Tuesday, June 24, 2014

හුදෙකලා රස්තියාදුව


අරමුණක් නැතුව කොහේ හරි ගියොත් හැමෝම මට පිස්සු කියලා හිතයි ද? ඒත් අරමුණු, බැඳීම්, වගකීම් මේ හැමදේකින්ම හිර වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ. ඒ වගේ වෙලාවට හුදෙකලා රස්තියාදුවක් තරම් තවත් දෙයක් නැහැ.

හුදෙකලා රස්තියාදුවක් හැම වෙලාවෙම තනියම යන්න ඕනේ නැහැ. හුදෙකලාව රසවිඳින්න පුළුවන් තවත් කෙනෙක් මේකට හොඳටම ගැළපෙනවා. ඒත් නීති රීති, මේ වෙලාවට මෙතන්ට යන්න ඕනේ වගෙ වගකීම් වලින් බැඳුනේ නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් එක්ක මෙහෙම රස්තියාදුවක් යන එක් හරිම රසවත්. ඒත් එහෙම කෙනෙක් නැත්තම් ගමන විනාස කරගන්නවට වඩා තනියම යන එක වටිනවා.

බස් එකේ යන ගමන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මනෝ ගහන එක. ඔය වගේ වෙලාවක කන් අඩි පුපුරන බස් සින්දුවක් නිසා මනෝ රාජ්‍යය සුනු විසුණු වෙලා යන එක නම් හරිම අවාසනාවක්. බස් එකේ ඉන්න මිනිස්සු, ට්‍රැෆික් එකේ නවත්තලා තියනකොට පාරේ යන මිනිස්සු ගැන එක එක කතා ගොතන එක මම කැමතිම වැඩක්. එයාලා මොනවා හිතනවා ඇත්ද? එයාලගේ ජීවිතේ මොන වගේ වෙන්න ඇත්ද? ඔන්න ඔය වගේ දේවල් හිතන එක හරිම රසවත් වැඩක්.

මට මෙහෙම මනෝ ගහන්න සෙට් වෙන්නෙ කැම්පස් එකට යන එන ගමන් තමයි. ඔය වෙලාවට කතා කරන්න කැමති කෙනෙක් හරි කතා කරන්න කැමති මාතෘකාවක් හරි තිබ්බෙ නැත්තම් කතා කරනවා කියන්නේ මම අකමැතිම වැඩක්. අහන්න හොඳ සින්දුවක් තිබ්බේ නැත්තම් ඔහේ කල්පනා කර කර යනවා. පහු කරගෙන යන ගොඩක් තැන් ගැන කියන්න මට කතාවක් තියෙනවා. ඒ කතා සමහර වෙලාවට එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එහෙම ගළපගන්න ඕනෙකමකුත් නැහැ. ඒත් ඒ හැම කතාවක්ම මට වටිනවා.

ඔය වගේ වෙලාවට තමයි මම හිතන්නෙ නැතුව කියපු දේවල් නිසා වෙන කෙනෙක්ගේ හිතක් රිදුනා නම් ඒ ගැන හිතන්නෙත්. හිතාමතා කරන සිත් රිදවීම් මේකට අදාළ නැහැ. ඒ වෙනුවට ඊට වඩා වෙනස් විදියට ඒක කියන්න තිබුණා නම් කියලා හිතන්නේ ඒ වගේ වෙලාවට තමයි. ඒත් ඉතින් ඒ වෙද්දි හිත් රිදිලා ඉවරයි.

මට නම් ඉතින් හුදෙකලා රස්තියාදුවක් යන්න අවස්ථාවක් ලැබෙන්නේ පුස්තකාලෙට යන එන ගමන් විතරයි. ඔය වෙලාවට යන එන පාරෙ තියෙන පොත් සාප්පු ඔක්කොම කවර් කරන්න මට ඕනේ. සමහර වෙලාවට එකම කඩේ පැය ගානක්. එකම කඩේට දෙපාරක් යන වෙලාවලුත් තියෙනවා. ඔය වගේ ගමන් තව කවුරුහරි එක්ක ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මට පිස්සු කියලා හිතනවා.

කතන්දර පොත් විතරක් නෙවෙයි, ලිපිද්‍රව්ය තියන කොටසටත් මට යන්න ඕනේ. මුළු පොත් කඩේම අවුස්සලා හරි මට ඕනේ ජාතියේ කඩදාසි වර්ගේ, පෑන් ජාතිය, සටහන් පොත් වගේ දේවල් මට හොයාගන්න ඕනේ. ඔය වගේ වෙලාවක වෙන කවුරුහරි එක්ක ගියොත් ඉතින් එයාලට එපා වෙලා “ ඔන්න ඔහෙ තියන එකක් අරන් එමු සිතූ” කියලා කියනවා. එතකොට ඉතින් එයාලා පව් නිසා තියන එකක් අරන් ආවත් මගේ හිතට හරි මදි ඉතින්.

ඔය වගේ ගමන් වලදි කැමති තැනකින් කන්න, බඩගින්න ගැන හිතන්නේ නැතුව අතට අහුවෙන ඕනේ දෙයක් කන්න, කකුල් රිදෙන එක ගැන හිතන්නේ නැතුව ඕනේ දේ හම්බ වෙනකල් ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය එක එක අරුමෝසම් බඩු ගන්න ගියාමත් හරියන ඩිසයින් එක හම්බ වෙනකල් ඇවිදිනවා ඉතින් අපි. වැඩිය සල්ලි වියදම් කරන්න බැරි නිසා අතේ තියන ගානට ගැළපෙන හොඳ එකක් හොයන්න අපි කොච්චර නම් ඇවිදිනවද? ආවාට පස්සේ කොච්චර මහන්සි වුණත් ඇවිදිනකොට නම් හරිම විනෝදයි.


ඔය හැමදේකටම ගැලපෙන යාළුවෙක් මටත් ඉන්නවා. ඕනෙම රස්තියාදුවක් ගහන්න පුළුවන්, ඒ වගේම ඒකෙන් විනෝදයක් ලබන යාළුවෙක්. ඉතින් මේ පෝස්ට් එක එයා වෙනුවෙන්.