Saturday, May 17, 2014

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ... And They Lived Happily Ever After...

ඉස්සර හැමදාම අපි කියවපු සුරංගනා කතා ඉවර වුණේ මේ විදියට. “ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.” ඒ කාලේ නම් මම හිතාගෙන හිටියේ කුමාරයයි කුමාරියි කසාද බැන්දාම එයාලා අනිවාර්යයෙන්ම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තේ ගොඩක් පහු වෙලා.

 සතුට කියන්නේ මොකද්ද? ඒ අද හැමෝම හොයන දේ. ඇයි ඒ හැමෝම සතුට හොයන්නේ? සතුට නැති වෙලා ද? නැහැ. සතුට නැති වෙලා නෙවෙයි..සතුට අපි අතරෙම තියෙනවා. ඒත් හොයාගන්න බැහැ.
සල්ලි වලට සතුට මිලට ගන්න පුළුවන් ද? බැහැ. ඒත් සල්ලි තියන අය නැති අයට වඩා සතුටින් ඉන්නවද? ඒක කියන්න අමාරුයි. මොකද සල්ලි තියන කෙනෙක්ටයි නැති කෙනෙක්ටයි තියන ප්‍රශ්න ගොඩක් වෙනස් නිසා. සල්ලි නැති කෙනා හිතන්නේ සල්ලි නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න කියලා. ඒත් සල්ලි තියන කෙනා දන්නවා සල්ලි වලින් හැම ප්‍රශ්නෙම විසඳන්න බැහැ කියලා.

සමහර මිනිස්සු ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා. හිතින් දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා වුණාට ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නවා. ඒ ඇත්තටම සතුටින් නිසා නෙවෙයි. එකම ප්‍රශ්නෙට හැමදාම විඳවලා තේරුමක් නැති නිසා. විඳවලාම වෙහෙසට පත් වෙලා නිසා. කෙනෙක් පිටතට පේන්න සතුටින් හිටියට එයා ඉන්නේ සතුටින් නෙවෙයි වෙන්න පුළුවන්.

අපි අනිත් අයගේ සතුටට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේ සතුටින් මටත් ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒත් අපි සතුටු වෙන දේවල් එකිනෙකාගෙන් වෙනස්. මොනවා වුණත් පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම හරිම අමාරුයි. එතකොට හරිම වෙහෙසකරයි. මොකද අපි බලාපොරොත්තු වෙන දේවල් හැම වෙලේම අපිට නොලැබෙන නිසා. පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වුණාම වැඩි බලාපොරොත්තු නැහැ. හිතටත් හොඳයි.



Thursday, May 15, 2014

දයාබර නැගණියට....

මිතුරන් නැති දිවිය වුණත් 
කිසි ලෙසකින් වැඩක් නැතත් 
මිතුරු වෙසින් එන් සතුරන් 
එමට ඉඳීවී....
ඇති තැන නුඹෙ හොඳ කිව්වත් 
පණ දෙන්නට කතා වුණත් 
නුඹ නැති තැන උන් නුඹ ගැන 
රහස් කියාවී....

නුඹට හොඳක් වෙන්නට යන
හැම තැනදිම ලකුණු කපා 
ආයෙත් ගොඩ එන්නට බැරි 
වලක් කපාවී.... 
චාටු බසින් නුඹ රවටා 
වල ළඟටම ඇදගෙන ගොස් 
නුඹවත් නොසිතන මොහොතක
තල්ලු කරාවී....

නුඹේ සැබෑ මිතුරන් විත් 
නුඹ කොහිදැයි විමසන කළ 
ඔවුන් එක්ක එකතු වෙලා 
නුඹව සොයාවී....
ගොඩ එන්නට බැරිව සිටින 
නුඹව උන්ට හමුවුණ විට 
බොහොම දුකින් අනේ අපොයි 
කියා කියාවී.... 

ගොඩ එන්නට වෙර දරනා 
නුඹ නගිනා පියගැටපෙළ 
කටු අකුලින් වන ලැහැබින් 
සරුයි කියාවී.... 
දිනයක නුඹ ජය ලද විට 
අන් හැම හා පෙරමග විත් 
නුඹ හට දිරි දුන්නේ ඔවුන් 
කියා කියාවී....