Sunday, February 16, 2014

අඹ කතා

අඹ වාරයක් ආයෙත් ළඟ ළඟම එනවා..දැන්නම් ගහකින් කඩාගෙන අඹ කාපු කාලයක් මතක නැහැ. අඹ සල්ලි වලට ගෙනත් කනකොට කිසිම “අඹ ගතියක්” නැති වුණාට මොනවා වුණත් මේ අඹ නේද කියලා හිත හදාගෙන කනවා.

පොඩි කාලේ ගමේ ගියාම ආයේ අඹ කිව්වොත් බත් ඕනෙත් නැහැ. අඹ ගස් වලට පොලු ගහලා අමු අඹ වල ඉඳන් පැණි බේරෙන අඹ දක්වා ඕනේම අඹයක් අපිට ඔට්ටුයි. හැමදාම ගමේ ඉඳන් ගෙදර එන්නේ අමු අඹ කාලා අඹ කිරි වලට කට දෙපැත්ත තුවාල කරගෙන. ඇළේ නානකොට සමහර වෙලාවට හොඳට ඉදුණු අඹයක් පාවෙලා එනවා..එක අයිති කරගන්න ඉතින් කට්ටියගේ හෙන පොරේ. කොහොමහරි දිනන එක්කෙනා ඒ අඹේ තනියම කන්නේ නැහැනේ. ඒක නිසා හැමෝටම වාසියි.

අමු අඹ ගෙනත් හීනියට ලියලා මිරිස්, ලුණු, ගම්මිරිස්, කොච්චි දාලා ගලේ අඹරලා කනකොට ආයේ මොනවත් ඕනේ නැහැ. ගමේ ඉන්නකොට නම් තුන් වේලටම අඹ. හැබැයි කොච්චර කෑවත් එපා වෙන්නේ නැති එක තමයි වැඩේ. ලාවට පැහුණු අඹ නම් නිකන්ම ලුණු ටිකක් ඉහගෙන කන්නත් මරු. ඉදිච්ච අඹ නම් ආයේ වෙන මොනවත් ඕනේ නැහැ.

කර්තකොලොම්බන් නම් කතා දෙකක් නැහැ ඕනේම විදියකට කන්න පුළුවන්. ඒත් ඉදවලා කනකොට තමයි වැඩිපුර රහ. මී අඹ, රට අඹ, පෙට්ටි අඹ, භූමිතෙල් අඹ. කොහු අඹ, ඇටඹ ඔන්න ඔය වගේ අඹ ජාති ගොඩයි.  මේ අඹ ජාති වල රහ  එකිනෙකට වෙනස් වගේම හැදෙන පළාත් එහෙමත් එකිනෙකට වෙනස්.

ලේන්නු තමයි අපේ ප්‍රධාන සතුරෝ. උන් මොන වෙලාවක වත් අඹේ සම්පූrණයෙන්ම කන්නේ නැහැනේ. පොඩ්ඩක් කාලා දාලා යනවා. එක්කෝ කනවනම් ඔක්කොම කන්න ඕනේ. අඹ හොයන්න ගියාම ලේන කොටන් හම්බ වෙන එකට අපි හරි තරහයි.

අඹ පණුවොත් ඉන්නවනේ. ගොඩක් වෙලාවට අඹ කැපුවාම තමයි පණුවෝ පේන්න ගන්නේ. එතකොට ඉතින් අපරාදේ කිය කිය බැන බැන විසික් කරන්න් තමයි වෙන්නේ. ඉඳලා හිටලා නම් කාලත් තියනවා. හැබැයි බඩේ අමාරුවක් නම් හැදුනේ නැහැ.

ගමේදි නම් අඹ වාරෙට වැඩිපුර අඹ කඩලා වේලලා ලුණු දාලා අරන් තියනවා පස්සේ අඹ අවාරෙට ගන්න. කරවල හෙම උයනකොට එයින් කෑල්ලක් දැම්මත් ඇති. කොස් උයපු දාට නම් අඹ ඕනෙමයි. කොස් කෑවාම අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියලා කතාවක් අපේ ගමේ තියනවා. ඒ නම් ආහාර ජීර්ණය පහසු කරන්න වෙන්න ඇති.

