Saturday, August 30, 2014

ජීවිතේ..... විඳින්න....

ජීවිතේ විඳින්න තියනවනම් අපි හැමෝම කැමතියි. මොකද අපි හැමදෙයක්ම කරන්නේ සතුට හොයන්න නිසා. ඒත් ජීවිතේ විඳින්නේ අපි කීයෙන් කී දෙනාද? ජීවිතේ විඳින අය නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් අපිට හම්බ වුණාට ජීවිතේ විඳවන අය නම් ඕනේ තරම් ඉන්නවා.

නීති රීති, යුතුකම්, වගකීම් ඔය හැම දේකින්ම අපිව සමාජයට බැඳලා. අපිට අපිවම ලිහාගන්න බැරි විදියට. ඒ බැඳීම් වලින් මිදෙන්න උත්සහ කරන තරමටම අපිව ඒ දේවල් වල තව තවත් පැටළෙනවා. ඒ නිසා බැඳීම් වලින් මිදිලා අපිට ජීවිතේ විඳින්න බැහැ. ඒ බැඳීම් ඇතුලෙම ඉඳන් ජීවිතය විඳින්න අපිට සිද්ධ වෙනවා.

කවදාවත් හැම දේකම පරිපූර්ණත්වය හොයන කෙනෙක්ට ජීවිතේ විඳින්න බැහැ කියන්නේ ඇත්තද? අපිට හම්බ වෙන කිසිම දෙයක් පරිපූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා ඒක අපිට ජීවිතේ විඳින්න බාධාවක්ද? හැම දේම නීතියට කරන ( මෙතන නිතිය කියන්නේ රටේ නීතිය නෙවෙයි), ඒ නීතියෙන් පොඩ්ඩක්වත් ඔබ්බට යන්නේ නැති අයට නම් ජීවිතේ විඳින්න ගොඩක් අමාරුයි. දකින දේවල් වල මතුපිට පමණක් බලන, ඒ දේවල් බලන්නේ නැතුව ඔහේ පෙනෙනවට දකින අයට නම් ජීවිතේ විඳින එක සිහිනයක් පමණයි.

මෙහෙම ජීවිතේ විඳින එකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දකින්නේ හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒත් හරියට බැලුවොත් එතන ගොඩක් ලොකු දෙයක් තියනවා. තේරුම් ගන්න වගේම විඳින්න. මතුපිටින් විඳින විඳීම් හරිම තාවකාලිකයි. ඒ වගේම හරිම නොගැඹුරුයි. ඒවා හැමෝම විඳිනවා. ඒත් හැමෝම නොදකින පොඩි දේවල් වල ගොඩක් ගැඹුරු ඒත් සරල විඳීමක් තියනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ. ඒ වගේම ඒක කාටවත් තේරුම් කරන්නත් බැහැ. ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට තේරුම් කරන එක හරිම අමාරු වැඩක්. ඒක ලේසියෙන් තේරුම් ගන්නත් බැහැ.

අපේ යාළුවෝ කියන්නේ ගොඩක් වෙලාවට අපි කැමති දේටම කැමති, සමාන අදහස් තියන අය. ඒත් එහෙම නොවන අයත් අපේ යාළුවෝ වෙන අවස්ථා තියනවා. ඒ වගේ අවස්ථා වලදි අපි අනිත් අයගේ වෙනස් අදහස් වලට එකඟ විය යුතුයි යැයි නියමයක් නැහැ. ඒත් ඒ අදහස් ඉවසීම වැදගත්. එයාලා අපි වගේ ජීවිතේ විඳින්නේ නැති වෙන්න පුළුවන්. හැම දේකම අපි දකින වෙනස එයාලා නොදකින්න පුළුවන්. ඒත් ඒ අයගේ අදහස් වලිනුත් අපිට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ අදහසුත් අපිට වටිනවා.

