Sunday, October 5, 2014

මම කියවන හැටි

පොතකට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ද? ඔව් ඇත්තටම. මම හිතන්නේ ගොඩක් දෙනා ඒ මතය පිළිගනීවි. පහුගිය කාලෙ Book Bucket Challenge එකේ තිබුණෙත් තමන්ගේ ජීවිතේ වෙනසක් කරපු පොත් 10ක් ගැන කියන්න කියලානේ. ඒත් හැම පොතක්ම ජීවිතේ වෙනස් කරනවා. නොගිණිය හැකි ප්‍රමාණෙකින් හරි. ඒත් සමහර පොත් හරිම දරුණු විදියට ජීවිතේ වෙනස් කරනවා. අපි කැමති වුණත් අකමැති වුණත්.

මම පොත් කාවෙක් ද පොත් ගුල්ලෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් මම පොත් කියවනවා. පොතේ මාතෘකාවේ ඉඳන්, පෙරවදනේ ඉඳන් හැම අකුරක්ම පසුවදන වෙනකන්ම කියවනවා. පොතේ පරිච්ජේද, අකුරු පේළි විතරක් නෙවෙයි ඒ අකුරු පේළි අතර යටින් දිවෙන කතාව මම කියවනවා. ගොඩක් වෙලාවට පොතේ කතාවටත් වඩා රසවත් වෙන්නේ මේ යටි පෙළ. ඒ යටි පෙළ තේරුම් ගත්තේ නැත්තම් සමහර වෙලාවට පොත කියවලත් වැඩක් නැහැ.

සමහර පොත් උඩින් පල්ලෙන් කියෙව්වම ඇති. ඒ වගේ පොත් වල තියෙන්නෙ මතුපිටින් දිවෙන සරල කතාවක්. මහන්සි වෙලා හිතලා තේරුම් අරන් විඳින්න දෙයක් ඒ කතාවේ නැහැ. ඒත් සමහර පොත් එහෙම නෙවෙයි. ගොඩක් හිතලා තේරුම් අරන් කියවලා විඳින්න ඕනේ පොත් ඒ වගේ. ඒ පොත් අර තලු මරලා රස විඳින්න ඕනේ ජාතියේ පොත්. ඒත් තවත් සමහර පොත්... ඒවා එක පාරක් කියවලා මදි. ආයෙ ආයේ කියවන්න ඕනේ. කියවන හැම වතාවකදිම කලින් පාර හමු නොවෙච්ච දෙයක් හම්බ වෙනවා ඒ පොතෙන්. අවුරුදු ගාණකට පස්සේ වුණත් ආයේ කියවද්දි මුලින් විඳි රසය කිසිම අඩුවක්  නැතුව දෙන්න පුළුවන් ඒ පොත් වලට. මේ වගේ පොත් වල නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ. ගොඩක් වෙලාවට අපි අකමැති වුණත් හරිම හිත් පිත් නැති විදියට අපේ ජීවිතේ වෙනස් කරන්නේ මේ වගේ පොත්.

මට ගොඩක් වෙලාවට චිත්‍රපටියක් එක දිගට බලන්න බැහැ.  එහෙම බලන්න නම් ඒ මගේ හිත ඉතාම තදින් ඇදගත්ත චිත්‍රපටියක් වෙන්න ඕනේ. හින්දි චිත්‍රපටි නම් කොහොමටත් බලන්න බැහැ ඉතාම විශේෂ නැත්තම්. එහෙම නැත්තම් මට කරන්න වෙන කිසිම වැඩක් නැති වෙන්න ඕනේ. ඒත් පොත් එහෙම නැහැ. කොච්චර බොළඳ සීනිබෝල පොතක් වුණත් මට එක දිගට කියවන්න පුළුවන්. ඒක කියවලා අමතක කරලා දාන එක වෙනම කතාවක්. ඒත් මට කියවන්න පුළුවන් එක දිගට.

සමහර පොත්, පොත් සාප්පුවෙන් හරි පුස්තකාලෙන් හරි ගෙනාවම ඉවසිල්ලක් නැහැ ඒ පොත් කියවන්න පටන් ගන්න. එදා දවසෙම කොහොමහරි ඒ පොත කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් එහෙම නැහැ. ඒ පොත කියවන්න අවශ්‍ය මූඩ් එකට ඇතුල් වෙන්න දවස් ගණන් බලන් ඉන්න වෙනවා. එහෙම නැත්තම් හරියටම ඒ පොත විඳින්න බැහැ. සමහර  පොත් එක හුස්මට කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් වල චරිත ඇතුලට කිමිදිලා ඒ චරිත එක්ක ජීවත් වෙලා ඒ පොතේ පිටු අතරෙ රඟපාන ගමන් පොත විඳින්න ඕනේ.

