Sunday, February 9, 2014

ආදරණීය අත්තා


හැමදාම වචනයක් හරි ලියනවා කියලා හිතන් හිටියට කොයිම වෙලාවක වත් ලියන්න පටන් ගත්තට ඉවර කරන්න බැහැ. ඒ මතක ඔක්කොම ආපහු සොරොව්ව ඇරියා වගේ හිතට කඩන් වදිනවා. ආයේ කවදාවත් අපි එනකන් මහ ගෙදර හාන්සි පුටුවේ වාඩිවෙලා බලන් ඉන්නේ නෑ කියලා දැනෙද්දි ඇත්තමයි හිතාගන්නවත් බැහැ.

අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසාම මාව පොඩි කාලේ බලාගත්තේ කිරිඅම්මයි අත්තයි. පුංචි කාලේ ඉඳන්ම ඒ දෙන්නා මාරුවෙන් මාරුවට අපේ ගෙදර නතර වෙලා මාව බලාගත්තා මට ඇවිදින්න පුළුවන් වෙනකම්. ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මගේ හැම නිවාඩුවක්ම ගෙවුණේ ගමේ තමයි. මම එනවා කිව්වාම ගම පුරාම ඇවිදලා මම කන්න ආස ජාති හොයලා ගෙනත් තියලා මම එනකම් බලන් හිටපු හැටි කොහොම අමතක කරන්නද?

මාත් එක්ක කුඹුරු වැඩ කරන හැටි බලන්නයි, කැලෑවේ ඇවිදලා සුදු හඳුන්, රත් හඳුන්, ඉර රාජ, සඳ රාජ, වන රාජ පැල අඳුර ගන්න හැටි කියලා දෙනවා. ඒත් මම පුංචි කාලේ ඉඳන්ම  ඒ දුර්ලභ පැළ වල වටිනාකම කියලා දුන්නා. ගමේ ඉන්නකොට මට ගෙදර මතක් වෙන්නේ ඉඳලා හිටලා. ඒත් මට ගෙදර මතක් වුණාම අඬනවා. එතකොට මාව නලවන්න අත්තට ඇවිදින්න අමාරු කාලෙදිත් කන්ද නැගලා දොළුකන්දේ වැව බලන්න එක්ක ගියා මතකයි. දවල්ට වැව බලන්න එක්ක ගියාම මම ආපහු එන්න දෙන්නෙ  නැහැ. වැවෙන් නාල, නෙළුම් කොලේ බත් කාලා හවස් වෙනකම් වතුරේ බැහැලා ඉඳලා හවසට මාළු බානවත් බලන් ඉඳලයි ආපහු ගෙදර එන්නේ. එදාට අත්තට වෙන මොනවත් වැඩක් කරගන්න නැහැ. ඒත් කවදාවත් මාව එක්ක යන්න බැහැයි කියලත් නැහැ.

දරුවෝ හත් දෙනෙකුත් එක්ක පවුලකට කන්න අඳින්න දෙන්න අත්තා මොන තරම් මහන්සි වුණාද? ඇත්තටම කුඹුරු වැඩ වලින් එහෙම පවුලක් නඩත්තු කරනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. වැස්ස නැති වෙලා කුඹුරු මැරුනාම දරුවන්ට කන්න බොන්න දෙන්න නැතුව මොන තරම් හිතේ ගින්දරින් ද ඉන්න ඇත්තේ. ඒ මොන අමාරුකම් තිබ්බත් අත්තා දරුවෝ හත් දෙනාටම හොඳට ඉගැන්නුවා.

අපේ අම්මා තමයි කිව්වේ මේ කතාව..

