Sunday, February 16, 2014

අඹ කතා

අඹ වාරයක් ආයෙත් ළඟ ළඟම එනවා..දැන්නම් ගහකින් කඩාගෙන අඹ කාපු කාලයක් මතක නැහැ. අඹ සල්ලි වලට ගෙනත් කනකොට කිසිම “අඹ ගතියක්” නැති වුණාට මොනවා වුණත් මේ අඹ නේද කියලා හිත හදාගෙන කනවා.

පොඩි කාලේ ගමේ ගියාම ආයේ අඹ කිව්වොත් බත් ඕනෙත් නැහැ. අඹ ගස් වලට පොලු ගහලා අමු අඹ වල ඉඳන් පැණි බේරෙන අඹ දක්වා ඕනේම අඹයක් අපිට ඔට්ටුයි. හැමදාම ගමේ ඉඳන් ගෙදර එන්නේ අමු අඹ කාලා අඹ කිරි වලට කට දෙපැත්ත තුවාල කරගෙන. ඇළේ නානකොට සමහර වෙලාවට හොඳට ඉදුණු අඹයක් පාවෙලා එනවා..එක අයිති කරගන්න ඉතින් කට්ටියගේ හෙන පොරේ. කොහොමහරි දිනන එක්කෙනා ඒ අඹේ තනියම කන්නේ නැහැනේ. ඒක නිසා හැමෝටම වාසියි.

අමු අඹ ගෙනත් හීනියට ලියලා මිරිස්, ලුණු, ගම්මිරිස්, කොච්චි දාලා ගලේ අඹරලා කනකොට ආයේ මොනවත් ඕනේ නැහැ. ගමේ ඉන්නකොට නම් තුන් වේලටම අඹ. හැබැයි කොච්චර කෑවත් එපා වෙන්නේ නැති එක තමයි වැඩේ. ලාවට පැහුණු අඹ නම් නිකන්ම ලුණු ටිකක් ඉහගෙන කන්නත් මරු. ඉදිච්ච අඹ නම් ආයේ වෙන මොනවත් ඕනේ නැහැ.

කර්තකොලොම්බන් නම් කතා දෙකක් නැහැ ඕනේම විදියකට කන්න පුළුවන්. ඒත් ඉදවලා කනකොට තමයි වැඩිපුර රහ. මී අඹ, රට අඹ, පෙට්ටි අඹ, භූමිතෙල් අඹ. කොහු අඹ, ඇටඹ ඔන්න ඔය වගේ අඹ ජාති ගොඩයි.  මේ අඹ ජාති වල රහ  එකිනෙකට වෙනස් වගේම හැදෙන පළාත් එහෙමත් එකිනෙකට වෙනස්.

ලේන්නු තමයි අපේ ප්‍රධාන සතුරෝ. උන් මොන වෙලාවක වත් අඹේ සම්පූrණයෙන්ම කන්නේ නැහැනේ. පොඩ්ඩක් කාලා දාලා යනවා. එක්කෝ කනවනම් ඔක්කොම කන්න ඕනේ. අඹ හොයන්න ගියාම ලේන කොටන් හම්බ වෙන එකට අපි හරි තරහයි.

අඹ පණුවොත් ඉන්නවනේ. ගොඩක් වෙලාවට අඹ කැපුවාම තමයි පණුවෝ පේන්න ගන්නේ. එතකොට ඉතින් අපරාදේ කිය කිය බැන බැන විසික් කරන්න් තමයි වෙන්නේ. ඉඳලා හිටලා නම් කාලත් තියනවා. හැබැයි බඩේ අමාරුවක් නම් හැදුනේ නැහැ.

ගමේදි නම් අඹ වාරෙට වැඩිපුර අඹ කඩලා වේලලා ලුණු දාලා අරන් තියනවා පස්සේ අඹ අවාරෙට ගන්න. කරවල හෙම උයනකොට එයින් කෑල්ලක් දැම්මත් ඇති. කොස් උයපු දාට නම් අඹ ඕනෙමයි. කොස් කෑවාම අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියලා කතාවක් අපේ ගමේ තියනවා. ඒ නම් ආහාර ජීර්ණය පහසු කරන්න වෙන්න ඇති.