ඒත් අපිට ඉන්න මිතුරු ලයිස්තුව ඇතුළේ අපේ අදහස් වලට ගොඩක් සමානකම් තියන යාළුවෝ ඉන්නවා. එයාලත් පොඩි දේවල් වල ගැඹුරු ඒත් සරල විඳීමක් දකිනවා. අපි දකින දෙයක් ගැන කිව්වම ආයේ අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරිම ගැඹුරු තේරුම් ගැනීමක්. ඒ වගේ යාළුවෝ ඉන්න එක හරිම වටිනවා.


ඉතින් මේ පෝස්ට් එක මගේ මිතුරන් අතරේ ඉන්න අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ඒ වගේ මිතුරන් වෙනුවෙන්…

14 comments:

  1. භයානක පෝස්ට් එකක් !!! :D

    ReplyDelete
  2. මම නම් එයින් එක්කෙනක් නෙවෙයි වෙන්නැති. නමුත් සැබෑ මිතුරුකම සදා දිනේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩූඩ්! ඩූඩ් වුණත් ඩූඩ්ගේ ළඟින් ඉන්න් යාළුවන්ට හොඳ understanding එකක් තියන යාළුවෙක් වෙන්න ඇති කියලා මට හිතෙනවා..

      Delete
  3. අපි හැමතිස්සෙම ජීවිතේ විඳිනව. ඒත් එක එක වෙලාවට ජීවිතේ එක එක රසයි. වෙලාවකට පැණි රස ජීවිතේම වෙලාවකට ඇඹුල් රසයි නැත්තං තිත්තයි. ඒක ඉතිං ජීවිතේ හැටිනෙ. ඒත් අපි ජීවිතේ සතුටින් ඉන්නවද නැද්ද කියල තීරණේ වෙන්නෙ අපි ජීවිතේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන විදිහෙනුයි. මතකනෙ පොලියානව...

    එතකොට යාළුවො. ඒගොල්ලො තමයි අපි වැරදි පාරක යන්න හදනවනං අපිව හරි පාරට ගන්නෙ. එහෙම නොකරන කාවවත් හොඳ යාළුවෙක් විදිහට බාර ගන්න එපා. අනිත් අතට තමන්ට ඒ විදිහෙ යාළුවෙක් වෙන්න බැරිනං හොඳ යාළුවො හම්බවෙන එකකුත් නෑ...

    ඉතින් ඔහොමයි මට හිතෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැම් රසක්ම තියෙන්න ඕනේ නේ... නැත්තම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ තමයි... පොලියානා ඉතින් හැම දේකම සතුටු වෙන්න දෙයක් හොයනවානේ.

      තමන්ගේ විදියට තමයි යාළුවෝ හම්බ වෙන්නේ කියන එක මමත් තදින්ම විශ්වාස කරන දෙයක්.

      ගොඩක් ස්තූතියි මේ පැත්තේ ඇවිත් දිග, වටිනා අදහසක් කියලා ගියාට...

      Delete
  4. මම කිව්වොත් ඔබට විදීමේත් විදවීමේත් අවසාන ප්‍රතිපලය එකමයි කියලා ඔබ පිලේගනීද මදා, මොකද කෙනෙක් සිතන පතන විදිය එයාගෙන් තවකෙනෙක්ට සාපේක්ෂයි, ඔබ දෙයක් දෙස දකින විදියට නොවේ වෙන්න පුළුවන් මම ඒ දෙස දකින්නේ, මොහොතක් හිතන්න විඳීම ඇති තැන සතුටද ඒ තුලින් බැඳීමද, බැඳීම ඇති තැන දැනෙනා හෝ නොදැනෙනා කිසියම් දුකක්ද ඇත මද ඒ බැඳීම තාවකාලික හෝ දිගුකාලීන වුනත් එයින් වෙන් වන්න සිදු වුනොත් ඔබට දුකක් ඇති වන්නේ නැද්ද, විඳවීම ඇති තැනද ඉතින් එලෙසමය. එතින් දෙකෙහිම අවසාන පලය දුකක්මයි. ඉතින් අපි සතුට සොයාගෙන යන්නේ දුක පස්සෙමයි. සතුට විඳීම සොයාගෙන යන්නට අවශ්‍ය නෑ, එය මී ඉන්නා මොහොතේත් උපදවා ගත හැකි දෙයක් විදියටයි මට නම් හැඟෙන්නේ, මොකද සතුටත් දුකත් මේ සියල්ලම මනසේ එම්හෙමත් නැත්තම මේ සිතේම අරුම පුදුම නිර්මාණ අපි තාමත් හරියටම තේරුම් නොගත්ත.

