Wednesday, April 9, 2014

වාර්නිෂ් තට්ටුව මත රඳා පවතින මිත්‍රත්වය..

අපි හැමෝම ඉන්නේ වාර්නිෂ් තට්ටුවකින් වැහිලා. හැම වෙලේම. අපේ සුළු සුළු අඩුපාඩුකම් ඒ වාර්නිෂ් තට්ටුවෙන් ගානට වහලා තියාගන්න අපිට පුළුවන්. ඒත් සමහර වෙලාවට අපිටත් නොදැනීම අපේ මේ වාර්නිෂ් තට්ටුවේ පුංචි පුංචි ඉරිතැලීම් වෙනවා. බොහෝම අමාරුවෙන් ලෝකයාගෙන් හංගලා තියාගත්ත අපේ අඩුපාඩු එතකොට පේන්න පටන් ගන්නවා

බොහෝමයක් මිත්‍රකම් රඳා පවතින්නේ මේ වාර්නිෂ් තට්ටුව උඩ. කවුරුහරි කෙනෙක් දිහා බලලා මවාගත්ත පරමාදර්ශී චරිතය අපි ඒ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ පරමාදර්ශී චරිතය බොහෝ වෙලාවට වාර්නිෂ් තට්ටුවකින් වැහිලා තියෙන්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ මේ වාර්නිෂ් තට්ටුව ඝනකම් ද තුනී ද කියන එක විතරයි. 

මේ වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වය හරිම වෙහෙසකරයි. ඔබට ඔබ වෙන්න ඉඩක් නැහැ. ඔබ හැම වෙලේම වෙහෙස වෙන්න ඕනෙ ඔබේ අඩුපාඩු හංගගෙන පරමාදර්ශී චරිතයක් වෙන්න. අනිත් අය ඔබෙන් බලාපොරොත්තු වෙන කෙනා වෙන්න ඔබට හරිම වෙහෙසක් දරන්න වෙනවා.

මේ මිත්‍රත්වයේදි වෙන කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙන්න ඉඩක් නැහැ. මොකද මේ මිත්‍රත්වය රඳා පවතින්නේ "වාව්" එක මත වීම නිසා. යාළුවෝ මොනවා කළත් "වාව්". මොකක් ඇන්දත් "වාව්". ඒ වගේ මිත්‍ර කණ්ඩායම් වලට වැරැද්දක් පෙන්වලා දෙන්න හරිම අමාරුයි. සාමන්‍යයෙන් අපි වැරැද්දක් දැක්කාම කෙළින්ම අදාල පුද්ගලයාට කියන්න බැරි නම් යාළුවෙක්ට කියනවා "මේ දේ වැරදියි. පුළුවන්නම් එයාට කියන්න කියලා" මේ වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වයේදී මෙහෙම කරන්න බැහැ. ඔබ වෙන කෙනෙක් ගැන වැරැද්දක් කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔබේ මිත්‍රත්වය පලුදු වෙන එක. ඒ වගේ වෙලාවට අහන්න ලැබෙන උත්තරේ තමයි "අපි නම් එයාට කියලා තියෙන්නේ. එයා ගණන් ගන්නේ නැහැ" කියලා. ඒත් ඇත්ත තමයි මිත්‍රත්වය පලුදු වෙනවට බයේ කිසිම කෙනෙක් අදාල කෙනාට වැරැද්ද පෙන්වලා දීලා නැහැ කියලා. 

සැබෑ මිත්‍රත්වයකදි එකිනෙකා විවේචනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම විවේචනයට පදනමක් තියෙන්න ඕනේ. ඒ පදනම ගැන කියන්නත් ඕනේ. විවේචනය දරාගන්න ශක්තියක් තියෙන්නත් ඕනේ. මේ කියන්නේ එකිනෙකාට බැන ගන්න එක ගැන නෙවෙයි. කෙනෙක් වැරැද්දක් කරනවානම් ළඟම මිතුරෙක්ට ඇරුණාම වෙන කාටද ඒක ලේසියෙන්ම නිවැරදි කරන්න පුළුවන්? 

කොච්චර අපි හරියි කියලා හිතන් හිටියත් අපි කරන ගොඩක් දේවල් වල වැරදි තියෙනවා. ඒවා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. වෙනස් කෝණෙකින් ඒ දිහා බලලා ඒ වැරදි දකින්න පුළුවන් ළඟින්ම ඉන්න යාළුවෙක්ට විතරයි. ඒ නිසා එයාලගේ අදහස් හරිම වැදගත්...

