ යනකොට මට නම් කිසි ම දවසක ඔච්චර දේවල් හිතිල නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් මේ එක පාරටම වගේ මතක් වුණ දෙයක්.. නැත්තම් ඉතින් කෝච්චියේ යනකොට කියවිල්ල එහෙම නැත්තම් නින්ද තමයි...

      Delete
  3. හොඳ උපමාව සිතු . රේල්පාරේ නම් බිම් ගෙවල් තියන සීමාවල් දන්නවා . ඒත් ජීවිතේ කොයි මොහොතේ මේ බිම් ගෙවල් අසු වේද කියා හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම් අක්කේ. ඒකත් ඇත්ත තමයි නේද? ජීවිතේට බිම්ගෙවල් එන්නේ කලින් දන්වලා නෙවෙයිනේ...

      Delete
  4. ඒත්.. වසන්තය එනවා සත්තමයි :)

    ReplyDelete
    Replies
    1. වසන්තය කවදා හෝ එනතුරු අපි බලා හිඳිමු...

      Delete
  5. සිතු මම තාම ලංකාවේ කෝච්චියක ගිහින් නෑ මෙහෙ නම් ඕන තරම් ගිහින් තියෙනවා බිම් ගෙවල් දැකල තියනවා,ගණන් කරලත් තියනවා........පුංචි බිම්ගෙයක් ලොකු කතාවක් කරපු එක ගැන නම් සතුටුයි ,අර්ථවත්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙ ලංකාවට ආපුවාම ලංකාවෙ කෝච්චියකත් ගිහින් බලන්න.. වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි...

      Delete
  6. වසන්තය එනවා සත්තයි!!

    සහතිකයි....කවදා හෝ එනවා එනවාමයි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. වසන්තය කවදා හෝ පැමිණේවි!

      එතෙක් අපි බලා හිඳිමු...

      Delete
  7. මට බිම් ගෙයක ඇවිදගෙන යන්න ආසයි. තවම අවස්තාවක් හම්බුණේ නෑ. දිග බිම් ගෙයක් අස්සෙන් යන්න.

    ReplyDelete
    Replies
    1. දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම අනතුරු සහිත වැඩක් නේද? ඒ ගැනත් සැලකිලිමත් වුණොත් හොඳයි...

      Delete
  8. Ow.....wasanthaya atha langama enawa saththay....

    ReplyDelete
    Replies
    1. කවදහරි අපිටත් හඳ පායාවී...

      Delete
  9. ඔව් .. අපේ ජීවිතත් හරියට මේ රේල් පාර වගේ නේද කියලා පොස්ට් එක කියවපුවහම මටත් හිතුනා... මීට කලින් එගැන එහෙම හිතිලා නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් වගේ හිතුනේ...

      Delete
  10. හරි අපූරු අදහසක් ! මේ ටිකේ කට්ටියම කෝච්චි පාරේ වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? නාඩියත් කෝච්චි පාරේ ගිහින් තිබුණේ..

      Delete
  11. සිරාම කතාව...අපිට එන අදුරු කාලේ කවද ඉවරවෙයිද කියලා තමයි දන්නේ නැත්තේ.ඒත් කෝච්ච්යේ යද්දි අපි දන්නවා මේක තියෙන්නෙ ටික වෙලාවකට විතරයි කියලා.මට හිතෙන හැටියට අන්න ඒකයි දෙකේ වෙනස

    ReplyDelete
    Replies
    1. කලින් ගිම් අක්කා කියපු විදියට කෝච්චි පාරේ නිතර යන එන කෙනෙක් නම් බිම් ගෙවල් තියන ඉසව් දන්නවා.. ඒත් ජීවිතේ එහෙම බිම් ගෙවල් කවදා ඒවිද දන්නේ නෑ...

      Delete
  12. අපූරු අදහසක් !
    මට නං කවදාවත්ම ඔහොම හිතිලා නෑ.. වෙනස් විදිහකට හිතුවම පොඩි දේකින් උනත් මේ වගේ අපූරු දේවල් මවතෑකි නෙහ් :)

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් වගේ හිතුනේ.. අපූරු දේවල් මැවිලා තියෙන්නේ වෙනස් විදියකට හිතපු පුංචිම පුංචි දේකින් නේද?

      Delete
  13. මාරයි නේ.. අළුත් මානයකින් හිතපු අදහසක්.. ජය වේවා

    ReplyDelete
  14. මම ලංකාවේ තාම එක ම එක වතාව යි කෝච්චියේ ගිහින් තියෙන්නේ. ඒ උඩරට මැණිකේ එක්ක බදුල්ලට :) බිම් ගෙවල් එක්ක මුසු කරලා ලියපු අලුත් අදහස හුඟක් ලස්සණ යි, සිතූ අක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී... බදුල්ලට යනකම් නම් ගොඩක් බිම් ගෙවල් හම්බ වෙනවා නේ.. මමත් බදුල්ලට ගිහින් තියෙන්නේ එක පාරයි හැබැයි.. නුවරට තමයි ගොඩක් යන්නේ..

      Delete
  15. හිතට දැනුන ලස්සන කතාවක්.. අවංකවම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියේ...

      Delete

  16. සීත කාලය පැමිණේවි
    තද හිම කුණාටු හමාවි
    හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි...

    ඒත්....

    වසන්තය එනවා සත්තයි!!

    මාත් එහෙම හිතනවා

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එහෙම හිතමු.. කවදහරි වසන්තය එයි...

      Delete
  17. ඒ සමහර බිම් ගෙවල් ඇතුලෙත් බිම් ගෙවල් හම්බෙනවා වෙලාවකට.වෙලාවට

    ReplyDelete
    Replies
    1. එතකොට තමයි එපා වෙන්නේ...

      Delete
  18. බිම්ගෙවල් අස්සෙ ඉන්න වවුලොන් ට තමයි මම කැමති ම නැත්තේ...

    ReplyDelete
    Replies
    1. වවුලෝ නම් මටත් පේන්න බෑ...

      Delete
  19. ජීවිත බිම් ගෙය නම් සැබෑ බිම් ගෙයකට වඩා දිගයි...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඊටත් වඩා කරදරයි..

      Delete
  20. කවදාහරි වසන්තය එනවා නම් තමයි... ඒත් විඳින්න බැරි වසන්තයක් තිබුනත් එකයි නැතත් එකයි.. :( මොනවා වුනත් ලියවිල්ල එල !!

    ReplyDelete
    Replies
    1. විඳින්න බැරි වසන්තයක්? වසන්තය විඳින්න පුළුවන්.. ගොඩක් අය වසන්තය කියලා තේරුම් ගන්න දේ අනුවයි ඒක වෙන්නේ නේද?

      නැත්තම් වසන්තය එනව නම් කවදා විඳින්න බැරිද?

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......