Monday, June 29, 2015

අපි හුඟක් පරක්කුයි...

හැමතැනම තිබ්බෙ පුදුම නිහඬතාවයක ගිලිලා. හරියට ඊළඟට වෙන්න යන දේ වටාපිටාවත් දැනන් හිටියා වගේ.
"සොරි නදී. මම පරක්කු වුණාට." අසංක කිව්වෙ ඔරලෝසුව දිහා බලන ගමන්. නදීට සුසුමක් හෙලුනේ ඉබේටම. හැමදාමත් වගේ ඔහු අදත් පරක්කුයි. ඒත් තවත් පරක්කු වෙන්න එපා කියන එකේ නම් තේරුමක් නැහැ වගෙයි.
"කමක් නැහැ අසංක." ඇය එහෙම කිව්වෙ තවත් කියන්න දෙයක් නැති කමට.
"අපි තවත් මේ සම්බන්ධෙ කරගෙන ගිහින් තේරුමක් නැහැ නදී. ඔයාලගේ තාත්තා කීයටවත් මට කැමති වෙන්නෙ නැහැ." අසංක කිව්වෙ ඉවත බලාගෙන. නදීගේ මූණ බලන් ඒක කියන්න ඔහුට ශක්තියක් නැහැ වගෙයි.
"ඒත් අසංක" නදීට කියන්න හම්බ වුණේ එච්චරයි.
"කියන දේ අහන්න නදී. මම ඔයාට ගැලපෙන්නෙ නෑ. මම කවුද? ඔයාලගේ තාත්තා බලාපොරොත්තු වෙන තරම් සල්ලිකාරයෙන් නෙවෙයි මම. මම දුප්පතෙක්. මම? මම නිකන්ම නිකන් නාට්‍යකාරයෙක් විතරයි"
"නියමයි සජිත්. නියමයි. මට ඕනෙ විදියටම කළා ඔයා" පැත්තකට වෙලා මේ හැමදේම බලන් හිටපු අංජන කිව්වෙ සතුට පිරිච්ච මූණකින්. ඔහු මේ නාට්‍යයේ අධ්‍යක්ෂක. ඔවුන් මේ පුහුණු වීම් කරන්නෙ තව සති දෙකකින් පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන්.
"මට මගේ නොවෙන, මගේම ආදරයක් තිබුණා."
නාදවෙන දුරකතනයේ හඬ අංජනට බාධා කළා වගෙයි. ඔහු දුරකතනය අතට අරන් බැලුවෙ නොකැමැත්තෙන්. කතා කළේ සෙව්මිණී.
"මම ඔයාට කියලා තියෙනවා නේද ප්‍රැක්ටිස් වෙලාවට කතා කරන්න එපා කියලා." අංජන හෙලෝ කියන්නෙවත් නැතුවයි එහෙම කිව්වෙ.
"සොරි අංජන. මම හිතුවෙ දැන් ප්‍රැක්ටිස් ඉවර ඇති කියලා." සෙව්මිණී උත්තර දුන්නෙ බයෙන් වගෙයි.
"හරි. දැන් මොකටද කතා කළේ?" අංජන අහන්නෙ කිසිම තෙතමනයක් නැති විදියට. ප්‍රැක්ටිස් වෙලාවට කතා කරන එක ඔහු අකමැති දෙයක් කියලා ඈ නොදැන සිටියා නෙවෙයි. ඒත් ඇය කතා කළේ වෙන කරන්නම දෙයක් නැති කමට.
"ම්ම්.. ඔයා ගන්න කියපු පොතේ ෆෝත් එඩිෂන් එක නෑ අංජන. තර්ඩ් එක විතරයි තියෙන්නෙ. මම අහන්න ගත්තෙ ඒක ගත්තට කමක් නැද්ද කියලා."
ඈට සැරෙන් කතා කරපු එකට අංජනට ඇතිවුණේ පසුතැවිල්ලක්.
"කමක් නෑ සෙව්. ඒක ගන්න. සල්ලි ඇතිද?" ඔහුගෙ කටහඬ එවර නම් සැර නැහැ.
"ඇති අංජන. මම තියන්නම් එහෙනම්."
"හ්ම්. පරිස්සමෙන් එන්න."
එක අතකට සෙව්මිණී මොනව කරන්නද? නාට්‍යය වෙලාවෙ ඔහු ජීවත් වුණේ වෙනම ෆැන්ටසි ලෝකෙක. ඒ ලෝකෙන් බිමට ඇදලා දානවට බයේ තමයි ඒ වෙලාවට කතා කරන එක, විශේෂයෙන්ම සෙව්මිණීට තහනම් කරලා තිබ්බෙ.
ඒ හීනේ කවදාවත්ම ඔහුට අයිති නැති එකක් කියලා දැනන් හිටියෙ ඔහු විතරමයි. ඒවා හීන විතරමයි.
"එයාට නම් මාව මතකවත් නැතුව ඇති." අංජන හිතුවෙ සුසුමක් හෙළන ගමන්.
"අපි එහෙනම් පොඩි ඉන්ටවල් එකක් ගමු. හරියට දහය හමාරට එන්න." ඔහු කිව්වෙ නාට්‍ය කණ්ඩායමේ අනිත් අයට.
~~~~~~~~
දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි
වැව් පොකුණද කි - සත් සිය ගැණ කි
එක පොකුණක කි - සිව් මාලෙ කි
සිසුවියන් තාලෙට පාද තියන හැටි සුලක්ෂි බලන් හිටියේ හරිම පරීක්ෂාවෙන්. එක අඩියක්වත් ඇගේ දෑසෙන් මඟහැරුණේ නම් නැහැ. ඇයට ඕනේ වුණේ පුළුවන්තරම් හොඳින් මේ නැටුම පුරුදු කරවන්න. පාසලෙන් අයින් වෙන්න කලින් එක් සමස්ත ලංකා තරඟයක් හෝ දිනවලා දෙන්න ඇයට ඕනෙකම තිබ්බා.
ඇගේ ජීවිතේ හැම දේකින්ම පිරිලා කියලයි පිටින් බලන ඕනේ කෙනෙක්ට හිතෙන්නෙ. ඇය විවාහ වෙලා තාම මාස දෙකක්වත් නැහැ. ඔහු සුරේශ්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. සේවය කළේ නම් ඕස්ට්‍රේලියාවෙ. විවාහයෙන් පස්සෙ ඔහුත් එක්කම එහෙ පදිංචියට යන්නයි හැමදේම ලේස්ති කරලා තිබ්බෙ. ඒත් ළඟ එන සමස්ත ලංකා තරඟෙ පෙනී පෙනීම පාසලෙන් අස් වෙන්න ඈට හිත් දුන්නෙ නැහැ. සුරේෂ් කිව්වෙ එහෙනම් තරඟෙ ඉවර වෙලාම රට යමු කියලා සති දෙකකට නිවාඩුව දික් කරගන්න ගමන්. යෝජනාවකින් විවාහ වුණත් ඔහු හරිම හොඳ සැමියෙක් කියලයි ඈට හිතුණේ.
ළමයි ටික නම් එක අඩියක්වත් වරද්දන්නෙ නැතුව නටනවා. ඈට මතක් උණේ ඈ මුලින්ම ගජගා වන්නම පුහුණු වෙච්ච හැටි.
තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
ඈ නැටුම් පුරුදු වුණේ මහගෙදර මිදුලෙ. ඒ දවස් වල ඉඳන්ම ඇගේ ආසාව තිබ්බෙ නැටුම් ගුරුවරියක් වෙන්න. ඒත් ඇගේ නැටුම එක පාරටම නතර වුණේ කොහෙදෝ ඉඳන් ආපු පේර ගැටයක් එක පාරටම ඇගේ නළලේ වැදුණු හින්දා. ඈත ඉඳන් ආපු පාරෙ සැරටද මන්දා ඈට හොඳටම රිදුණා. ඇස් දෙකේ කඳුළුත් පිරුණා.
"පෙනේද මේකා කරන වැඩ. මම බලාගෙනයි හිටියෙ. පඳුර අස්සට වෙලා විද්දා නේද චූටි මැණිකෙට කැටපෝලෙන්." පබිලිනා නැන්දා කනෙන් ඇදගෙන ආවෙ එයාගෙ පුතාගෙ.
"දෙන්නම් උඹට අද වේවැල් පාර. දැක්කද චූටිමැණිකෙ අඬනවත් එක්ක" පබිලිනා නැන්දා කනෙන් අතාරින පාටක් නම් නැහැ. සුලක්ෂිගෙ ඇස් දෙකේ කඳුළුත් වේලුණේ කොලුවා වේදනාවෙන් මිරිකිලා ඉන්න හැටි දැක්කම.
"මට රිදුන් නෑ නැන්දෙ." ඈ කිව්වෙ තවත් ඒ දිහා බලන් ඉන්න බැරි කමට.
"පලයන් දැන්" පබිලිනා නැන්දා කන අතෑරියේ ඔලුවට ටොක්කකුත් ඇනලා.
"හුඟක් රිදුනද චූටි මැණිකෙ. ඕකා කොහොමත් මහ නාහෙට අහන්නෙ නැති එකා" පබිලිනා නැන්දා ඇහුවේ සාමව අයදින ස්වරයකින්.
"නෑ නැන්දෙ. මට රිදුන් නෑ." සුලක්ෂි කිව්වෙ බොරු. ඒත් ඒ බොරු කියලා දන්නෙ ඇය විතරයි.
"යං චූටි මැණිකෙ. මං දොඩම් හදල ඇති." පබිලිනා නැන්දා සුලක්ෂිවත් ඉස්සර කරන් ගේ ඇතුලට ගියා.
දොඩම් වීදුරුවත් අරන් සුලක්ෂි කුස්සියට යනකොට පබිලිනා නැන්දගෙ පුතා බංකුවක වාඩි වෙලා බත් කනවා. සුලක්ෂිගෙ හිත අනුකම්පාවෙන් පිරුණා.
"මං හින්දා ගුටි කෑවා නේද?"
ම්ම්.. ඔහු සද්දයක් නැතුවම බත් කනවා. සුලක්ෂිට හිතුනෙ ඔහු තරහෙන් ඇති කියලයි.
"රිදුන් නෑ කීවාට මට රිදුණා." සුලක්ෂි කිව්වෙ ඔහුව කතා කරවන්න හිතාගෙන. ඒත් ඔහුගෙන් සද්දයක් නැහැ.ප්‍රතිචාරයක් නැති තැන සුලක්ෂි කුස්සියෙන් වීදුරුව තියලා ආපහු ගෙට ගියා.
ඊට පස්සෙ ඉඳහිට ඔහුව දකීන්න ලැබුණත් ඔහු සුලක්ෂි එක්ක කතා කළේ නම් නැහැ. සුලක්ෂිට හිතුනෙ නම් එදා තමන් නිසා ගුටි කාපු එකට තරහෙන් ඇති කියලයි.
කාලෙකට පස්සෙ සුලක්ෂිලා කොළඹ ආවා. දැන් කොච්චර කල් ගත වෙලාද? ඈ ඔහුගේ නම මතක් කරගන්න උත්සහ දැරුවා. පබිලිනා නැන්දා නම් කතා කළේ චූටි පුතා කියලා. ඒත් අම්මා දවසක් නම ඇහුවම කිව්වේ නම් ප්‍රියංකර කියලා. එයා දැන් මොනවා කරනවද දන්නෑ. දැන් නම් බැඳලත් ඇති. කොළඹ ඇවිත් ටික කාලයක් යනකම් ඈ ඔහුව හුඟක් මතක් කළා. ඒත් කාලයත් එක්කම ඒ ගැන එහෙමම අමතක වුණා.
හ්ම්ම්.. ඈට නොදැනුවත්වම සුසුමක් හෙලුණා.
~~~~~~~
විදුලි ආලෝකේ සැරට ඈට ඇස් නිලංකාර වෙන්නත් ආවා. ඒ සමස්ත ලංකා කළා උළෙල. ළමයි ටික නම් හිතුවටත් වඩා හොඳට නර්තනය ඉදිරිපත් කරපු එක ගැන ඇයට දැනුනෙ කියන්න බැරි තරම් සතුටක්. අනෙක් එක කණ්ඩායමක් වත් ඒ තරම් හොඳ නෑ කියලයි ඈට හිතුනේ.
"නැටුම් තරඟෙ ප්‍රතිඵල කියන්නෙ අන්තිමට ලු නේද සුලක්ෂි?" දම්මි ඇහුවෙ ලේන්සුවෙන් දාඩිය පිහිදාන ගමන්.
"එහෙමද? තව ගොඩක් වෙලා යයිද දන්නෙ නෑ නේද දම්මි?" සුලක්ෂි ඇහුවෙ ඈට ප්‍රතිඵල දැනගන්නකන් ඉවසිල්ලක් නැති නිසා.
"ම්ම්ම්.. ඉළඟට නාට්‍යයක් තියෙනවලු. ගිය සතියෙ රාජ්‍ය නාට්‍ය උළෙලෙ හොඳම නාට්‍යට තේරුණේ ඒ නාට්‍යලු. අපේ නංගි බලන්න ගියාලු. හරිම ලස්සන කතාවක් ලු." දම්මි කියාගෙන ගියා.
"බලමු එහෙනම්. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙ වේදිකා නාට්‍යයක් බැලුවෙම නැහැ." සුලක්ෂි එහෙම කිව්වෙ පහසුවෙන් වාඩි එන ගමන්.
නාට්‍යය පටන් ගන්න බවට නිවේදනය වුණා. වේදිකාවේ දිස්වුණේ කුඩා දැරියක් ගජගා වන්නම නටමින් සිටින අයුරු. එක්වරම ඇගේ අවධානෙ බිඳුණේ ඈත පොඩි කොල්ලෙක් කැටපෝලයක් මානලා ඈට ගලකින් ගහපු නිසයි.
"අනේ හැබෑට. උඹ මොකද්ද කරපු වැඩේ. ගැහුව නේද චූටී මැණිකෙට?" තලතුනා ගෑණු කෙනෙක් කිව්වෙ ඒ කොල්ලගේ කනෙන් ඇදගෙන යන ගමන්.
සුලක්ෂිට දැනුනේ හැමතැනම කැරකෙනවා වගේ. ඈ වතුර බෝතලේ අරන් වතුර බීගෙන ගියා.
"ඇයි සුලක්ෂි? ඔයාට මොකද?" දම්මි ඇහුවෙ බයවෙලා වගේ.
"නෑ දම්මි. අමාරුවක් නැහැ. මම ටිකක් එළියට ගිහින් එන්නම්." සුලක්ෂි එහෙම කියලා එළියට ආවෙ මොනවත් හිතාගන්න බැරි වුණ නිසා.
එළියේ සුළඟට ලෙලදෙමින් තිබුණේ බැනර් එකක්.
රාජ්‍ය සම්මාන දිනූ 
අංජන ප්‍රියංකර ගේ
"අපි හුඟක් පරක්කුයි"

