Friday, December 5, 2014

තිමිර 01

"රන්දි, අන්න බොස් ඔයාට එන්න කිව්වා."


"මේ පාර මොන මරාලයක්ද දන්නේ නෑ."

"ඇයි ඔයා මොනවද කළේ?"

"මොනවත් නැහැ. වඳින්න යන්නේ නැතුවත් දේවාල ඉහේ කඩන් පාත් වෙන කාලයක් මේක."

"හරි හරි. දැන් යන්න. නැත්තම් පරක්කු වුණ එකටත් බැනුම් අහන්න වෙනවා."


"සර් මට කතා කළාද?"

"ඔව් ඔව් එන්න රන්දිකා. මම ඔයාට කතා කළේ අර ලංකාවේ පුරාණ වලව් ගැන තිබ්බ සීරීස් එක ඔයාට බාර දෙන්න. ලබන මාසෙ ඉඳන් අතිරේකෙට ඒක දානවා කියලා මම එඩිටර්ට කිව්වා."

"ඒත් සර්..."

"ඒ සීරිස් එක කලින් කලේ ලක්මාල් නේ. මිනිහා ආයෙ ලියන්නේ නැහැ. රට ගියාට පස්සේ ආරංචියක්වත් නෑනේ."

"ඒත් සර්…"

"මොකද? බාරගන්න බැරි නම් කෙළින්ම කියන්න. පස්සෙ මග දාලා එන්න බැහැ. ඔයාට අවශ්‍ය ට්‍රාන්ස්පෝට් අපි දෙනවා. ගිහින් නතර වෙන්න අවශ්‍ය නම් ඒ පහසුකම් සේරම මෙහෙන් බලාගන්නවා. ෆොටෝග්‍රැෆර්ට වාසල අඬගහගන්න. තව මොනවත් දැනගන්න ඕනෙද?"

මහ පුදුම මනුස්සයෙක්නේ. ගහෙන් ගෙඩි එන්නා වගේ ඔක්කොම.

"නෑ සර්."  මම කිව්වා.

"හරි එහෙනම්. පරණ ලිපි ටික කියවලා අදහසක් ගන්න. දැන් යන්න පුළුවන්."

මම එහෙමම ඩෙස්ක් එකට ආවා. මගේ ඔලුවත් කැරකෙන්න වගේ. මොකද්ද මේ වුණේ? අද මම මොන නැකතකින් එළියට බැහැලද මන්දා. කවුද හිතුවේ මෙහෙම දෙයක් මගේ ඔලුවට කඩන් පාත්වෙයි කියලා.

"මොකද බොස් කිව්වෙ?" ඒ ශාලි.

"අර ලංකාවෙ පුරාණ වලව් සීරිස් එක මට බාර දෙනවයි කිව්වෙ!"

"මොකක්. උඹ ඇත්තමද මේ කියන්නෙ?"

"ඔව්. ලබන මාසෙ අතිරේකෙ ඉඳන් පටන් ගන්නෙයි කිව්වෙ."

"අනේ මන්දා බං. උඹ දන්නවද? ඕක කලින් ලිව්ව ලක්මාල් අයියාට රටින් පිටවෙන්න වුණෙත් ඔය මොකක් හරි පරණ කේස් එකක් ඇදලා ලොකු තැන් වලින් තර්ජන ආපූ නිසා ලු."

"මට මොනවත් කියන්න වත් චාන්ස් එකක් දුන්නේ නෑ. හරියට මම ඉල්ලල ගත්ත එකක් වගේ සර්ගේ කතාව."

"අපෝ අපි නොදන්නවයැ ඒක. මිනිහ හරියට ඉන්නෙ මේ සෙක්ෂන් එක අපේ. එයා ඉන්නෙ අපිව දාලා ගියොත් අපිට මොනවත් කරගන්න බැරි නිසා වගේ නේ."

"හ්ම්ම්. ඔව්. අනේ මන්දා ඉතින්. මට මේක කරන්නම වෙනවා. මම යනවා පරණ ලිපි ටික සුගත්ගෙන් ඉල්ල ගන්න."

