Wednesday, December 31, 2014

2014 උගත් පාඩම් පිළිබඳ වාර්තාව



ගිය අවුරුද්දෙ තමයි මෙහෙම එකක් මුලින්ම ලියන්න පටන් ගත්තෙ. මේ අවුරුද්ද ගැනත් ලියන්න ඕනේ ඉතින් ඒක නිසා…

අධ්‍යාපනික


1)පාඩම් කිරීමට පුස්තකාලය භාවිතා කිරීම ඇඟට ගුණය. එහෙත් බ්‍රේක් එකක් ගැනීමට සිතා බැල්කනියට යාම බොහෝ කාලය නාස්ති කරවන්නකි. එය බොහෝ ඕපදූප කතා වල උල්පතයි.

2)ස්ටඩි ලීව් එකේ පාඩම් කිරීමට ඉතුරු කරගැනීම ඔබව ඉතා අපහසුතාවයට පත් කරයි.
   
හේතු

  • අපේ ෆැකල්ටිය නුවරට සීතලම කාලයට එක්සෑම් දැමීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරන බැවින් ස්ටඩි ලීව් එකේ එතරම් පාඩම් කිරීමට නොහැක.
  • ස්ටඩි ලීව් එකේ දී ගෙදරින් කෑම බීම විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් ඒවා කෑමෙන් පසුව නිදා ගැනීම හැර වෙන දෙයක් කිරීමට නොහැක.

3) පේෂන්ට් ලා කෙරෙහි කිසි විටකත් විශ්වාසය නොතබන්න. අවසාන මොහොතේ ඔවුන් පොල්ල තබනු ඇත.

මිතුරන්

1) කිසිම විටෙක යාළුවෙක්ට කොල්ලෙක් සෙට් කිරීමට වෙහෙස මහන්සි නොවන්න. මක් නිසාද යත් සති කිහිපයකින් කොල්ලා වෙන කෙල්ලෙක් සමඟ හිච් වනු ඇත.
2)අනිත් අයගේ දේවල් කරට අරන් කිරීම මිතුරාත් මුදලත් දෙකම නැති කරයි.
3)මිතුරන් හොල්මන් ෆිල්ම් බලන විට කොමඩි බැලීමෙන් මිතුරන්ගෙන් බැනුම් ඇසීමට සිදුවනු ඇත.
4)මිතුරන්ට ෆිල්ම් ලබා දිමේදී ප්‍රවේසම් විය යුතුය. බොහෝවිට ඔබට ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර දීමෙන් නොනැවතී, කතාවද තේරුම් කර දුන් පසු “එහෙම තමයි මමත් හිතුවේ” කියා අසා ගැනීමට සිදුවනු ඇත.
5)යාළුවන් සමඟ ට්‍රිප් යාමට ප්ලෑන් කළ පසුව වසර තුනකින් පමණ එම ට්‍රිප් යාමට හැකි වනු ඇත.

මම

1)වේදිකා නාට්‍ය නැරඹීමේදී ඉදිරි පේළියක සිටීම නාට්‍ය නැරඹීම වෙනස් අත්දැකීමක් කරවයි. ( එහෙත් මෙහිදී ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය)
2)කවුරු මොනවා කීවත් දත් ගැලවීම හෙනම බයානක ක්‍රියාවලියකි.
3)කවි ලිවීමට වඩා එම කවි වල තේරුම කියාදීම ඉතා අපහසුය.
4)බොහෝ බයානක යැයි පෙන්වන පුද්ගලයන් සිතන තරම් බයානක නැත.
5)කොටස් වශයෙන් කතා ලිවීම නොකළ යුතුය. කොටස් කිහිපයක් ලිවීමෙන් පසු එම කතාව ලිවීම ඔබට  එපා වනු ඇත.



තවත් ගොඩාක් තියෙනවා ඉතින්…. ඒත් මම හිතන විදියට 2014 මට කියලා දීපු හොඳම දේ තමයි ගොඩක් ගැඹුරු තුවාල වුණත් කාලයක් යද්දි සනීප වෙනවා කියන එක.

බ්ලොග් ලෝකෙ යාළුවෝ හැමෝටම 2015 සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 

Monday, December 22, 2014

තිමිර 03


කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් බලලම එන්නකෝ... 

මම ඔෆිස් එකට එනකොට එහේ හෙනම කලබලයක්. කවුරුවත් වැඩ කරන පාටක් නම් නැහැ. හැමෝම තැන් තැන් වලට වෙලා කතාව.

“මොකද ශාලි මේ වෙලා තියෙන්නේ? මොකක් හරි කරදරයක් වත් වෙලා ද?”

“කරදරයක් නම් තමයි. ඊයේ ප්‍රොටෙස්ට් එක කවර් කරන්න ගියපු අසංකයි, වාසලයි ගියපු වාහනේ ඇක්සිඩන්ට් වෙලාලු. දෙන්නටම අමාරුයිලු ටිකක්.”

“එහෙමද? හරි වැඩේනේ. මොන හොස්පිටල් එකේද ඉන්නේ?”

“කලුබෝවිල ලු. තව ටිකකින් කට්ටිය යයි මගෙ හිතේ.”

“එහෙනම් අපි දෙන්නත් යමු නේ?”

“ඔව් ඔව් යමු යමු”

මදැයි ඉතින් වෙච්ච දේ. ගොඩක් අමාරුද දන්නේ නෑ ඒ දෙන්නට. ඔෆිස් එකේ කට්ටිය එක්ක දවල් හොස්පිටල් ගිහින් ඒ දෙන්නව බලලා ආවා. ඒ හැටි අමාරුවක් නම් නෑ. ඒත් ටික දවසක් රෙස්ට් කරන්න කිව්වලු. මගෙ අසයින්මන්ට් එකට නම් අවුලක් වෙන එකක් නෑ නේ. තව කල් තියෙනවනේ.

හවස මම ටවුන් එක පැත්තෙ  ගියේ බඩු වගයක් ගන්න. සතියේ දවසක් වුණත් පුදුම සෙනඟක් හිටියේ. ඉතින් ඇවිදලා ඇවිදලා මහන්සි නිසා මොනවහරි බොන්න හිතාගෙන කඩේකට ගොඩ වුණේ. බීම එකකුත් අරන් බඩු මලු ගොඩකුත් උස්සගෙන ඇවිත් ඉඩ කඩ තිබ්බ එකම එක මේසෙන් වාඩි වුණේ. පුදුම මහන්සියක්නේ අප්පා. ආ මේ මොකද්ද? මේසේ උඩ තිබ්බේ කලු පාට සටහන් පොතක්. කවුද මේ පොතක් දාලා ගිහින්. මම පොත ළඟට අරන් පෙරළලා බැලුවේ අයිතිකාරයෙක් ගැන සඳහන් වෙනවද බලන්න.

මුල්ම පිටුවේ මෙහෙම ලියලා තිබ්බා….

මම කවුද
මම කවුද කියලා මම වත් දන්නවද
මට මම වෙන්න පුළුවන්ද
මට මගේ කියලා දෙයක් තියෙනවද
ඉතින්
ඔබ හිතන විදියට
මම කවුද

හ්ම්ම් .... පුදුම අදහස් තියෙන කෙනෙක්. ඇත්තටම කාගෙද මේ පොත?

“එක්ස්කියුස් මී මිස්”

පිටිපස්සෙන් ඇහුන සද්දෙට මම හැරිලා බැලුවා. පිටිපස්සේ හිටියේ මම කවදාවත් දැකලා නැති කෙනෙක්.

ම්ම්ම්..... කවුද මේ?

“ ඇයි?” ?මම ඇහුවෙ මොනවත් හිතාගන්න බැරුව.

“මිස්, ඔය අතේ තියන පොත මගේ”

“ආ ඇත්තද? මම මෙතන වාඩි වෙනකොට මේ පොත මේ මේසේ උඩ තිබ්බා.”

