Saturday, December 6, 2014

තිමිර 02

පළවෙනි කොටසට... 


ඔෆීස් ඇරෙන වෙලාවට බස් වල පුදුම සෙනගක්. ගෙදරට එනකොට ආයෙ හුස්මක් කටක් ගන්නවත් පණ නැහැ. ඒත් ඉතින් අපි වගේ පොදු ජනතාවට ඉතින් බස් පිහිටම තමයි.

“ මොකද දෝණි අද වේලාසනින්?” අම්මා ඇහුවේ මම ගෙට ගොඩවෙනකොටම.

“අද විශේෂ වැඩක් තිබුණේ නෑ. ඒකයි වේලාසනින් ආවේ. අම්මට ඉතින් මම වේලාසනින් ආවත් වැරදි” මම කිව්වෙ ටිකක් අමනාපෙන්.

“ එහෙම නෑ දෝණි. මම කිව්වේ වෙනදට ඔයා ගෙදරට ගොඩ වෙන්නේ කළුවර වැටුණටත් පස්සෙ නිසා.”

“එහෙම තමයි අම්මේ පත්තර රස්සාව.”  මම කිව්වා.

“ ඒක තමයි. අපි කොච්චර කිව්වද ඔයාට ඔය රස්සාවෙන් අයින් වෙන්න කියලා. කොහෙද ඉතින් තියෙන හිතුවක්කාරකම නේ” අම්මා ඉතින් හැමදාම කියන්නේ ඕක.

“මොකද මොකද මේ අම්මලගෙයි දූලගෙයි රණ්ඩුව?” අප්පච්චි ඇහුවේ ගෙට ගොඩවෙන ගමන්.

“හැමදාම ඇදෙන රණ්ඩුව තමයි අප්පච්චි. අම්මා කියනවා මට රස්සාවෙන් අයින් වෙන්නලු. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න?”

“ ඔන්න ඔහේ දෝණිගේ ආසාවනෙ සඳා. අපි එයාට ඉඩ දෙමු.” අප්පච්චි හැමදාම මගේ පැත්තේ.

“අප්පච්චිලා දූලා ඕනේ එකක් කර ගන්න එකයි ඇත්තේ.” අම්මට .තරහ ගිහින් ඒ පාර.

හැමදාම ඔය හේතුව නිසා අම්මයි මමයි වලි. ඒත් ඉතින් අප්පච්චි මම ආස දේ නේ කියලා ඉඩ දීලා තියෙන්නේ. අම්මා නම් කියන්නේ මේ රස්සාව ගෑණු ළමයෙක්ට ගැළපෙන්නේ නැති ලු. ඒත් ඉතින් මම හැමදාම ආසාවෙන් හිටියේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.

ඇඟ සෝදගෙන තේ එකක් බිව්වට පස්සේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. අලුත් අසයින්මන්ට් එකට අද ඉඳලම වැඩ පටන් ගන්න හිතුවෙ. කොයි එකටත් පරණ ලිපි ටික කියවලා ඩ්‍රෆ්ට් එකක් හදන් ඉන්න ඕනේ. ඊට කලින් මූණුපොත පැත්තේ ගිහින් එන්න ඕනේ. අයියෝ. අදත් ඩොන්ගල් එක ලෙඩ දෙනවා.

“මල්ලී අනේ මේ ඩොන්ගල් එකේ අවුලක්. පොඩ්ඩක් ඇවිත් බලනවකෝ” මම මල්ලිට අඬගැහුවෙ එයා ඉතින් තාක්ෂණික බට්ටෙක් නිසා.

“අපෝ තමුසෙගෙ ඩොන්ගල් එක. ඕක හොඳයි ඉතින් වෙන මොනවත් නැතුවට”

“හරි ඉතින් කියවන්නැතුව ඕක හදලා දෙනවකෝ”

“අපෝ මොකද්ද මේ දූවිලි ගොඩක් උස්සන් ඇවිත්” මල්ලි කිව්වෙ මගෙ මේසේ උඩ තිබ්බ “ලංකාවේ පුරාණ වලව්”ෆයිල් එක දැකලා.

“ඒ මගේ අලුත් අසයින්මන්ට් එක  හලෝ. ලංකාවේ පුරාණ වලව්”

“අපෝ තමුසෙට හරියන්නෙ ඔය වගෙ පෞරාණික ඒවා තමයි.” එයාටත් ඉතින් මාව බයිට් එකට ගන්න තියෙනම් වෙන මොනවත් ඕනේ නැහැ.

මල්ලී ඩොන්ගල් එක හදලා දුන්නට පස්සේ මම මූණුපොත් පැත්තේ ගිහින් බැලුවා. හ්ම්ම්.. විශේෂ දෙයක් නැහැ. විශේෂයක් නැති වුණත් හැමදාම ඒ පැත්තේ යැවෙන්නේ පුරුද්දක් වගේ.

