Wednesday, April 9, 2014

වාර්නිෂ් තට්ටුව මත රඳා පවතින මිත්‍රත්වය..

අපි හැමෝම ඉන්නේ වාර්නිෂ් තට්ටුවකින් වැහිලා. හැම වෙලේම. අපේ සුළු සුළු අඩුපාඩුකම් ඒ වාර්නිෂ් තට්ටුවෙන් ගානට වහලා තියාගන්න අපිට පුළුවන්. ඒත් සමහර වෙලාවට අපිටත් නොදැනීම අපේ මේ වාර්නිෂ් තට්ටුවේ පුංචි පුංචි ඉරිතැලීම් වෙනවා. බොහෝම අමාරුවෙන් ලෝකයාගෙන් හංගලා තියාගත්ත අපේ අඩුපාඩු එතකොට පේන්න පටන් ගන්නවා

බොහෝමයක් මිත්‍රකම් රඳා පවතින්නේ මේ වාර්නිෂ් තට්ටුව උඩ. කවුරුහරි කෙනෙක් දිහා බලලා මවාගත්ත පරමාදර්ශී චරිතය අපි ඒ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ පරමාදර්ශී චරිතය බොහෝ වෙලාවට වාර්නිෂ් තට්ටුවකින් වැහිලා තියෙන්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ මේ වාර්නිෂ් තට්ටුව ඝනකම් ද තුනී ද කියන එක විතරයි. 

මේ වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වය හරිම වෙහෙසකරයි. ඔබට ඔබ වෙන්න ඉඩක් නැහැ. ඔබ හැම වෙලේම වෙහෙස වෙන්න ඕනෙ ඔබේ අඩුපාඩු හංගගෙන පරමාදර්ශී චරිතයක් වෙන්න. අනිත් අය ඔබෙන් බලාපොරොත්තු වෙන කෙනා වෙන්න ඔබට හරිම වෙහෙසක් දරන්න වෙනවා.

මේ මිත්‍රත්වයේදි වෙන කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙන්න ඉඩක් නැහැ. මොකද මේ මිත්‍රත්වය රඳා පවතින්නේ "වාව්" එක මත වීම නිසා. යාළුවෝ මොනවා කළත් "වාව්". මොකක් ඇන්දත් "වාව්". ඒ වගේ මිත්‍ර කණ්ඩායම් වලට වැරැද්දක් පෙන්වලා දෙන්න හරිම අමාරුයි. සාමන්‍යයෙන් අපි වැරැද්දක් දැක්කාම කෙළින්ම අදාල පුද්ගලයාට කියන්න බැරි නම් යාළුවෙක්ට කියනවා "මේ දේ වැරදියි. පුළුවන්නම් එයාට කියන්න කියලා" මේ වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වයේදී මෙහෙම කරන්න බැහැ. ඔබ වෙන කෙනෙක් ගැන වැරැද්දක් කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔබේ මිත්‍රත්වය පලුදු වෙන එක. ඒ වගේ වෙලාවට අහන්න ලැබෙන උත්තරේ තමයි "අපි නම් එයාට කියලා තියෙන්නේ. එයා ගණන් ගන්නේ නැහැ" කියලා. ඒත් ඇත්ත තමයි මිත්‍රත්වය පලුදු වෙනවට බයේ කිසිම කෙනෙක් අදාල කෙනාට වැරැද්ද පෙන්වලා දීලා නැහැ කියලා. 

සැබෑ මිත්‍රත්වයකදි එකිනෙකා විවේචනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම විවේචනයට පදනමක් තියෙන්න ඕනේ. ඒ පදනම ගැන කියන්නත් ඕනේ. විවේචනය දරාගන්න ශක්තියක් තියෙන්නත් ඕනේ. මේ කියන්නේ එකිනෙකාට බැන ගන්න එක ගැන නෙවෙයි. කෙනෙක් වැරැද්දක් කරනවානම් ළඟම මිතුරෙක්ට ඇරුණාම වෙන කාටද ඒක ලේසියෙන්ම නිවැරදි කරන්න පුළුවන්? 

කොච්චර අපි හරියි කියලා හිතන් හිටියත් අපි කරන ගොඩක් දේවල් වල වැරදි තියෙනවා. ඒවා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. වෙනස් කෝණෙකින් ඒ දිහා බලලා ඒ වැරදි දකින්න පුළුවන් ළඟින්ම ඉන්න යාළුවෙක්ට විතරයි. ඒ නිසා එයාලගේ අදහස් හරිම වැදගත්...

වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වයකින් මිදෙන්න පුළුවන්නම් ඒක හරිම වටිනවා.. මොකද ඒක හරිම වෙහෙසකරයි. සතුටක් නැහැ. හැමවෙලේම අනිත් කෙනාගේ අඩුපාඩු දැක දැකත් කියන්න බැරි වේදනාවෙන් පෙළෙන්න වෙනවා. නොකියාම බැරි වෙලාවක එහෙම අඩුපාඩුවක් පෙන්වලා දෙන්න වුණොත් ඒ මිත්‍රත්වයට එතනින් නැවතීමේ තිත තියන්න වෙනවා. 


වාර්නිෂ් තට්ටුවෙන් ඔබ්බට ඔබේ ජීවිතය දැකපු, දකින මිතුරෝ කිහිප දෙනෙක් හෝ ඔබට ඇති. මොනම හේතුවක් නිසාවත් ඒ අය නැති කරගන්න එපා. මොකද ඒ වගේ අය හරිම දුර්ලබයි... 




Monday, April 7, 2014

සුරා සොඬෙකුට බිරිඳක්ව....

වැළපෙන හිතක් සඟවා 
සිනහවෙන් මුව සරසා 
එනතෙක් රෑ පුරා 
බලා හිඳිනෙමි දෑස් දල්වා 

කියන කිසිවක් නාසයි 
චාටු බස් මා රවටයි 
දහසක් හේතු දක්වයි 
ආයේ බොන්නේ නැතැයි දිවුරයි 

මගෙ වැරදිම දකියි 
මා ගැන දොස්ම කියවයි 
පෙර කල ගුණ වයයි 
අන් ළඳක රූ මතින් දොඩවයි 

පැතු දිවිය මෙය නොවෙයි 
ඒ බව සිත දනියි 
හැරෙන්නට කල් වැඩියි 
බලා හිඳිනෙමි දිවිය අඳුරුයි