“එහෙමද? දැන් මම ආවනේ. මට දෙනවද දැන් පොත?”

මෙයාගෙ කතාව බලන්නකො.  හරියට මම පොත හොරකම් කළා වගේ නේ කතාව. පුදුම මනුස්සයෙක්නෙ. මට තරහත් ගියා ඒ කතාවට.

“ආ ගන්න” මට ආව තරහටම ටිකක් සැරට එහෙම කියවුණා. පොත මගෙන් උදුරලා ගත්තේ හරියට ඒක මම ගෙදර ගෙනියන්න ගත්තා වගේ.

“හ්ම්. දැන් තමයි මට නිදහසේ හුස්ම ගන්න පුළුවන්.” එහෙම කියපු එයා ආපහු හැරිලා ගියා. මොන ලෝකෙන් ආව කෙනෙක්ද ඒ? හරියට මාව හොරෙක් ගාණට දාලා කතා කළේ. මොළේ අමාරු කාරයෙක්ද කොහෙද! ඇත්තටම දැන් ඉන්න මිනිස්සු නම් පුදුමයි. මහ ආඩම්බරකාර කොල්ලෙක්..එයාගෙ මහලොකු පොත මම හොරකම් කරයි කියලද දන්නේ නෑ හිතුවෙ. අඩුගානේ මට ස්තූති කළේ වත් නෑනේ. ඒත් මම ස්තූති කරන්න තරම් දෙයක් කළෙත් නෑනේ. කොහෙද යන ආඩම්බරකාර කොල්ලෙක්.

බීම වීදුරුව උගුරට දෙකට බීපු මම එතනින් යන්න නැගිට්ටා.



Saturday, December 20, 2014

ඒ තවත් අමුතු දවසක්....

කතාව ලියන එකත් අතරමගින් නතර කරලා මේ ලියන්නේ මට ලියන්නම ඕනේ කියලා හිතුන දෙයක්. නිමිත්ත වුණේ මේ පෝස්ට් එක. ඊට ගොඩක් සමාන කතාවක් ගැනයි මේ ලියන්නේ.

එදා අමුතු දවසක් වෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ ඉරයි හඳයි මුණගැහෙන්න ඇති. ඒත් ඒ අමුතු දවසේ හඳට හිතුණ විදියටම හඳට ඉරේ රැස් මදි වෙන්න ඇති. එහෙම නැත්තම් හඳ බලාපොරොත්තු වුණාට වඩා ඒ ඉරේ රැස් වැඩි වෙන්නත් ඇති.

ඊට පස්සේ ඒ වගේ අමුතු දවස් එන්න නැතුව ඇති. හඳ වෙනදා වගේම ඉන්න ඇති. රෑට අහස එළිය කරන්න ඇති. ඒ හඳට එළිය දෙන්න ඉරවල් දෙකක් පායලා තියෙන්න ඇති.

ඒ ඉරවල් දෙකම හඳට ළං වෙන්න තරු වලින් උදව් ඉල්ලන්න ඇති. ඒත් තරු එක ඉරකට නම් පොඩ්ඩක්වත් කැමති නැතුව ඇති.

තරු ගිහින් එක ඉරක් හඳෙන් ඈත් කරලා අනිත් ඉර ළං කරන්න ඇති. ඒත් හඳට ඇත්තටම ඕනේ වුණේ අර තරු හඳෙන් ඈත් කරපු ඉර වෙන්න ඇති.

ඒත් තරු ඒ ඉර හඳෙන් ඈත් කළේ ඒ ඉර තවත් හඳවල් ගොඩකට එළිය දෙන නිසා කියලා හඳ නොදන්නවා නෙවෙයි වෙන්න ඇති.

ඉතින් හඳ ඒ ඉර අමතක කරලා අනිත් ඉර ගැන හිතන්න ඇති. ඒත් ඒ බවක් තරු වලට අඟවන් නැතුව ඉන්න ඇති.

හ්ම්ම්.. හඳ පොඩ්ඩක්වත් ඇඟෙව්වෙ නෑ තරු වලට. ඉර ගැන හිතනවා කියලා. තරු ඉඳහිට ඉර ගැන කියලා විහිලු කලාම හඳ, තරු එක්ක අමනාප වෙලා හිටපු දවස් පවා තියෙන්න ඇති.

අඳුරේ උන්නු මන්දකිණියකට මේ ඉර ගැන ආරංචි වෙන්න ඇති. මොන මොනවහරි වෙන්න ඇති. තවත් අමුතු දවසක තරු වලටත් හොරාම ඉර ගිහින් ඒ මන්දාකිණියෙ පායන්න ඇති.

හඳට මේ බව ආරංචි වුණාම සතුටු වෙනවා කියලා පෙන්නන්න ඇති. ඒත් හිත යටින් ගොඩක් දුක් වෙන්න ඇති.

ඒත් ඒ හැම දුකක්ම හංගගෙන ගිහින් ඉරටයි, අලුත් මන්දාකිණියටයි සුබ පතනවා තරු හොරෙන් බලන් ඉන්න ඇති.

ඒත්....

ඉරකට වුනත් පුළුවන්ද…
ඒ තරමටම වෙනස් වෙන්න…
හඳ දිහා බලන් ඉන්න ගමන්  
මන්දාකිණියක් ගැනත් හිතන්න
හොරෙන්ම ගිහින්
තවත් මන්දාකිණියක පායන්න?

ඉතින්
හඳට පුළුවන් වෙන්න ඕනෙද
මේ හැම දෙයක්ම ඉවසන්න?

ඉතින් කතාවෙ අගයි මුලයි දන්නවා වුනාට ඒ කිසිම දෙයක් ගලපගන්න බැරි නිසා මේක ලියවුණේ අන්තිමට.

අමුතු දවසක
මිලින වූයේ
පිපෙන්නට උන් නමුත්
කිසිදිනෙක
නොපිපි මලක්....

ඒ මල ආයේ දවසක වත් පිපෙන එකක් නැති වේවි….


ලිව්වේ 
වරදකාරී හැඟීමෙන් පෙළෙන තරුවක්... 



Saturday, December 6, 2014

තිමිර 02

පළවෙනි කොටසට... 


ඔෆීස් ඇරෙන වෙලාවට බස් වල පුදුම සෙනගක්. ගෙදරට එනකොට ආයෙ හුස්මක් කටක් ගන්නවත් පණ නැහැ. ඒත් ඉතින් අපි වගේ පොදු ජනතාවට ඉතින් බස් පිහිටම තමයි.

“ මොකද දෝණි අද වේලාසනින්?” අම්මා ඇහුවේ මම ගෙට ගොඩවෙනකොටම.

“අද විශේෂ වැඩක් තිබුණේ නෑ. ඒකයි වේලාසනින් ආවේ. අම්මට ඉතින් මම වේලාසනින් ආවත් වැරදි” මම කිව්වෙ ටිකක් අමනාපෙන්.

“ එහෙම නෑ දෝණි. මම කිව්වේ වෙනදට ඔයා ගෙදරට ගොඩ වෙන්නේ කළුවර වැටුණටත් පස්සෙ නිසා.”

“එහෙම තමයි අම්මේ පත්තර රස්සාව.”  මම කිව්වා.

“ ඒක තමයි. අපි කොච්චර කිව්වද ඔයාට ඔය රස්සාවෙන් අයින් වෙන්න කියලා. කොහෙද ඉතින් තියෙන හිතුවක්කාරකම නේ” අම්මා ඉතින් හැමදාම කියන්නේ ඕක.

“මොකද මොකද මේ අම්මලගෙයි දූලගෙයි රණ්ඩුව?” අප්පච්චි ඇහුවේ ගෙට ගොඩවෙන ගමන්.