මගේ කියවීමේ කතාව ඇතුලේ චරිත ගොඩක් ඉන්නවා. මේ හැම චරිතෙම රඟපාන්නේ සිතූ. තාත්තා සිතූට ඇහෙන්න කළු කුරුල්ලා පොත කියවද්දි ඒකේ එන අනිත් ලස්සන කුරුල්ලෝ කළු කුරුල්ලට නපුරුකම් කරලා රිද්දන කොටසෙදි ඉකි ගගහ අඬන පුංචි සිතූ. අම්මා රෑට බත් උයනකල් “පුංචි” පත්තර මිටියක් තියාගෙන අම්මට ඇහෙන්න මිස්ටර් ෆොක්ස් කියවන පුංචි සිතූ. තාත්තා වැඩ ඉවර වෙලා එනකල් කොළඹ විශ්වවිද්‍යාලේ පුස්තකාලෙ ලොකුම ලොකු හාන්සි පුටුවක කකුල් දෙකත් උඩට අරගෙන “ නිදි මීයා සහ ඉගිලෙන මීයා” කියවන එක වසරේ සිතූ. ඒ කාලේ අපිට අල්ලන්න වත් නොදීපු පුස්තකාලෙ හතර, පහ වසරවල අක්කලාගෙ ලොකු පොත් රාක්කෙ පොත් හොරෙන් කියවපු තුන වසරෙ සිතූ. සිකුරාදට පුස්තකාලෙන් ගෙනියන පොත් සෙනසුරාදා වෙද්දි කියවලා ඉරිදා දවසෙම කම්මැලිකමේ ඉන්න සිතූ. පහ වසරෙදි සිංහල පාඩම උගන්නන වෙලාවේ සිංහල පොත ඇතුළට “හීන් සැරය” පොත දාගෙන කියවලා මිස්ගෙන් බැනුම් අහන සිතූ.

ඊටත් පස්සේ අම්මගේ මේස ලාච්චුවේ පොත්, ෆයිල් ගොඩක් අස්සෙ හංගපු “ උදා වූ යෞවනය” හොරෙන් කියවන සිතූ. හැමදාම කෝච්චියේ ගෙදර යන ගමන් ඔලුව උස්සන්නේ නැතුව පොතකට ඔලුව නවාගෙන ගිහින් ඔලුව කැක්කුම හදාගෙන අම්මගෙන් බැනුම් අහන සිතූ. රෑට හොල්මන් කතා පොත් කියවලා නිදාගන්න යද්දි ලයිට් එක නිවලා එන අතර මගදි හොල්මනක් අල්ලගනියි කියලා බයේ පන කඩාගෙන ඇඳට දුවලා වේගෙන් ඇඳට පනින සිතූ. දහය වසරෙදි මල් පොත් සිහිය නැතුව කියෙව්වත් ඒවා කියෙව්වා කියලා මේ මෑතක් වෙනකම්ම පිළිගන්න ලැජ්ජාවෙන් හිටපු සිතූ.

ඒ ලෙවල් විබාගෙට මාස දෙකක් තියලා කකුල කඩාගෙන ඇඳට වෙලා ඉන්න වුණාම ඒ පිටින් දාලා “ඈන්” පොත් සෙට් එකම විසි තිස් පාරක් කියවපු සිතූ. ඉස්කෝලේ යන දවස් වල ආස පොතක් යාළුවෙක්ගෙ ළඟ තියනවා කියලා දැකලා ඒ පොත් ඉල්ලුවාම යාලුවා දෙන්න බෑ කිව්වාම කවදහරි ලොකු රස්සාවක් කරලා ලොකු පඩියක් අරන් මුළු පඩියෙන්ම පොත් ගන්නවා කියලා හිතපු සිතූ. මේ අදටත් බුක් ෆෙයාර් එකේ සිකියුරිටි රස්සාවක් කරනවද කියලා යාළුවෝ අහන්න තරම් වතාවක් බුක් ෆෙයාර් එකට හැමදාම වගේ බඩගාන සිතූ.