Saturday, May 30, 2015

සඳේ නුඹ දුර නිසා 2

ගිණුම් අංශයේ ගෘප් චැට් එක


මාලින්ද: අපේ බොසාට පිස්සුද බං. අර අච්චර නොවැදගත් දෙයක් කියන්නද මේ හදිස්සියේ මීටින් එකක් ගත්තේ?

අසංක: ඒක තමයි බං. මට කෝච්චියත් මිස් වුණා. 

විහඟ: බොසා උගෙ පොරත්වය පෙන්නන්න තමයි ඔහොම වැඩක් කළේ. නැත්තම් අපූරුවට හෙට මීටින් එක ගන්න තිබ්බනෙ. 

අසංක: ඔව් බං. නැත්තම් ඌට ඔය කම්පියුටරයිස් කිරිල්ල හෙට කියල 
දෙන්න තිබ්බ. අද අර හෙඩ් ඔෆිස් එකෙන් පොරක් ආපු නිසා තමයි ඌ අදම මීටින් එක ගත්තෙ. 

මාලින්ද: අඩේ හෙට නේද අර අලුතෙන් එක්කෙනෙක් එන්නෙ? 

අසංක: කොල්ලෙක් ආවොත් නම් හොඳට මඩවන්න ඕනෙ. 

විහඟ: අනේ පලයං බං. උඹව මඩවයි කොල්ලෙක් ආවොත්.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක

මධූ: Wish you good luck for your new job... :)


අයියා: මේ වෙලාවට යනව හරිද? සුරේෂයට තද වෙනව පරක්කු වුණොත්. 
අමා: හරි අයියෙ. මේ යන ගමන්. 
අයියා: අම්මට කියනව මම එන්නෙ ලබන සතියෙ කියල. වැඩ හරියට. 
අමා: හා මම කියන්නම්.

~~~~~~~~~~

ගිණුම් අංශයේ ගෘප් චැට් එක

මාලින්ද: මම කිව්වෙ නැද්ද උඹලට අලුතෙන් එන්නෙ කෙල්ලෙක් කියල? කොහෙද ඉතින්. උඹල මාව විශ්වාස කළේ නෑනෙ. 
අසංක: වුණාට ඒකි ආඩම්බරයි වගේ බං. වැඩිය කතා කළෙත් නෑනෙ. 
විහඟ: කොහොමද කතා කරන්නෙ? උඹල ඒකිව ගිලින්න වගේ බලන් හිටියෙ. 
මාලින්ද: ඒයි අසංකයෝ. මූට හිතට අල්ලල වගේ ඒකිව. 
අසංක: ඔව් ඔව්. විහඟ පුතා, දැන් අපිට පාටියක් දියන්. 
විහඟ: උඹලට නම් හොඳටම පිස්සු.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක

සචී අක්කා: කොහොමද නංගො අලුත් ජොබ් එක? 
අමා: අනේ අක්කෙ. මේ සෙක්ෂන් එකටම ඉන්නෙ කොල්ලො තුන් දෙනෙක්. ආපු වෙලාවෙ ඉඳන් ගිලින්න වගේ බලන් ඉන්නේ. 
සචී අක්කා: කෙල්ලො කවුරුවත්ම නැද්ද? 
අමා: සුරේෂ් අයියනම් කිව්වෙ එයාල පිට ඔඩිට් එකකට ගිහින් කියල. හෙට එනවලු. 
සචී අක්කා: හරි නේ එහෙනම්. ඔයා බය නැතුව ඉන්නකො. 
අමා: හා :/

~~~~~~~~~~

නදී ගේ ෆේස්බුක් චැට් එක

අසංක: අඩෝ උඹල ගියේ වැඩ කරන්න නේද? හිටපන් බොසාට කියන්න උඹල කොයි වෙලෙත් ඔන්ලයින් කියල.
නදී: එතකොට ඔයා නිකන්ම මාට්ටු නේ අසංක. මේ ඒක නෙවෙයි. අලුත් එක්කෙනා ආවද? 
අසංක: අපොයි ඔව්.. දහය වසරෙ වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්. නිකන් ගල් ගිලල වගේ ඉන්නෙ. 
නදී: ෂුවර් එකටම ඔයාල ගිලින්න වගේ බලන් ඉන්න ඇති. හරියට කෙල්ලෙක් ජීවිතේට දැකලා නෑ වගේ.. 
අසංක: ඉතින් ඇත්තනෙ. මොකද මේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලො ඉන්න එකක්යැ. 
නදී: අනේ මේ. මම කියන්නෑ ඉතින් කොල්ලොන්ගෙ හැටි. 
අසංක: බොසා එනෝ. මම කැපුණා.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක
සචී අක්කා: නංගා අද ඔයාගෙ කවියක් පත්තරේ තිබ්බා. ඔන්න මම අරන් තිබ්බ ඒ පිටුව. :)
 අමා: අනේ තෑන්ක්ස් අක්කා

~~~~~~~~~~

විහඟ ගේ ෆෝන් ඉන්බොක්ස් එක
සහන්: උඹේ කවියක් පත්තරේ තියෙනව. යන ගමන් පත්තරයක් අරන් පලයන්.. 
විහඟ: තැන්කිව් මචෝ

මතු සම්බන්ධයි.. 

සඳේ නුඹ දුර නිසා 1

නිවේදනයයි


ගිණුම් අංශයේ සියලු සේවක මහත්ම මහත්මීන් සඳහා හදිසි රැස්වීමක් අද සවස 3.00ට ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනු ලැබේ. සියලුමදෙනාගේ පැමිණීම අනිවාර්ය වේ.

මෙයට විශ්වාසී
සුරේශ් එස් ලියනගේ
ගිණුම් අංශ ප්‍රධානී