සාමාන්‍ය පෙළ කලාට පස්සේ අම්මා ගියේ සෙන්ට්‍රල් එකට. ඉඩකඩ මදි නිසා සෙන්ට්‍රල් එකේ උසස් පෙළ පන්ති පැවැත්වුණේ උදේ වරුවේ සහ හවස් වරුවේ වශයෙන් සැසි දෙකකට. හවස් වරුවේ පන්ති තිබ්බාම අම්මට ගෙදර එන්න අන්තිම බස් එකත් මඟහැරෙනවා. ඉතින් පයින්ම හංදියට එනකොට අත්තා ලන්තෑරුමත් තියන් බලන් ඉන්නවලු. ඊට පස්සේ පයින්ම ආපහු ගෙදර එනවලු. හැමදාම් හැතැප්ම ගාණක් පයින් ඇවිද්දත් “අනේ දුවේ මට මහන්සියි. හෙට ඉස්කෝලෙ නොගිහින් ඉඳපන්..” කියලා කවදාවත්ම කියල නැහැලු”.

ඔහොම දවසක් අත්තා හංදියට වෙලා අම්මා එනකන් බලන් ඉන්නකොට ගමේ කෙනෙක් කිව්වලු “දැන් ඔය කෙල්ල ඉස්කෝලේ ගියා මදැයි. මොකද ඉස්කෝලේ ගියා කියලා කච්චේරියෙ ලියන්න යවන්නද? ඔන්න ඔය කෙල්ල වෙල්වල වැඩට පුරුදු කරපන් කියලා” ඒත් අත්තා මොනවත්ම කිව්වේ නැහැලු. පස්සෙ හෙමීට ගෙදර ඇවිත් කිරිඅම්මට කියලා. එතකොට තමයි අම්මටත් ඇහිලා තියෙන්නේ. “රටේ එවුන්ටනේ අමාරුව. හරියට උන් කන්න අඳින්න දෙනවා වගේ” කිරි අම්මා කියලා. හරියටම අවුරුදු විසි එකේදි අපේ අම්මට මුල්ම පත්වීම ලැබුණෙත් කච්චේරියට..

අත්තා කවදාවත් කිසිම කෙනෙක්ට බනිනවා මම අහලාවත් දැකලාවත් නැහැ. හැමෝම එක්ක හරිම සුහදව කටයුතු කරන්නේ. මාව බලාගන්න අපේ ගෙදර නැවතිලා හිටපු පොඩි කාලෙටත් අපේ ගෙවල් පැත්තේ හැමෝම එක්ක ගොඩක් හිතවත් වුණේ. ගෙදරට කෙනෙක් ආවොත් කෑම ටිකක් නොදී යවනේ නැහැ. ඉස්සර අපේ අම්මා හැමදාම බනිනවා අලුත්ම සරම් කමිස හැම එකක්ම ගෙදරට එන එන කෙනාට දීලා දානවා කියලා. ඒත් අත්තා මුකුත්ම කියන්නේ නැහැ. හිනා වෙනවා විතරයි.

හැත්තෑ වසරකටත් වැඩි විවාහ ජීවිතේදි කිරිඅම්මයි කිරි අත්තයි කිසිම දවසක රණ්ඩු වෙලා දවස් ගනන් හිටියේ නැතිලු. තරහා ගියත් ඉක්මනින්ම තරහා නැති වෙනවලු. මට මතක ඇති කාලෙක නම් ඒ දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැහැ.

අත්තා වෙනුවෙන් ගොඩක් දේවල් මට කරන්න බැරි වුණා. අඩුම ගානේ මම හම්බ කරපු දේකින් මොනවා හරි අර දෙන්න වත් අසනීප වෙලා හිටපු කෙටි කාලෙදි නැවතිලා සාත්තු කරන්නවත් මට බැරි වුණා..ඒ ගැන නම් හැමදාම හිතේ තියෙන්නේ පසු තැවීමක්.


මම ප්‍රාර්ථනා කරන්නෙ අත්තාට සසර වසන තුරු කිසිදු ලෙඩ දුක් කරදරයක් නොවී සසර කෙළවර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න ලැබේවා කියලයි.... 

20 comments:

  1. :( දාන්න කමෙන්ට් එකක් හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ... කියෙව්වා නම් ඒ ඇති...

      Delete
  2. අහ.. තාම හොඳින් ඉන්නවනේ.. දැන් වයස කියක් වගේද ?
    අත්තල හිටියෙත් අපේ ගමෙමද ?