“හැමදාම ඇදෙන රණ්ඩුව තමයි අප්පච්චි. අම්මා කියනවා මට රස්සාවෙන් අයින් වෙන්නලු. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න?”

“ ඔන්න ඔහේ දෝණිගේ ආසාවනෙ සඳා. අපි එයාට ඉඩ දෙමු.” අප්පච්චි හැමදාම මගේ පැත්තේ.

“අප්පච්චිලා දූලා ඕනේ එකක් කර ගන්න එකයි ඇත්තේ.” අම්මට .තරහ ගිහින් ඒ පාර.

හැමදාම ඔය හේතුව නිසා අම්මයි මමයි වලි. ඒත් ඉතින් අප්පච්චි මම ආස දේ නේ කියලා ඉඩ දීලා තියෙන්නේ. අම්මා නම් කියන්නේ මේ රස්සාව ගෑණු ළමයෙක්ට ගැළපෙන්නේ නැති ලු. ඒත් ඉතින් මම හැමදාම ආසාවෙන් හිටියේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.

ඇඟ සෝදගෙන තේ එකක් බිව්වට පස්සේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. අලුත් අසයින්මන්ට් එකට අද ඉඳලම වැඩ පටන් ගන්න හිතුවෙ. කොයි එකටත් පරණ ලිපි ටික කියවලා ඩ්‍රෆ්ට් එකක් හදන් ඉන්න ඕනේ. ඊට කලින් මූණුපොත පැත්තේ ගිහින් එන්න ඕනේ. අයියෝ. අදත් ඩොන්ගල් එක ලෙඩ දෙනවා.

“මල්ලී අනේ මේ ඩොන්ගල් එකේ අවුලක්. පොඩ්ඩක් ඇවිත් බලනවකෝ” මම මල්ලිට අඬගැහුවෙ එයා ඉතින් තාක්ෂණික බට්ටෙක් නිසා.

“අපෝ තමුසෙගෙ ඩොන්ගල් එක. ඕක හොඳයි ඉතින් වෙන මොනවත් නැතුවට”

“හරි ඉතින් කියවන්නැතුව ඕක හදලා දෙනවකෝ”

“අපෝ මොකද්ද මේ දූවිලි ගොඩක් උස්සන් ඇවිත්” මල්ලි කිව්වෙ මගෙ මේසේ උඩ තිබ්බ “ලංකාවේ පුරාණ වලව්”ෆයිල් එක දැකලා.

“ඒ මගේ අලුත් අසයින්මන්ට් එක  හලෝ. ලංකාවේ පුරාණ වලව්”

“අපෝ තමුසෙට හරියන්නෙ ඔය වගෙ පෞරාණික ඒවා තමයි.” එයාටත් ඉතින් මාව බයිට් එකට ගන්න තියෙනම් වෙන මොනවත් ඕනේ නැහැ.

මල්ලී ඩොන්ගල් එක හදලා දුන්නට පස්සේ මම මූණුපොත් පැත්තේ ගිහින් බැලුවා. හ්ම්ම්.. විශේෂ දෙයක් නැහැ. විශේෂයක් නැති වුණත් හැමදාම ඒ පැත්තේ යැවෙන්නේ පුරුද්දක් වගේ.

මම ආපහු ලිපි ටික කියවන්න ගත්තා. ලක්මාල් අයියා කොච්චර හොඳට ලිපි ටික ලියලා වුණත් මට ඕනේ වුණේ නැහැ ඒ ස්ටයිල් එක කොපි කරන්න. එතකොටම වගේ තමයි අත් අකුරින් ලියපු පොඩි කොළ කැල්ලක් ආටිකල් ටික අස්සේ තිබිලා මට හම්බ වුණේ.

ගල්කන්ද වලව්ව
කන්දවත්ත
කුරුණෑගල

කියලා එඩ්‍රස් එකක් ලියපු පොඩි කොළ කෑල්ලක්. ආටිකල් ඔක්කොම බැලුවත් ඒ වගේ නමක් තියන වලව්වක් ගැන ලියවිලා තිබුණේ නැහැ. එහෙනම් මේ ලක්මාල් අයියා ඊට පස්සේ ලියන්න හිතාගෙන හිටපු වලව්වක් වෙන්න ඕනෙ. එයාට කලබල ඇති කරපු වලව්ව නම් නෙවෙයි. ඒක ඉතින් මේ ලංකාවේ හැමෝම දන්න සුප්‍රසිද්ධ වලව්වක් නේ.

කොහොමහරි අඳුරෙ අතපත ගගා හිටපු මට මේකත් ඇති. මේ ගැන විස්තර ටිකක් හොයලම මගේ වැඩේ පටන් ගන්න ඕනේ.

උදේ මම නැගිටල කුස්සියට යනකොට අම්මා කිරිබත් හදන්න පටන් අරන්.

“ඇයි අම්මේ අද කිරිබත් හදන්නේ?” මම ඇහුවෙ මොකක්හරි මට අමතක වෙච්ච දෙයක්ද කියලා බලන්න.

“ අද ආච්චි අම්මා එනවා කිව්වා දෝණි.” අම්මා කියද්දි මට ආවේ කියන්න බැරි තරම් සතුටක්. ඒත් ඉතින් අද මට ගෙදර නතර වෙන්න හැටියක් නෑනේ.

“අනේ අම්මා, ආච්චි අම්මව දවසක් දෙකක් නතර කරගන්න ඕනේ හොඳද? මට අද නිවාඩු ගන්න හැටියක් නෑ.” මම කිව්වෙ අලුත් අසයින්මන්ට් එක ගැන හිතලා වුණත් අපේ බොස් ගෙන් නිවාඩුවක් ඉල්ලගන්නවට වඩා ලේසියි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන වෙලාවට ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ල ගන්න එක.

ආච්චි අම්මා කියන්නේ අපේ අප්පච්චිගේ අම්මා. එයා තමයි අපි පොඩි කාලේ අපිව බලාගත්තේ. කොහොමත් අම්මාගෙ පැත්තේ ආච්චි අම්මා ගැනවත් සීයා ගැනවත් අපි දන්නේ නෑ. අපි දන්න එකම දේ ඒ දෙන්නම අපි ඉපදෙන්න කලින් මේ ලෝකෙන් ගිහින් කියලා විතරයි. මාමලා වුණත් අපේ ගෙදර එන්නේ එහෙම නෑ. අහම්බෙන් වගේ හම්බ වුණොත් විතරයි. ඒ ඔක්කොම අම්මාගෙයි අප්පච්චිගෙයි සම්බන්ධෙට අම්මාගේ ගෙදරින් විරුද්ධ වුණ නිසා ලු. ඒ ගැන අපි විස්තර අහනවට වත් අම්මා කැමති නෑ.


“එහෙනම් අම්මා මම යනවා. රෑ වෙනවනම් කෝල් එකක් දෙන්නම්.” එහෙම කියාගෙන ගෙදරින් ආවෙ අදවත් අසයින්මන්ට් එක පටන් ගන්න හිතාගෙන. කොයි එකටත් අනිත අයගෙනුත් විස්තර අහලා වාසල මල්ලිටත් කෝල් එකක් දීලා බලන්න ඕනෙ. බලමුකො. මොකද වෙන්නෙ කියල.  

Friday, December 5, 2014

තිමිර 01

"රන්දි, අන්න බොස් ඔයාට එන්න කිව්වා."


"මේ පාර මොන මරාලයක්ද දන්නේ නෑ."

"ඇයි ඔයා මොනවද කළේ?"

"මොනවත් නැහැ. වඳින්න යන්නේ නැතුවත් දේවාල ඉහේ කඩන් පාත් වෙන කාලයක් මේක."

"හරි හරි. දැන් යන්න. නැත්තම් පරක්කු වුණ එකටත් බැනුම් අහන්න වෙනවා."


"සර් මට කතා කළාද?"