වාර්නිෂ් තට්ටුව මත රදා පවතින මිත්‍රත්වයකින් මිදෙන්න පුළුවන්නම් ඒක හරිම වටිනවා.. මොකද ඒක හරිම වෙහෙසකරයි. සතුටක් නැහැ. හැමවෙලේම අනිත් කෙනාගේ අඩුපාඩු දැක දැකත් කියන්න බැරි වේදනාවෙන් පෙළෙන්න වෙනවා. නොකියාම බැරි වෙලාවක එහෙම අඩුපාඩුවක් පෙන්වලා දෙන්න වුණොත් ඒ මිත්‍රත්වයට එතනින් නැවතීමේ තිත තියන්න වෙනවා. 


වාර්නිෂ් තට්ටුවෙන් ඔබ්බට ඔබේ ජීවිතය දැකපු, දකින මිතුරෝ කිහිප දෙනෙක් හෝ ඔබට ඇති. මොනම හේතුවක් නිසාවත් ඒ අය නැති කරගන්න එපා. මොකද ඒ වගේ අය හරිම දුර්ලබයි... 




38 comments:

  1. අඩෝ... පට්ට ලිපියකත් සිතු... මොනවා උනත් මටත් ඉන්නවා වාර්නිෂ් තට්ටුවෙන් ඔබ්බට මාව දකින සහ වැරදි පෙන්නලා හොදින් හෝ නරකින් මගේ වැරදි හදන යාළුවෙක්. ඒ අතින් නම් මම වාසනාවන්තයි ! ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිහින! මටත් ඉන්නවා වාර්නිෂ් තට්ටුවෙන් ඔබ්බට ගිය යාළුවෝ කිහිප දෙනෙක්ම... ඇත්තටම ඒ වගේ යාළුවෝ ඉන්න එක ගොඩක්ම ලොකු වාසනාවක්...

      Delete
  2. බොහොම සාර්ථක හොද ලිපියක්.. වාර්නිෂ් තට්ටුව නිසා තමා ලෝකය විවිධ වන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දේශකයෝ!

      සමහරුන්ගේ වාර්නිෂ් තට්ටුව ඝනකම් වැඩි නිසා ඇත්ත කෙනාව පේන්නෙත් නැහැ....

      Delete
  3. ගොඩක් අය බලන්නේ වාර්නීෂ් තට්ටුව නෙහ්... මට නම් හම්බ උනා ඒ වාර්නිෂ් තට්ටුවට එහා ගියපු ගුණාත්මක වටිනාකම් ගැන හොයලා බලන කෙනෙක්... !

    ReplyDelete
    Replies
    1. එහෙනම් මධු අයියා ගොඩාක් වාසනාවන්ත් කෙනෙක්....

      Delete
  4. ඇයි ඔයාට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවානම් ඩූඩ්... මේක හරිම ආත්මාර්ථකාමී පෝස්ට් එකක්... මගේ හිතේ ආවේගය පිටකරන්න ලියපු පෝස්ට් එකක්...

      Delete
    2. මට හිතුනා සිතූ. ඇත්තෙන්ම මේ දවස්වල මමත් හිත හිත ඉන්න දෙයක් තමයි ඕක. වාර්නිෂ් කොටස ඇරුනාම මම කල්පනාකරකර හිටියේ, දෙයක් කියන්න කලින් දාස් වතාවක් හිතලා බලන්න වෙනවා නම්, බය නැතුව ඕනේ ප්‍රශ්ණයක් ගැන සාකච්ඡා කරන්න තත්වයක් නැතිනම්, ඒ නිසාම තනිවම ප්‍රශ්ණ විසඳාගන්න වෙනවා නම්, "Wow" රංගනයෙන්ම ගෙවී යන කෘතිම සබඳතාවයන් විතරක් නම්, විවෘත වෙන්න ගියාම නැති ප්‍රශ්ණ ඇති වෙනවා නම්, හිතවතුන් දාහක් අතර තනි වෙලා වගේ දැනෙන එක පුදුමයක් නෙවෙයි නේද කියලා.

      අනික සිතූ කියන අනිත් අය අප මත පටවන පරමාදර්ශී ක‍ටු ඔ‍ටුන්න දරාගෙන ඒ අනුව ජීවත් වෙන්න සිදුවෙන එක නම් වේදනාත්මයි තමයි.

