Sunday, October 5, 2014

මම කියවන හැටි

පොතකට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ද? ඔව් ඇත්තටම. මම හිතන්නේ ගොඩක් දෙනා ඒ මතය පිළිගනීවි. පහුගිය කාලෙ Book Bucket Challenge එකේ තිබුණෙත් තමන්ගේ ජීවිතේ වෙනසක් කරපු පොත් 10ක් ගැන කියන්න කියලානේ. ඒත් හැම පොතක්ම ජීවිතේ වෙනස් කරනවා. නොගිණිය හැකි ප්‍රමාණෙකින් හරි. ඒත් සමහර පොත් හරිම දරුණු විදියට ජීවිතේ වෙනස් කරනවා. අපි කැමති වුණත් අකමැති වුණත්.

මම පොත් කාවෙක් ද පොත් ගුල්ලෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් මම පොත් කියවනවා. පොතේ මාතෘකාවේ ඉඳන්, පෙරවදනේ ඉඳන් හැම අකුරක්ම පසුවදන වෙනකන්ම කියවනවා. පොතේ පරිච්ජේද, අකුරු පේළි විතරක් නෙවෙයි ඒ අකුරු පේළි අතර යටින් දිවෙන කතාව මම කියවනවා. ගොඩක් වෙලාවට පොතේ කතාවටත් වඩා රසවත් වෙන්නේ මේ යටි පෙළ. ඒ යටි පෙළ තේරුම් ගත්තේ නැත්තම් සමහර වෙලාවට පොත කියවලත් වැඩක් නැහැ.

සමහර පොත් උඩින් පල්ලෙන් කියෙව්වම ඇති. ඒ වගේ පොත් වල තියෙන්නෙ මතුපිටින් දිවෙන සරල කතාවක්. මහන්සි වෙලා හිතලා තේරුම් අරන් විඳින්න දෙයක් ඒ කතාවේ නැහැ. ඒත් සමහර පොත් එහෙම නෙවෙයි. ගොඩක් හිතලා තේරුම් අරන් කියවලා විඳින්න ඕනේ පොත් ඒ වගේ. ඒ පොත් අර තලු මරලා රස විඳින්න ඕනේ ජාතියේ පොත්. ඒත් තවත් සමහර පොත්... ඒවා එක පාරක් කියවලා මදි. ආයෙ ආයේ කියවන්න ඕනේ. කියවන හැම වතාවකදිම කලින් පාර හමු නොවෙච්ච දෙයක් හම්බ වෙනවා ඒ පොතෙන්. අවුරුදු ගාණකට පස්සේ වුණත් ආයේ කියවද්දි මුලින් විඳි රසය කිසිම අඩුවක්  නැතුව දෙන්න පුළුවන් ඒ පොත් වලට. මේ වගේ පොත් වල නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ. ගොඩක් වෙලාවට අපි අකමැති වුණත් හරිම හිත් පිත් නැති විදියට අපේ ජීවිතේ වෙනස් කරන්නේ මේ වගේ පොත්.

මට ගොඩක් වෙලාවට චිත්‍රපටියක් එක දිගට බලන්න බැහැ.  එහෙම බලන්න නම් ඒ මගේ හිත ඉතාම තදින් ඇදගත්ත චිත්‍රපටියක් වෙන්න ඕනේ. හින්දි චිත්‍රපටි නම් කොහොමටත් බලන්න බැහැ ඉතාම විශේෂ නැත්තම්. එහෙම නැත්තම් මට කරන්න වෙන කිසිම වැඩක් නැති වෙන්න ඕනේ. ඒත් පොත් එහෙම නැහැ. කොච්චර බොළඳ සීනිබෝල පොතක් වුණත් මට එක දිගට කියවන්න පුළුවන්. ඒක කියවලා අමතක කරලා දාන එක වෙනම කතාවක්. ඒත් මට කියවන්න පුළුවන් එක දිගට.

සමහර පොත්, පොත් සාප්පුවෙන් හරි පුස්තකාලෙන් හරි ගෙනාවම ඉවසිල්ලක් නැහැ ඒ පොත් කියවන්න පටන් ගන්න. එදා දවසෙම කොහොමහරි ඒ පොත කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් එහෙම නැහැ. ඒ පොත කියවන්න අවශ්‍ය මූඩ් එකට ඇතුල් වෙන්න දවස් ගණන් බලන් ඉන්න වෙනවා. එහෙම නැත්තම් හරියටම ඒ පොත විඳින්න බැහැ. සමහර  පොත් එක හුස්මට කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් වල චරිත ඇතුලට කිමිදිලා ඒ චරිත එක්ක ජීවත් වෙලා ඒ පොතේ පිටු අතරෙ රඟපාන ගමන් පොත විඳින්න ඕනේ.