දැන් නම් ගොඩක් අඹ ජාති හොයාගන්නත් නැහැ. කඩෙන් ගන්නකොටත් හොඳ අඹ හොයාගන්න හරිම අමාරුයි. කාබයිට් ගහලා ඉදවපුවා නැත්තම් තැම්බිච්ච අඹ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.


ළමා කාලේ ආයෙත් එනවානම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ වගකීම් වලින් හෙම්බත්වෙලා ඉන්නකොට. ආයේ ඒ වගේ කිසිම වගකීමක් නැති සුන්දර කාලයක් ආයේ කවදා ඒවිද? 

26 comments:

  1. අපේ නම් ගෙදර වටේට අඹ ගස් ඒක නිසාමද කොහෙද එච්චර අගයක් නෑ :)

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. එහෙනම් නියමයිනේ.... ඕනේ තරම් අඹ කෑවහැකි...

      සයිට් එක පැත්තේ ආවා... හොඳ වැඩක්...

      Delete
  2. ලේන කොට,පනුවෝ ගහපුවා කියල අහක දාන එක අපරාදේ...ඕන්නැති හරිය කපල අයින් කරා...කෑවා....
    වැඩියෙන්ම හොරෙන් කඩලා ඇත්තේ ඉස්කෝලේ වත්තේ අඹ...
    දැන් කඩෙන් ගේන අඹ වල මොකක්දෝ බෙරි ගතියක් තියෙනවා..කනවා කියල දැනෙන්නේ නෑ..

    ඔය මොනවා උනත් හොඳම අඹ මතකය තියෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ළඟ හිටිය ආච්චි අම්ම ගේන අඹ වල....
    සමහර විට ඒ "පුතේ" කියල බොහොම ලෙන්ගතුව කතා කරන නිසා වෙන්නැති..හ්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. හොරෙන් කඩන අඹ නම් රස වැඩියිලු නේද? දැන් කඩෙන් ගේන අඹ වල නම් කිසිම අඹ ගතියක් නැහැ..

      හැම අඹ රසයකටම වෙන් වෙච්ච අඹ මතකයක් තියෙනවා... ඒවා හැමදාම අපේ හිත්වල රැඳිලා තියේවි...

      Delete
  3. ජරාම අඹ කතාව ලිව්වේ මාරයා. ඌ ලිව්වනේ ඔහොමපණු අමයක් කොනක් හිල් කරගෙන උරා බීපු කතාවක්. ඈ.............................................ක්කා!

    මාලදිවයිනේ තියෙනවා රස, පොඩි අඹ ජාතියක්. හැබැයි ගෙඩියක් රුපියල් අසූවක් එකසිය පණහක් වෙනවා. මෙහෙ කොයි දේත් ගණන්නේ.

    ReplyDelete
    Replies
    1. පණුවෝ හිටියට මොකද ඩූඩ් අඹ නේ...

      අම්මෝ ඒ අඹ වල ගණන්... අඹ ගන්නකොට වේලක් ම කෑව හැකි මගෙ හිතේ... ඒත් ඔහේ හැටියට නම් බැරි වෙයිද මන්දා..

      Delete
    2. හෙන්රි...පණු අඹයක් උරා බීපු එකට ඈක්කා නම් හන්ගොලු මිල්ක් ෂේක් එකට කොහොමද කියන්න ඕන?? :D :D

      Delete
    3. ඒක නම් ඇත්ත තමයි... හන්ගොලු මිල්ක් ෂේක් එකට කියන්න වෙන්නේ ඈ........ක්කා කියලා හමයි...

      Delete
  4. අම්බස්තලේ ඉන්න නිසා ටිකක් වැඩියෙන් අඹ හම්බවෙනවා. හැබැයි ගොඩක් තියෙන්නේ කොහු අඹ. දත් හිටිවට්ටගෙන කනවා ඉතිං

    ReplyDelete
    Replies
    1. කොහු අඹත් හොඳයි අමුවෙන් කන්නයි, උයලා කන්නයි නේද? අම්බස්තලේ නම් අඹ ඇති නේ මදි නොකියන්නම...

      Delete
  5. අපූරු අඹ කතා ටික දැකල මටත් පොඩි කාලෙ මතක් වුණා.කොස් මුලක් කාල අඹ මුලක් උඩින් ගියත් ඇති කියලයි කතාවට කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... එහෙම තමයි කතාවට කියන්නේ... පොඩි කාලේ කතා ටිකකුත් ලිව්වොත් හොඳයි නේද?