දැන් නම් ගොඩක් අඹ ජාති හොයාගන්නත් නැහැ. කඩෙන් ගන්නකොටත් හොඳ අඹ හොයාගන්න හරිම අමාරුයි. කාබයිට් ගහලා ඉදවපුවා නැත්තම් තැම්බිච්ච අඹ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.


ළමා කාලේ ආයෙත් එනවානම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ වගකීම් වලින් හෙම්බත්වෙලා ඉන්නකොට. ආයේ ඒ වගේ කිසිම වගකීමක් නැති සුන්දර කාලයක් ආයේ කවදා ඒවිද? 

Sunday, February 9, 2014

ආදරණීය අත්තා


හැමදාම වචනයක් හරි ලියනවා කියලා හිතන් හිටියට කොයිම වෙලාවක වත් ලියන්න පටන් ගත්තට ඉවර කරන්න බැහැ. ඒ මතක ඔක්කොම ආපහු සොරොව්ව ඇරියා වගේ හිතට කඩන් වදිනවා. ආයේ කවදාවත් අපි එනකන් මහ ගෙදර හාන්සි පුටුවේ වාඩිවෙලා බලන් ඉන්නේ නෑ කියලා දැනෙද්දි ඇත්තමයි හිතාගන්නවත් බැහැ.

අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසාම මාව පොඩි කාලේ බලාගත්තේ කිරිඅම්මයි අත්තයි. පුංචි කාලේ ඉඳන්ම ඒ දෙන්නා මාරුවෙන් මාරුවට අපේ ගෙදර නතර වෙලා මාව බලාගත්තා මට ඇවිදින්න පුළුවන් වෙනකම්. ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මගේ හැම නිවාඩුවක්ම ගෙවුණේ ගමේ තමයි. මම එනවා කිව්වාම ගම පුරාම ඇවිදලා මම කන්න ආස ජාති හොයලා ගෙනත් තියලා මම එනකම් බලන් හිටපු හැටි කොහොම අමතක කරන්නද?

මාත් එක්ක කුඹුරු වැඩ කරන හැටි බලන්නයි, කැලෑවේ ඇවිදලා සුදු හඳුන්, රත් හඳුන්, ඉර රාජ, සඳ රාජ, වන රාජ පැල අඳුර ගන්න හැටි කියලා දෙනවා. ඒත් මම පුංචි කාලේ ඉඳන්ම  ඒ දුර්ලභ පැළ වල වටිනාකම කියලා දුන්නා. ගමේ ඉන්නකොට මට ගෙදර මතක් වෙන්නේ ඉඳලා හිටලා. ඒත් මට ගෙදර මතක් වුණාම අඬනවා. එතකොට මාව නලවන්න අත්තට ඇවිදින්න අමාරු කාලෙදිත් කන්ද නැගලා දොළුකන්දේ වැව බලන්න එක්ක ගියා මතකයි. දවල්ට වැව බලන්න එක්ක ගියාම මම ආපහු එන්න දෙන්නෙ  නැහැ. වැවෙන් නාල, නෙළුම් කොලේ බත් කාලා හවස් වෙනකම් වතුරේ බැහැලා ඉඳලා හවසට මාළු බානවත් බලන් ඉඳලයි ආපහු ගෙදර එන්නේ. එදාට අත්තට වෙන මොනවත් වැඩක් කරගන්න නැහැ. ඒත් කවදාවත් මාව එක්ක යන්න බැහැයි කියලත් නැහැ.

දරුවෝ හත් දෙනෙකුත් එක්ක පවුලකට කන්න අඳින්න දෙන්න අත්තා මොන තරම් මහන්සි වුණාද? ඇත්තටම කුඹුරු වැඩ වලින් එහෙම පවුලක් නඩත්තු කරනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. වැස්ස නැති වෙලා කුඹුරු මැරුනාම දරුවන්ට කන්න බොන්න දෙන්න නැතුව මොන තරම් හිතේ ගින්දරින් ද ඉන්න ඇත්තේ. ඒ මොන අමාරුකම් තිබ්බත් අත්තා දරුවෝ හත් දෙනාටම හොඳට ඉගැන්නුවා.

අපේ අම්මා තමයි කිව්වේ මේ කතාව..