කියවන්න පටන් ගත්ත මුල් කාලෙට වඩා දැන් ගොඩක් වෙනස්. කියවන පොත්, කියවන විදිය වගේම කියවන්න යන වෙලාවත්. ඒත් අදටත් වෙනස් නොවෙන එකම දේ තමයි පොත් වලට පණ තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන එක. පොත් වලට කතා කරන එක. පොතක් ලැබුණ ගමන් කියවන්න කලින් ඒ පොත් වලට කවර දාන එක. පොත් වලට රිදෙයි කියලා පොත මුනින් අතට නවන එකත්, පොතේ පිටු නවන එකත් කවදාවත් නොකරන එක. එහෙම කරන්න එපා කියලා මගෙ පොතක් ගෙනියන්න එන කෙනාට විසි තිස් පාරක් කියන එක. ඒත් ඒ මොනවා කිව්වත් කළත් යාළුවෝ මම කොච්චර ආස පොතක් නැති කළත් මොනවත්ම කියන්නේ නැතුව දුක හංගන් ඉන්න එක.


30 comments:

  1. පොතක් කියවපු කාලයක් මතක නෑ මට නම්.. :/
    මේ දවස් වල පන දාගෙන තිලකරත්න සර්ගෙ පොත නම් බලනවා... :(

    ReplyDelete
    Replies
    1. ආ ඒකත් කියවන්න හොඳ පොතක් තමයි ඉතින්.... :D
      මට නම් සැහෙන්න පොත් සෙට් එකක් තියෙනවා මේ දවස් ටිකේ කියවන්න. :D

      Delete
  2. මමත් පොත් කියවන්න මාර ආසයි. ඉස්කෝලේ යන කාලේ නම් පාඩම් නොකරම පොත් කියෙව්වා. කැම්පස් එකේදිත් එහෙමයි. කැම්පස් ලයිබ්‍රරි එක තමා මුළු කැම්පස් එකෙන්ම ආසම තැන. මේ දවස් වල විභායකට ලැස්ති වෙන නිසා බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොත් කියවන්න විදිහක් නැතුව හරිම අමාරුවෙන් තමා ඉන්නේ. ඔක්කොටම හපන් අම්මයි තාත්තයි තරගෙට පොත් කියවනවා. මට එක පොතක් වත් කියවන්න විදිහක් නැ. :(

    ReplyDelete
    Replies
    1. මමත් තවම බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොත් ඔක්කොම කියෙව්වේ නැහැ. එකින් එක කියවන්නේ. ගෙදර නැති නිසා තමයි අවුල. ගෙදර හිටියනම් මෙලහට ඔක්කොම කියවලා.
      අපෙත් අම්මයි, තත්තයි, නංගියි තුන් දෙනාම තරඟෙට කියවනවා. මම තමයි ගෙදරත් නැත්තෙ... :(

      Delete
  3. ඉඩ ලැබුනනු හැම විටම කියවනවා.. නිරන්තරයෙන් තේරීමක් නැ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තේරීමක් නැතුව කියවිය යුතුයි... වඩා හොඳ රසවිඳීමක් ලබා ගත හැක්කේ එවිටයි...

      ජයවේවා!

      Delete
  4. බුක් බුක් බුක් බුක් !!!

    පොත් කියවන්න කම්මැලියි දැන්. ඉස්කෝලෙ යද්දි නම් පොතක් ගෙනාවම ඒක අල්ලල යන එකක් නම්, කීයට හරි කියවල ඉවර කරල තමයි නවතින්නෙ. :)

    ReplyDelete
    Replies
    1. මමත් දැන් ඉස්සර තරම් කියවන්නේ නෑනේ.. වෙලාවක් නැතිකම තමයි ඉතින්... වෙලාව හම්බුන ගමන් කලින් මඟහැරුණු ඒවටත් හරියන්න කියවනවා...

      Delete
  5. //ඒත් තවත් සමහර පොත්... ඒවා එක පාරක් කියවලා මදි. ආයෙ ආයේ කියවන්න ඕනේ. කියවන හැම වතාවකදිම කලින් පාර හමු නොවෙච්ච දෙයක් හම්බ වෙනවා ඒ පොතෙන්. අවුරුදු ගාණකට පස්සේ වුණත් ආයේ කියවද්දි මුලින් විඳි රසය කිසිම අඩුවක් නැතුව දෙන්න පුළුවන් ඒ පොත් වලට. //

    කියවන්න එහෙනම් ඕමාර් ඛයියාම් ගේ රුබයාට්.