~~~~~~~~~~

ගිණුම් අංශයේ ගෲප් චැට් එක

අසංක: මොකටද බං අර මීටින් එකක් තියෙන්නෙ?
විහඟ: මම දන්නෙ කොහොමද? උඹ හිතුවද මම බොසාගෙ ප්‍රයිවට් සෙකට්‍රි කියල?
මාලින්ද: හරි හරි... මම හිතන්නෙ පොර අපිට නිරෝෂි අක්කා වෙනුවට අලුතෙන් ගන්න එක්කෙනා ගැන විස්තර කියන්න වෙන්න ඇති.
අසංක: අපොයි ඔව්. බොසා ඒක කියන්නම වෙන්න ඇති මීටින් එක ගන්නෙ.
මාලින්ද:මේ පාර වත් කෙල්ලෙක් ගත්තොත් හොඳයි නේද?
විහඟ: ඇයි අර ඉන්නෙ ඉටි රූප වගේ කෙල්ලො දෙන්නෙක්?
මාලින්ද: අනේ පලයං බං යන්න.අසංක: අපේ බොසා කෙල්ලො ගන්නෙ නෑ බං. ඌට කෙල්ලො ඇලජික් ද කොහෙද?
විහඟ: එහෙම එකක් නෙවෙයි බං. කෙල්ලෙක් ආවොත් උඹල වැඩ කරන්නෙ නෑනෙ. ඒකයි.
මාලින්ද: ඒයි ඔන්න බොසා ඔය පැත්තට එනවා..

~~~~~~~~~~~~

අමාගේ වට්ස් ඇප් ඉන්බොක්ස් එක

මධූ: අමා ලේස්තිද හෙට යන්න අලුත් ජොබ් එකට?
අමා: අනේ මට බයයි හලෝ. අයියා කිව්වා එතන වැඩි හරියක් ඉන්නෙ කොල්ලොලු.
මධූ: ආ... ඒක තමයි මේ පැනගෙන ජොබ් එකට යන්නෙ!
අමා: පිස්සු!
මධූ: හරි හරි. ගුඩ් ලක් එහෙනම්. හොඳට වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න. 
අමා: තෑන්ක්ස් මධූ... මම හෙට කෝල් කරන්නම්කෝ.
මධූ: හා හා...

~~~~~~~~~~~

සඳුදා කවි පිටුව..

විසල් තරු ඇස් යට
හීන අපමණ ඇත
තවත් එක දිනකට
හිරු උදා වනු ඇත....

අමා සෙව්වන්දි


හිරු හිනැහෙන
කැකුලු පිපෙන
තව උදයක්
ළඟ ළඟ එන

පිනි තරු ඇස්
තව හිනැහෙන
නුඹ ඒ දැයි
පාර බලන..

විහඟ සත්සර

මතු සම්බන්ධයි... 

Saturday, April 11, 2015

ජෙම් බිස්කට්

මං පොඩි කාලෙ ඉස්කෝලෙ නිවාඩු දීපු ගමන්ම හැම නිවාඩුවකදීම මාව ගමේ ගිහින් නවත්තනවා. ඒ රස්සාවල් කරන් ගමන් පොඩි එවුන් දෙන්නෙක් බලාගන්න එකෙන් පොඩ්ඩක් හරි අම්මලට සහනයක් ලැබෙන්න ඕනේ නිසා වෙන්න ඇති. මමත් නිවාඩු දෙනවයි කියලා දැනගත්ත ගමන්ම බලන් ඉන්නේ මාව ගමේ ගිහින් නවත්තනකල්. අම්මලට නිවාඩු ගන්න බැරි වුණොත් ආච්චි හරි පුංචි හරි එනවා මාව එක්ක යන්න. 

අම්මා එක්ක යනවට වඩා ආච්චි හරි පුංචි හරි එක්ක යන්න මම කැමතියි. ආච්චි එක්ක යනකොට පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් බැහැලා ස්ටේෂන් එකේ කැන්ටින් එකෙන් ඉඳි ආප්පයි, පරිප්පු හොදියි අරන් දෙනවා මට කන්න. ඒ දවස් වල මම කැමතිම කෑමක් ඉඳි ආප්ප. ගෙදරදි බත් කටක් කවාගන්න දාහක් වද විඳින්න ඕනේ වුණත් තනියම ඒ ඉඳි ආප්ප පිඟානම ඉවර කරනවා මම කිසි කතාවක් නැතුව. ඒ වුණාට ආච්චි මට මාලු හොදි නම් අරන් දෙන්නෙ නැහැ. ඒ මම බඩේ අමාරුවක් හදාගනියි කියල බයේ. ඒ වුණාට පුංචි එක්ක යනකොට නම් කොහොමහරි කංකෙඳිරි ගාලා මාලු හොදිත් ඉල්ලගන්නවා. ඉතින් පුංචි එක්ක යද්දි හැමදාම මට බඩේ අමාරුව. 

ආච්චිලාගේ ගෙදර ගිහින් දවස් දෙකක් විතර ඉන්නකොට මට නංගි නැති පාලුව දැනෙන්න ගන්නවා. ආච්චිලාගෙ ගෙදර වටේටම මාමලා හිටියත් එයාලාගෙ දුවල පුතාල ඔක්කොම මට වඩා ගොඩක් වැඩිමල්. ඉතින් මට සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. දවස් දෙක තුනක් ගියාට පස්සෙ මම ආපහු කංකෙඳිරිය පටන් ගන්නවා. 
"අනේ ආච්චි අම්මේ, අපි පුංචිලාගෙ ගෙදර යමුකෝ." 
පුංචිලාගෙ ගෙදර තියෙන්නෙ ගොඩක් දුර. බස් දෙකකින් ගිහිල්ලා ආයෙ හුඟක් දුර පයින් යන්නත් ඕනෙ. ඒත් ඉතින් මගෙ කරච්චලේ ඉවසන්න බැරි නිසාම ආච්චි මාව එහේ ගිහින් නතර කරලා එනවා. පුංචිගෙ දුව මට අවුරුදු දෙකයි බාල. ඉතින් මට සෙල්ලම් කරන්න හොඳ සගයෙක්. ඉතින් එදා ඉඳන් සෙල්ලම් ගෙවල්, කඩ, ඉස්කෝල ඕවා වරදින්නෙ නැහැ. පුංචි වැඩ කළේ සමූපකාරෙ. අපිව ගෙදර තනියම දාලා යන්න බැරි නිසා අපිවත් එක්ක යනවා කඩේට. බයික් එකේ යන්නෙ. නංගි ඉස්සරහ. ඊට පස්සෙ බාප්පා. ඊට පස්සෙ මම. බාප්පව හයියෙන් අල්ලගෙනයි යන්නෙ. බයික් එකේ යන්න පුදුම බයයි මම. පුංචි පිටිපස්සෙන් මාවත් අල්ලගෙන. 

බයික් එකේ යද්දි වැරදිලාවත් පාර දෙපැත්ත නම් බලන්නෙ නෑ මම. ඉස්සරහ පේන්නෙත් නැහැ බාප්පා ඉන්න නිසා. උඩට ගත්ත හුස්ම පහළට දාන්නෙත් සමූපකාරෙ ගාවදි මාව උස්සලා බිමින් තිබ්බට පස්සෙ. ඊට පස්සෙ පටන් ගන්නෙ නංගිගෙයි මගෙයි සෙල්ලම. ටිකක් රස්නෙ පැත්තක් එහේ. ඉතින් වැලි නාගෙන අපි දෙන්නා සෙල්ලම් ගෙවල් හදනවා. 

ටිකක් දවල් උනාම පුංචි අපි දෙන්නට අඬගහනවා බිස්කට් දෙන්න. කඩේ ඉස්සරහම වීදුරු පෙට්ටිවල දාලයි බිස්කට් තියෙන්නෙ. ඒ බිස්කට් කිරල දෙන්නෙ. මම ආසම ජෙම් බිස්කට්. රෝස පාට, කහ පාට, කොළ පාට, සුදු පාට අයිසින් උඩින් දාලා තියෙන චූටිම චූටි බිස්කට්. මුලින්ම කන්නෙ බිස්කට් එක. ඊට පස්සෙ තමයි අයිසින් කන්නෙ. අයිසින් ටිකක් ඝනකමයි. ඒ වුණාට හපලා කන්නෙ නැහැ. කටේ දාගෙන ඉන්නවා නිකන්ම දිය වෙලා යනකල්. ඒ නංගිත් එක්ක තරඟෙට. කාටද අයිසින් ටික වැඩිම වෙලාවක් කටේ තියන් ඉන්න පුළුවන් බලන්න. තව තියෙනවා ලොකුම ලොකු මාරි, තව වේෆර්ස්, තව මැද්දෙ හිලක් තියෙන කහපාට බිස්කට් එක, ඒ ජාතියෙම චොකලට් බිස්කට් එක. චොකලට් ක්‍රීම් බිස්කට් එක නම් හම්බ වෙන්නෙ ඉඳල හිටල. 

තව එක එක ජාතියෙ පැණිරස කෑම. ලොකු කහපාට පෙපර්මින්ට්, තව හූණු බිත්තර, නාරං බික්. ඒවා නම් තියෙන්නෙ බෝතල් වල දාල කවුන්ටරේ උඩ. මම ටොපි කන්න කැමති නැති නිසා ටොපි දෙන්නෙ නංගිට විතරයි. මුලින්ම මම පෙපර්මින්ට් වලට කැමති වුණේ නැහැ. ඇයි අප්පා. තඩි බෙහෙත් පෙත්තක් වගේ නෙ. ඒත් පස්සෙ තමයි රස දන්නෙ. බිස්කට් කාලා ඉවර වෙලා තඩි පෙපර්මින්ට් එකකුත් කටේ දාගෙන අපි දෙන්නා දුවන්නෙ ආපහු සෙල්ලම් කරන්න. පුංචිල තේ බොනවා. අපි නම් තේ බොන්නෙ නැහැ. 

