Monday, March 24, 2014

අපි කෙට්ටු වෙන හැටි....

කාලෙකට පස්සෙ ගෙදර ආවාම ඔන්න ගමනක් යන්න ලේස්ති වෙන්න කිව්වා. ඇඳුම් ටික අල්මාරියෙන් එළියට අරන් අඳින්න බලනකොට තමයි මට ඒ කටුක සත්‍ය අවබෝධ වුණේ. ඇඳුම් කෙට්ටු වෙලා. ඒ කියන්නෙ ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් මම මහත් වෙලා.

ඒත් එක පාරටම වෙච්ච දෙයක් නෙවෙයි ඒක. අපි කාලෙකට කලින් කෙට්ටු වීමේ මහා ව්යාපාරයක් ආරම්භ කරලා තිබ්බා. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකට විරුද්ධවාදියෝ ගොඩයි..ඒ නිසා ඒ ප්‍රොජෙක්ට් එක ලත් තැනම ලොප් වෙලා ගියා.

ප්‍රධාන විරුද්ධවාදියෝ  තමයි අපේ ගෙදර අය. අපේ ගෙදර අය හිතන් ඉන්න විදියට කැම්පස් එකයි හොස්ටල් එකයි තියෙන්නේ ඉතියෝපියාව, සෝමාලියාව වගේ දරුණු දුර්භික්ෂයක් තියන පැත්තක. ඒ නිසා මම ගෙදරට අඩිය තියපු වෙලාවේ ඉඳන් ගෙදර තියන කන්න පුළුවන් හැම දෙයක්ම මට කවන්න උත්සහ කරන එක තමයි එයාලාගේ ප්‍රධාන රාජකාරිය. ඉතින් මේ අය නිසා මගේ ප්‍රොජෙක්ට් එකට දැඩි බාධා එල්ල වෙනවා.

ඒ වගේම අපි කලින් හිටපු බෝඩිමේ ඇන්ටිත් අපේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන හතුරෙක්. එයාගේ වැඩේම අපි බෝඩිමේ ඉන්න දවස් වලට තඩි බත් පිඟන්, කොස්, මඤ්ඤොක්කා, අලිගැටපේර වගේ දේවල් දෙන එක. ඉතින් ඇන්ටි සතුටු සිතින් දෙන දේ නිසා අපිත් පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව කනවා. ඉතින් ඒ නිසා අපේ ප්‍රොජෙක්ට් එක නිකන්ම අල වෙලා යනවා.

අපේ ප්‍රොජෙක්ට් එකට නිතරම සහය දක්වන කෙනෙක් තමයි අපේ කැන්ටිමේ අයියා. මාසෙකට සැරයක් වගේ බත් එකට හංගොල්ලෙක්, පණුවෙක් වගේ එකතු කරලා අපේ කෑම රුචිය නැත්තටම නැති කරලා දාන්න තරම් එයා දක්ෂයි. එයාගේ පිහිටෙන් අපි දවසක් දෙකක් නිරාහාරව ඉඳලා යන්තම් කෙට්ටු වේගෙන එනකොට  අර මුලින් සඳහන් කරපු විරුද්ධවාදියෝ නිසා අපේ ප්‍රොජෙක්ට් එක් අවුල් වෙනවා.

මමයි මගේ යාලුවයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත මුල්ම දවස් වල ඔන්න ග්‍රීන් ටී බොනවා කියලා හිතාගෙන හොඳ ගාණකුත් වියදම් කරලා ග්‍රීන් ටී පැකට් එකක් ගෙනාවා. කොච්චර හොඳද කියනවා නම් සීනි දාන්නෙත් නැතුව තමයි තේ බිව්වේ. ඒත් මේක බිව්වට පස්සේ එනවා නේද ඉවසගන්න බැරි බඩගින්නක්. එතකොට ඉතින් මුළු දවසෙම කාපුවටත් වැඩිය කනවා ඒ පැය දෙක තුනට. ඒ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා අපි ග්‍රීන් ටී බොන්නේ නැතුව ඒක පාඩම් කරන මේසේ ඉස්සරහින් තියාගෙන ඒක දිහා බලන් ඉන්න පුරුදු වුණා. හැබැයි ඒ වැඩෙත් සෑහෙන්න සාර්ථකයි ඉතින්. එකම වරද අපි කෙට්ටු නොවිච්ච එක තමයි.

ග්‍රීන් ටී නොබිව්වට අපි ආසම කරන දෙයක් තමයි තේ බොන එක. තේ කියන්නේ ප්ලේන් ටී නෙවෙයි ටී ගැන. දවසට පස් පාරක් තේ නොබිව්වොත් ඒක හරිම අඳුරු දවසක් විදියට තමයි අපි සලකන්නේ. ඒ නිසා කොහොමහරි දවසට පස් පාරක් තේ බොන්න අපි වග බලා ගන්නවා. ඒ විදියට තේ බොනකොට නම් ඉතින් මේ සයිස් එකෙන් ඉන්න එක ගැනත් හිතාගන්න බැරි තරම්.