සාමාන්‍ය පෙළ කලාට පස්සේ අම්මා ගියේ සෙන්ට්‍රල් එකට. ඉඩකඩ මදි නිසා සෙන්ට්‍රල් එකේ උසස් පෙළ පන්ති පැවැත්වුණේ උදේ වරුවේ සහ හවස් වරුවේ වශයෙන් සැසි දෙකකට. හවස් වරුවේ පන්ති තිබ්බාම අම්මට ගෙදර එන්න අන්තිම බස් එකත් මඟහැරෙනවා. ඉතින් පයින්ම හංදියට එනකොට අත්තා ලන්තෑරුමත් තියන් බලන් ඉන්නවලු. ඊට පස්සේ පයින්ම ආපහු ගෙදර එනවලු. හැමදාම් හැතැප්ම ගාණක් පයින් ඇවිද්දත් “අනේ දුවේ මට මහන්සියි. හෙට ඉස්කෝලෙ නොගිහින් ඉඳපන්..” කියලා කවදාවත්ම කියල නැහැලු”.

ඔහොම දවසක් අත්තා හංදියට වෙලා අම්මා එනකන් බලන් ඉන්නකොට ගමේ කෙනෙක් කිව්වලු “දැන් ඔය කෙල්ල ඉස්කෝලේ ගියා මදැයි. මොකද ඉස්කෝලේ ගියා කියලා කච්චේරියෙ ලියන්න යවන්නද? ඔන්න ඔය කෙල්ල වෙල්වල වැඩට පුරුදු කරපන් කියලා” ඒත් අත්තා මොනවත්ම කිව්වේ නැහැලු. පස්සෙ හෙමීට ගෙදර ඇවිත් කිරිඅම්මට කියලා. එතකොට තමයි අම්මටත් ඇහිලා තියෙන්නේ. “රටේ එවුන්ටනේ අමාරුව. හරියට උන් කන්න අඳින්න දෙනවා වගේ” කිරි අම්මා කියලා. හරියටම අවුරුදු විසි එකේදි අපේ අම්මට මුල්ම පත්වීම ලැබුණෙත් කච්චේරියට..

අත්තා කවදාවත් කිසිම කෙනෙක්ට බනිනවා මම අහලාවත් දැකලාවත් නැහැ. හැමෝම එක්ක හරිම සුහදව කටයුතු කරන්නේ. මාව බලාගන්න අපේ ගෙදර නැවතිලා හිටපු පොඩි කාලෙටත් අපේ ගෙවල් පැත්තේ හැමෝම එක්ක ගොඩක් හිතවත් වුණේ. ගෙදරට කෙනෙක් ආවොත් කෑම ටිකක් නොදී යවනේ නැහැ. ඉස්සර අපේ අම්මා හැමදාම බනිනවා අලුත්ම සරම් කමිස හැම එකක්ම ගෙදරට එන එන කෙනාට දීලා දානවා කියලා. ඒත් අත්තා මුකුත්ම කියන්නේ නැහැ. හිනා වෙනවා විතරයි.

හැත්තෑ වසරකටත් වැඩි විවාහ ජීවිතේදි කිරිඅම්මයි කිරි අත්තයි කිසිම දවසක රණ්ඩු වෙලා දවස් ගනන් හිටියේ නැතිලු. තරහා ගියත් ඉක්මනින්ම තරහා නැති වෙනවලු. මට මතක ඇති කාලෙක නම් ඒ දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැහැ.

අත්තා වෙනුවෙන් ගොඩක් දේවල් මට කරන්න බැරි වුණා. අඩුම ගානේ මම හම්බ කරපු දේකින් මොනවා හරි අර දෙන්න වත් අසනීප වෙලා හිටපු කෙටි කාලෙදි නැවතිලා සාත්තු කරන්නවත් මට බැරි වුණා..ඒ ගැන නම් හැමදාම හිතේ තියෙන්නේ පසු තැවීමක්.


මම ප්‍රාර්ථනා කරන්නෙ අත්තාට සසර වසන තුරු කිසිදු ලෙඩ දුක් කරදරයක් නොවී සසර කෙළවර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න ලැබේවා කියලයි.... 

Saturday, February 8, 2014

අච්චාරු පෝස්ට් එකක්....

මේ දවස් ටික හරිම කාර්යබහුලයි. නෑ.. ඒක නෙවෙයි හරි වචනේ.. හරිම යාන්ත්‍රිකයි. තවම අලුතෙන් පටන් ගත්ත අධ්‍යයන වර්ෂයට අනුගත වෙලා නැහැ අපි. ඒ නිසා ඔහේ කරන්නන් වාලේ හැම දෙයක්ම කරනවා..