"ඔව් ඔව් එන්න රන්දිකා. මම ඔයාට කතා කළේ අර ලංකාවේ පුරාණ වලව් ගැන තිබ්බ සීරීස් එක ඔයාට බාර දෙන්න. ලබන මාසෙ ඉඳන් අතිරේකෙට ඒක දානවා කියලා මම එඩිටර්ට කිව්වා."

"ඒත් සර්..."

"ඒ සීරිස් එක කලින් කලේ ලක්මාල් නේ. මිනිහා ආයෙ ලියන්නේ නැහැ. රට ගියාට පස්සේ ආරංචියක්වත් නෑනේ."

"ඒත් සර්…"

"මොකද? බාරගන්න බැරි නම් කෙළින්ම කියන්න. පස්සෙ මග දාලා එන්න බැහැ. ඔයාට අවශ්‍ය ට්‍රාන්ස්පෝට් අපි දෙනවා. ගිහින් නතර වෙන්න අවශ්‍ය නම් ඒ පහසුකම් සේරම මෙහෙන් බලාගන්නවා. ෆොටෝග්‍රැෆර්ට වාසල අඬගහගන්න. තව මොනවත් දැනගන්න ඕනෙද?"

මහ පුදුම මනුස්සයෙක්නේ. ගහෙන් ගෙඩි එන්නා වගේ ඔක්කොම.

"නෑ සර්."  මම කිව්වා.

"හරි එහෙනම්. පරණ ලිපි ටික කියවලා අදහසක් ගන්න. දැන් යන්න පුළුවන්."

මම එහෙමම ඩෙස්ක් එකට ආවා. මගේ ඔලුවත් කැරකෙන්න වගේ. මොකද්ද මේ වුණේ? අද මම මොන නැකතකින් එළියට බැහැලද මන්දා. කවුද හිතුවේ මෙහෙම දෙයක් මගේ ඔලුවට කඩන් පාත්වෙයි කියලා.

"මොකද බොස් කිව්වෙ?" ඒ ශාලි.

"අර ලංකාවෙ පුරාණ වලව් සීරිස් එක මට බාර දෙනවයි කිව්වෙ!"

"මොකක්. උඹ ඇත්තමද මේ කියන්නෙ?"

"ඔව්. ලබන මාසෙ අතිරේකෙ ඉඳන් පටන් ගන්නෙයි කිව්වෙ."

"අනේ මන්දා බං. උඹ දන්නවද? ඕක කලින් ලිව්ව ලක්මාල් අයියාට රටින් පිටවෙන්න වුණෙත් ඔය මොකක් හරි පරණ කේස් එකක් ඇදලා ලොකු තැන් වලින් තර්ජන ආපූ නිසා ලු."

"මට මොනවත් කියන්න වත් චාන්ස් එකක් දුන්නේ නෑ. හරියට මම ඉල්ලල ගත්ත එකක් වගේ සර්ගේ කතාව."

"අපෝ අපි නොදන්නවයැ ඒක. මිනිහ හරියට ඉන්නෙ මේ සෙක්ෂන් එක අපේ. එයා ඉන්නෙ අපිව දාලා ගියොත් අපිට මොනවත් කරගන්න බැරි නිසා වගේ නේ."

"හ්ම්ම්. ඔව්. අනේ මන්දා ඉතින්. මට මේක කරන්නම වෙනවා. මම යනවා පරණ ලිපි ටික සුගත්ගෙන් ඉල්ල ගන්න."

මම එහෙම කියලා එළියට ආවා. මම කොහොමත් අලුත් අසයින්මන්ට් වලට බය කෙනෙක් නෙවෙයි. ඒත් මේක මහ අමුතුයි. හැමෝම ඒ සීරීස් එක ගැන එක එක ඒවා කියනවා. කොහොමත් ඒ වගේ ට්‍රාන්ස්පෝට්. ඇකමඩේශන් හම්බ වෙන සීරීස් එකකට කවුරුවත් එපා කියන්නෙ නැති වුණත් මේක නම් හැමෝම මඟ ඇරියා.

“ලංකාවේ පුරාණ වලව්” කියලා ගහලා තිබ්බ ෆයිල් එක හොයාගන්නත් මට සෑහෙන්න වෙලාවක් ගියා. ආයේ ඒක කවුරුවත් පටන් ගන්න එකක් නෑ කියලා හිතපු නිසාද කොහෙද ඒක තිබ්බෙ රාක්කෙක යටම තට්ටුවේ දූවිලි ගොඩකින් වැහිලා.

මම ඒකත් අරන් ඇවිත් වාඩි වුණා. ඒකෙ තිබ්බෙ ආටිකල් 11යි හරියටම. ඒ කියන්නේ පටන් අරන් අවුරුද්දයි කරලා තියෙන්නේ. ලක්මාල් අයියා අන්තිමට ලියලා තියෙන්නේ දැනට ලංකාවේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගැන. එයාගේ වලව්ව ගැන තමයි ලියන්න අරන් තියෙන්නේ. ඒත් ඒක ලියාගෙන යද්දි එයාලා කරපු මහා පරිමාණ වංචාවක් ගැන එළි වෙලා තියෙනවා. ඒ නිසා ලක්මාල් අයියට ගොඩක් තර්ජන ආවලු. අන්තිමට එයා නෝනයි, බබයි එක්ක රටෙනුත් පිට වෙලා.

මම ඒ ලිපි ටික කියවන්න පටන් ගත්තා. ඒ වලව් වල මොන තරම් රහස් සැඟවිලා තියෙන්න ඇත්ද? ගොඩක් අය නම් දැන් ඒ වලව් විකුණලා දාලා පිටරටවල් වලට ඇවිත්. ගොඩක් ලිපිවල තියෙන්නෙත් ඉස්සර කාලේ විස්තර. මම හිතන්නේ ගොඩක් අය කැමති නැහැ පුද්ගලික විස්තර පත්තර වල යනවට. ඒ අතර දැනට හෝටල් වශයෙන් පවත්වගෙන යන වලව් කීපයකුත් තිබ්බා.

“මොකද වලව් වලට යටවෙලා අද කන්නවත් කල්පනාවක් නැද්ද?” ශාලි අහනකම් ම මම හිටියේ ඒ ආටිකල් වලට යට වෙලා.

"ඔව් නේ. මට වෙලාව යනවාවත් තේරුනේ නැහැ. යමු කන්න." මම ෆයිල් එක පැත්තකින් තියලා නැගිටින ගමන් කිව්වා.

"දැන් කවදා ඉඳන්ද ඕක පටන් ගන්නේ?"

"මට හිතාගන්න බැහැ, කොයිකටත් තව විස්තර ටිකක් හොයලා බලන්න ඕනෙ."

ඊට පස්සෙ ඉතින් අපේ කතා බහ වෙන්වුණේ සුපුරුදු ඕපාදූප වලට. ඒ අතරෙ අපේ සගයො ටික අලුත් අසයින්මන්ට් එක ගැන මට සුබ පතන්නත් අමතක කලේ නැහැ. එයාලා කිව්වේ පුළුවන් තරම් ඉක්මනට ඕකෙන් අයින් වෙන්න කියලා.

“රන්දි උඹ නම් අරූ වගේ ගොන් වැඩ කරන්නේ නැතුව ශේප් එකේ ඕක ලියපන්. බලන්න් අරූට වෙච්ච දේ? දැන් රටෙත් නැහැ. “ ඒ ධනුෂ්ක.


මෙහෙම දේවල් ඇහෙනකොට නම් මට බය නොහිතුනාමත් නෙවෙයි. ඒත් ඉති මොනවා කරන්න ද? සර් ළඟට ගිහින් මට මේක බාරගන්න බැහැ කියන්නයැ. ඔන්න ඔහෙ බාරගත්ත එකේ කරලම දානවා.

මතු සම්බන්ධයි... 