    එතින් තමා සියල්ලෙන් නිදහස් වීම තමා වඩාත්ම වැදගත් වෙන්නේ, ඒ කියන්නේ නිවීම නම් නෙවේ, වගකීම්, නීති, සමාජය, මේ සියල්ල සමග ගනුදෙනු කරත් ඒවාට ඇලී නොසිටීමට උත්සාහ කිරීමයි වටින්නේ. මොකද අපි මොකකකට හරි ඇලෙන්නේ මනසින් මිසක් හෞතික වශයෙන් නම් නෙවේ. එහෙනම් යනකොට අරන් යන්නත් එපයි, එත් එහෙම කවුරුවත් අරන් ගියා කියලා අපි අත් දැකල නැහැන.

    ඉතින් මට හැඟෙන්නේ තමන් කිසිවක් මත පදනම් නොවී සිටීම , කිසිවක් ගැන මහා ලොකු හීන, බලාපොරුත්තු නොතියා ගන්න තරමට සතුට නිදහස වැඩි, ඔබ යමක් මත පදනම් වනවා නම් එම පදනම වෙනස් වන මොහොතක් මොහොතක් පාසා ඔබටද වෙනස් වන්නත් එය විඩාවකුත් එම නිසාම දුකකුත් හට ගන්නේ නෑ කියලා කියන්න පුලුවන්ද. ඒ නිසා ඔබ කිසිවක් රඳා පවතින්නෙකු වෙන්න එපා, එහි සිටින්න, එත් ඇලෙන්න නම් එපා, ඒ ආකාරයේ ජීවිතය විඳීමක් ගැන හිතන්න පුලුවන්ද?

    ඉතින් එකයි මම කිව්වේ විඳීමත් විඳවීමත් දෙකම එකයි කියලා. හරියටම කිව්වොත් අවබෝදයෙන් තොර මොනම දෙයක් උනත් විඳීම කාමසුඛල්ලි කානු යෝගය වගේ. විඳවීම අත්තකිලමතානු යෝගය වගේ. ඉතින් කොහෙද හැබෑම සතුටක්.

    හිතන්න ලස්සන දෙයක් දැක්කොත් අයෙත් හැරිලා බලනාව නේද? අන්න ඇලුනා, ඒ දේ පහු උනාම හෝ ඒ දෙයින් වෙන් උනාම දුකක්, ඒ ලස්සන දේ ඔබේ ප්‍රියයෙක් වන්නත් පුළුවන්, එතින් ඒ මොහොත තුල ජීවිතය වින්දට ඔබ සැබවින්ම විඳලාද?

    හිතන්න ඔබ ආසම සින්දුවක් අහ අසා ඉන්නවා හෝ ඇසෙනවා, ඔබත් එය මුමුනන්නේ නැද්ද? එක පාරටම අකමැති ගෝසාවක් ඇහෙනවා, ඔබට කේන්ති යන්නේ නැද්ද? ඉතින් කෝ අර කලින් කී විඳීම, මොහොතකින් විඳවීමක් වෙලානේ?

    අනිත් කාරනා වලදිත් ඔය දේමයි සිදුවෙන්නේ ඇලුනොත් හරි ගැටුනොත් හරි. ඉතින් ඔබ මොන දේ කරත් මනසින් ඒ දේ අත හරින්න. (පුදුමයි නේද? අල්ල ගන්නලු එත් අතහැරලා අල්ලගන්නලු) හිතන්න මේ කාරනා තුල ඔබට මොන විදියට සැබෑවටම ජීවිතය විඳින්න පුලුවන්ද කියලා.