    ReplyDelete
    Replies
    1. අත්තා ජනවාරි 4 වෙනිදා නැති වුණා මල්ලි...

      මේ එහෙ නෙවෙයි... අම්මලාගේ ගමේ...

      Delete
  3. http://shanu1987.blogspot.it/2013/03/blog-post_18.htmlමගේ පප්පව මතක් උනා...... අනේ අපි කොච්චර එයාලට ආදරේද සිතු

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ ආදරේ ගොඩක් දැනෙන්නේ එයාලා අපෙන් ඈත් වුණාම...

      ඔයාගේ පෝස්ට් එකත් ඇහැට කඳුළක් ගෙනාවා....

      Delete
  4. මේක කියෙව්වම මට අපේ තාත්තව මතක් උනා.එයත් මාව ඉස්කෝලේ එක්කන් යන්න මේ වගේම මහන්සි උනා.අපි කාගේත් අම්මල තාත්තල මේ වගේ තමයි නේද? ලස්සනට ලියල තියනවා. (y)

    ReplyDelete
    Replies
    1. ඔව්... එයාලා අපි වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද....

      ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  5. දැන් කාලෙ අහන්න ඉන්න සමහර වැඩිහිටියොත් එක්ක සසඳද්දී ඔයාගේ සීයා කොච්චර හොඳද!

    ReplyDelete
    Replies
    1. ඒත් එයාලා අපෙන් ඈත් වෙලා යන එක තමයි දුක....

      Delete
  6. මම නම් කියන්නේ අත්තා මේ ලෝකේ දුක් විඳින්ඩ ආයේ ඉපදෙන්ඩ එපාය කියලා..

    ReplyDelete
    Replies
    1. දැන් මේ ලෝකේ වෙන දේවල් දිහා බැලුවාම මටත් එහෙම හිතෙනවා මධූ අයියේ...

      Delete
  7. අව්‍යාජ මිනිස්සු කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට තමයි... අද කාලේ හොයාගන්න නැත්තේ එහෙම උදවිය

    ReplyDelete
    Replies
    1. අද ගොඩක් ඉන්නේ බොරුවෙන් වංචාවෙන් පිරුණු මිනිස්සු..

      Delete
  8. සැබෑ සුන්දර මනුස්සයෙක් කියලා හිතුනා මේක කියවන් එද්දී.. මට එහෙම සීයා කෙනෙක් ලබන්න පිනක් නොතිබුන හැටි.. සීයට නිදුක් නිරෝගි අනාගතයක් පතනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියාගේ නැදෑයන් ගැන කතාව නම් මට ටිකක් මතකයි..... හැමෝම එක වගේ නැහැනේ...

      Delete
  9. ආච්චිලා සීයලා ගැනනම් ඉතින් කොච්චර නම් දේවල් ලියන්නද.......ඒ බැඳීම් සමහර විට දෙමව්පිය බැඳීම්වලටත් වඩා ශක්තිමත් මට හිතෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ලියන්න තියන දේවල් නම් කවදාවත් ලියලා නිම කරන්න බැරි වෙයි... පොඩි කාලෙ ගොඩක් අය හැදෙන්නේ ආච්චිලා සීයලා ළඟ නිසා ඒ බැඳීම් ගොඩක් වැඩියි..

      Delete
  10. අත්තා කිව්වෙ තාත්තගෙ තාත්තට නේද.. අපි කියන්නෙ ආතා. මට නම් මගෙ ආතල එක්කෙනෙක් ගැනවත් මතකයක් නෑ..

    ම්ම්.. පොලවෙ පය ගහල හිටපු නියමම මිනිස්සු තමයි ඒ ඉතින්.. ඔයාගෙ අත්තගෙ එලොව ජීවිතය යහපත් එකක්ම වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. අත්තා කිව්වේ අම්මගේ තාත්තට... තාත්තගේ තාත්තට කිව්වේ සීයා කියලා...

      පොළවේ පයගහපු නියම මිනිස්සු දැන් ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්....

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......