ප ලි : මේ මම බ්ලොග් එකට කොටස් වශයෙන් ලියන පළවෙනි කතාව. ඒ නිසා වැරදි, අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. 

Sunday, October 5, 2014

මම කියවන හැටි

පොතකට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ද? ඔව් ඇත්තටම. මම හිතන්නේ ගොඩක් දෙනා ඒ මතය පිළිගනීවි. පහුගිය කාලෙ Book Bucket Challenge එකේ තිබුණෙත් තමන්ගේ ජීවිතේ වෙනසක් කරපු පොත් 10ක් ගැන කියන්න කියලානේ. ඒත් හැම පොතක්ම ජීවිතේ වෙනස් කරනවා. නොගිණිය හැකි ප්‍රමාණෙකින් හරි. ඒත් සමහර පොත් හරිම දරුණු විදියට ජීවිතේ වෙනස් කරනවා. අපි කැමති වුණත් අකමැති වුණත්.

මම පොත් කාවෙක් ද පොත් ගුල්ලෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් මම පොත් කියවනවා. පොතේ මාතෘකාවේ ඉඳන්, පෙරවදනේ ඉඳන් හැම අකුරක්ම පසුවදන වෙනකන්ම කියවනවා. පොතේ පරිච්ජේද, අකුරු පේළි විතරක් නෙවෙයි ඒ අකුරු පේළි අතර යටින් දිවෙන කතාව මම කියවනවා. ගොඩක් වෙලාවට පොතේ කතාවටත් වඩා රසවත් වෙන්නේ මේ යටි පෙළ. ඒ යටි පෙළ තේරුම් ගත්තේ නැත්තම් සමහර වෙලාවට පොත කියවලත් වැඩක් නැහැ.

සමහර පොත් උඩින් පල්ලෙන් කියෙව්වම ඇති. ඒ වගේ පොත් වල තියෙන්නෙ මතුපිටින් දිවෙන සරල කතාවක්. මහන්සි වෙලා හිතලා තේරුම් අරන් විඳින්න දෙයක් ඒ කතාවේ නැහැ. ඒත් සමහර පොත් එහෙම නෙවෙයි. ගොඩක් හිතලා තේරුම් අරන් කියවලා විඳින්න ඕනේ පොත් ඒ වගේ. ඒ පොත් අර තලු මරලා රස විඳින්න ඕනේ ජාතියේ පොත්. ඒත් තවත් සමහර පොත්... ඒවා එක පාරක් කියවලා මදි. ආයෙ ආයේ කියවන්න ඕනේ. කියවන හැම වතාවකදිම කලින් පාර හමු නොවෙච්ච දෙයක් හම්බ වෙනවා ඒ පොතෙන්. අවුරුදු ගාණකට පස්සේ වුණත් ආයේ කියවද්දි මුලින් විඳි රසය කිසිම අඩුවක්  නැතුව දෙන්න පුළුවන් ඒ පොත් වලට. මේ වගේ පොත් වල නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ. ගොඩක් වෙලාවට අපි අකමැති වුණත් හරිම හිත් පිත් නැති විදියට අපේ ජීවිතේ වෙනස් කරන්නේ මේ වගේ පොත්.

මට ගොඩක් වෙලාවට චිත්‍රපටියක් එක දිගට බලන්න බැහැ.  එහෙම බලන්න නම් ඒ මගේ හිත ඉතාම තදින් ඇදගත්ත චිත්‍රපටියක් වෙන්න ඕනේ. හින්දි චිත්‍රපටි නම් කොහොමටත් බලන්න බැහැ ඉතාම විශේෂ නැත්තම්. එහෙම නැත්තම් මට කරන්න වෙන කිසිම වැඩක් නැති වෙන්න ඕනේ. ඒත් පොත් එහෙම නැහැ. කොච්චර බොළඳ සීනිබෝල පොතක් වුණත් මට එක දිගට කියවන්න පුළුවන්. ඒක කියවලා අමතක කරලා දාන එක වෙනම කතාවක්. ඒත් මට කියවන්න පුළුවන් එක දිගට.

සමහර පොත්, පොත් සාප්පුවෙන් හරි පුස්තකාලෙන් හරි ගෙනාවම ඉවසිල්ලක් නැහැ ඒ පොත් කියවන්න පටන් ගන්න. එදා දවසෙම කොහොමහරි ඒ පොත කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් එහෙම නැහැ. ඒ පොත කියවන්න අවශ්‍ය මූඩ් එකට ඇතුල් වෙන්න දවස් ගණන් බලන් ඉන්න වෙනවා. එහෙම නැත්තම් හරියටම ඒ පොත විඳින්න බැහැ. සමහර  පොත් එක හුස්මට කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් වල චරිත ඇතුලට කිමිදිලා ඒ චරිත එක්ක ජීවත් වෙලා ඒ පොතේ පිටු අතරෙ රඟපාන ගමන් පොත විඳින්න ඕනේ.

මගේ කියවීමේ කතාව ඇතුලේ චරිත ගොඩක් ඉන්නවා. මේ හැම චරිතෙම රඟපාන්නේ සිතූ. තාත්තා සිතූට ඇහෙන්න කළු කුරුල්ලා පොත කියවද්දි ඒකේ එන අනිත් ලස්සන කුරුල්ලෝ කළු කුරුල්ලට නපුරුකම් කරලා රිද්දන කොටසෙදි ඉකි ගගහ අඬන පුංචි සිතූ. අම්මා රෑට බත් උයනකල් “පුංචි” පත්තර මිටියක් තියාගෙන අම්මට ඇහෙන්න මිස්ටර් ෆොක්ස් කියවන පුංචි සිතූ. තාත්තා වැඩ ඉවර වෙලා එනකල් කොළඹ විශ්වවිද්‍යාලේ පුස්තකාලෙ ලොකුම ලොකු හාන්සි පුටුවක කකුල් දෙකත් උඩට අරගෙන “ නිදි මීයා සහ ඉගිලෙන මීයා” කියවන එක වසරේ සිතූ. ඒ කාලේ අපිට අල්ලන්න වත් නොදීපු පුස්තකාලෙ හතර, පහ වසරවල අක්කලාගෙ ලොකු පොත් රාක්කෙ පොත් හොරෙන් කියවපු තුන වසරෙ සිතූ. සිකුරාදට පුස්තකාලෙන් ගෙනියන පොත් සෙනසුරාදා වෙද්දි කියවලා ඉරිදා දවසෙම කම්මැලිකමේ ඉන්න සිතූ. පහ වසරෙදි සිංහල පාඩම උගන්නන වෙලාවේ සිංහල පොත ඇතුළට “හීන් සැරය” පොත දාගෙන කියවලා මිස්ගෙන් බැනුම් අහන සිතූ.

ඊටත් පස්සේ අම්මගේ මේස ලාච්චුවේ පොත්, ෆයිල් ගොඩක් අස්සෙ හංගපු “ උදා වූ යෞවනය” හොරෙන් කියවන සිතූ. හැමදාම කෝච්චියේ ගෙදර යන ගමන් ඔලුව උස්සන්නේ නැතුව පොතකට ඔලුව නවාගෙන ගිහින් ඔලුව කැක්කුම හදාගෙන අම්මගෙන් බැනුම් අහන සිතූ. රෑට හොල්මන් කතා පොත් කියවලා නිදාගන්න යද්දි ලයිට් එක නිවලා එන අතර මගදි හොල්මනක් අල්ලගනියි කියලා බයේ පන කඩාගෙන ඇඳට දුවලා වේගෙන් ඇඳට පනින සිතූ. දහය වසරෙදි මල් පොත් සිහිය නැතුව කියෙව්වත් ඒවා කියෙව්වා කියලා මේ මෑතක් වෙනකම්ම පිළිගන්න ලැජ්ජාවෙන් හිටපු සිතූ.