දැන් ඉතින් අඳින්න ආසම ඇඳුම් ටික අල්මාරියෙ පැත්තක ගොඩ ගහලා ඒ දිහා හරිම දුකෙන් බලන් ඉන්නවා. කැම්පස් ආව කාලේ ෆොටෝ බලනකොට එහෙම් ඇඬෙන සයිස්. කොහොමද මෙච්චර මහත් වුණේ කියලා හිතාගන්නවත් බැරි තරම්.

දැන් නම් ඉතින් කරන එකම දේ මමත් කවදහරි කෙට්ටු වෙලා ආපහු හිටපු තත්වෙටම යාවි කියලා උදේ හවස මතක් කරන එක විතරයි. කෙට්ටු වෙන්න දෙන්න බැරිද හොඳ උපදෙසක් එහෙම?

34 comments:

  1. හයියෝ ඔයත් අහන ප්‍රශ්ණ... අපිත් ඔය ප්‍රශ්ණෙමයි අනේ තියෙන්නේ... ප්‍රොජෙක්ට් එකට දැඩි බාධා එල්ල වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින්.. කොහෙද අපිට මේ නිදහසේ ප්‍රොජෙක්ට් එකක්වත් කරගන්න බැහැ මේ විරුද්ධවාදියෝ නිසා....

      Delete
  2. ඇදුම් ටික අරන් තියන්න කෙට්ටු වුනාම අදින්න :D මට තියෙන අවුල මට මහත් වෙන්න ඕනේ :D කනවා කනවා එත් මහත් වෙන්නේ නෑ.. ආරෙට :/

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනම් මරු නේ... මට නැහැනේ එහෙම චාන්ස් එකක්..

      ඇඳුම් ටික ඉතින් අරන් තියලා තියෙනවා... කවදහරි කෙට්ටුවෙයි කියලා හිතාගෙන...

      Delete
  3. //කැම්පස් ආව කාලේ ෆොටෝ බලනකොට එහෙම් ඇඬෙන සයිස්.// මටත් ඕක ම නොවැ මේ දැන් වෙලා තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද අඬ අඬ ඉන්නවා මිසක්....

      Delete
  4. අනේ මන්දා මේ ගෑල්ලමයි මෙච්චර කෙට්ටු වෙන්න දඟලන්නේ මොකෝ කියලා.
    මමනං ඔන්න හූනෙක් වගේ කෙල්ලෙක්ට කැමති නෑ. පොඩ්ඩක් ඇඟ පත තියෙන සිංහල ආරේ කෙල්ලෙක් වෙන්ඩ එපැයි!
    මේ කෝටුකිතයියෝ වගේ ඇමරිකන් හිපි ලයින් එකට යන්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඇඟ පත තියෙන සිංහල ආරේ කෙල්ලෙක් වෙන්ඩ එපැයි! කිව්වට සිංහල කෙල්ලන්ට මහත විතරක් නෙවේ උසත් තියෙනෝ.. එහෙම බලද්දී සිංහල ආරේ බොහොම මිටි කෙල්ලෙක් තමා නාඩියට හොයන්න වෙන්නේ :v නැත්තම් වෙඩිමේ දී මනමාලි වෙනුවට නදියාට අඩි උස දාන්න වෙන්නේ :p

      Delete
    2. හපොයි නාඩියා ඉල්ලන් කාලද මන්දා..... මම නම් ඇත්තම කියනවානම් හූනෙක් වගේ නෙවෙයී... :D

      ගොඩක් කෙට්ටු වෙන්න නම් ඕනේ නැහැ... ආස ඇඳුම් ටික ඇඳගන්න තරම් කෙට්ටු වෙනවා නම් ඇති...

      Delete
  5. අපි මේ මහත් වෙන්න බැරුව ඉන්නවා.. මෙයාලා කෙට්ටු වෙන්න අහනවා..

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒක නම් ඇත්ත හැබැයි... කෙට්ටු අයට අපි කෙට්ටු වෙන කතාව කිව්වාම හොඳටම තද වෙනවා...

      Delete
  6. සිතූ මේ කතාව කලින් කමෙන්ට් එකක කිව්ව්ද? මට ඔය ග්‍රීන් ටී කතාව මතකයි.
    මාත් ග්‍රීන් ටී අතෑරලා දැම්මා. බඩගිනි වෙන හන්දා නෙවෙයි. බොන්න බෑ බොල, හරියට කසායක් බොනවා වගේ.