දවල් අව්ව සැර වෙනකොට අපි දෙන්නා කඩේ පිළට එනවා. නංගිට තිබුණා අකුරු සෙට් එකක්. අපි දෙන්නා ඒකෙන් තරඟෙට වචන හදනවා. මම එයාට වඩා ලොකු පන්තියක හිටපු නිසා මම දන්නවා වැඩිපුර වචන. ඒ අකුරු සෙට් එකේ එක අකුරකින් තියෙන්නේ එකයි. සමහර වචන හදන්න ගියාම අපි දෙන්නටම එකම අකුර ඕනේ වෙනවා. එතකොට තමයි පටන් ගන්නෙ රණ්ඩුව. ගොඩක් වෙලාවට රණ්ඩුවට මුල "ස" යන්න. අපි දෙන්නා "ස"යන්න දෙපැත්තට අදිනවා. ඊට පස්සෙ තමයි ගහගන්න පටන් ගන්නෙ. හොඳටම රණ්ඩුව දරුණු වුණාම පුංචි ඇවිත් අපි දෙන්නව දෙපැත්තට කරනවා. ඊට පස්සෙ අපි දෙන්නම පුංචිගෙ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන අඬනවා. ඒ අඬන ගමනුත් මම හෙමීට නංගිට පාරක් ගහනවා. 
"අනේ මේ කෙල්ල! මගෙ ඔඩොක්කුවේ ඉඳන් මගේම ළමයට ගහනවනේ.." පුංචි කියන්නෙ හිනා වෙවී. 
"ඉතින් පුංචි, ඔයා එයාගේ අම්මා වෙන්න කලින් නේ මගේ පුංචි වුණේ?" මම එහෙම කියන්නෙ හුඟක් අහින්සක මූණක් හදාගෙන.
ඔහොම දවස් ගත වෙලා ආපහු ඉස්කෝලේ පටන් ගන්න දවස් ළං වුණාම මාව එක්ක යන්න් ආපහු අම්මා එනවා. පුංචි මගේ ඇඳුම් එහෙම් නවලා බෑග් එකට දාල දෙනකල් නංගි එතන්ට වෙලා බුම්මගෙන ඉන්නවා. යන්න ලේස්ති වුණාම බෑග් එක නැහැ. නංගි බෑග් එක හංගලා. අම්මයි පුංචියි එකතුවෙලා බෑග් එක හොයනකොට නංගි අඬන්න පටන් ගන්නවා. එතකොට මාත් අඬනවා. 
"අනේ ලොකු අම්මෙ, අක්කව තව එක දවසක් තියලා යන්නකෝ.." 
ඒත් එතකොට පුංචි බෑග් එක හංගපු තැනින් හොයාගෙන. දැම්මම ගියෙ නැත්තම් බස් එක බැරි වේවි. පුංචි කියනවා. නවත්තන්නෙම නැතුව අඬන නංගියි, පුංචියි වැට ගාව ඉඳන් අපි යන දිහා බලන් ඉන්නවා. මමත් අඬ අඬම අම්මත් එක්ක ආපහු යනවා. 

පේරාදෙණිය ඉස්පිරිතාලෙට හැරෙන පාර ළඟ පලතුරු එහෙම විකුණන පොඩි කඩයක් තියෙනවා. බස් හෝල්ට් එක ළඟම. සමහර දවස් වලට එතන ජෙම් බිස්කට් විකුණන්න තියෙනවා. 

"අනේ අපි අතනින් ජෙම් බිස්කට් ගමුකෝ." මම යාළුවන්ට කියනවා. 
"පිස්සුද ඔයාට. ඔය පාර අයිනෙ තියෙන ඒව කන්න? ඕව කාලා පලු දාල, ඉදිමිලා එනවකෝ. අපි නම් බලන්නෙවත් නැහැ." යාළුවෝ මට සැර දානවා. 

ඉතින් ඉඳල හිටලා දවසක නුවරදි ජෙම් බිස්කට් ගත්තාම එදාට නම් සතුටෙ කෙළවරක් නැහැ. ජෙම් බිස්කට් එකේ රහ ඇතුලෙන් මම සංඝමිත්තා එකේ කෙළවරක් නැතුව කියවන යාළුවෝ හතර දෙනෙක් මැද්දෙ ඉඳන් ආපහු සමූපකාරෙ  පඩිය උඩට යනවා. ඒ නංගිත් එක්ක ජෙම් බිස්කට් අහුර මැද්දෙ තියාගෙන බිස්කට් ටික කාලා දාලා අයිසින් ටික කටේ දාගෙන කාටද වැඩිම වෙලාවක් ඉන්න පුළුවන් කියලා තරඟයක් තියන්න..... 

 
 

Friday, April 10, 2015

තිමිර 14

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09
තිමිර 10
තිමිර 11
තිමිර 12
තිමිර 13

"අම්මා...." 

ඒ ආමන්ත්‍රණේ ඇහුණ ගමනුයි අත්තම්මා දොර දිහාවෙ බැලුවෙ. ඈ එක්වරම සුදුමැලි වුණා. ශශික පැනලා අල්ලගත්තෙ නැත්තම් එහෙම ඇය එතනම ක්ලාන්ත වෙනවා. කට්ටිය ඉක්මනටම වතුර ඉහලා, පවන් ගහලා ඈව යථා තත්වෙට ගත්තා. ඒ මුළු වෙලාවෙම අම්මා හිටියේ ඉකි බිඳිමින්. 

මොනව? එතකොට අපේ අම්මද සඳා මැණිකෙ. අම්මා තාත්තව කසාද බඳිනවට අම්මලාගේ පැත්තේ නෑදෑයෝ විරුද්ධ වුණා කියලා දැනගෙන හිටියට ඔච්චර ලොකු සිදුවීමක් ඒ පිටිපස්සෙ තියනවයි කියලා මම ජීවිතේට හිතුවෙ නැහැ. 

අම්මා තාමත් අඬනවා. ඒ වගේමයි අත්තම්මත් අඬනවා. 

"ඇයි දුවේ මාව බලන්නවත් ආවෙ නැත්තෙ?" 

"අයියලා මට තර්ජනය කරලයි තිබ්බෙ වලව්ව පැත්ත පළාතේ එන්න එපයි කියලා." 

" ඉතින් දුවේ දැන් අයියලා ලංකාවෙ නැහැනේ." 

"ඉතින් අම්මේ මම දැනගෙන හිටියේ නැහැ නේ.." 

හ්ම්ම්... අම්මට කොච්චර සතුටු ඇත්ද? ඒ වගේම ඇති අත්තම්මාටත්.. අවුරුදු විසි පහකට විතර පස්සෙ වගේ තමයි ඒ දෙන්නා මුණ ගැහුණේ එහෙම බැලුවම. එයාලා තාමත් කතා කරනවා... කතා කරනවට වැඩියෙන් කරන්නේ අඬන එක. 

එයාලා දිහා බලන් ඉන්නකොට ශශික ආපහු මගෙ ළඟට ඇවිත්. 

"සඳා මැණිකෙට එයාගේ අම්මව ආපහු හම්බ වුණා නේද?" ශශික එහෙම ඇහුවෙ එයත් අම්මලා දිහාම බලන් හිටපු නිසා වෙන්න ඇති. 

"ඔව් නේ. මම නම් කීයටවත් හිතුව් නැහැ මෙහෙම දෙයක්. මට නම් තාමත් පුදුමයි." මම කිව්වෙ ඒ වුණ දෙයින් මම තාමත් කම්පනය වෙලා වගේ ඉන්න නිසයි. 

"එයාලගෙ ප්‍රශ්නෙ නම් විසඳුණා. ඒත් මගෙ ප්‍රශ්නෙ නම් තාමත් එහෙමමයි." 

"මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ?" 

"ඇයි ඉතින්, ඔයා තාම මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑනෙ." 

"මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ?" 

"ඇයි මම උදේ ඔයාගෙන් අහපු ප්‍රශ්නෙ? මේ ටිකට ඒක අමතක වුණාද?" 

ඇත්තමයි. කලබල අස්සෙ මට අමතකම වෙලා ගියා ඒ ප්‍රශ්නෙ. මොනව කියන්නද මම? මම කැමති වුණත් ශශිකගෙ අම්මලා මට කැමති වෙයිද? එයාලා වලව්ව්ක නේ? ඒත් දැන් බලනකොට මමත් වලව්වක නේද? මමත් ගල්කන්ද වලව්වෙ මිනිබිරියක් නේද? 


"ඇත්තටම ශශික මම මුලින් ඔයාට උත්තරයක් දෙන්න බැරුවයි හිටියේ. ඔයාගේ අම්මලා මට කැමති වේවිද දන්නේ නැති නිසා." 

"දැන් ඉතින් ඒකේ අනිත් පැත්ත වෙයිද් දන්නේ නැ නේද රන්දි. දැන් ඔයාලත් වලව් කාරයෝ නේ." 

"අනේ විහිලු කරන්න එපා ශශික." 

"ම්ම්ම්... පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඔයා මට ආදරෙයි කියන එකද ඒ කිව්වෙ?" ශශික මගෙන් ඇහුවමයි මටත් තේරුණේ ඒ මම කිව්වෙ මොකද්ද කියලා. දැන් ඉතින් කියපු දෙයක් ආපහු ගන්න පුළුවන් ද?

මම අහක බලාගත්තෙ ඒ නිසා. 

"අනේ රන්දි කියන්නකෝ. මට ආදරෙයි නේද?" ශශික එහෙම ඇහුවෙ තවත් කිට්ටු වෙලා මගේ මූණට එබෙන ගමන්. 

"ඔව් ශශික.. මම ආදරෙයි.." මම එහෙම කිව්වෙ අහක බලාගෙන. 

"ඔහොම බැහැ. මගෙ දිහා බලාගෙන කියන්න." ශශික එහෙම කිව්වා.. බිමට හැරිලා තිබ්බ ඇස් දෙක උස්සලා එයා දිහා බලන්න කල්පෙකට වඩා කාලයක් ගත වෙන්න ඇති මට. 