මම එහෙම කියලා එළියට ආවා. මම කොහොමත් අලුත් අසයින්මන්ට් වලට බය කෙනෙක් නෙවෙයි. ඒත් මේක මහ අමුතුයි. හැමෝම ඒ සීරීස් එක ගැන එක එක ඒවා කියනවා. කොහොමත් ඒ වගේ ට්‍රාන්ස්පෝට්. ඇකමඩේශන් හම්බ වෙන සීරීස් එකකට කවුරුවත් එපා කියන්නෙ නැති වුණත් මේක නම් හැමෝම මඟ ඇරියා.

“ලංකාවේ පුරාණ වලව්” කියලා ගහලා තිබ්බ ෆයිල් එක හොයාගන්නත් මට සෑහෙන්න වෙලාවක් ගියා. ආයේ ඒක කවුරුවත් පටන් ගන්න එකක් නෑ කියලා හිතපු නිසාද කොහෙද ඒක තිබ්බෙ රාක්කෙක යටම තට්ටුවේ දූවිලි ගොඩකින් වැහිලා.

මම ඒකත් අරන් ඇවිත් වාඩි වුණා. ඒකෙ තිබ්බෙ ආටිකල් 11යි හරියටම. ඒ කියන්නේ පටන් අරන් අවුරුද්දයි කරලා තියෙන්නේ. ලක්මාල් අයියා අන්තිමට ලියලා තියෙන්නේ දැනට ලංකාවේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගැන. එයාගේ වලව්ව ගැන තමයි ලියන්න අරන් තියෙන්නේ. ඒත් ඒක ලියාගෙන යද්දි එයාලා කරපු මහා පරිමාණ වංචාවක් ගැන එළි වෙලා තියෙනවා. ඒ නිසා ලක්මාල් අයියට ගොඩක් තර්ජන ආවලු. අන්තිමට එයා නෝනයි, බබයි එක්ක රටෙනුත් පිට වෙලා.

මම ඒ ලිපි ටික කියවන්න පටන් ගත්තා. ඒ වලව් වල මොන තරම් රහස් සැඟවිලා තියෙන්න ඇත්ද? ගොඩක් අය නම් දැන් ඒ වලව් විකුණලා දාලා පිටරටවල් වලට ඇවිත්. ගොඩක් ලිපිවල තියෙන්නෙත් ඉස්සර කාලේ විස්තර. මම හිතන්නේ ගොඩක් අය කැමති නැහැ පුද්ගලික විස්තර පත්තර වල යනවට. ඒ අතර දැනට හෝටල් වශයෙන් පවත්වගෙන යන වලව් කීපයකුත් තිබ්බා.

“මොකද වලව් වලට යටවෙලා අද කන්නවත් කල්පනාවක් නැද්ද?” ශාලි අහනකම් ම මම හිටියේ ඒ ආටිකල් වලට යට වෙලා.

"ඔව් නේ. මට වෙලාව යනවාවත් තේරුනේ නැහැ. යමු කන්න." මම ෆයිල් එක පැත්තකින් තියලා නැගිටින ගමන් කිව්වා.

"දැන් කවදා ඉඳන්ද ඕක පටන් ගන්නේ?"

"මට හිතාගන්න බැහැ, කොයිකටත් තව විස්තර ටිකක් හොයලා බලන්න ඕනෙ."

ඊට පස්සෙ ඉතින් අපේ කතා බහ වෙන්වුණේ සුපුරුදු ඕපාදූප වලට. ඒ අතරෙ අපේ සගයො ටික අලුත් අසයින්මන්ට් එක ගැන මට සුබ පතන්නත් අමතක කලේ නැහැ. එයාලා කිව්වේ පුළුවන් තරම් ඉක්මනට ඕකෙන් අයින් වෙන්න කියලා.

“රන්දි උඹ නම් අරූ වගේ ගොන් වැඩ කරන්නේ නැතුව ශේප් එකේ ඕක ලියපන්. බලන්න් අරූට වෙච්ච දේ? දැන් රටෙත් නැහැ. “ ඒ ධනුෂ්ක.


මෙහෙම දේවල් ඇහෙනකොට නම් මට බය නොහිතුනාමත් නෙවෙයි. ඒත් ඉති මොනවා කරන්න ද? සර් ළඟට ගිහින් මට මේක බාරගන්න බැහැ කියන්නයැ. ඔන්න ඔහෙ බාරගත්ත එකේ කරලම දානවා.