    ඊයේ පෙරේදා පොඩි නිවාඩුවක් අහුවෙලා මමත් පරණ පොත් සෙට් එකක් කියෙව්වා, ඒ අතරේ මේ පොත් ටික විශේෂයි.

    1. Nevil shute's Pied Piper
    මේ පොතේ සිංහල පරිවර්තනය නාදුනන තාත්තා - පරිවර්තනය සෝමාලි කැල්ලපත සුරිය ප්‍රකාෂනයෝ

    2. Jules Verne's Arround the World in Eighty Days
    මේ පොතේ සිංහල පරිවර්තනය ලොවවටා අසු දිනකින් - පරිවර්තනය ජිනේන්ද්‍රවංශ ද සිල්වා විජේසුරියග්රන්ත කේන්ද්‍රයෙන්

    3. Edgar Allan Poe - The Tell Tale Heart
    මේ පොතේ සිංහල පරිවර්තනය ත්‍රාසජනක අභිරහස් - පරිවර්තනය විජයරත්න දොලවත්ත නදී ප්‍රකාශන

    ReplyDelete
    Replies
    1. රුබයියාට් නම් කියවලා නැහැ. ඒත් පොත් තුනෙන් අවසානයට සඳහන් පොත ඇරෙන්න අනිත් පොත් දෙකම කියවා තිබෙනවා... කියවලා නැති පොතුත් හොයාගෙන කියවන්න ඕනේ.. පොත් ඔත්තුවට ස්තූතියි..

      Delete
  6. පොදුවේ බොගි ලියන කියවන වැඩි දෙනෙක් පොත් වලට ගොඩක් ඇලුම් කරන අය මං හිතන්නෙ ..මමත් පොත් කියවනවා වැඩිපුර පරිවර්තන තමා අනික් එවා කියවන්න එ තරම් කැමැත්තක් නෑ ඉන්දියානු රුසියානු පොත් කියවන්න වැඩියෙන් කැමැති ....හොම්ස් නම් පිස්සුවවෙන් වගේ පොඩිකාලේ කියෙව්වා ...ජය

    ReplyDelete
    Replies
    1. තවත් පොත් කියවන අය හමුවෙන එක ගැන සතුටුයි.... මගේ නම් ඉතින් විශේෂයක් නැහැ. ඔහේ ඕන එකක් කියවනවා.... :)

      Delete
  7. // රෑට හොල්මන් කතා පොත් කියවලා නිදාගන්න යද්දි ලයිට් එක නිවලා එන අතර මගදි හොල්මනක් අල්ලගනියි කියලා බයේ පන කඩාගෙන ඇඳට දුවලා වේගෙන් ඇඳට පනින සිතූ. // හි..හි.. මං වගේ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. :D කුශානිත් ඒ වගේ කියලා දැනගන්න ලැබුණ එක ගැන සතුටුයි!

      Delete
  8. හොඳ පොත් කියන්නෙ ජීවිත කාලෙටම හම්බවෙන වෙනස් නොවන හොඳ යාළුවො කට්ටියක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කවදාවත් වෙනස් නොවෙන.... ඒ තමයි පොත් වල හොඳම දේ...

      Delete
  9. මටත් මේ ගත්ත පොත් ටික කියවගන්න බැරි කම තියෙනවා. ඒ ටික ගෙදර. මම හොස්ටල් එකේ. එක්සෑම් වලට හිර වෙලා...:(

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. බුක් ෆෙයාර් එකට පස්සෙම එක්සෑම් දාන්නේ මොන හිතකින්ද මන්දා..

      Delete
  10. සිතූ, දැන් දැන් පොතක් කියවන කෙනෙක් දකින්නත් අමාරු තත්වයක් තියෙන්නේ. සමහරුන්ට පොත් කියවන එක නිකං යල්පැනගිය විලාසිතාවක් කියලා හිතෙනව වෙන්න පුලුවන්. නමුත් තවමත් බටහිර ජාතිකයෝ නම් සෑහෙන ප්‍රමාණයක් යන එන ගමන් තැන නොතැන නොබලා පොත් කියවන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. පොත් කියවන එක යල් පැන ගිය විලාසිතාවක් වෙනවා කියන්නේ අපි පොත් වලින් ගොඩක් ඈත් වෙන එක. කාර්යබහුලකම නිසා පොත් වලින් ඈත් වෙන්න වුනත් ටිකක් හරි ඉඩ පාඩුවක් ලැබුණාම අනිවාර්යයෙන්ම පොතක් කියවනවා. ලංකාවේ අය නම් විලාසිතාවට හරි පොත් කියවනවා දැන් නම්.