මම ආපහු ලිපි ටික කියවන්න ගත්තා. ලක්මාල් අයියා කොච්චර හොඳට ලිපි ටික ලියලා වුණත් මට ඕනේ වුණේ නැහැ ඒ ස්ටයිල් එක කොපි කරන්න. එතකොටම වගේ තමයි අත් අකුරින් ලියපු පොඩි කොළ කැල්ලක් ආටිකල් ටික අස්සේ තිබිලා මට හම්බ වුණේ.

ගල්කන්ද වලව්ව
කන්දවත්ත
කුරුණෑගල

කියලා එඩ්‍රස් එකක් ලියපු පොඩි කොළ කෑල්ලක්. ආටිකල් ඔක්කොම බැලුවත් ඒ වගේ නමක් තියන වලව්වක් ගැන ලියවිලා තිබුණේ නැහැ. එහෙනම් මේ ලක්මාල් අයියා ඊට පස්සේ ලියන්න හිතාගෙන හිටපු වලව්වක් වෙන්න ඕනෙ. එයාට කලබල ඇති කරපු වලව්ව නම් නෙවෙයි. ඒක ඉතින් මේ ලංකාවේ හැමෝම දන්න සුප්‍රසිද්ධ වලව්වක් නේ.

කොහොමහරි අඳුරෙ අතපත ගගා හිටපු මට මේකත් ඇති. මේ ගැන විස්තර ටිකක් හොයලම මගේ වැඩේ පටන් ගන්න ඕනේ.

උදේ මම නැගිටල කුස්සියට යනකොට අම්මා කිරිබත් හදන්න පටන් අරන්.

“ඇයි අම්මේ අද කිරිබත් හදන්නේ?” මම ඇහුවෙ මොකක්හරි මට අමතක වෙච්ච දෙයක්ද කියලා බලන්න.

“ අද ආච්චි අම්මා එනවා කිව්වා දෝණි.” අම්මා කියද්දි මට ආවේ කියන්න බැරි තරම් සතුටක්. ඒත් ඉතින් අද මට ගෙදර නතර වෙන්න හැටියක් නෑනේ.

“අනේ අම්මා, ආච්චි අම්මව දවසක් දෙකක් නතර කරගන්න ඕනේ හොඳද? මට අද නිවාඩු ගන්න හැටියක් නෑ.” මම කිව්වෙ අලුත් අසයින්මන්ට් එක ගැන හිතලා වුණත් අපේ බොස් ගෙන් නිවාඩුවක් ඉල්ලගන්නවට වඩා ලේසියි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන වෙලාවට ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ල ගන්න එක.

ආච්චි අම්මා කියන්නේ අපේ අප්පච්චිගේ අම්මා. එයා තමයි අපි පොඩි කාලේ අපිව බලාගත්තේ. කොහොමත් අම්මාගෙ පැත්තේ ආච්චි අම්මා ගැනවත් සීයා ගැනවත් අපි දන්නේ නෑ. අපි දන්න එකම දේ ඒ දෙන්නම අපි ඉපදෙන්න කලින් මේ ලෝකෙන් ගිහින් කියලා විතරයි. මාමලා වුණත් අපේ ගෙදර එන්නේ එහෙම නෑ. අහම්බෙන් වගේ හම්බ වුණොත් විතරයි. ඒ ඔක්කොම අම්මාගෙයි අප්පච්චිගෙයි සම්බන්ධෙට අම්මාගේ ගෙදරින් විරුද්ධ වුණ නිසා ලු. ඒ ගැන අපි විස්තර අහනවට වත් අම්මා කැමති නෑ.


“එහෙනම් අම්මා මම යනවා. රෑ වෙනවනම් කෝල් එකක් දෙන්නම්.” එහෙම කියාගෙන ගෙදරින් ආවෙ අදවත් අසයින්මන්ට් එක පටන් ගන්න හිතාගෙන. කොයි එකටත් අනිත අයගෙනුත් විස්තර අහලා වාසල මල්ලිටත් කෝල් එකක් දීලා බලන්න ඕනෙ. බලමුකො. මොකද වෙන්නෙ කියල.  

8 comments:

  1. හ්ම්ම් හ්ම්ම්.. බලමුකෝ මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ඊළඟ කොටසත් දාන්නම්

      Delete
  2. ගල්කන්ද වලව්ව කියල නවල් එක්කුත් තියේ නේද මට මතක විදියට නං ටිකක් අලුත් පොතක් වෙන්න ඕන
    ඊළග කොටසට

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ පොත ගැන දැනන් හිටියේ නැහැ. හොයලා බලන්න ඕනේ....

      Delete
  3. බලමු බලමු මොකද වෙන්නේ කියලා..................................

    ReplyDelete
  4. බලමුකො එහෙනම් ගල්කන්ද වලව්වට යයි ද කියලා ...

    ReplyDelete
    Replies
    1. අනෙක් කොටස ඉක්මනටම දාන්නම්...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......