Saturday, July 12, 2014

ආයෙත් දවසක......

වෙලාව හවස පහයි. වැඩ ඇරෙන වෙලාව. පාර පුරාම සෙනග. මේ වෙලාවට එළියට ඇවිත් මම කරගත්තෙ මෝඩකමක්ද මන්දා. ගන්න ආපු බඩු වලින් බාගයක්වත් ගන්න බැරි වුණා. මොනවා කරන්නද? තවත් දවසක් එන්න වෙනවා.

බස් එක නවත්තන තැන හොයාගන්න පාර පනින්න වෙනවා.  මෙහේ වෙනස් වෙලා තියන තරම්! මෙහේ පාරවල් ගෙදර වගේ දැනගෙන හිටපු කාලෙකුත් තිබ්බා. දැන්නම් කොච්චර වෙනස් වෙලාද? බස් එක නවත්තන තැන කාගෙන් හරි අහනවද? ඕනේ නෑ. පාර පැනලා පරණ හෝල්ට් එකටම ගිහින් බලනවා.

මම පාර පනින්න කහ ඉර ළඟට ආවා.

“ සිතූ, සිතූ” කවුද මගේ නම කියනවා ඇහුණා. මට නෙවෙයි වෙන්න ඇති. සිතූලා කොච්චර ඉන්නවද? ඒත් ආයේමත් “ සිතූ, සිතූ” කියනවා ඇහුණා. කවුද මේ? මේ බඩු ගොඩත් උස්සගෙන මට හැරෙන්නත් අමාරුයි. මම පිටිපස්ස හැරිලා බැලුවා. ඕ! මේ ඔයාමද? නැත්තම් ඔයා වගේ වෙන කවුරුහරිද? වෙන කවුරු හරි නම් මට නම කියලා කතා කරයි ද?

“මේ ඔයාද?” මම ඇහුවා.

“ඔව් නේ. මේ මම තමයි” ඔයා හිනා වෙවී කිව්වා.

“මෙහේ කොහේද?” ආයෙත් මගෙන් ප්‍රශ්නයක්.

“දැන් මම වැඩ කරන්නෙ මෙහෙනේ. ඔයා කොහෙද මේ බඩු ගොඩකුත් උස්සගෙන?”

“මම බඩු වගයක් ගන්න ආවා.” මම කිව්වා.

“ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හිටපු විදියමයි” ඔයා කිව්වා. ඒක ඇත්ත. මම වෙනස් වෙලා නැහැ. වෙනස් වුණේ ඔයා නේ. ඒත් ඕවයෙන් දැන් වැඩක් තියෙයිද? නැහැනේ.

“ඔයා නම් සෑහෙන්න වෙනස් වෙලා. මට අඳුරගන්නත් බැරි වුණා” මම ඇත්තම කිව්වා. ඔයාගේ මූණ වෙනස් වුණාද මන්දා. ඒත් ඔයා ඒ බවක් නොපෙන්නා ඉන්න උත්සහ කරන බවක් මට දැනුණා.

“ඔයාට පරක්කු වෙනවද? අපි මොනවහරි බීලා කතා කරමුද” ඔයා ඇහුවේ හරිම පරිස්සමෙන්.

“හා” මට යන්න ඕනේ වුණත් එහෙම කියවුනේ එයාගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති. මට කවදාවත් එයාගේ හිත රිද්දලා  පුරුද්දක් තිබුණේ නැහැ. හැමදාම හිත රිද්දන කොටස තිබ්බේ එයාගේ අතේ.

අපි කතා නැතුවම ඇවිදගෙන ආවා. ඒ නිහඬ බව ඔයාටත් දරාගන්න බැරුව වෙන්න ඇති ඔයාම ආයෙත් කතාව පටන් ගත්තේ.

“දැන් කොහෙද වැඩ කරන්නේ?” ප්‍රශ්නේ ඔයාගෙන්.

“නුවර එළියේ” මගෙන් කෙටි උත්තර.

“ෂා නියමයිනේ. ක්වාටර්ස් වලද ඉන්නේ” ආයෙමත් ප්‍රශ්නයක්.

“ඔව්” ආයෙමත් මගෙන් කෙටිම කෙටි උත්තරයක්.