මතු සම්බන්ධයි... 

ප ලි : මේ මම බ්ලොග් එකට කොටස් වශයෙන් ලියන පළවෙනි කතාව. ඒ නිසා වැරදි, අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. 

16 comments:

  1. නවකතාවක ශෛලියට වඩා කතාවක් කීමේ ගතියක් තමා තියෙන්නේ. ඒත් ඔයාට අදහසක් ඇති මොකක්ද කරන්නෙ කියලා. මම නං රහට කියෙව්වා.. ඉතිරි කොටස එනකං කුතුහලේකුත් වැඩුනා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දේශකතුමා. මීට කලින් කෙටිකතා දෙකක් ලියලා තිබ්බට මේක තමයි කොටස් වශයෙන් ලියන පළවෙනි කතාව. ඒ නිසා වැරදි අඩුපාඩු පෙන්නලා දෙන එක ගොඩක් වටිනවා.

      Delete
    2. දෙන්නංකෝ අනිත් කොටස ලිවිල්ල එපා වෙන්නම...

      Delete
    3. හපොයි එහෙමද? හා හා එහෙනම්..

      Delete
  2. වැඩිය අඩුපාඩු අහන්න යන්නෙපා ඔයාට දැනෙන්නෙ මොකද්ද ඒක ලියන්න හැම කෙනාටම එක පාර නැගිටින්න බෑ නෙව... අපිට ලියන්න බැරි වුණාට දොඹෙන් යන්න වැරදි කියන්න පුලුවන් ඒ හන්ද ඔයාම හිතල මතල තීරණය කරල කතාව ලියන්න...
    පටං ගත්ත විදිය නං ටිකක් අවුල් වගේ පොඩ්ඩක් කෝච්චි ස්ටයිල් එකක් තියෙන්නෙ කමන් නෑ මේ විදියට හරි පටං ගත්තොත් තමා ලියං යන්න් පුලුවන් වෙන්නෙ...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. දැනට නම් කතාව ගලාගෙන යන හැටි ගැන දල අදහසක් තියෙන්නෙ. බලමු ඒක තව දියුණු කරලා ගන්න.
      බොහොම ස්තූතියි අදහස් වලට. මට අතරමගදි ලියන්න කම්මැලි වෙයි කියල බයකුත් තියෙනව. එහෙම නොවුණොත් හොඳයි ඉතින්.

      Delete
  3. හොඳ ආරම්භයක්.. දිගටම එන්නම්කෝ කතාව කියවන්න

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කුශානි... ඉක්මනටම අනිත් කොටස දාන්නම්..

      Delete
  4. මට ඉතින් අඩු පාඩුවක් පේන්නනම් ඒක පොල් පරාල සයිස්වත් වෙන්න ඕන..මොකද මන් තාම මේ සබ්ජෙක්ට් එකට පොඩි වැඩි නේ.. ;) ඒත් මට රහ කර කර කියවන්නනම් පුලුවන්... ජය...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔයා තාම පොඩි වැඩි කිය කිය ඉන්නෙ.. කවද්ද ඉතින් ලොකු වෙන්නෙ? දැන් ඔය ලොකු වුණා ඇති මම හිතන්නෙ. අඩුපාඩුවක් දැක්කොත් කියන්න..

      ගොඩක් ස්තූතියි...

      Delete
  5. මරු! රහස් පරීක්ෂක කතාවක් වගේ එකක් නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. ඒ වගේ එකක් තමයි... ස්තුතියි!

      Delete
  6. අළුත් කතාවක් වගේ.. දැන් බ්ලොග් වල කවකතා යනවත් අඩුයිනේ.. ඒ හන්දා ලියමු ඉතින්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් අයියේ!

      Delete
  7. හොද රචනා විලාශයක් සිතූ...................

    දිගට ම ලියන්න ඔබට ලිවීමේ මහා හැකියාවක් තියෙනවා.. රසට කතා ලියන්න හැමෝට ම බැහැ........... ඔබ ඒ අතින් වාසනාවන්තයි............

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි... මම හිතන්නේ මේ පැත්තේ ආවමයිද කොහෙද නේද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට..

      ආයෙමත් මේ පැත්තේ එන්න..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......