Saturday, February 8, 2014

අච්චාරු පෝස්ට් එකක්....

මේ දවස් ටික හරිම කාර්යබහුලයි. නෑ.. ඒක නෙවෙයි හරි වචනේ.. හරිම යාන්ත්‍රිකයි. තවම අලුතෙන් පටන් ගත්ත අධ්‍යයන වර්ෂයට අනුගත වෙලා නැහැ අපි. ඒ නිසා ඔහේ කරන්නන් වාලේ හැම දෙයක්ම කරනවා..

උදේට ගල් ගැහෙන සීතලේ ෆැකල්ටියට එනවා.. ගෘප් එකේ කවුරුහරි අල්ලගෙන එයාගෙ පස්සෙන් එදාට තියන ඩිපාර්ට්මන්ට් එකට යනවා. හීනෙන් වගේ කියන දෙයක් අහන් ඉන්නවා. ආයේ සෙනග අස්සේ තෙරපිලා දවල්ට කනවා. ආයේ හවස ගෘප් එකේ කවුරුහරි පස්සෙන් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් ආයේ කියන දෙයක් අහන් ඉඳලා හෙම්බත් වෙලා හවසට එනවා. හොස්ටල් ආපු වෙලාවේ ඉඳන් ප්‍රශ්න වලට උත්තර හොයනවා. ඒත් ඒ ප්‍රශ්න කවදාවත් උත්තර ලැබෙන ඒවා නෙවෙයි. හැමදාම ඉවර කරන්නේ පටන් ගත්ත තැනින්මයි. ඔන්න ඔහොමයි මේ දවස් ගෙවෙන්නේ.

අපි ආස දේවල් කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ආස දෙයක් කරන්න නොලැබුණ කියලා ලැබුණ දේ නොකර ඉන්නත් බැහැනේ. ඒත් සතුටක් ලබන්න නම් ගොඩක් ලොකු දේවල් ඕනේ නැහැ. පුංචිම පුංචි දෙයක් හොඳටම ඇති. 

මගේ ජීවිතේ මම  ආසම දේ තමයි ලිපි ද්‍රව්ය  එකතු කරන එක. පෑන් පැන්සල්, මකන් කෑලි, නෝට්බුක්, ෆයිල් කවර.... ඔන්න ඔය වගේ නානාප්‍රකාර දේවල් එකතු කරන එක මගේ විනෝදාංශය. ඕවා එක පාරට ගන්න සල්ලි නැති නිසා අහුවෙන අහුවෙන පාර එක එක වගේ තමයි ගන්නේ.. මගේ ඔය ආසාව මගේ යාළුවන්ට නම් කරදරයක් වෙන වෙලාවල් නැතුව නෙවෙයි. ඔන්න අපි කට්ටිය රස්තියාදු ගගහ ඉන්න ගමන් පොත් කඩේකටත් ගොඩ වෙනවා. පොත් කඩේට ගොඩ වෙච්ච් ගමන් මම අතුරුදහන් වෙනවා. යාළුවො දන්නවා මම කොහාටද අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා මම ගැන කරදර වෙන්නේ නැතුව එයාලට ඕනේ බඩු ටික තෝරගෙන අන්තිමට ලිපි ද්‍රව්ය තියන පැත්තට එනවා. එයාලා එයාලාට ඕනේ හැම දෙයක්ම තෝරගෙන එනකම් මම ඔය අනම් මනම් තියන රාක්ක දිහා කන්න වගේ බලන් ඉන්නවා.

“ තාම මොනවත් ගත්තේ නැද්ද? දැන් යන්නත් පරක්කු වෙනවා” සුපුරුදු ගෝරනාඩුව යාළුවන්ගෙන්..
” අනේ මේ ෆයිල් 3න් එකක් තෝරලා දෙන්නකෝ” මම කියනවා.
” ඉතින් ඔයා මොකටද ආස? ආස එක ගන්නකෝ” ඒ යාළුවා.
“3ටම ආසයි. ඒත් තුනම ගන්න බැහැනේ” මගේ ඇඬියාව.