      Delete
  11. //ත් අදටත් වෙනස් නොවෙන එකම දේ තමයි පොත් වලට පණ තියෙනවා කියලා තදින්ම විශ්වාස කරන එක. //

    ++++++++++++++++

    ReplyDelete
  12. පුංචිම කාලේ ඉඳන් මටත් තියෙන ලොකුම අසනීපය තමයි පොත් කියවීම. :) විභාග ළං වෙලත් කතා පොත් කියවලා බැනුම් අහපු වාර ගාණ අනන්තයි. හැබැයි ඒකෙන් ලැබුණ පන්නරය කියල නිම කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොහෙත්ම හොඳ කරගන්න ඕනේ නැති අසනීපයක්නේ... පොත් ටික කියවලා ඉවර කරගන්න බැරි වුණොත් ඉතින් ඒක හෙනම අවුලක් තමයි...

      පොත් කියවන්න් කැමති තවත් අය හමුවීම සතුටක්..

      Delete
  13. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  14. මමත් පොත් කියවන්න ගත්තෙ ඉතා ම කුඩා කාලෙදි. පොත්වලට තිබුන ඒ කෑදරකම තාම තියෙනවා වුනත් e-books කියවන නිසා පොත් මිලදී ගැනීම නම් නැවතිලාම වගේ.
    ඔබ පොත් විග්‍රහ කරල තියෙන හැටි හරියටම හරි. සමහර පොත් කියවල ඉවර කලත්, ඒව එක්ක අපි ජීවත් වෙනවා.ඒව නැවත කියවන්න ඕනෙ වෙනවා. මම එහෙම ගොඩක්, ආතර් සී ක්ලාක් ගෙ පොත් කියවනවා. එයා තමයි මගෙ ප්‍රියතම. තව Daphne Du Maurier, Mary Stewert ගෙ පොත් වලට ආසයි. පොඩි කලෙ කියවපු පොත්වලින්, 6 පංතියෙදි මුල්ම වරට කියවපු ජේන් අයර් සිංහල පරිවර්තනය තාම හිතට කම්පනයක්.
    ඇත්තටම, පොතක් කියවල ඉවර වුනාම ඒ මූඩ් එකෙන් එලියට එන්න මට සැහෙන වෙලා යනවා.හැම පොතම නෙමේ.
    පොත් ගැන කියන්න ගොඩක් දේ තියෙනවා. ස්තූතියි කැමති මාතෘකාවක් ගැන අදහස් කියන්න දුන්නට.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පොත් ගැන ගොඩාක් දේවල් බෙදා ගත්තට. පොත් ගැන කතා කරන්න තියෙනවානම් ආයෙ මොනවත් ඕනේ නැහැ. මම ඉස්සර කාලේ හිතන් හිටියා කවදහරි පුස්තකාලෙක රස්සාවක් කරනවා කියලත්..

      පොත් මිලදී ගැනීම නම් තාමත් තියෙනවා. මොනවා වුණත් E books වලින් නියම පොත් ගතිය එන්නෙ නැති නිසා වෙන්න ඕනෙ. එහෙම ගන්න පොත් සෑහෙන්න හොඳට බලාගන්නත් ඕනේ. අපරාදෙනෙ නැත්තම්.

      Delete
  15. ඉස්සර නම් පුස්තකාල හොයා හොයා යනවා, පොතක් දැක්ක තැන කියවන එකාට ගහල හරි උදුරන් කියනවා..
    එත් දැන් අවුරුදු 4 කින් විතර ආසාවට පොතක් කියවන්න තියා අතින් අල්ලලා වත් නැහැ. මේ දැන් මේක කිව්වා ගමන් මගේ පරණ පෙට්ටගම ඇරලා බැලුවේ. පොත් ටික ලස්සනට තියෙනවා එහෙමම :)

    මටත් හින්දි ෆිල්ම් ඇලජික් :) කාටුන් නම් බලනවා :p

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයා තාම පොඩි එකානේ කාටූන් බල බල ඉන්න. :P

      මගේ නම් පොත් කියවීම අඩු වෙලා තිබ්බ කාලයක් මිසක් පොතක් අතින්වත් අල්ලපු නැති කාලයක් තියෙන්න නැතුව ඇති. හැබැයි මෙ යන විදියිට ඉස්සරහට එහෙම් කාලයක් එයිද කියන්න නම් බැහැ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......