“දැන් නිවාඩු ද?” ආයෙත් ඔයා අහනවා.

“ නෑ. මේ වීකෙන්ඩ් එකට ආපු ගමන්” මම ගහගන්න වගේද මන්දා උත්තර දෙන්නේ. ටිකක් හෙමීට කතා කරන්න ඕනේ.

අපි පාර බෙදෙන තැනකට ඇවිත්. පාර දෙපැත්තේ අවන්හල් දෙකක්.

“කොයි එකටද යන්නේ” ඔයා මගෙන් අහනවා. 

“ මුහුද පැත්තේ එකට” ඒ මගෙ උත්තරේ.

“තාමත් මුහුදට ආසයිද” ආයෙත් ඔයාගෙන් ප්‍රශ්නයක්.

“ හ්ම්ම්ම්” ඒ මගෙ උත්තරේ.

අපි දෙන්නා  අවන්හලට ඇතුල් වුණා.

“ අයිස් කොෆී බොමුද”

“ හා”

අපි වාඩි වුණා. ඔයා මගේ දිහා බලාගෙන. මම මුහුද දිහා බලාගෙන.

“අයියා බැන්දලු නේ? මටත් වෙඩින් එක කිව්වා. ඒත් රස්සාවට ගිය අලුතම නිසා නිවාඩු ගන්න ටිකක් අමාරුයි. ඒ නිසයි එන්න බැරි වුණේ” ඔයා කියාගෙන ගියා.

“ ඔව්. බැඳලා ඒ දෙන්නා රට ගියා” මම කිව්වා.

“ ඔයා බැන්ඳේ නැද්ද” ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් මාව ගැස්සුණා.

“නැහැ. මුහුද ළඟ ගෙයක් තියන එක්කෙනෙක් හම්බ වුණේ නැහැ නේ” මම කිව්වා නෙවෙයි කියවුණා. ඊට පස්සේ අපි දෙන්නටම හිනා.

ඒ උත්තරෙන් පස්සේ අපි දෙන්නා අතරේ තිබ්බ ආගන්තුක බව ටිකක් හරි අඩු වුණාද මන්දා. ඊට පස්සේ ගෙදර විස්තර, රස්සාවේ විස්තර, තවත් රටේ නැති වල්පල් කියව කියව ටික වෙලාවක් හිටියා. දන්නෙම නැතුව කලුවරත් වැටුණා.

“ මම දැන් යන්න ඕනේ” ඔරලෝසුව දිහා බලපු මට කියවුණා.

“ කළුවරත් වැටිලා. ඔයාට ගිය හැකිද” ඔයා ඇහුවා.

“ඔව්, මට පුළුවන්” මම කිව්වා.

“ යමු. මම ඔයාව බස් එකට දාන්නම්.” ඔයා අසුනෙන් නැගිට්ටා.

ආයෙත් බස් හෝල්ට් එකට එනකම් අපි අතරෙ කතාවක් වුණේ නැහැ. බස් හෝල්ට් එකටම ආවට පස්සෙයි ඔයාගේ කටහඬ අවදි වුණේ.

“ ඉතින් කියන්න, අපි ආයෙත් හම්බ වෙයිද?” ඔයා ඇහුවා. මට කියාගන්න දෙයක් නැති වුණා. මට ඕනේ වුණේ ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න.

“ මම දන්නේ නැහැ. බලමු ඉතින්” මම කිව්වා. “ මම ගිහින් එන්නම්” ආයෙත් ඔයා මොනවත් කියන්න කලින් මම කිව්වා.

“පරිස්සමෙන් යන්න” බස් එක ඇද්දුවා. බස් එක නොපෙනී යනකම් බලන් ඉන්න ඔයාව මම යන්තමට දැක්කා.


මතු යම් දවසක 
ආයෙත් හමුවෙමු 

කියූ කතා බස් 
මතකෙට නංවමු 

ආගන්තුක ලෙස 
යන්තම් හිනැහෙමු 

නැවතත් හමු නොවෙනා 
ලෙස වෙන්වෙමු


ප.ලි.- මේ මම මූණුපොතේ දාපු කවියකට ලියපු කතාවක්. නිර්මාණයක් පමණයි...