Monday, March 24, 2014

අපි කෙට්ටු වෙන හැටි....

කාලෙකට පස්සෙ ගෙදර ආවාම ඔන්න ගමනක් යන්න ලේස්ති වෙන්න කිව්වා. ඇඳුම් ටික අල්මාරියෙන් එළියට අරන් අඳින්න බලනකොට තමයි මට ඒ කටුක සත්‍ය අවබෝධ වුණේ. ඇඳුම් කෙට්ටු වෙලා. ඒ කියන්නෙ ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් මම මහත් වෙලා.

ඒත් එක පාරටම වෙච්ච දෙයක් නෙවෙයි ඒක. අපි කාලෙකට කලින් කෙට්ටු වීමේ මහා ව්යාපාරයක් ආරම්භ කරලා තිබ්බා. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකට විරුද්ධවාදියෝ ගොඩයි..ඒ නිසා ඒ ප්‍රොජෙක්ට් එක ලත් තැනම ලොප් වෙලා ගියා.

ප්‍රධාන විරුද්ධවාදියෝ  තමයි අපේ ගෙදර අය. අපේ ගෙදර අය හිතන් ඉන්න විදියට කැම්පස් එකයි හොස්ටල් එකයි තියෙන්නේ ඉතියෝපියාව, සෝමාලියාව වගේ දරුණු දුර්භික්ෂයක් තියන පැත්තක. ඒ නිසා මම ගෙදරට අඩිය තියපු වෙලාවේ ඉඳන් ගෙදර තියන කන්න පුළුවන් හැම දෙයක්ම මට කවන්න උත්සහ කරන එක තමයි එයාලාගේ ප්‍රධාන රාජකාරිය. ඉතින් මේ අය නිසා මගේ ප්‍රොජෙක්ට් එකට දැඩි බාධා එල්ල වෙනවා.

ඒ වගේම අපි කලින් හිටපු බෝඩිමේ ඇන්ටිත් අපේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන හතුරෙක්. එයාගේ වැඩේම අපි බෝඩිමේ ඉන්න දවස් වලට තඩි බත් පිඟන්, කොස්, මඤ්ඤොක්කා, අලිගැටපේර වගේ දේවල් දෙන එක. ඉතින් ඇන්ටි සතුටු සිතින් දෙන දේ නිසා අපිත් පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව කනවා. ඉතින් ඒ නිසා අපේ ප්‍රොජෙක්ට් එක නිකන්ම අල වෙලා යනවා.

අපේ ප්‍රොජෙක්ට් එකට නිතරම සහය දක්වන කෙනෙක් තමයි අපේ කැන්ටිමේ අයියා. මාසෙකට සැරයක් වගේ බත් එකට හංගොල්ලෙක්, පණුවෙක් වගේ එකතු කරලා අපේ කෑම රුචිය නැත්තටම නැති කරලා දාන්න තරම් එයා දක්ෂයි. එයාගේ පිහිටෙන් අපි දවසක් දෙකක් නිරාහාරව ඉඳලා යන්තම් කෙට්ටු වේගෙන එනකොට  අර මුලින් සඳහන් කරපු විරුද්ධවාදියෝ නිසා අපේ ප්‍රොජෙක්ට් එක් අවුල් වෙනවා.

මමයි මගේ යාලුවයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත මුල්ම දවස් වල ඔන්න ග්‍රීන් ටී බොනවා කියලා හිතාගෙන හොඳ ගාණකුත් වියදම් කරලා ග්‍රීන් ටී පැකට් එකක් ගෙනාවා. කොච්චර හොඳද කියනවා නම් සීනි දාන්නෙත් නැතුව තමයි තේ බිව්වේ. ඒත් මේක බිව්වට පස්සේ එනවා නේද ඉවසගන්න බැරි බඩගින්නක්. එතකොට ඉතින් මුළු දවසෙම කාපුවටත් වැඩිය කනවා ඒ පැය දෙක තුනට. ඒ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා අපි ග්‍රීන් ටී බොන්නේ නැතුව ඒක පාඩම් කරන මේසේ ඉස්සරහින් තියාගෙන ඒක දිහා බලන් ඉන්න පුරුදු වුණා. හැබැයි ඒ වැඩෙත් සෑහෙන්න සාර්ථකයි ඉතින්. එකම වරද අපි කෙට්ටු නොවිච්ච එක තමයි.

ග්‍රීන් ටී නොබිව්වට අපි ආසම කරන දෙයක් තමයි තේ බොන එක. තේ කියන්නේ ප්ලේන් ටී නෙවෙයි ටී ගැන. දවසට පස් පාරක් තේ නොබිව්වොත් ඒක හරිම අඳුරු දවසක් විදියට තමයි අපි සලකන්නේ. ඒ නිසා කොහොමහරි දවසට පස් පාරක් තේ බොන්න අපි වග බලා ගන්නවා. ඒ විදියට තේ බොනකොට නම් ඉතින් මේ සයිස් එකෙන් ඉන්න එක ගැනත් හිතාගන්න බැරි තරම්.

දැන් ඉතින් අඳින්න ආසම ඇඳුම් ටික අල්මාරියෙ පැත්තක ගොඩ ගහලා ඒ දිහා හරිම දුකෙන් බලන් ඉන්නවා. කැම්පස් ආව කාලේ ෆොටෝ බලනකොට එහෙම් ඇඬෙන සයිස්. කොහොමද මෙච්චර මහත් වුණේ කියලා හිතාගන්නවත් බැරි තරම්.

දැන් නම් ඉතින් කරන එකම දේ මමත් කවදහරි කෙට්ටු වෙලා ආපහු හිටපු තත්වෙටම යාවි කියලා උදේ හවස මතක් කරන එක විතරයි. කෙට්ටු වෙන්න දෙන්න බැරිද හොඳ උපදෙසක් එහෙම?

Tuesday, March 18, 2014

හිරු නැගෙන තුරු....

තෙරක් නොපෙනෙන 
පාළු කතරක 
අකල්හි වට 
වැසින් තෙමුණෙමි 

පිපාසය නිවෙතැයි 
සිතා තව 
මිරිඟු දිය පසු 
පසම දිව්වෙමි.... 

දිය බිඳක්
නැති බව දැනෙන්නට
කල්පයක් වැනි
කලක් ගතවිණි.... 

එකී කල්පයේ 
නිරන්තරයෙන් 
මතක ගිනි සිළු 
වලට දැවුණෙමි.... 

සිතට දිරි ගෙන 
මතක පොකුරම 
පාළු නිවසක 
අගුළු දැම්මෙමි.... 

දිනෙක මතුදා 
මටම උරුමැති 
හිරු නැගෙන තුරු 
බලා ඉන්නෙමි....