උදේට ගල් ගැහෙන සීතලේ ෆැකල්ටියට එනවා.. ගෘප් එකේ කවුරුහරි අල්ලගෙන එයාගෙ පස්සෙන් එදාට තියන ඩිපාර්ට්මන්ට් එකට යනවා. හීනෙන් වගේ කියන දෙයක් අහන් ඉන්නවා. ආයේ සෙනග අස්සේ තෙරපිලා දවල්ට කනවා. ආයේ හවස ගෘප් එකේ කවුරුහරි පස්සෙන් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් ආයේ කියන දෙයක් අහන් ඉඳලා හෙම්බත් වෙලා හවසට එනවා. හොස්ටල් ආපු වෙලාවේ ඉඳන් ප්‍රශ්න වලට උත්තර හොයනවා. ඒත් ඒ ප්‍රශ්න කවදාවත් උත්තර ලැබෙන ඒවා නෙවෙයි. හැමදාම ඉවර කරන්නේ පටන් ගත්ත තැනින්මයි. ඔන්න ඔහොමයි මේ දවස් ගෙවෙන්නේ.

අපි ආස දේවල් කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ආස දෙයක් කරන්න නොලැබුණ කියලා ලැබුණ දේ නොකර ඉන්නත් බැහැනේ. ඒත් සතුටක් ලබන්න නම් ගොඩක් ලොකු දේවල් ඕනේ නැහැ. පුංචිම පුංචි දෙයක් හොඳටම ඇති. 

මගේ ජීවිතේ මම  ආසම දේ තමයි ලිපි ද්‍රව්ය  එකතු කරන එක. පෑන් පැන්සල්, මකන් කෑලි, නෝට්බුක්, ෆයිල් කවර.... ඔන්න ඔය වගේ නානාප්‍රකාර දේවල් එකතු කරන එක මගේ විනෝදාංශය. ඕවා එක පාරට ගන්න සල්ලි නැති නිසා අහුවෙන අහුවෙන පාර එක එක වගේ තමයි ගන්නේ.. මගේ ඔය ආසාව මගේ යාළුවන්ට නම් කරදරයක් වෙන වෙලාවල් නැතුව නෙවෙයි. ඔන්න අපි කට්ටිය රස්තියාදු ගගහ ඉන්න ගමන් පොත් කඩේකටත් ගොඩ වෙනවා. පොත් කඩේට ගොඩ වෙච්ච් ගමන් මම අතුරුදහන් වෙනවා. යාළුවො දන්නවා මම කොහාටද අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා මම ගැන කරදර වෙන්නේ නැතුව එයාලට ඕනේ බඩු ටික තෝරගෙන අන්තිමට ලිපි ද්‍රව්ය තියන පැත්තට එනවා. එයාලා එයාලාට ඕනේ හැම දෙයක්ම තෝරගෙන එනකම් මම ඔය අනම් මනම් තියන රාක්ක දිහා කන්න වගේ බලන් ඉන්නවා.

“ තාම මොනවත් ගත්තේ නැද්ද? දැන් යන්නත් පරක්කු වෙනවා” සුපුරුදු ගෝරනාඩුව යාළුවන්ගෙන්..
” අනේ මේ ෆයිල් 3න් එකක් තෝරලා දෙන්නකෝ” මම කියනවා.
” ඉතින් ඔයා මොකටද ආස? ආස එක ගන්නකෝ” ඒ යාළුවා.
“3ටම ආසයි. ඒත් තුනම ගන්න බැහැනේ” මගේ ඇඬියාව.

ඔන්න එතකොට එයාලට තරහා යනවා.

“මොකද්ද අනේ, ෆයිල් කඩයක් දාන්නද යන්නේ? ගන්න එකක් ඉක්මනට අරන් එනවකෝ. පරක්කු වෙනවා” මම ආයෙත් තෝරන්න පටන් ගන්නවා.

බලන් ඉඳල ඉඳල බැරිම තැන එයාලාගේ සීමාව පනිනවා. “ මේසේ උඩ ඉඩ තියනවද ඕවා ගත්තට තියන්න? ඇත්තමයි තව එක ෆයිල් එකක් හරි ගත්තොත් දානවා කාමරෙන් එළියට” ඔන්න අවසාන තර්ජනේ. මම ඉතින් බොහෝම අකමැත්තෙන් එකක් විතරක් අරන් එනවා. ඔහොම කිව්වට එයාලට අලුතෙන් මොකක් හරි ගැජමැටික් එකක් හම්බුන ගමන් මට ගෙනත් දෙනවා. මම ඕවාට ආස බව දන්න නිසාම..