ඔන්න එතකොට එයාලට තරහා යනවා.

“මොකද්ද අනේ, ෆයිල් කඩයක් දාන්නද යන්නේ? ගන්න එකක් ඉක්මනට අරන් එනවකෝ. පරක්කු වෙනවා” මම ආයෙත් තෝරන්න පටන් ගන්නවා.

බලන් ඉඳල ඉඳල බැරිම තැන එයාලාගේ සීමාව පනිනවා. “ මේසේ උඩ ඉඩ තියනවද ඕවා ගත්තට තියන්න? ඇත්තමයි තව එක ෆයිල් එකක් හරි ගත්තොත් දානවා කාමරෙන් එළියට” ඔන්න අවසාන තර්ජනේ. මම ඉතින් බොහෝම අකමැත්තෙන් එකක් විතරක් අරන් එනවා. ඔහොම කිව්වට එයාලට අලුතෙන් මොකක් හරි ගැජමැටික් එකක් හම්බුන ගමන් මට ගෙනත් දෙනවා. මම ඕවාට ආස බව දන්න නිසාම..

ඕවාට තියන ආසාව නිසාම ඉස්සර මගේ හීන වලින් එකක් වෙලා තිබ්බේ කවදහරි පොත් කඩයක් දානවා කියන එක. ඒ හීන ලැයිස්තුවේ නම් ගොඩක් හීන තිබ්බා. බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක, පොත් කඩයක් දාන එක. පුස්තකාලෙක වැඩ කරන එක, කෑම කඩයක් දාන එක, මුහුද අයිනේ ගෙයක් හදන එක... ඔය වගේ හීන ගොඩක්. ඕකෙන් ගොඩක්ම සැලසුම් තිබ්බේ කෑම කඩයක් දාන එක. කොච්චර ඒ ගැන හීන දැක්කද කියනවා නම් කෙමිස්ට්‍රි ක්ලාස් එක් ළඟ ඉඩමකුත් ඒකට හොඳයි කියලා හිතලයි තිබුණේ. මම ඒ කෑම කඩේට මෙනූ හිටන් හැදුවා. ඒත් ඒවා බලලා නංගි නම් කිව්වේ ඕක වැඩිකල් තියන එකක් නෑ කියලයි. මේ ඔක්කොම කලේ ඉස්කෝලේ යන කාලේ..

තවත් හීනයක් වුණේ මුහුද අයිනේ ගෙයක් හදන එක. මේ ගෙදරත් එසේ මෙසේ ගෙයක් නෙවෙයි. ගෙදරට මුහුදේ සද්දේ ඇහෙන්න ඕනේ.. කාමර වලට මුහුද පේන්න ඕනේ.. වැඩිය සෙනග නැති පැත්තක වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තිබුණා. ඒත් දැන්නම් කිසිම හීනයක් නැති යාන්ත්‍රික ජීවිතේකට පුරුදු වෙලාද මන්දා.

දැන් බරපතල හීන නැති නිසා තියෙන්නේ කවදහරි කරන්න ඕනේ කියලා හිතන් ඉන්න ලිස්ට් එකක්.

*මහජන පුස්තකාලේ තියන පොත් ඔක්කොම කියවලා ඉවර කරන්න ඕනේ.

*උදේ ඉඳන් රෑ වෙනකම් දවසක නවත්තන්නේ නැතුව ෆිල්ම් බලන්න ඕනේ.

*ආයෙත් දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේ උඩ තට්ටුවට ගිහින් මුහුද දිහා බලන් ඉන්න ඕනේ.. (මෙතනට හරිම ලස්සනට මුහුද පේනවා. බම්බලපිටියද කියලා හිතාගන්න බැරි තරම් ලස්සනට)

*කැටපත් පවුරට කවියක් ලියන්න ඕනේ.

*ගමේ යාළුවෝ සෙට් එකත් එක්ක ගම පුරා රවුමක් ගහන්න ඕනේ.