"මම ආදරෙයි.." මම කිව්වෙ ශශිකගේ ඇස් දෙක දිහා බලාගෙනම... 



~~~~~~~~~~~~නිමි~~~~~~~~~

ප.ලි: කාලයක් තිස්සේ ඔයාලා කියවපු "තිමිර" කතාව මෙයින් අවසාන වෙනවා. ඉතින් ඉවර කරන්න හිතුවටත් වඩා ගොඩාක් කාලයක් ගියත් මේ කතාව ඉවර වෙනකල් රැඳිලා හිටපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි. කාල වෙලාවත් එක්ක ආයෙ නම් දිග කතා ලියවෙන්නෙ නැති වේවි. ඒත් ඉඩ ලැබෙන විදියට ආයෙ බ්ලොග් එකේ මොනවහරි කුරුටු ගාන්න හැකි වේවි කියලා මම හිතනවා.. 

Thursday, April 9, 2015

තිමිර 13

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09
තිමිර 10
තිමිර 11
තිමිර 12

මම එතන වාඩි වෙනකොටම වෑන් එකේ ඩ්‍රයිවරුයි, ශාලියි දෙන්නම දුවගෙන ආවේ හොඳටම බය වෙලා. ඒත් මට ඒ හැටි අමාරුවක් තිබ්බෙ නැහැ. 

"මේ ළමය එක පාරටම පැන්න නේ. මම දැක්කෙ නැහැ." වෑන් එකේ ඩ්‍රයිවර් එහෙම කිව්වෙ එයාගෙ අතේ වැරැද්දක් නැහැ කියලා කියන්න වෙන්න ඇති. එයා හරි. මම තමයි පාර බලන්නෙ නැතුව පැන්නෙ. මෙතන මගෙ වැරැද්ද සම්පූර්ණයෙන්ම. 

"ඔව්.. මම පාර බලන්නෙ නැතුවයි පැන්නෙ. මගෙ වැරැද්ද..." මම එහෙම කිව්වෙ මගෙ වැරැද්දක් නිසා ඒ මනුස්සයා අපහසුතාවෙට පත් වෙන්න ඕනේ නැති නිසා. 

"ඔයාට ගොඩක් තුවාලද?" ශාලි හොඳටම බයවෙලා.. "මේ ඔයාගෙ කකුලෙන් ලේ එනවත් එක්ක. අපි හොස්පිටල් එකට යමු " 

"නෑ අනේ.. මට අමාරු නැහැ. අපි යන ගමන් බෙහෙත් දාගෙන යමු." මම එහෙම කිව්වෙ ඇත්තටම මට ඒ හැටි අමාරුවක් තිබුණේ නැති නිසයි. ඉස්පිරිතාලෙ ළඟ තිබුණ නිසා වෑන් එකේ ඩ්‍රයිවරුයි, ලොකු මැණිකෙයිත් ආවා මාත් එක්ක ඉස්පිරිතාලෙට යන්න. මට ඒ හැටි අමාරුවක් තිබ්බෙ නැතත් ඇක්සිඩන්ට් එකක් නිසා එයාලා මාව ඇඩ්මිට් කරගත්තා. 

තුවාල වෙන එක නම් ඉවසන්න පුළුවන්. ඒත් තුවාල සුද්ධ කරන එකයි, ඒවට බෙහෙත් දාන එකයි තමයි මට ඉවසන්න බැරි. නර්ස් තුවාල සුද්ධ කරන්න ඕනේ බඩුත් අරන් එනකොට මම හිටියේ සිහිය නැති වෙන තරමට බය වෙලා. 

"මොකද මේ? ඔයා බය වෙලාද ඉන්නෙ?" නර්ස් ඇහුවෙ හිනාවෙවී. ඒ වෙනකොට වෑන් එකේ ඩ්‍රයිවරුයි, ලොකු මැණිකෙයි, ශාලියි මගේ ඇඳ වටේට වට වෙලයි හිටියේ. මෙතන කෑ ගැහුවොත් මටමයි ලැජ්ජාව. 

"බය වෙන්න එපා ළමයො. පොඩි ළමයිනුත් ඉන්නවා හොඳට තුවාලවලට බෙහෙත් දානකල්." නර්ස් ආයෙමත් හිනාවෙවී කියන්නෙ. මට පෙන්නන්නම බැරි වැඩක් තමයි ඔය ඉන්ජෙක්ෂන් විදින්න ගියාමයි, තුවාල වලට බෙහෙත් දාන්න ගියාමයි පොඩි ළමයි ඔයිට වඩා හොඳට ඉන්නවයි කියන එක. ඇයි අපට රිදෙන්නෙ නැහැ කියලද එයාල හිතන් ඉන්නෙ? මහ පුදුම ලෝකයක් මේක. 

ඒ අස්සෙ මේ කවුද නර්ස්ගේ පිටිපස්සට වෙලා හොරෙන් හිනා වෙන්නෙ? 
ශශික! මෙයා කොහොමද මෙතන්ට ආවෙ? 

"ශශික! ඔයා මොකද මෙහෙ?" මම ඇහුවෙ මේ මොනවත් හිතාගන්න බැරුව. මෙයා මම යන යන තැන ඉන්නවද? 

"මම ආවෙ ශාලි කෝල් කරපු නිසානෙ." ශශික කිව්වෙ ශාලි දිහා බලන ගමන්. ඒ පාර මම බැලුවෙ ශාලි දිහා. මෙයා මොකටද එයාට කතා කළේ? 

"අනේ රන්දි. මම ඔයාලාගේ අම්මට කතා කරන්න යනකොට වැරදිලා ශශිකගේ නම්බර් එක තමයි ඩයල් වෙලා තියෙන්නෙ." ශාලි කිව්වෙ සමාව ඉල්ලන බැල්මක් එක්ක. 

බලන්න ඉතින්. ශාලිත් මහ පුදුම වැඩ තමයි කරන්නෙ. දැන් එයා අම්මටත් කෝල් කරලා. දැන් අම්මා ආවම තමයි මෙතන වැඩේ දෙකක් වෙන්නෙ. 

"ඇයි ශාලි ඔයා අම්මට කෝල් කළේ? මට එච්චර අමාරු නෑනේ." මම එහෙම කිව්වෙ නුරුස්නා හැඟීමකින්. 

"අම්මට කියන්නේ නැතුව කොහොමද රන්දි? නැත්තම් ඔයා ගෙදර ගියාට පස්සෙ ඔයාට හොඳටම බනියි කිව්වෙ නෑ කියලා.." එක අතකට ශාලි කියන කතාවෙත් ඇත්තක් නැතුවමත් නෙවෙයි. 

"ඒ වුණාට ශාලි අම්මා දැන් ඇවිත් දෙවනත් කරයි මෙතන. ඔයා දන්නවනේ අම්මගේ හැටි." මම එහෙම කිව්වෙ අපේ අම්මා පොඩි දේටත් සෑහෙන්න කලබල වෙන කෙනෙක් නිසයි. 

ඒත් ඒ ගැන හිතන එක නවත්තන්න මට සිද්ධ වුණේ නර්ස් මගේ තුවාලෙට බෙහෙත් දාන්න පටන් ගත්ත නිසයි. මුලින්ම සර්ජිකල් ස්පිරිට් වලින් තුවාලෙ හෝදනකොට දැවිල්ල වැඩිකමට මගෙ ඇස් වලින් කඳුළුත් පැන්නා. ඊට පස්සෙ නම් මම ඇස් දෙක තද කරලා වහගෙනයි හිටියෙ. ශාලිගෙ අතකිනුත් තද කරලා අල්ලන් හිටියේ මම බෙහෙත් දාලා ඉවර වෙනකල්. 

තුවාලෙට බෙහෙත් දාලා ඉවර වුණාට පස්සෙයි මට යන්තම් සහනයක් දැනුණේ. වේදනාවෙ නම් අඩුවක් තිබ්බෙ නැහැ. ඩොක්ටර් නම් කිව්වෙ සීරුම් තුවාල මිසක් ගොඩක් ගැඹුරු තුවාල නැහැයි කියලා. වේදනාව අඩු වෙන්නෙයි කියලා වේදනා නාශක පෙති දෙකකුත් දුන්නා මට බොන්න. 

නර්සුයි, ඩොක්ටරුයි එතනින් ගියාට පස්සෙයි ශශිකගෙ කතාව පටන් ගත්තෙ. 

"අපෝ මහලොකු චණ්ඩි. කතාව නම් ගමකට ගහන සයිස්. ඒ වුණාට සර්ජිකල් ස්පිරිට් ටිකක් ගෑවුණාම අඬන්න ගන්නවා." 

"මමනෙ ඉතින් දන්නෙ කොච්චර මට රිදුණද කියලා. ඔය කිසිම හිතක් පපුවක් නැතුව දත් ගලවලා දාන දත් දොස්තරලා දන්නවද ඕවා?" 

"ආ එතකොට අපිට හිතක් පපුවක් නැහැ? අනේ අනේ.. මෙහෙමත් කතා අහන්න වුණා නේ මට ඇත්තටම." ශශික එහෙම කියලා අහක බලාගත්තා. එවෙලේ නම් මට දුක හිතුණත් එක්ක එයා ගැන. ඒත් මම මොනවත් කිව්වෙ නැහැ. 

"අත්තම්ම කොහෙන්ද මෙතන්ට සෙට් වුණේ?" ශශික අත්තම්මා දිහාවට හැරිලයි එහෙම ඇහුවෙ. 

"පුතේ මේ දුව මට බෙහෙත් ගන්න ෆාමසියට යනකොට නේ මේ වාහනේට හැප්පුනේ.." අත්තම්මගේ කටහඬේ තිබුණේ හරියට එයත් මට වුණ දේට වග කියන්න ඕනෙ වගේ හැඟීමක්. ඒත් මෙතනදි නම් සම්පූර්ණ වැරැද්දම මගේ. 

"අනේ ශාලි, ඩොක්ටර්ගෙන් අහන්නකෝ මට දැන් ගෙදර යන්න පුළුවන්ද කියලා? " මම එහෙම ඇහුවෙ මට දැන් ඕනෙ වෙලා තිබ්බෙ ඉක්මනටම ගෙදර යාගන්න නිසා. ශශික වගේම එයා දේපු තෑග්ගත්, කවියත් මගෙ හිතට සෑහෙන්න බරක් එකතු කරලයි තිබ්බෙ. මගේ කරදරේ ඉවසන්න බැරි හින්දමයි ශාලි ආපහු ඩොක්ටර් හම්බ වෙන්න ගියේ. 

"ඔයා ඇක්සිඩන්ට් වුණා කිව්වම මම ගොඩක් බය වුණා රන්දි.." ශශික එහෙම කිව්වේ මගෙ ළඟටම ඇවිත්. මොන වගේ උත්තරයක් දෙන්නද කියලා හිතාගන්නවත් බැහැ. මගෙ කන් දෙක ගිනි ගන්නවා වගෙයි මට නම් දැනෙන්නේ. හොඳ වෙලාවට ශාලි ආපහු ආවෙ. ඒ නිසා ශශිකට උත්තරයක් දෙන්න අවස්ථාවක් මට ලැබුණේ නැහැ.  