      Delete
    3. කතාව සහතික ඇත්ත ඩූඩ්... කොච්චර අය හිටියත් හිතේ තියන දේ කියාගන්න බැරි නම් ඒ අය ඉඳලා මොකටද?

      එහෙම සබඳතා හරිම තාවකාලිකයි... හරිම කෘතිමයි.. හරිම වෙහෙසකරයි... මිතුරෙක් අපෙන් ඈත් වුණාම හිතට සතුටක් දැනෙන්නේ නැති වුණත් මෙහෙම සබඳතාවයකින් ගැලවෙන්න ලැබුණාම හිතට සැනසුමක් එන එක අහන්නත් දෙයක් ද?

      පරමාදර්ශි වෙන එක නම් හරිම කරදරයක්... ඇත්තටම ඒක කටු ඔටුන්නක් තමයි. ඒ හැම නීතියකින්ම බැම්මකින්ම මිදිලා එක මොහොතකට හරි "මම" වෙන්න තියනවා නම් ඒක හැම දේකටම වඩා වටිනවා...

      Delete
  5. මගේ ඉන්න ගොඩක් යාලුවොන්ට මමනං කියනවා වාර්නිෂ් තට්ටු දිය වෙලා යන්නම! මටත් එහෙම කියනවා අපේ උන්! නැත්නම් කොහොමද අපි වැරදි හදා ගන්නේ

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් වෙලාවට එහෙම තමයි... ඒත් එහෙම කියන්න බැරි අයත් ඉන්නවා... විශේෂයෙන් ගෑණු ළමයි.. එතකොට ඉතින් ඔන්න ඔහේ ඕනේ දෙයක් වෙද්දෙන් කියලා කට පියාගෙන ඉන්නවා...

      Delete
  6. කිව්වත් වගේ බැලුවහම අපි හැමෝම ඉන්නේ වාර්නිෂ් තට්ටුවකින් වැහිලා..

    හිතන්න යමක් ඉතිරිකල ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් කුශානි... අපි හැමෝම එහෙම තමයි...

      ගොඩක් ස්තූතියි ඔයාට....

      Delete
  7. වාර්නිෂ් ඕන වෙන වෙලාවලුත් තියෙනවා ඉතින්.. :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්... අපිටම වාර්නිෂ් ගාන්න වෙන වෙලාවල් තියෙනවානේ...

      සිතූ නම් හැබැයි "ඇන්ටි-වාර්නිෂ්" :D

      Delete
  8. සිතූගෙ ලිපිවල හැමදාමත් හිතන්න යමක් තියනවා. හරි ආසවෙන් මේ බ්ලොග් එකට ගොඩවෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ගිම් අක්කේ... අක්කාගේ අදහස් ලොකු ශක්තියක්...

      Delete
  9. මම නම් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඒ දේට ඔරොත්තු දෙන්න පුළුවන් එකා හැමදාම යාළුවෙක්. අනික් උන් හැලෙනවා. නමුත් මගේ හිතේ එතකොට කුණු නෑ. හිත පිරිසිඳුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා.. හිතට එන හැමදේම කියලා දාන්න පුළුවන්නම් කොච්චර හොඳද?
      ඒ වගේම පදනමක් ඇති විවේචන දරාගන්නත් ශක්තිය තියෙන්න ඕනේ..

      Delete
  10. ඉතාම වටිනා ලිපියක්...මේ මාතෘකාව හා බැදුනු අත්දැකීම් බොහෝයි. ඒ නිසාම ලද "ඉතා කටුක" අත්දැකීම් නිසා මම මිතුරන් යනු වෙනස් අත්දැකීම් මතයි හිතන්නේ. මම ඉස්සර හිතුවේ මිතුරන් නැති ලෝකය හරියට වතුර නැති මාළුවෙක් කියලා. නමුත් ඒක එහෙම නෙවේ කියලා අවුරුදු පනහක් පැන්නාටත් පස්සේ තමයි මම තේරුම් ගත්තේ. ඉතාමත් අවංක එකෙක් ඇති...මහා සේනාවකට වඩා. වරදවා හිතන්න එපා සිතු. friendsසහ companions කියන්නේ දෙගොල්ලක්.
    මම ඉස්සර කිව්වේ Most powerful ship in this world is FRIENDSHIP කියලා. ඒක තාමත් එහෙමයි. හැබැයි නිවැරදිව තේරුම් ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මිත්‍රත්වය අවශ්‍යයි. ඒත් සංඛ්‍යාවෙන් නෙවෙයි. බොහෝ මිතුරන් ඉන්න අයටත් අවශ්‍යම වෙලාවට කෙනෙක් නැති වෙන්න පුළුවන්.. එතකොට තමයි අහන්න වෙන්නේ "කෝ ඔයාගේ නල්ලමලේ යාළුවෝ සෙට් එක?" කියලා.