    දැක්කනම් දැක්ක පමණයි
    ඇසුනා නම් ඇසුනා පමණයි
    වින්දා නම් වින්දා පමණයි
    කිසිම දෙයක් මනසේ තැම්පත්කර නොගන්න

    බන වගේ උනාට හරිම සරලයි. ජීවිතය විඳින්න එත් අවබෝධයෙන් විදින්න, ඔබ දෙයක් පවතී ලෙස මනසින් ගන්නකන් ඒ දේ එලෙන්සින්ම පවතී. එහෙත් කුමක්ද සැබවින්ම පවතින්නේ මොහොතින් මොහොත වෙනස් වෙමින් විනාශ වෙද්දී? අපි ඇත්තටම ජීවිතය විඳිනවද එහෙමත් නැත්තන් තමන්වත් නොදන්නා විඳීමක් හොයාගන්න බැරිව ජීවිතය විදවනවද? මම නම් හිතන්නේ ඉතින් මේ විදියට ජීවිතේ විඳින එක හරිම සැහැල්ලුයි. කිසිම බරක් නෑ, මහා ලොකු බලාපොරොත්තු නෑ ඉටු නොවුනා කියලා දුක් වෙන්න, ඒ වගේම ඉටු වුනා කියලා සතුටු වෙන්න. ඉතින් ජීවිතය විඳිනවද වින්දවනවද යන්න ඔබම තීරණය කලයුතු මිසක් වෙන දීවල් වලට ඒවා තීරණය කරන්න එදා දෙන්න එපා. එවිට ඔබට සැබෑම ජීවිත විඳීමක් ඔබ තුලින්ම ගොඩ නාගාන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි... ඒත් අපිත් පෘතග්ජන මිනිස්සු නේ.. සතුටක් ලබන්න කැමතියි පොඩි දේකින් හරි....

      ගොඩක් ස්තූතියි වටිනා අදහසට...

      Delete
  5. ඇත්ත ජීවිතේ විඳින්නේ හරිම සුළු පිරිසක්..

    යාළුවෝ ගැන කියනව නම් එකම විදිහෙ අයට වඩා වෙනස් විදිහෙ අය ඉන්නකොට දකින පැති හුඟක් තියෙනව කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් කුශානි... ඒ වෙනස් විදි වලින් අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්..

      Delete
  6. ජීවිතේ විඳින එකත් ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්... අමාරුයි.. ඒත් ජීවිතේ විඳින එක ජීවත් වෙන් එක පහසු කරවනවා...

      Delete

  7. මෙහෙම ජීවිතේ විඳින එකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දකින්නේ හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒත් හරියට බැලුවොත් එතන ගොඩක් ලොකු දෙයක් තියනවා. තේරුම් ගන්න වගේම විඳින්න. මතුපිටින් විඳින විඳීම් හරිම තාවකාලිකයි. ඒ වගේම හරිම නොගැඹුරුයි. ඒවා හැමෝම විඳිනවා. ඒත් හැමෝම නොදකින පොඩි දේවල් වල ගොඩක් ගැඹුරු ඒත් සරල විඳීමක් තියනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ. ඒ වගේම ඒක කාටවත් තේරුම් කරන්නත් බැහැ. ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට තේරුම් කරන එක හරිම අමාරු වැඩක්. ඒක ලේසියෙන් තේරුම් ගන්නත් බැහැ.
    <==සමා අවසර මේ ටික මම සොරා ගත්තා ....අර දිනේෂ් මලයා කියනවා වගේ ජිවිතේ විඳින එකත් ඒතරම් ලේසි දෙයක් නෙවේ නොවෑ

    ReplyDelete
    Replies
    1. ඒක් නම් ඇත්ත. ඒත් ජීවත් වෙන එකත් හරිම අමාරු කටයුත්තක් වුණ කොට ඒක විතරක් ලේසි වෙන එකක් නැහැනේ...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......