"පොලීසිය එනකල් ඔයාට ඉන්න වෙනවලු ශාලි. ඇක්සිඩන්ට් එකක් නිසා කට උත්තරයක් දෙනකම් ඔයාට ඉන්න වෙනවලු." ශාලි එහෙම කියාගෙනමයි ආවෙ. මදැයි ඉතින්. දැන් තව වෙලාවක් ඉන්න වෙනවා මෙතන. 

"අත්තම්ම එහෙනම් යන්න. ගොඩක් ස්තූතියි මෙහෙට ආවට.." මම එහෙම කිව්වෙ තවත් ඇයව රස්තියාදු කරවන එකේ තේරුමක් නැති නිසයි.

"අනේ දුව මම හින්දයි ඔයාට මෙහෙම දේකට මූණ දෙන්න වුණේ. අනිත් එක ඔයා ළඟ වැඩිහිටි කවුරුවත් ඇත්තෙත් නෑනේ. මම ඉන්නම් ඒක නිසා." ඇය එහෙම කිව්වෙ මගෙ ඔලුවත් අතගාන ගමන්. 

එතකොටමයි මගේ ෆෝන් එක ආපහු රින් වෙන්න පටන් ගත්තෙ. 

"හලෝ" 

"දෝණි මම මේ ඉස්පිරිතාලෙට ඇවිල්ලයි ඉන්නෙ. කෙහෙද ඔයාලා ඉන්නෙ?" ඒ අම්මා. 

"ඕ පී ඩී එක ගාව 14 කාමරේ කියල එකක් තියෙනවා අම්මෙ. එතන ඉන්නෙ මම."

"හරි දෝණි මම ඉක්මනට එන්නම්" අම්මා සෑහෙන්න කලබල වෙලා. පව්... වෑන් එකේ ඩ්‍රයිවර්ටත් බනීවිද දන්නේ නැහැ. මට ගොඩක් අමාරුයි කියලා හිතනවද දන්නෙ නෑ. කමක් නෑ. දැන් ආවම දකිවි නේ මට අමාරු නැහැයි කියලා. 

අම්මා 14 කාමරෙන් ඇතුල් වෙද්දිම අපි හැමෝම දොර දිහා බලාගෙනයි හිටියෙ. මම බලාපොරොත්තු වුණේ අම්මා සෑහෙන්න කලබලයක් ඇති කරයි කියලයි. පොඩි දේටත් ඉක්මනට කලබල වෙනවා අපේ අම්මා. 

ඒත් අම්මා කාමරේට ඇතුල් වුණ ගමන් අම්මාගේ කටින් පිට වුණේ මම කොහෙත්ම බලාපොරොත්තු වෙච්ච ආමන්ත්‍රණයක් නම් නෙවෙයි. 

"අම්මා......." 

මතු සම්බන්ධයි... 



Wednesday, April 8, 2015

තිමිර 12

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09
තිමිර 10
තිමිර 11

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මම ආපහු මේ ලෝකෙට ආවෙ ශශිකගෙ මෝටර් රථයෙ නලා හඬින්. ඇති යන්තම් දැන්වත් ආවා. 

"රන්දි, මම එන්න වෙලා ගියෙ නැනේ?" ශශික ඇහුවෙ වාහනෙන් එළියට ඔළුව දාල. 

"අපෝ නැහැ. ඔයා ඉක්මනට ආවා. කෝ ඉතින් දෙන්න මගේ තෑග්ග. මට දැනටමත් හොඳටම පරක්කුයි." මම එහෙම කිව්වෙ ඔරලෝසුව දිහා බලමින්. 

"තෑග්ග දෙන්නම්. වාහනේට නගින්නකෝ." ශශික එහෙම කිව්වම මම පුදුම වුණා. මෙයා මාව පැහැරගෙන යන්නවත්ද දන්නෙ නෑ හදන්නෙ. 

"ඉතින් දැන් පරක්කුයි කිව්වෙ. මම ඔයාව ඔෆිස් එක ළඟින් දාන්නම්. යන ගමන් තෑග්ග දෙන්නම්කො." 

මටත් හොඳටම පරක්කු නිසා ශශිකගේ වාහනේට නැග්ගා. ශශික වාහනේ හරවගෙන ප්‍රධාන පාරට ගත්තා.

"කෝ තෑග්ග?" මම එහෙම ඇහුවේ මෙච්චර හදිස්සියේ මාව හොයාගෙන ඇවිත් දෙන්න හදන තෑග්ග මොකද්ද කියලා දැනගන්න කුතුහලයක් ඇති වුණ නිසාමයි. 

"පොඩි ළමයෙක් වගේ ඔයානම්. ආ මෙන්න." ශශික එහෙම කිව්වෙ ලොකු පාර්සලයක් මගේ අතට දෙන ගමන්. ඒත් ඒක එච්චර බර නම් නැහැ. පෙනුමෙන් නම් පොතක් වගේ. ඒත් පොතකට වඩා ප්‍රමාණයෙන් නම් ලොකුයි. 

"මම මේක කඩල බලන්නද?" මම එහෙම ඇහුවෙ ඇතුලෙ තියන දේ දැනගන්නකන් මට ඉවසිල්ලක් තිබ්බෙ නැති නිසා. 

"ඔය ඉතින්, පොඩ්ඩක්වත් ඉවසන්න බැරිද ඔයාට? ඔෆිස් එකට ගිහින් කඩල බලන්නකෝ. ඊට පස්සෙ කියන්න මට ඒක හොඳද කියලා." ශශික එහෙම කියපු නිසා මට ඉවසන්න සිද්ධ වුණා. මාව ඔෆිස් එක ගාවින් බස්සපු ගමන් මම ඇතුලට දුවලා ගියේ මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. 

බෑග් එක මේසේ උඩින් තියලා මම මුලින්ම කළේ හෙමීට තෑග්ගෙ දවටනේ ඉරපු එක. ඇතුලේ තියෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති නිසා ඒකට හානියක් වෙයි කියලා බයට ගොඩක් හෙමින් තමයි මම දවටනේ අයින් කළේ. ඒත් ඇතුලේ තිබ්බෙ නම් මම කිසිසේත්ම බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. 

ඒ තමයි චිත්‍රයක්... 

චිත්‍රෙ ගෑණු ළමයෙක්ගෙ. අවන්හලක මේසයක් ළඟ වාඩිවෙලයි හිටියේ. ඇගේ ඉස්සරහ බීම වීදුරුවක්. ඒ වගේම ඇගේ ඉස්සරහ මේසේ උඩ දිග ඇරපු සටහන් පොතක්. තවත් කිට්ටු වෙලා බැලුවමයි ඒ චිත්‍රෙ ඉන්න ගෑණු ළමයව මම අඳුර ගත්තෙ. 

ඒ තමයි මම... 

ශශිකව මුලින්ම හම්බ වුණ දවසෙ, අර එයාගෙ පොත මම හොරකම් කරන්න හැදුවයි කියලා මට සැරකරපු දවසෙ මම හිටපු විදිය තමයි ඒ චිත්‍රෙ ඇඳලා තිබුණෙ. 

චිත්‍රෙත් එක්ක තව කාඩ් එකකුත් තිබුණා. ඒ කාඩ් එකේ ලියලා තිබුණේ කවියක්. 

මගේ සඳවතට... 

නොසිතු සේ ඇසිල්ලක 
මගෙ ලොවට පායලා 
සඳරැස් සිසිල දෙනවද.... 

වළාවක පැටලිලා 
සිහින අරගෙන ආපු 
සඳවත මගෙම වෙනවද....


මගෙම විතරක් වෙනවද..... 

එක පාරටම මට හිතාගන්නත් බැරි වුණා. මොනවා කියන්නද කියලා. මම පියවි ලෝකෙට ආවෙ දුරකතනය නාද වෙන හඬින්.  ඒ ශශික. 

"හෙලෝ" මම කටහඬ මටවත් අඳුරගන්න බැරි විදියට බිඳිලයි තිබ්බෙ. එයාට මොනවද කියන්නේ කියලා හිතාගන්නවත් බැරිවුණා මට. 

"චිත්‍රෙ හොඳයි ද? 

"ඔව්." 

"කැමතිද ඒ චිත්‍රෙට?" 

"ඔව්."
 

ඊට පස්සෙ අපි දෙන්නම නිහඬව හිටියේ කියන්න තරම් දෙයක් හොයාගන්න බැරි වුණ හන්දා වෙන්න ඇති.

"මම එහෙනම් තියන්නම්." විනාඩි කිහිපයක නිහඬතාවයකට පස්සේ ශශික එහෙම කිව්වා. 

"හ්ම්." 

"හදිස්සියක් නැහැ. හෙමීට හිතලා බලලා මට උත්තරයක් දෙන්නකෝ." ශශික එහෙම කියලා ෆෝන් එක කට් කළා. මම තාමත් හිටියේ කම්පනය වෙලා වගේ. 

ඒත් එක පාරටම මගෙ මේසෙ ළඟට කඩන් පාත් වුණේ අපේ ඔෆිස් එකේ සහෝදර ජනතාව. 

"කෝ බර්ත්ඩේ ගර්ල් අපිට කේක් එකක්වත් ගෙනාවෙ නැද්ද?" එහෙම ඇහුවෙ ධනුෂ්ක. 

"අනේ මම එද්දි පරක්කු වුණා නේ. මම දැන් මේ යන්නයි හැදුවෙ." මම එහෙම කිව්වෙ නැත්තම් මේ කට්ටියගෙන් මට බේරුමක් නැති වෙන නිසා. 

"ආන්න එහෙම එන්න නංගී හරිද? නැත්තම් ඔයාට අද ගෙදර යන්න වෙන්නේ නැහැ.." ඒක නම් ඇත්ත. කේක් දුන්නේ නැත්තන් අද මෙයාල මාව නැති කරාවි. මම ශාලිවත් ඇදන් කේක් එකක් ගේන්න යන්න එළියට බැස්සා. 

"කොහාටද දැන් යන්නෙ?" ශාලි එළියට බැස්සෙ අව්වෙ ගිහින් එයාව කළු වෙයි කියලා කුරු කුරු ගාන ගමන්. 