    ඔය ප්‍රශ්ණේ මේ මටත් තියෙනවා. මෙහෙ ඉන්නකල් හැමදාම හවසට ජොග් කරන්න යනවා. ගෙදර ගිය ගමන් වත්තෙන් එලියට යන්නෙම රෝද උඩ. කඩේට ඉඳිආප්පේ ගේන්න යන්නත් රෝද ඕනේ. ඉතින් නිවාඩුව ඉවරවෙනකොට කිලෝ සාඇහන ගානක් එකතුවෙලා. ටී ෂර්ට් ඇන්දම බඩ කැතට පේනවා. බෙල්ල තවත් මහත් වෙලා. මූණ හත‍රැස් වෙලා.

    ඔන්න දැන් තමයි ආපහු පොඩ්ඩක් පිළිවල වෙලා තියෙන්නේ.

    නමුත් සමහර වාසනාවන්තයෝ ඉන්නවා අපේ මචං කාරය වගේ, මොනවා කෑවත්, කෙට්‍ටුවට ඈරෙන්නේ නෑ. ඕක එක එක්කෙනාගෙ metabolism එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ්... මේක ඩූඩ්ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැම්මා මම.

      මාව දැකලා තියන අය දන්නවා මම කොච්චර පොඩි කාලයක් ඇතුලත අලි පැටියෙක් වගේ උනාද කියලා...

      ඒක තමයි මට තියන ලොකුම අවුල.. නැත්තම් ඉතින් එහෙම කියල ලොකු අවුලක් නැහැ.. ගොඩක් කාලෙකට පස්සේ දකින අය "අනේ ඔයාව අඳුරන්නත් බැහැ දැන්.. මහත් වෙලා තියෙන තරම........." කියනකොට ඉතින් පොළව පලාගෙන අනිත් පැත්තෙන් මතු වෙන්න හිතෙනවා....

      Delete
  7. මාරාන්තික උපවාසයක් කොරා නම් වැඩේ ගොඩ. එහෙම කරලා හරි ගියොත් මටත් කියන්න. මාත් කෙට්ටු වෙන්න මාර කට්ටක් කන්නෙ මේ ටිකේ. :))

    ReplyDelete
    Replies
    1. මාරාන්තික උපවාසයක් කරන්නේ කොහොමද? බඩගිනි වෙනවනේ... පුළුවන්නම් හරි ගියොත් මටත් කියන්න....

      Delete
  8. එලවලු වැඩියෙන් කන්න බත් අඩුවෙන් කන්න... පුලුවන් නං එළවලු තම්බලා කන්න පුරුදු වෙන්න..

    චොක්ලට්, චීස්, කිරි, මාජරින් බටර් වගේ කෑම වලින් ඈත් වෙන්න.

    තෙල් කෑමත් අඩු කරන්න...

    දිනපතාම ටික වෙලාවක් ව්‍යායාම කරන්න !

    ReplyDelete
    Replies
    1. හොස්ටල් එකේදි නම් එළවළු කන්නෙම නැහැ... චොක්ලට් නම් වැඩිය කන්නෙම නැහැ... කිරි නම් ඉතින් ෆේවරිට්....

      තෙල් කෑම නම් ටිකක් කැවෙනවා....

      ව්‍යායාම නම් කරන්නේ නැහැ ඉතින්... උදේටයි හවසටයි සංඝමිත්තා හෝල් එකේ පඩිපෙළ නගින බහින එක තමයි... ආ දවසෙම හිටගෙනත් ඉන්නවා...

      Delete
  9. හයියු...... ඔය පුරස්නේම මටත් තියෙනවා කෙට්ටුවෙලා ඉන්න කාලේ මහත් වුනානම් හොඳයි කියල හිතුනා දැන් කෙට්ටු වෙන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මට නම් හැබැයි කවදාවත් මහත් වෙන්න ඕනේ කියලා නම් හිතිලා නැහැ....