ඒ ලෙවල් විබාගෙට මාස දෙකක් තියලා කකුල කඩාගෙන ඇඳට වෙලා ඉන්න වුණාම ඒ පිටින් දාලා “ඈන්” පොත් සෙට් එකම විසි තිස් පාරක් කියවපු සිතූ. ඉස්කෝලේ යන දවස් වල ආස පොතක් යාළුවෙක්ගෙ ළඟ තියනවා කියලා දැකලා ඒ පොත් ඉල්ලුවාම යාලුවා දෙන්න බෑ කිව්වාම කවදහරි ලොකු රස්සාවක් කරලා ලොකු පඩියක් අරන් මුළු පඩියෙන්ම පොත් ගන්නවා කියලා හිතපු සිතූ. මේ අදටත් බුක් ෆෙයාර් එකේ සිකියුරිටි රස්සාවක් කරනවද කියලා යාළුවෝ අහන්න තරම් වතාවක් බුක් ෆෙයාර් එකට හැමදාම වගේ බඩගාන සිතූ.

කියවන්න පටන් ගත්ත මුල් කාලෙට වඩා දැන් ගොඩක් වෙනස්. කියවන පොත්, කියවන විදිය වගේම කියවන්න යන වෙලාවත්. ඒත් අදටත් වෙනස් නොවෙන එකම දේ තමයි පොත් වලට පණ තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන එක. පොත් වලට කතා කරන එක. පොතක් ලැබුණ ගමන් කියවන්න කලින් ඒ පොත් වලට කවර දාන එක. පොත් වලට රිදෙයි කියලා පොත මුනින් අතට නවන එකත්, පොතේ පිටු නවන එකත් කවදාවත් නොකරන එක. එහෙම කරන්න එපා කියලා මගෙ පොතක් ගෙනියන්න එන කෙනාට විසි තිස් පාරක් කියන එක. ඒත් ඒ මොනවා කිව්වත් කළත් යාළුවෝ මම කොච්චර ආස පොතක් නැති කළත් මොනවත්ම කියන්නේ නැතුව දුක හංගන් ඉන්න එක.


Saturday, August 30, 2014

ජීවිතේ..... විඳින්න....

ජීවිතේ විඳින්න තියනවනම් අපි හැමෝම කැමතියි. මොකද අපි හැමදෙයක්ම කරන්නේ සතුට හොයන්න නිසා. ඒත් ජීවිතේ විඳින්නේ අපි කීයෙන් කී දෙනාද? ජීවිතේ විඳින අය නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් අපිට හම්බ වුණාට ජීවිතේ විඳවන අය නම් ඕනේ තරම් ඉන්නවා.

නීති රීති, යුතුකම්, වගකීම් ඔය හැම දේකින්ම අපිව සමාජයට බැඳලා. අපිට අපිවම ලිහාගන්න බැරි විදියට. ඒ බැඳීම් වලින් මිදෙන්න උත්සහ කරන තරමටම අපිව ඒ දේවල් වල තව තවත් පැටළෙනවා. ඒ නිසා බැඳීම් වලින් මිදිලා අපිට ජීවිතේ විඳින්න බැහැ. ඒ බැඳීම් ඇතුලෙම ඉඳන් ජීවිතය විඳින්න අපිට සිද්ධ වෙනවා.

කවදාවත් හැම දේකම පරිපූර්ණත්වය හොයන කෙනෙක්ට ජීවිතේ විඳින්න බැහැ කියන්නේ ඇත්තද? අපිට හම්බ වෙන කිසිම දෙයක් පරිපූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා ඒක අපිට ජීවිතේ විඳින්න බාධාවක්ද? හැම දේම නීතියට කරන ( මෙතන නිතිය කියන්නේ රටේ නීතිය නෙවෙයි), ඒ නීතියෙන් පොඩ්ඩක්වත් ඔබ්බට යන්නේ නැති අයට නම් ජීවිතේ විඳින්න ගොඩක් අමාරුයි. දකින දේවල් වල මතුපිට පමණක් බලන, ඒ දේවල් බලන්නේ නැතුව ඔහේ පෙනෙනවට දකින අයට නම් ජීවිතේ විඳින එක සිහිනයක් පමණයි.

මෙහෙම ජීවිතේ විඳින එකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දකින්නේ හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒත් හරියට බැලුවොත් එතන ගොඩක් ලොකු දෙයක් තියනවා. තේරුම් ගන්න වගේම විඳින්න. මතුපිටින් විඳින විඳීම් හරිම තාවකාලිකයි. ඒ වගේම හරිම නොගැඹුරුයි. ඒවා හැමෝම විඳිනවා. ඒත් හැමෝම නොදකින පොඩි දේවල් වල ගොඩක් ගැඹුරු ඒත් සරල විඳීමක් තියනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ. ඒ වගේම ඒක කාටවත් තේරුම් කරන්නත් බැහැ. ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට තේරුම් කරන එක හරිම අමාරු වැඩක්. ඒක ලේසියෙන් තේරුම් ගන්නත් බැහැ.

අපේ යාළුවෝ කියන්නේ ගොඩක් වෙලාවට අපි කැමති දේටම කැමති, සමාන අදහස් තියන අය. ඒත් එහෙම නොවන අයත් අපේ යාළුවෝ වෙන අවස්ථා තියනවා. ඒ වගේ අවස්ථා වලදි අපි අනිත් අයගේ වෙනස් අදහස් වලට එකඟ විය යුතුයි යැයි නියමයක් නැහැ. ඒත් ඒ අදහස් ඉවසීම වැදගත්. එයාලා අපි වගේ ජීවිතේ විඳින්නේ නැති වෙන්න පුළුවන්. හැම දේකම අපි දකින වෙනස එයාලා නොදකින්න පුළුවන්. ඒත් ඒ අයගේ අදහස් වලිනුත් අපිට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ අදහසුත් අපිට වටිනවා.

ඒත් අපිට ඉන්න මිතුරු ලයිස්තුව ඇතුළේ අපේ අදහස් වලට ගොඩක් සමානකම් තියන යාළුවෝ ඉන්නවා. එයාලත් පොඩි දේවල් වල ගැඹුරු ඒත් සරල විඳීමක් දකිනවා. අපි දකින දෙයක් ගැන කිව්වම ආයේ අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරිම ගැඹුරු තේරුම් ගැනීමක්. ඒ වගේ යාළුවෝ ඉන්න එක හරිම වටිනවා.


ඉතින් මේ පෝස්ට් එක මගේ මිතුරන් අතරේ ඉන්න අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ඒ වගේ මිතුරන් වෙනුවෙන්…

Saturday, July 12, 2014

ආයෙත් දවසක......

වෙලාව හවස පහයි. වැඩ ඇරෙන වෙලාව. පාර පුරාම සෙනග. මේ වෙලාවට එළියට ඇවිත් මම කරගත්තෙ මෝඩකමක්ද මන්දා. ගන්න ආපු බඩු වලින් බාගයක්වත් ගන්න බැරි වුණා. මොනවා කරන්නද? තවත් දවසක් එන්න වෙනවා.

බස් එක නවත්තන තැන හොයාගන්න පාර පනින්න වෙනවා.  මෙහේ වෙනස් වෙලා තියන තරම්! මෙහේ පාරවල් ගෙදර වගේ දැනගෙන හිටපු කාලෙකුත් තිබ්බා. දැන්නම් කොච්චර වෙනස් වෙලාද? බස් එක නවත්තන තැන කාගෙන් හරි අහනවද? ඕනේ නෑ. පාර පැනලා පරණ හෝල්ට් එකටම ගිහින් බලනවා.

මම පාර පනින්න කහ ඉර ළඟට ආවා.