"ඉස්පිරිතාලෙ ළඟ කඩෙන් ගමු නේ? එතන කේක් රසයි." මම එහෙම කිව්වෙ කුඩේ ඉහලන ගමන්. හොඳටම අව්ව. ඒත් අපි පයින්ම ඉස්පිරිතාලේ ගාවට ඇවිදන් ගියා. ඒත් කහෛර හරියට කිට්ටු වෙද්දිමයි මම දැක්කෙ දැකලා පුරුදු කෙනෙක් කහ ඉර ගාව හිටන් ඉන්නවා. ඒ එදා පන්සලේදි මට මුණ ගැහුණු අත්තම්මා. ගල්කන්ද වලව්වෙ ලොකු මැණිකේ. 

"අත්තම්මා මොකද මෙතන?" මම එහෙම ඇහුවෙ මීට කලින් කවදාවත් ඇයව මෙහෙදි දැකපු බවට මතකයක් තිබ්බෙ නැති නිසා. 

"මම ක්ලිනික් එකට ආවා දුව. දැන් මේ බෙහෙත් ටික ගන්න ෆාමසියට යන්නයි ඕනෙ. ඒත් මේ පාරෙ හරියට වාහන නේ." ෆාමසිය තිබ්බෙ පාරෙන් එහා පැත්තෙ. ඔෆිස් ටයිම් එක නිසා පාරේ වාහන පිරිලා. 

"මට බෙහෙත් තුණ්ඩුව දෙන්නකෝ. මම පාර පැනලා ගිහින් බෙහෙත් ටික අරන් එන්නම්." මම එහෙම කිව්වෙ ඒක ලේසි නිසයි. ෆාමසියට ගිහින් බෙහෙත් අරන් එනකොට නම් පාරෙ වාහන එච්චර තිබුණේ නැහැ. හදිස්සියට මම පාරෙ එක පැත්තක් විතරයි බැලුවෙ. ඒක නිසා අනිත් පැත්තෙන් ආව වෑන් එක දකිනකොට මම හිටියෙ පාර මැද්දෙ.. 

"දඩස්" වේගෙන් ඇවිත් බ්‍රේක් ගහලා නැවැත්තුවත් එතකොටත් වෑන් එක මගෙ ඇඟේ වැදිලා ඉවරයි. කකුලක දරාගන්න බැරි වේදනාවක් ආව හින්දා මම එහෙමම වාඩි වුණා.

මතු සම්බන්ධයි... 

තිමිර 11

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09
තිමිර 10

ඒ විහාරේ පිහිටල තිබුණේ හරිම ලස්සන පරිසරේක. නගරයෙන් ඈතට වෙන්න පිහිටලා තිබුණ නිසා හරිම නිස්කලංක ගතියක් තමයි ඒ පරිසරයේ තිබුණේ. කලබලකාරී පරිසරයෙන් මිදිලා ඉඳල හිටලා හරි මේ වගේ තැනකට එන එක හොඳයි කියලයි මට හිතුණේ. 

අපි දානේ වෙලාවට කලින් ගිහින් හිටපු නිසා ටිකක් වටපිට ඇවිදලා බලන්නත් අවස්ථාව ලැබුණා. සාමකාමී, නිහඬ පරිසරය හිතට ගෙනාවේ පුදුම නිදහස් හැඟීමක්. 

දානෙ වෙලාවනම් ටිකක් කලබලකාරියි. ඒත් කිසිම් අඩුපාඩුවක් නොවෙන විදියට දානේ පිළිගන්වන්න අපි උත්සහ කළා. දානේ වෙලාව ඉවර වෙලා පොඩි විවේක කාලෙකුත් තිබ්බා. ඒ වෙලාවේ සිල් සමාදන් වෙලා හිටපු උපාසක අම්මලා කීප දෙනෙක් එක්කත් අපි කතාබහ කළා. 

ඒ අයත් එක්ක කතාබහ කරලා ආපහු එන්න හැරෙනකොටයි මම දැක්කේ බෝමළුවට යන ගල් පඩිපෙළ ගොඩාක් අමාරුවෙන් නගින ආච්චි කෙනෙක්. මම් එතනට දුවලා ගියේ ඈට උදව් කරන්න. 

මම ඇගේ අතින් අල්ලගෙන ඈව පඩිපෙළ උඩටම එක්ක ගියා. බෝමළුවේ ඇය වාඩි වුණේ හරිම පිළිවෙළට. 

"ඔයාට ගොඩාක් පින් දුවේ. ඉස්සර වගේ දැන් මට වාරු නැහැනේ." ඇය එහෙම කිව්වෙ මගෙ ඔළුවත් අතගාන ගමන්. ඊට පස්සෙ ටිකක් කල්පනාකාරීව මගේ මූණ දිහා බලන් හිටපු ඈ සුසුමක් හෙළුවා. 

"ඇයි අත්තම්මෙ, මොකක් හරි ප්‍රශ්නයක්ද?" මම එහෙම ඇහුවා. ඇය මගේ අත්තම්මගේ වයසෙම ඇති. මට අත්තම්ම මතක් වුණා. 

"නෑ දුව. මට දුව දැකලා පුරුදුයි වගේ දැනුණා." ඈ එහෙම කිව්වෙ නැවතත් සුසුමක් හෙළමින්. ඊට පස්සෙ ඈ ඇස් පියාගෙන වඳින්න පටන් ගත්තා. මමත් එහෙමම වාඩි වෙලා හිටියේ එතන හරිම නිස්කලංක නිසායි. 

ඈ වැඳලා ඉවර වෙලා අපි ආපහු පහළට එනකල්ම අපි අතරෙ කතාවක් තිබ්බෙ නැහැ. ඇය වැඩිය කතා බහ කරන්න ප්‍රිය නැති කෙනෙක් විදියටයි මම දැක්කෙ. පඩිපෙළ පාමුලදි ඇය "දුවට තෙරුවන් සරණයි" කියලා බණ මඩුවට ඇතුල් වුණේ මම ආපහු මොනවත් කියන්නත් කලින්. 

ඇය ආපහු යන දිහා බලන් හිටපු මම ආපහු හැරුණේ ඇය මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න උත්සහ කරන ගමන්. 

"අනේ ඉස්සර මොන තරම් කලඑළියට හිටපු කෙනෙක්ද දැන් මේ තනිවෙලා ඉන්නෙ?"  මම ආපහු හැරෙනකොටමයි එහා පැත්තේ නැන්දා කෙනෙක් කියපු දේ ඇහුනේ. 

""ඇයි නැන්දේ එහෙම කිව්වෙ? කවුද ඒ?" මම ඇහුවේ ඈ කවුද කියලා දැනගන්න කුහුලක් මටත් ඇති වෙලා තිබුණ හින්දා. 

"ඇයි දුව දන්නෙ නැද්ද? ඒ තමයි අර ගල්කන්ද වලව්වෙ ලොකු මැණිකේ." 

"ආ එහෙමද? මම දැනගෙන හිටියේ නෑ." මම එහෙම කියලා ආපහු ශාලිලා හිටපු හරියට ආවා. එහෙනම් ඒ තමයි ගල්කන්ද වලව්වෙ ලොකු මැණිකෙ. මාව දැකලා පුරුදුයි වගේ කිව්වෙ ශශිකගේ අම්මා කියපු විදියට මම සඳා මැණිකේ වගේ නිසා වෙන්න ඇති. ඒ කතාව අහපු වෙලාවෙ ඉඳන් මම ඈව මුණ ගැහෙන්න කැමැත්තෙන් හිටියත් මේ වගේ අනපේක්ෂිත වෙලාවක ඈව මුණගැහෙයි කියලා නම් මම කීයටවත් හිතුවෙ නැහැ. පව්. දරුවො වෙනුවෙන් ජීවිතේම කැප කරලත් අන්තිමට තනිවෙන්න වුණ හැටි. 

පන්සලේ ඉඳන් ආපහු එනකල්ම මම කල්පනා කළේ ඇය ගැන. තමන්ගේ එකම දුව දකින්න කොච්චර ඕනෙකමකින්ද එයා ඉන්නවා ඇත්තේ. ඒත් දුව කොහෙද ඉන්නෙ කියලවත් දන්නේ නැහැ. සඳා මැණිකෙට මොනව වෙන්න ඇද්ද? තාම ලංකාවෙ ඉන්නවද? එහෙම නැත්තම් පිට රටකටවත් ගිහින්ද ලොකු මැණිකේ ජීවත්වෙලා ඉන්නකල් ඇයට සඳා මැණිකෙව දකින්න ලැබෙයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකින් මගේ හිත පිරිලයි තිබ්බෙ. එයාලට උදව් කරන්න තිබ්බනම් කොච්චර හොඳද? ඒත් මම කොහොමද උදව් කරන්නෙ? ඉතින් ඒ ප්‍රශ්න එකකටවත් උත්තර තිබ්බෙ නැහැ මම ළඟ. 

දින, සති ගෙවිලා ගියා. මොනවත් විශේෂත්වයක් නැතුව. ඒත් ශශිකගෙන් එන කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම් නම්  නතර වුණේ නැහැ. ඒත් ඒ යාළුකමක් විතරයි කියලයි මට නම් හිතුනෙ. මොකද ඉන් එහාට යන දෙයක් ගැන ඉඟියක්වත් තිබුණේ නැහැ. 

එක දවසක් මම උදේ ඔෆිස් යන්න ලේස්ති වෙලා එනකොට අම්මා කිරිබත් හදලා. 

"ඇයි අම්මේ අද කිරිබත් හැදුවෙ?" මම එහෙම ඇහුවෙ මේසෙට වාඩි වෙන ගමන්. 

"අනේ අනේ. ඒකවත් මතක නෑ මේ ළමයට. අද ඔයාගෙ උපන්දිනේ නේ. සුබ උපන්දිනයක් ඔයාට." එහෙම කිව්වෙ අම්මා මට උණුසුම් හාද්දක් දෙන ගමන්. ඇත්තමයි. මට හාන්කවිසියක්වත් මතක නැති වුණා. 

"අනේ අම්මේ, මට අමතක වුණා මේ වැඩත් එක්ක." මම එහෙම කියලා කිරිබත් කන්න වාඩි වුණා. ඔෆිස් එකට මොනවත් අරන් නොගියොත් එහෙ ඉන්න උන්දැලා ටික මාව කන්න හදාවි. ඒත් දැනටමත් පරක්කුයි. නෑ එයාලට මතක් වෙන එකක් නැහැ. ඉල්ලුවොත් මොනවහරි ගෙනත් දෙන්න බැරියැ. 