ඕවාට තියන ආසාව නිසාම ඉස්සර මගේ හීන වලින් එකක් වෙලා තිබ්බේ කවදහරි පොත් කඩයක් දානවා කියන එක. ඒ හීන ලැයිස්තුවේ නම් ගොඩක් හීන තිබ්බා. බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක, පොත් කඩයක් දාන එක. පුස්තකාලෙක වැඩ කරන එක, කෑම කඩයක් දාන එක, මුහුද අයිනේ ගෙයක් හදන එක... ඔය වගේ හීන ගොඩක්. ඕකෙන් ගොඩක්ම සැලසුම් තිබ්බේ කෑම කඩයක් දාන එක. කොච්චර ඒ ගැන හීන දැක්කද කියනවා නම් කෙමිස්ට්‍රි ක්ලාස් එක් ළඟ ඉඩමකුත් ඒකට හොඳයි කියලා හිතලයි තිබුණේ. මම ඒ කෑම කඩේට මෙනූ හිටන් හැදුවා. ඒත් ඒවා බලලා නංගි නම් කිව්වේ ඕක වැඩිකල් තියන එකක් නෑ කියලයි. මේ ඔක්කොම කලේ ඉස්කෝලේ යන කාලේ..

තවත් හීනයක් වුණේ මුහුද අයිනේ ගෙයක් හදන එක. මේ ගෙදරත් එසේ මෙසේ ගෙයක් නෙවෙයි. ගෙදරට මුහුදේ සද්දේ ඇහෙන්න ඕනේ.. කාමර වලට මුහුද පේන්න ඕනේ.. වැඩිය සෙනග නැති පැත්තක වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තිබුණා. ඒත් දැන්නම් කිසිම හීනයක් නැති යාන්ත්‍රික ජීවිතේකට පුරුදු වෙලාද මන්දා.

දැන් බරපතල හීන නැති නිසා තියෙන්නේ කවදහරි කරන්න ඕනේ කියලා හිතන් ඉන්න ලිස්ට් එකක්.

*මහජන පුස්තකාලේ තියන පොත් ඔක්කොම කියවලා ඉවර කරන්න ඕනේ.

*උදේ ඉඳන් රෑ වෙනකම් දවසක නවත්තන්නේ නැතුව ෆිල්ම් බලන්න ඕනේ.

*ආයෙත් දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේ උඩ තට්ටුවට ගිහින් මුහුද දිහා බලන් ඉන්න ඕනේ.. (මෙතනට හරිම ලස්සනට මුහුද පේනවා. බම්බලපිටියද කියලා හිතාගන්න බැරි තරම් ලස්සනට)

*කැටපත් පවුරට කවියක් ලියන්න ඕනේ.

*ගමේ යාළුවෝ සෙට් එකත් එක්ක ගම පුරා රවුමක් ගහන්න ඕනේ.

*බයෝ ක්ලාස් එකට ගිහින් ගම්මිරිස් දාපු සෝස් එක්ක උණු උණු රෝල්ස් කන්න ඕනේ. ( ඒ දවස් වල අපේ දිව්ය භෝජනේ. දැන් නම් තියනවද දන්නෙත් නැහැ.)

තවත් මම ආසම දෙයක් තමයි හුදෙකලා රස්තියාදුව.... ඒ ගැන නම් වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ.. 

මේ ලිස්ට් එක නම් තව ගොඩක් දිගයි. සමහර ඒවා නම් කවදාවත් කරන්න ලැබෙන එකකුත් නැහැ. ඒත් ඒවා හීනයක් විදියට හරි මගේ හිතේ හැමදාටම තියෙයි...


ජීවිතේ අපි හිතනවට වඩා අවස්ථාවන් ගොඩක් දැන් අපිට මඟහැරිලා. ඒ නිසා ඉඩක් හම්බ වෙන හැම වෙලාවකම සතුටක් ලැබෙන පුංචි දෙයක් හරි කරන්න.. නැත්තම් කවදහරි ඒ ගැන පසුතැවෙන්න සිදු වේවි!