      ඒත් මිනිස්සු කවදාවත් තේරුම් ගන්න එකක් නැහැ අරූ, friends සහ companions කියන්නේ දෙගොල්ලක් කියලා. යාළුවෝ දාහක් හිටියත් මදි බොක්කටම සෙට් වෙන එක යාළුවෙක් හිටියේ නැත්තම්..

      Delete
  11. ඉස්කෝලේදි a/l කරන කාලේ හම්බ උනා යාලුවො සෙට් එකක් වාර්නිශ් කියන නමවත් දන්නෑ එයාලා..දෑනුත් එහෙම අය ඈති ඒත් මට තාම හම්බ උනේ නෑ :(....

    ReplyDelete
    Replies
    1. හැමෝටම වාර්නිෂ් තට්ටුවක් තියෙනවා. ඊට ඔබ්බෙන් ඉන්න කෙනා දැකීමයි වැදගත්. බාහිර පෙනුමෙන් වගේම මවාගෙන ඉන්න පරමාදර්ශි චරිත වලින් මිනිස්සු තේරුම් ගන්න එක මෝඩකමක්.

      හොඳ යාලුවෝ හම්බ වෙනවා අපිට ජීවිතේ... ඒත් එයාලව තේරුම් ගැනීමයි, එයාලව අපේ ජිවිතේ රඳවා ගැනීමයි අපිට අයිති වගකීමක්...

      Delete
  12. කතාව ඇත්ත සිතූ. මිත්‍රත්වය කියන තැන දි විතරක් නෙමේ හැම තැන දි ම මේ වාර්නිෂ් තට්ටුව පොදු යි.

    ReplyDelete
    Replies
    1. දැන් හැමතැනම හැම දේම වාර්නිෂ් තට්ටුවෙන් වැහිලා ගිහින්....

      Delete
  13. කතාව සහතික ඇත්ත...අපි හැමෝම වාර්නිෂ් වෙලා ඉන්නේ...එක එක විදියට..

    ReplyDelete
    Replies
    1. වාර්නිෂ් නැතුව බැරි වෙලාවලුත් එනවනේ...

      Delete
  14. ඔය විදිහේ යාළුවෙක් වාසනාවට වගේ මටත් ඉන්නවා.. දැන් නම් ටිකක් ඈතක වුනත් තාම ඕන දේකදි මම හොයගෙන යන එකම තැන ඒ යාළු කම.. ඒකේ වටිනකම කියලා නිම කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම් යාළුකම් තියෙන එක හැබෑම වාසනාවක්... මොකද ගොඩක් අයට ඒ වගේ යාළුවෝ නැති නිසා...

      Delete
  15. හොද ලිපියක් සිතු......
    මට නිතරම මගේ වැරදි පෙන්නල දෙන දෙන්නෙක් ඉන්නව මාතලන් & අරූ (නෙරංජ)...
    මං උන් දෙන්නව හිතං ඉන්නෙ නියම බොක්කො කියල......
    වැරදි හදාගන්න බලනව..... තාම 100% බැරි වුනා.... ඉක්මනට හදාගන්න ඔනෑ .....
    උන් දෙන්නට ලැජ්ජ කරන්න ඔද නෑ .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි...

      ඔබත් හරිම වාසනාවන්තයි සැබෑ මිතුරන් සිටින නිසා..

      Delete
  16. වාර්නිස් තට්ටු නැති තැන වැරදි අඩුයි නේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් වාර්නිෂ් නැතුවත් බැහැ මේ සමාජයේ...

      Delete
  17. ඇත්ත අපිට කවදාවත් පරමදර්ශී මිත්‍රත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැම දෙයක්ම සාපේක්ෂයි... මිත්‍රත්වයත් ඒ වගේ...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......