      Delete
  10. ග්‍රීන් T වලට සිනි දමා බොන්නෙ නැත.
    මටත් ඕක මුල් කාලේ තිබුන දැන්නම් එයිට වඩා දෙයක් නැත,
    දහවලට හොද කෑම වේලක් කන්න...බත් අඩුවෙන් ...සලාද,එළවලු වැඩියෙන්...මස්/මාළු පෙත්තක් සමගින්.
    උදේට,රාත්‍රියට බ්රෝකලි,කැබේජ්,බෝංචි ස්ටීම් කර,තම්බාගත් බිත්තර කහමද ඉවත් කර කන්න.
    සල්මන් මාළු පෙත්තක්/කුකුළු මස් කැබැල්ලක් ගම්මිරිස්/ලුණු අතගා ස්ටීම් කරගන්න නැත්නම් ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා දෙපැත්ත ලාවට ෆ්‍රයි කරන්න.
    ලෙටස්,කැබේජ් සහ ඔබලා කන කොල වර්ගවලට ටුනා කැබලි ටින් එකක් මිශ්‍ර කර උඩින් ඔලිව් ඔයිල් ටිකක් ඉස කෑමට ගන්න.කැරට් දමන්න එපා.
    බිත්තර සුදු මද වලට බඩගින්න ප්‍රමාද කරනව.කහමදය කන්නම එපා.
    මේ කියන මොන රෙද්ද කෑවත් වැඩක් නැහැ දවසට මිලක් ටී 5 ක් බොනවා නම්.
    දවසට ඉඩ ලැබෙන වෙලාවක විනාඩි 30 ක් අත් හොදට වනමින් ඉක්මන් ගමනින් ඇවිදින්න.
    මේ විදියට කරන්න පෙර බර කිරා ....සතියෙන් සතිය බර මැන බලන්න.
    අත්දුටුයි...වැරදුනොත් මුදල් ආපසු.... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ උපදෙස් ටිකට ..

      Delete
    2. දිගම දිග විස්තරයක්.... උපදෙස් වලට ගොඩක් ස්තූතියි... අත්හදා බලන්න වටින උපදෙස් ටිකක්....

      Delete
  11. කෙට්ටු වෙන්න දඟලන්නේ මොන එහෙකටද??
    ඔන්න ඔය ඉන්න විදියටම හිටු !!

    ReplyDelete
    Replies
    1. කෙට්ටු වෙන්න ඕනේ නේ.... අපේ ගෙදර මහතම කෙනා මම... :(

      Delete
  12. අපිට නම් දෙයියනේ කියල එහෙම පුරස්න නෑ. මොනව කැවත් මහත් වෙන්නෙත් නෑ.
    මහත් වෙන්නෙ හමට යටින් තෙල් එකතු වෙන නිසාලු නේද. ඕකට කරන්න තියන්නෙ මෙච්චරයි. තදට අව්ව තියන දවසක පැය කීපයක් අව්වෙ ඉන්න. ඊට පස්සෙ යාළුවො දෙතුන් දෙනෙකුට කියන්න අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලල, අර රෙදි මිරිකනව වගෙ දෙපැත්තට අඹරන්න කියල. එතකොට තෙල් ඉවත් වෙයි. සිම්පල් ප්ලෑන් එකක්. :D :D

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට සිතූට මාත් සපෝට් එක දෙන්න එන්නං.. :)

      Delete
    2. හපොයි ඕනේ නැහැ.. මේ ඉන්න විදිය දාහෙන් සම්පතයි ඔය වගේ කරනවට වඩා....... ඔහොම කරන්න ගියොත් ඇඹරිලා යාවි මාව...

      මධු අයියටත් අනුගමනය කරලා බලත හැකි නේ..

      Delete
  13. ග්රින් ටී මොකටද මෙයා. බොන්න දෙහි..

    ReplyDelete
    Replies
    1. දෙහි වලටත් කෙට්ටු වෙනවලු නේ.... අඹ කෑවමත් කෙට්ටු වෙනවලු... කරලා බලන්න ඕනේ ඉතින්...

      Delete
  14. ඔය දීල තියෙන්නෙ කට්ටිය අගේට උපදෙස්.

    ReplyDelete
    Replies
    1. මේ උපදෙස් අනුගමනය කළොත් නම් මාව අනිවා පැන්සලක් වගේ වේවි...

      Delete
  15. අර විරුද්දවාදියො දෙන්නව මට hire කරන්න බෑරිද ටිකක් මහත් වෙන්න...

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා කෙසේ වෙතත් කැන්ටිමේ අයියාගේ අනුග්‍රහය නම් ගන්න පුළුවන් වෙයි ඔයාට.... හැබැයි කෙට්ටු වෙන්න...

      Delete
  16. මේ පැත්තේ ගොඩවෙලා යද්දි මේ කේස් එක දැක්කේ...ඔන්න කෙට්ටු වීමේ කෙම් ක්‍රම කීපයක් කියලා යන්නම්කෝ...
    කිරි තේ බොන එක නවත්තන්න... කහට රසට ප්ලෙන්ටි අඩුම 4 ක් වත් දවසට බොන්න...කාපු ගමන් බොනවා නම් ගොඩක්ම හොදයි...
    හිනා යන ෆිලුම් නවකතා බැලිමෙන් වලකින්න... මාරක කතා..හොල්මන් කතා රෑ කියවන්න පටන් ගන්න..හොල්මන් ෆිල්ම් බලන්න පටන් ගන්න...

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......