“ සිතූ, සිතූ” කවුද මගේ නම කියනවා ඇහුණා. මට නෙවෙයි වෙන්න ඇති. සිතූලා කොච්චර ඉන්නවද? ඒත් ආයේමත් “ සිතූ, සිතූ” කියනවා ඇහුණා. කවුද මේ? මේ බඩු ගොඩත් උස්සගෙන මට හැරෙන්නත් අමාරුයි. මම පිටිපස්ස හැරිලා බැලුවා. ඕ! මේ ඔයාමද? නැත්තම් ඔයා වගේ වෙන කවුරුහරිද? වෙන කවුරු හරි නම් මට නම කියලා කතා කරයි ද?

“මේ ඔයාද?” මම ඇහුවා.

“ඔව් නේ. මේ මම තමයි” ඔයා හිනා වෙවී කිව්වා.

“මෙහේ කොහේද?” ආයෙත් මගෙන් ප්‍රශ්නයක්.

“දැන් මම වැඩ කරන්නෙ මෙහෙනේ. ඔයා කොහෙද මේ බඩු ගොඩකුත් උස්සගෙන?”

“මම බඩු වගයක් ගන්න ආවා.” මම කිව්වා.

“ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හිටපු විදියමයි” ඔයා කිව්වා. ඒක ඇත්ත. මම වෙනස් වෙලා නැහැ. වෙනස් වුණේ ඔයා නේ. ඒත් ඕවයෙන් දැන් වැඩක් තියෙයිද? නැහැනේ.

“ඔයා නම් සෑහෙන්න වෙනස් වෙලා. මට අඳුරගන්නත් බැරි වුණා” මම ඇත්තම කිව්වා. ඔයාගේ මූණ වෙනස් වුණාද මන්දා. ඒත් ඔයා ඒ බවක් නොපෙන්නා ඉන්න උත්සහ කරන බවක් මට දැනුණා.

“ඔයාට පරක්කු වෙනවද? අපි මොනවහරි බීලා කතා කරමුද” ඔයා ඇහුවේ හරිම පරිස්සමෙන්.

“හා” මට යන්න ඕනේ වුණත් එහෙම කියවුනේ එයාගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති. මට කවදාවත් එයාගේ හිත රිද්දලා  පුරුද්දක් තිබුණේ නැහැ. හැමදාම හිත රිද්දන කොටස තිබ්බේ එයාගේ අතේ.

අපි කතා නැතුවම ඇවිදගෙන ආවා. ඒ නිහඬ බව ඔයාටත් දරාගන්න බැරුව වෙන්න ඇති ඔයාම ආයෙත් කතාව පටන් ගත්තේ.

“දැන් කොහෙද වැඩ කරන්නේ?” ප්‍රශ්නේ ඔයාගෙන්.

“නුවර එළියේ” මගෙන් කෙටි උත්තර.

“ෂා නියමයිනේ. ක්වාටර්ස් වලද ඉන්නේ” ආයෙමත් ප්‍රශ්නයක්.

“ඔව්” ආයෙමත් මගෙන් කෙටිම කෙටි උත්තරයක්.

“දැන් නිවාඩු ද?” ආයෙත් ඔයා අහනවා.

“ නෑ. මේ වීකෙන්ඩ් එකට ආපු ගමන්” මම ගහගන්න වගේද මන්දා උත්තර දෙන්නේ. ටිකක් හෙමීට කතා කරන්න ඕනේ.

අපි පාර බෙදෙන තැනකට ඇවිත්. පාර දෙපැත්තේ අවන්හල් දෙකක්.

“කොයි එකටද යන්නේ” ඔයා මගෙන් අහනවා. 

“ මුහුද පැත්තේ එකට” ඒ මගෙ උත්තරේ.

“තාමත් මුහුදට ආසයිද” ආයෙත් ඔයාගෙන් ප්‍රශ්නයක්.

“ හ්ම්ම්ම්” ඒ මගෙ උත්තරේ.

අපි දෙන්නා  අවන්හලට ඇතුල් වුණා.

“ අයිස් කොෆී බොමුද”

“ හා”

අපි වාඩි වුණා. ඔයා මගේ දිහා බලාගෙන. මම මුහුද දිහා බලාගෙන.

“අයියා බැන්දලු නේ? මටත් වෙඩින් එක කිව්වා. ඒත් රස්සාවට ගිය අලුතම නිසා නිවාඩු ගන්න ටිකක් අමාරුයි. ඒ නිසයි එන්න බැරි වුණේ” ඔයා කියාගෙන ගියා.

“ ඔව්. බැඳලා ඒ දෙන්නා රට ගියා” මම කිව්වා.

“ ඔයා බැන්ඳේ නැද්ද” ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් මාව ගැස්සුණා.

“නැහැ. මුහුද ළඟ ගෙයක් තියන එක්කෙනෙක් හම්බ වුණේ නැහැ නේ” මම කිව්වා නෙවෙයි කියවුණා. ඊට පස්සේ අපි දෙන්නටම හිනා.

ඒ උත්තරෙන් පස්සේ අපි දෙන්නා අතරේ තිබ්බ ආගන්තුක බව ටිකක් හරි අඩු වුණාද මන්දා. ඊට පස්සේ ගෙදර විස්තර, රස්සාවේ විස්තර, තවත් රටේ නැති වල්පල් කියව කියව ටික වෙලාවක් හිටියා. දන්නෙම නැතුව කලුවරත් වැටුණා.

“ මම දැන් යන්න ඕනේ” ඔරලෝසුව දිහා බලපු මට කියවුණා.

“ කළුවරත් වැටිලා. ඔයාට ගිය හැකිද” ඔයා ඇහුවා.

“ඔව්, මට පුළුවන්” මම කිව්වා.

“ යමු. මම ඔයාව බස් එකට දාන්නම්.” ඔයා අසුනෙන් නැගිට්ටා.

ආයෙත් බස් හෝල්ට් එකට එනකම් අපි අතරෙ කතාවක් වුණේ නැහැ. බස් හෝල්ට් එකටම ආවට පස්සෙයි ඔයාගේ කටහඬ අවදි වුණේ.

“ ඉතින් කියන්න, අපි ආයෙත් හම්බ වෙයිද?” ඔයා ඇහුවා. මට කියාගන්න දෙයක් නැති වුණා. මට ඕනේ වුණේ ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න.

“ මම දන්නේ නැහැ. බලමු ඉතින්” මම කිව්වා. “ මම ගිහින් එන්නම්” ආයෙත් ඔයා මොනවත් කියන්න කලින් මම කිව්වා.

“පරිස්සමෙන් යන්න” බස් එක ඇද්දුවා. බස් එක නොපෙනී යනකම් බලන් ඉන්න ඔයාව මම යන්තමට දැක්කා.


මතු යම් දවසක 
ආයෙත් හමුවෙමු 

කියූ කතා බස් 
මතකෙට නංවමු 

ආගන්තුක ලෙස 
යන්තම් හිනැහෙමු 

නැවතත් හමු නොවෙනා 
ලෙස වෙන්වෙමු


ප.ලි.- මේ මම මූණුපොතේ දාපු කවියකට ලියපු කතාවක්. නිර්මාණයක් පමණයි... 

Tuesday, June 24, 2014

හුදෙකලා රස්තියාදුව


අරමුණක් නැතුව කොහේ හරි ගියොත් හැමෝම මට පිස්සු කියලා හිතයි ද? ඒත් අරමුණු, බැඳීම්, වගකීම් මේ හැමදේකින්ම හිර වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ. ඒ වගේ වෙලාවට හුදෙකලා රස්තියාදුවක් තරම් තවත් දෙයක් නැහැ.

හුදෙකලා රස්තියාදුවක් හැම වෙලාවෙම තනියම යන්න ඕනේ නැහැ. හුදෙකලාව රසවිඳින්න පුළුවන් තවත් කෙනෙක් මේකට හොඳටම ගැළපෙනවා. ඒත් නීති රීති, මේ වෙලාවට මෙතන්ට යන්න ඕනේ වගෙ වගකීම් වලින් බැඳුනේ නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් එක්ක මෙහෙම රස්තියාදුවක් යන එක් හරිම රසවත්. ඒත් එහෙම කෙනෙක් නැත්තම් ගමන විනාස කරගන්නවට වඩා තනියම යන එක වටිනවා.