      Delete
  6. මෙහෙ ඉන්නකොට නම් හොඳට අඹ හම්බෙනවා.. පුවක් ගෙඩියක් විතර අඹ ගෙඩියක් රුපියල් 50යි..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. මාත් හෙනට කට්ට කාලා තියේ ඒ පැත්තේ අඹ හොයන්න ගිහින්... ඇග්‍රි එක ගාව නම් හොඳ අඹ තියෙනවා...

      Delete
  7. අඹ කතා ටික කියෙව්වහම අඹ අච්චාරුවක් කන්න තිබුන නම් ශොක් කියලා හිතුනා ...

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකින් කෑවේ නෑ අඹ අච්චාරුවක්...

      Delete
  8. //ළමා කාලේ ආයෙත් එනවානම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ වගකීම් වලින් හෙම්බත්වෙලා ඉන්නකොට.// ඔය වගේ සුන්දර අද්දැකීම් අඩු වුණත් මටත් එහෙම හිතෙන වාර අනන්ත යි.

    ReplyDelete
    Replies
    1. හැමදාම ළමයි වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද?

      Delete
  9. ගෙදරනම් අඹ ගහක් තිබුන.. ඕක ඉතින් වදුරන්ගෙන් පරිස්සම් කරන් ඔක්කොම වැඩ ටික කලේ මම ඒ කාලේ නම්.. දැන් නම් ඉතින් මොන අඹද අපිටත්..

    ReplyDelete
    Replies
    1. ගෙදර ආවම අඹ කත හැකි එහෙනම් ඇති වෙන්න නේද?

      Delete
  10. අපේ අඹ ගස් දෙක තුනත් කරන්ට් වයර් එකක් නිසා කපන්ඩ උනා. ඒ නිසා අපිට කඩෙන් ගෙනත් තමා අඹ කන්න වෙන්නේ. ගම්මිරිස් කුඩු ටිහිකුයි මිරිස් කුඩු ටිහිකුයි ලුනු කුඩු ටිහිකුයි දාල අනලා ගත්තහම අඹ ගෙඩි පහ හයක් උනත් කෑ හැකියි... :)

    ReplyDelete
    Replies
    1. හපොයි! අඹ ගස් කපන එක නම් හෙනම අපරාදයක් මධු අයියේ.... අඹ නම් ඉතින් ඕනේ විදියකට කෑ හැකි...

      Delete
  11. අම්මෝ... මෙන්න මගේ ආසම කෑම ගැන කියනවෝ .....!!

    ඉස්සර අපේ ගෙදරත් ඉස්සරහ තිබ්බා බඳන්න බැරි තරම් ලොකු කොහු අඹ ගහක්... ගෙඩි හැදුනම අපි කඩන්නේ ගෝනි ගණන්.. කතාවට නෙවෙයි.. ඇත්තටම අපි කඩන්නේ ගෝනි. ඒත් එක ගොනියක්වත් විසි කරපු බවක්වත්, කාටවත් දීපු බවක්වත් මතක නැහැ නොවැ !!!! හි හි හි.... ඔක්කොම අපි එකතු වෙලා දෙසා බෑවා ... අම්මෝ කටට කෙල උනනවා මතක් වෙනකොටත්. අඹ හදන්න පුළුවන් පොසිබල් විදි ඔක්කොටම අපි ඒ අඹ කෑවා . හපොයි ඉතින් තාප්පේ බඳින්න හින්දා ඒක කැපුවානේ අප්පා. එදා දැනුණ වේදනාව මට තාමත් මතකයි.

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන ඒත් අන්තිමට දුක හිතෙන අඹ කතාවක්..... පුදුම අඹ ගොඩක් නේ හැබෑට කාලා තියෙන්නේ...

      Delete
  12. මමත් අම්මලාගේ ගමේ ගියාම ඔය කලේ කොලේ රිංගල තියෙනවා කරුමෙට අඹ ගහක් නම් සෙට් වෙලා නැහැ

    ReplyDelete
    Replies
    1. අඹ ගහක් සෙට් වෙලා නැති වුණාට අඹ කාලා ඇති නේ අනන්තවත්... බනීට අඹ හොයලා දුන්නේ නැද්ද?

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......