මගේ කියවීමේ කතාව ඇතුලේ චරිත ගොඩක් ඉන්නවා. මේ හැම චරිතෙම රඟපාන්නේ සිතූ. තාත්තා සිතූට ඇහෙන්න කළු කුරුල්ලා පොත කියවද්දි ඒකේ එන අනිත් ලස්සන කුරුල්ලෝ කළු කුරුල්ලට නපුරුකම් කරලා රිද්දන කොටසෙදි ඉකි ගගහ අඬන පුංචි සිතූ. අම්මා රෑට බත් උයනකල් “පුංචි” පත්තර මිටියක් තියාගෙන අම්මට ඇහෙන්න මිස්ටර් ෆොක්ස් කියවන පුංචි සිතූ. තාත්තා වැඩ ඉවර වෙලා එනකල් කොළඹ විශ්වවිද්‍යාලේ පුස්තකාලෙ ලොකුම ලොකු හාන්සි පුටුවක කකුල් දෙකත් උඩට අරගෙන “ නිදි මීයා සහ ඉගිලෙන මීයා” කියවන එක වසරේ සිතූ. ඒ කාලේ අපිට අල්ලන්න වත් නොදීපු පුස්තකාලෙ හතර, පහ වසරවල අක්කලාගෙ ලොකු පොත් රාක්කෙ පොත් හොරෙන් කියවපු තුන වසරෙ සිතූ. සිකුරාදට පුස්තකාලෙන් ගෙනියන පොත් සෙනසුරාදා වෙද්දි කියවලා ඉරිදා දවසෙම කම්මැලිකමේ ඉන්න සිතූ. පහ වසරෙදි සිංහල පාඩම උගන්නන වෙලාවේ සිංහල පොත ඇතුළට “හීන් සැරය” පොත දාගෙන කියවලා මිස්ගෙන් බැනුම් අහන සිතූ.

ඊටත් පස්සේ අම්මගේ මේස ලාච්චුවේ පොත්, ෆයිල් ගොඩක් අස්සෙ හංගපු “ උදා වූ යෞවනය” හොරෙන් කියවන සිතූ. හැමදාම කෝච්චියේ ගෙදර යන ගමන් ඔලුව උස්සන්නේ නැතුව පොතකට ඔලුව නවාගෙන ගිහින් ඔලුව කැක්කුම හදාගෙන අම්මගෙන් බැනුම් අහන සිතූ. රෑට හොල්මන් කතා පොත් කියවලා නිදාගන්න යද්දි ලයිට් එක නිවලා එන අතර මගදි හොල්මනක් අල්ලගනියි කියලා බයේ පන කඩාගෙන ඇඳට දුවලා වේගෙන් ඇඳට පනින සිතූ. දහය වසරෙදි මල් පොත් සිහිය නැතුව කියෙව්වත් ඒවා කියෙව්වා කියලා මේ මෑතක් වෙනකම්ම පිළිගන්න ලැජ්ජාවෙන් හිටපු සිතූ.

ඒ ලෙවල් විබාගෙට මාස දෙකක් තියලා කකුල කඩාගෙන ඇඳට වෙලා ඉන්න වුණාම ඒ පිටින් දාලා “ඈන්” පොත් සෙට් එකම විසි තිස් පාරක් කියවපු සිතූ. ඉස්කෝලේ යන දවස් වල ආස පොතක් යාළුවෙක්ගෙ ළඟ තියනවා කියලා දැකලා ඒ පොත් ඉල්ලුවාම යාලුවා දෙන්න බෑ කිව්වාම කවදහරි ලොකු රස්සාවක් කරලා ලොකු පඩියක් අරන් මුළු පඩියෙන්ම පොත් ගන්නවා කියලා හිතපු සිතූ. මේ අදටත් බුක් ෆෙයාර් එකේ සිකියුරිටි රස්සාවක් කරනවද කියලා යාළුවෝ අහන්න තරම් වතාවක් බුක් ෆෙයාර් එකට හැමදාම වගේ බඩගාන සිතූ.

කියවන්න පටන් ගත්ත මුල් කාලෙට වඩා දැන් ගොඩක් වෙනස්. කියවන පොත්, කියවන විදිය වගේම කියවන්න යන වෙලාවත්. ඒත් අදටත් වෙනස් නොවෙන එකම දේ තමයි පොත් වලට පණ තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන එක. පොත් වලට කතා කරන එක. පොතක් ලැබුණ ගමන් කියවන්න කලින් ඒ පොත් වලට කවර දාන එක. පොත් වලට රිදෙයි කියලා පොත මුනින් අතට නවන එකත්, පොතේ පිටු නවන එකත් කවදාවත් නොකරන එක. එහෙම කරන්න එපා කියලා මගෙ පොතක් ගෙනියන්න එන කෙනාට විසි තිස් පාරක් කියන එක. ඒත් ඒ මොනවා කිව්වත් කළත් යාළුවෝ මම කොච්චර ආස පොතක් නැති කළත් මොනවත්ම කියන්නේ නැතුව දුක හංගන් ඉන්න එක.