එහෙම හිතපු මම බස් හෝල්ට් එකට ඇවිදන් යන්න පිටත් වුණා. එතකොටම ෆෝන් එකත් රින් වෙන්න පටන් ගත්තා. කවුද් මේ උදේම? තිරය දිහා බලද්දියි මම දැක්කෙ ඒ ශශික කියලා. 

"හලෝ" 

"හැපි බර්ත්ඩේ රන්දි" 

"ශශික ඔයා කොහොමද දන්නෙ? මම කිව්වද ඔයාට අද මගේ බර්ත්ඩේ එක කියලා?" 

"ඔයා නම් කිව්වෙ නැහැ. ඒවට තමයි ෆේස්බුක් තියෙන්නෙ." 

"ආ ඒත් මම බැලුවා ඔයා කොහොමද දන්නෙ කියලා."

""කෝ ඉතින් අපිට කේක් කෑල්ලක්වත් නැද්ද?" 

""කේක් දෙන්නේ තෑගි දෙන අයට විතරයි." 

"ම්ම්... තෑග්ගක් නම් තියෙනවා. කොහොමද ඉතින් දෙන්නෙ?" 

"මොකද්ද තෑග්ග?" 

""තෑගි එහෙම කියලා දෙනවද හලෝ. මේ ඒක නෙවෙයි. ඔයා කොහෙද ඉන්නෙ? ඔෆිස් එකේද?" 

"නෑ මම ඔෆිස් යන්න බස් හෝල්ට් එකේ ඉන්නෙ." 

"ආ එහෙනම් බස් එකක් ආවට නගින්න එපා හොඳේ? මම විනාඉ පහෙන් එන්නම්." මම මොනවත් කියන්නත් කලින් එයා ෆෝන් එක කට් කළා. මදැයි ඉතින් දැන් මෙයා එනකම් ඉන්නම වෙනවා. ඕකෙන් වෙන්නෙ මට අද ඔෆිස් යන්නත් පරක්කු වෙන එකයි. ශශිකට හිතෙන් බැන බැන මම එයා එනකම් බලන් හිටියා. 


Tuesday, April 7, 2015

තිමිර 10

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09

දවල්ට කෑම කාලා එහෙම ඉවර වෙලා අපි ශශිකලාගේ වත්තේ ටිකක් ඇවිදලා බැලුවා.එතකොට වැස්ස එහෙමත් නතර වෙලයි තිබුණේ. හරිම විසාල වත්තක්. එක එක ජාතියේ ගස් වත්ත පුරාම. ඒ නිසා හරිම සිසිලසක් තමයි දැනුණේ. 

"එතකොට ශශික අයියලාගේ වලව්ව මොකද්ද?" එක පාරටම වාසල මල්ලි එහෙම ඇහුවා. නොකිව්වට මොකද මමත් මේ ඒ ප්‍රශ්නෙ අහගන්න බැරුව හිටියේ. 

"මේ වලව්වට කියන්නෙ මල්ලි රාජසේකර වලව්ව කියලා." ශශික උත්තර දුන්නේ හරිම ආඩම්බරෙන්. වැඩිය නොපෙන්නුවට මොකද මෙයාගෙත් වලව් මානය ටිකක් විතර තියෙනවා වගේ. 

"වාසල මල්ලි දැන් හවස් වෙන්නත් එනවා. අපි දැන් යමු නේද? " මම එහෙම ඇහුවෙ වාසල මල්ලිට යන්න කිසිම හදිස්සියක් තිබ්බෙ නැති නිසා.

"මට නම් යන්න හිතෙන්නෙත් නෑ අක්කේ.. කොච්චර කලාතුරකින්ද අපිට මෙහෙම චාන්ස් එකක් හම්බ වෙන්නේ? ඒත් ඉතින් දැන් හොඳටම වෙලා ගිහින් නේ. අපි දැන් යමු එහෙනම්" 

"ඔයාලා ආවේ කොහොමද?" ශශික එහෙම ඇහුවා. 

"අපි ආවෙ නම් ඔෆිස් එකේ වෑන් එකේ. ඒක හන්දියේ කඩේ ගාව නවත්තලයි ආවෙ." වාසල මල්ලි එහෙම කිව්වෙ ආපහු ගේ දිහාවට යන්න හැරෙන ගමන්. 

"යමු එහෙනම්... මටත් හන්දියට යන්න ඕනෙකමක් තියෙනවා. මමත් එන්නම්.." ශශික එහෙම කිව්වා. 

අපි ශශිකගේ අම්මට වැඳලා සමු අරන් ආවා. වඳිද්දි අම්මා කිව්වේ ආපහු එහේ එන්න කියලයි. ඒත් ඉතින් අපි ඇත්තටම ආව වැඩේ මොකද්ද කියලා දන්නවනම් ඔහොම කියන එකක් නැහැ. 

ශශික අපිත් එක්ක හන්දියට ආවා. එතකොට හවස් වෙන්නත් පටන් අරන්. 

"ගොඩක් ස්තූතියි ශශික. අපි වගේ හදිසියේම කඩා වැටුණ ආගන්තුකයෝ කට්ටියකට ගොඩාක් හොඳට සැලකුවාට..." මම කිව්වෙ වෑන් එකට නගින්න ඔන්න මෙන්න තියලා. 

"ආ ඒක මොකද්ද? ඔයාලා පරිස්සමෙන් යන්නකෝ. කොහෙද ඉතින් ඔයාලා පරිස්සමෙන් ගියාද කියලා දැනගන්න මගේ ළඟ රන්දිගේ ෆෝන් නම්බර් එක වත් නෑනේ." ශශික එහෙම කිව්වේ මගේ දිහා හොරෙන් වගේ බලන ගමන්. 

ආ ඒ පාර මෙයා මොකටද මේ එන්න හදන්නේ. ඒත් හදිසියේ කඩන් පාත් වුණ අපිට අච්චර හොඳට සැලකුවට පස්සේ හරහට මොනවත් කියන්නවත් බෑනේ. ඉතින් මම මගේ ෆෝන් නම්බර් එක දුන්නා. එවෙලෙම එයා රින් කරපු නිසා එයාගෙ නම්බර් එකත් සේව් කරගන්න මට සිද්ධ වුණා. 

අපි ආපහු එද්දි කතා වුණේ අපි හොයන්න ගියපු විස්තරේ කිසිම උත්සහයක් දරන්නෙ නැතුව හොයාගන්න පුළුවන් වුන එක ගැන. ඒත් අපි දෙන්නගෙම හිතේ තිබුණේ සඳා මැණිකේ ගැන දුකක්. 

හොඳටම හවස් වුණ නිසා වාසල මල්ලි මාවත් ගෙදරින් බස්සගෙනමයි ගියේ. ඇඟට මහන්සියක් දැනුනත් ඇඟ හෝදගෙන් තේ එකක් බීපු ගමන් මහන්සිය කොහෙන් ගියාද නැහැ. තේ එකත් අරගෙන කාමරේට ඇවිත් ෆෝන් එක අතට ගන්නකොට තමයි දැක්කෙ මැසේජ් එකක් ඇවිත් කියලා. ඒ ශශික. 

"ඔයා ගෙදර ආවද?" 

"ඔව්. දැන් ටිකක් වෙලා ඇවිත්." 

"පරිස්සමෙන් ආවනෙ." 

""ඔව් ඔව්. අද අපිට සලකන්න ගොඩක් මහන්සි වුණානෙ. ඒකට ගොඩක් තෑන්ක්ස්. " 

"ඒ වුණාට වැඩක් නැහැ. ආව කියලා කියන්නවත් අපිව මතක් වෙලා නැහැ." 

"අනේ එහෙම නැහැ. මම මේ ඔයාට ආව කියලා කියන්න ෆෝන් එක අතට ගත්තා විතරයි." 

"දැන් ඉතින් මම අහපු නිසා එහෙමවත් කියන්න." 

ඔන්න ඔහොම පටන් ගත්ත අපේ කතා බහ සෑහෙන්න වෙලාවක් යනකල් දිගටම කෙරුණා. ඒත් මට හොඳටම නිදිමත වෙලා තිබුණ නිසා ඒ කතාව අතරෙදිම මට නින්දත් ගිහින්. 

ඊළඟ දවසෙ ඔෆිස් ගියත් මට ආටිකල් එක ලියන්න තරම් හිත හදාගන්න  බැරි වුණා. හැම වෙලේම මට හිතුණේ සඳා මැණිකේට මොකක් වෙන්න ඇත්ද කියලයි. 

ඔහොම දවස් ගෙවිලා ගියේ විශේෂයක් නැතුව. ඒත් ශශිකත් මාත් අතරෙ නිතරම කෙටි පණිවිඩ හුවමාරු වුණා. ඉඳල හිටලා කතා කළත් එක්ක. ඒකෙන් වුණේ ශශිකයි මමයි හොඳම යාළුවෝ දෙන්නෙක් වෙච්ච එක. 

"රන්දි, අපේ අම්මලා මේ පාර පෝයට උපාසක දානයක් ලේස්ති කරලා තියෙනවා. ඔයාටත් එන්න පුළුවන්ද එදාට?" ශාලි දවසක් උදේ ඇහුවේ මම ඔෆිස් එකේ වැඩ වල කරවටක් ගිලිලා ඉන්න වෙලාවක. 

"මම එන්නම් ශාලි.. කවදටද?" 

"පෝය වැටෙන්නේ මේ බ්‍රහස්පතින්දට.. ඔයාව එක්ක එන්න අපේ මල්ලිව එවන්නද?" 

"එහෙම ඕනේ නෑ ශාලි. මම එන්නම් උදේම ඔයාලාගේ ගෙදරට.." 

ආයෙ මල්ලිව මහන්සි කරවන එකේ තේරුමක් නැති හින්දා මම එහෙම කිව්වෙ. පෝය දවසෙත් ගෙදර ඉන්නෙ නැතුව රවුම් ගහනවා කියලා අම්මගෙන් කුරු කුරුවක් වැටෙන්න ඉඩ තියෙනවා වුණත් පින් අතේ වැඩක් හින්දා සමහරවිට මුකුත් කියන එකක් නැහැ. 

ගෙදරිනුත් අවසර අරගෙන, පෝය දවසේ උදේම මම ශාලිලගේ ගෙදරට ආවා. සීයකට විතර දානෙ පිළියෙල කරන්න තිබ්බ හින්දා සෑහෙන්න කලබලයක් තමයි එහේ තිබ්බෙ. කොහොමහරි උදේ 10 විතර වෙනකොට අපිට දානේ ලේස්ති කරගන්න පුළුවන් වුණා. ගෙදරින් තරමක් ඈත තිබ්බ රජමහා විහාරෙකට යන්න තිබුණ නිසා අපි උදේ 10ට විතර ගෙදරින් පිටත් වුණා... 

මතු සම්බන්ධයි..