*බයෝ ක්ලාස් එකට ගිහින් ගම්මිරිස් දාපු සෝස් එක්ක උණු උණු රෝල්ස් කන්න ඕනේ. ( ඒ දවස් වල අපේ දිව්ය භෝජනේ. දැන් නම් තියනවද දන්නෙත් නැහැ.)

තවත් මම ආසම දෙයක් තමයි හුදෙකලා රස්තියාදුව.... ඒ ගැන නම් වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ.. 

මේ ලිස්ට් එක නම් තව ගොඩක් දිගයි. සමහර ඒවා නම් කවදාවත් කරන්න ලැබෙන එකකුත් නැහැ. ඒත් ඒවා හීනයක් විදියට හරි මගේ හිතේ හැමදාටම තියෙයි...


ජීවිතේ අපි හිතනවට වඩා අවස්ථාවන් ගොඩක් දැන් අපිට මඟහැරිලා. ඒ නිසා ඉඩක් හම්බ වෙන හැම වෙලාවකම සතුටක් ලැබෙන පුංචි දෙයක් හරි කරන්න.. නැත්තම් කවදහරි ඒ ගැන පසුතැවෙන්න සිදු වේවි! 

20 comments:

  1. පුස්තකාලෙක ශාලාධිපති කෙනෙක් වෙන්න මටත් ආශාවක් තිබ්බ.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. මම නම් තවමත් ආසාවෙන් ඉන්නේ..... හැබැයි මම කියවලා නැති පොත් තියන පුස්තකාලෙක...

      Delete
  2. ඇයි තියෙනවනේ මාර ලස්සන ඩෙස්ක් ඕර්ගනයිසර්. එතකොට අර මේසේ කොණට හයි කරන්න පුලුවන් පෙන්සිල් ෂාප්නර්. ඇයි තව පේපර් වේට් තියෙනවා මාර ලස්සන. එතකොට කැඬල් හෝල්ඩර්... තව...

    මගෙත් ඔහොම ලැයිස්තුවක් තිබ්බා. මම බ්ලොග් එකේ පෝස්ට් එකකුත් ලිව්වා මං කවුරු වෙන්නද ආසා කියලා. ඒකේ ලින්ක් එක දාන්නේ නෑ මොකද ඔච්චර යාන්ත්‍රික කෙනෙකුට කියවන්න වෙලාවක් නැති හන්දා. නමුත් මගේ ඩෙනිමේ ප‍ටුනෙන් හොයාගත්තෑකි ඕනෙම නම්.

    අනේ ආසා දේවල් කරනවට පඩි ගෙවනවානම්!

    ReplyDelete
    Replies
    1. අපෝ ඩූඩ්! දැන් මට ඔය හැම එකක්ම ඕනේ වෙනවා... ඩෙස්ක් ඔර්ගනයිසර් එකක් නම් ගන්න ආසාවෙන් ඉන්නවා.. මගේ හිතට හරියන එකක් හම්බුනේ නැහැ තවම . මම පොත් කඩවල් වලට ගියාම ඒවගේ ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මම ඉල්ලන ඒව හොයලාම. මට එතකොට හිතෙන දෙයක් තමයි ඇයි මේ ඒ ගැන දන්නේ නැති මිනිස්සු ඒවා විකුණන්න දාලා තියෙන්නේ කියලා....

      ඩූඩ් ගේ ඒ පෝස්ට් එක නම් මම කියවලා තියනවා.. කොච්චර යාන්ත්‍රික වුණත් මම ඩූඩ්ගේ පෝස්ට් මඟහරින්නේ නැහැ නේ..

      Delete
  3. මටත් ඔය වගේ හීන ලිස්ට් එකක් තියනවා. එකට පැටලිලා හිර වෙලා!

    ReplyDelete
    Replies
    1. මටත් තියනවනේ! මම හිතන්නේ නොලිව්වට අපි හැමෝටම මෙහෙම එකක් තියනවා.