බස් එකේ යන ගමන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මනෝ ගහන එක. ඔය වගේ වෙලාවක කන් අඩි පුපුරන බස් සින්දුවක් නිසා මනෝ රාජ්‍යය සුනු විසුණු වෙලා යන එක නම් හරිම අවාසනාවක්. බස් එකේ ඉන්න මිනිස්සු, ට්‍රැෆික් එකේ නවත්තලා තියනකොට පාරේ යන මිනිස්සු ගැන එක එක කතා ගොතන එක මම කැමතිම වැඩක්. එයාලා මොනවා හිතනවා ඇත්ද? එයාලගේ ජීවිතේ මොන වගේ වෙන්න ඇත්ද? ඔන්න ඔය වගේ දේවල් හිතන එක හරිම රසවත් වැඩක්.

මට මෙහෙම මනෝ ගහන්න සෙට් වෙන්නෙ කැම්පස් එකට යන එන ගමන් තමයි. ඔය වෙලාවට කතා කරන්න කැමති කෙනෙක් හරි කතා කරන්න කැමති මාතෘකාවක් හරි තිබ්බෙ නැත්තම් කතා කරනවා කියන්නේ මම අකමැතිම වැඩක්. අහන්න හොඳ සින්දුවක් තිබ්බේ නැත්තම් ඔහේ කල්පනා කර කර යනවා. පහු කරගෙන යන ගොඩක් තැන් ගැන කියන්න මට කතාවක් තියෙනවා. ඒ කතා සමහර වෙලාවට එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එහෙම ගළපගන්න ඕනෙකමකුත් නැහැ. ඒත් ඒ හැම කතාවක්ම මට වටිනවා.

ඔය වගේ වෙලාවට තමයි මම හිතන්නෙ නැතුව කියපු දේවල් නිසා වෙන කෙනෙක්ගේ හිතක් රිදුනා නම් ඒ ගැන හිතන්නෙත්. හිතාමතා කරන සිත් රිදවීම් මේකට අදාළ නැහැ. ඒ වෙනුවට ඊට වඩා වෙනස් විදියට ඒක කියන්න තිබුණා නම් කියලා හිතන්නේ ඒ වගේ වෙලාවට තමයි. ඒත් ඉතින් ඒ වෙද්දි හිත් රිදිලා ඉවරයි.

මට නම් ඉතින් හුදෙකලා රස්තියාදුවක් යන්න අවස්ථාවක් ලැබෙන්නේ පුස්තකාලෙට යන එන ගමන් විතරයි. ඔය වෙලාවට යන එන පාරෙ තියෙන පොත් සාප්පු ඔක්කොම කවර් කරන්න මට ඕනේ. සමහර වෙලාවට එකම කඩේ පැය ගානක්. එකම කඩේට දෙපාරක් යන වෙලාවලුත් තියෙනවා. ඔය වගේ ගමන් තව කවුරුහරි එක්ක ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මට පිස්සු කියලා හිතනවා.

කතන්දර පොත් විතරක් නෙවෙයි, ලිපිද්‍රව්ය තියන කොටසටත් මට යන්න ඕනේ. මුළු පොත් කඩේම අවුස්සලා හරි මට ඕනේ ජාතියේ කඩදාසි වර්ගේ, පෑන් ජාතිය, සටහන් පොත් වගේ දේවල් මට හොයාගන්න ඕනේ. ඔය වගේ වෙලාවක වෙන කවුරුහරි එක්ක ගියොත් ඉතින් එයාලට එපා වෙලා “ ඔන්න ඔහෙ තියන එකක් අරන් එමු සිතූ” කියලා කියනවා. එතකොට ඉතින් එයාලා පව් නිසා තියන එකක් අරන් ආවත් මගේ හිතට හරි මදි ඉතින්.

ඔය වගේ ගමන් වලදි කැමති තැනකින් කන්න, බඩගින්න ගැන හිතන්නේ නැතුව අතට අහුවෙන ඕනේ දෙයක් කන්න, කකුල් රිදෙන එක ගැන හිතන්නේ නැතුව ඕනේ දේ හම්බ වෙනකල් ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය එක එක අරුමෝසම් බඩු ගන්න ගියාමත් හරියන ඩිසයින් එක හම්බ වෙනකල් ඇවිදිනවා ඉතින් අපි. වැඩිය සල්ලි වියදම් කරන්න බැරි නිසා අතේ තියන ගානට ගැළපෙන හොඳ එකක් හොයන්න අපි කොච්චර නම් ඇවිදිනවද? ආවාට පස්සේ කොච්චර මහන්සි වුණත් ඇවිදිනකොට නම් හරිම විනෝදයි.


ඔය හැමදේකටම ගැලපෙන යාළුවෙක් මටත් ඉන්නවා. ඕනෙම රස්තියාදුවක් ගහන්න පුළුවන්, ඒ වගේම ඒකෙන් විනෝදයක් ලබන යාළුවෙක්. ඉතින් මේ පෝස්ට් එක එයා වෙනුවෙන්. 

Saturday, May 17, 2014

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ... And They Lived Happily Ever After...

ඉස්සර හැමදාම අපි කියවපු සුරංගනා කතා ඉවර වුණේ මේ විදියට. “ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.” ඒ කාලේ නම් මම හිතාගෙන හිටියේ කුමාරයයි කුමාරියි කසාද බැන්දාම එයාලා අනිවාර්යයෙන්ම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තේ ගොඩක් පහු වෙලා.

 සතුට කියන්නේ මොකද්ද? ඒ අද හැමෝම හොයන දේ. ඇයි ඒ හැමෝම සතුට හොයන්නේ? සතුට නැති වෙලා ද? නැහැ. සතුට නැති වෙලා නෙවෙයි..සතුට අපි අතරෙම තියෙනවා. ඒත් හොයාගන්න බැහැ.
සල්ලි වලට සතුට මිලට ගන්න පුළුවන් ද? බැහැ. ඒත් සල්ලි තියන අය නැති අයට වඩා සතුටින් ඉන්නවද? ඒක කියන්න අමාරුයි. මොකද සල්ලි තියන කෙනෙක්ටයි නැති කෙනෙක්ටයි තියන ප්‍රශ්න ගොඩක් වෙනස් නිසා. සල්ලි නැති කෙනා හිතන්නේ සල්ලි නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න කියලා. ඒත් සල්ලි තියන කෙනා දන්නවා සල්ලි වලින් හැම ප්‍රශ්නෙම විසඳන්න බැහැ කියලා.

සමහර මිනිස්සු ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා. හිතින් දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා වුණාට ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නවා. ඒ ඇත්තටම සතුටින් නිසා නෙවෙයි. එකම ප්‍රශ්නෙට හැමදාම විඳවලා තේරුමක් නැති නිසා. විඳවලාම වෙහෙසට පත් වෙලා නිසා. කෙනෙක් පිටතට පේන්න සතුටින් හිටියට එයා ඉන්නේ සතුටින් නෙවෙයි වෙන්න පුළුවන්.

අපි අනිත් අයගේ සතුටට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේ සතුටින් මටත් ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒත් අපි සතුටු වෙන දේවල් එකිනෙකාගෙන් වෙනස්. මොනවා වුණත් පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම හරිම අමාරුයි. එතකොට හරිම වෙහෙසකරයි. මොකද අපි බලාපොරොත්තු වෙන දේවල් හැම වෙලේම අපිට නොලැබෙන නිසා. පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වුණාම වැඩි බලාපොරොත්තු නැහැ. හිතටත් හොඳයි.