      Delete
    2. මටත් මීටත් වඩා හීන ගොඩාක් තියනවා.... හීන දකින්නනේ මිනිස්සු ජීවත් වෙන්නේ...

      Delete
    3. නාඩියාගෙයි දිලිනි ගෙයි හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

      Delete
  4. ජීවිතේ හැම වෙලේම කැමති දේවල් වෙන්නෑනේ.අමාරුවෙන් හරි කරන දේට කැමැත්තක් ඇති කරගන්න වෙනව.නැත්නම් ජීවිතේ හරි බෝරිං..!

    ReplyDelete
    Replies
    1. දැන් නම් කරන්නන් වාලේ තමයි කරගෙන යන්නේ... බලමු ඉස්සරහටවත් කමැත්තක් ඇති වෙයිද කියලා....

      Delete
  5. අයේ අහලා.... මගේ එක හීනයක් මේ ලගදි සැබැ වුණා සිතු... දැන් තියෙන්නේ චුටි චුටි සිහින ටිකක්... අනේ මන්දා ජිවිතේ මේ තරම් සංකිර්ණ වුණේ කොහොමද කියලා... මම ආස සරල ජිවිතේ කවදා ලැබෙයිද මන්දා ඉතින්.

    ReplyDelete
    Replies
    1. හීන සැබෑ වුණ එක ගැන නම් ගොඩක් සතුටුයි මදාරා..... චූටි චූටි හීන ටිකත් ඉක්මනටම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

      සරල ජීවිතේකට අපි හැමෝම ආසයි.. ඒත් වගකීම් වලින් අපි හැම අතටම බැඳිලා හිරවෙලා...

      Delete
  6. හික්ස්.. ,මම නොදන්න කාර්යබහුලත්වය... :D
    මොනවා වුනත් පෝස්ට් එක නම් එල..

    ReplyDelete
    Replies
    1. අපිත් දැන් ලොකු ළමයි හරිද? අවසන් වසර පළමු කණ්ඩායම! :P

      ගොඩක් ස්තූතියි! :D

      Delete
    2. හරියටම කියනවා නම් අවසන් වසර පළමු කණ්ඩායමේ දෙවැනි කණ්ඩායම... :D :D

      Delete
    3. හරි හරි.... Part I Junior! ඔහොමයි කඩ්ඩෙන් කියන්නේ...

      Delete
  7. මගේ ළඟ ඉවර වෙච්ච පෑන් 300 ක් විතර තියෙනවා.. ඕනද ? හික්ස්....
    මටත් හිනා ගොඩක් තියෙනවා... කාටවත් කියන්නේ නෑ හිනාවෙන නිසා :(

    ReplyDelete
    Replies
    1. ඉවර වෙච්ච පෑන් එකතු කරන්නේ නැහැනේ... :P

      මගේ හීන වලට නම් ගොඩක් අය හිනා වෙලා තියනවා.. ඒත් අවුලක් නැහැ... මම මගේ විදියට ඉන්නවා....

      Delete
  8. ඉස්සර මගේ හීනයක් තිබ්බා කෝච්චියක ගාඩ් කෙනෙක් වෙන්න. කොඩිය වනාගෙන උඩරට මැණිකේ නැගලා බදුලු යන්න. ඒකෙන් පස්සේ හීනයක් තිබ්බේ ගුරුවරයෙන් වෙන්න. ඒ හීනේ නම් ඉටු කර ගත්තා.

    අනිත් හීනෙත් කොහොමහරි... මැරෙන්න පැයක් තියා හරි ඉටු කරගන්නවා ගන්නවාමයි...

    ඔයාගේ හීනත් සුන්දරයි නඟා !

    ReplyDelete
    Replies
    1. අයියාගේ අනිත් හීනෙත් හැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....

      තිබ්බ ගොඩක් හීන හැබෑ කරගන්න බැරි වුණාට පස්සේ දැන්නම් මට තියෙන්නේ පුංචිම පුංචි හීන...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......