Thursday, January 15, 2015

තිමිර 04

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 

ඊළඟ දවසෙ ඔෆිස් එකට එනකොට ශාලි ඉන්නවා කම්මුලේ අතක් තියාගෙන.

“මොකද  ශාලි මේ? මූණත් ඇඹුල් කරගෙන? මම ඇහුවා. 
ඊයෙ ඉඳන්ම මගේ දතක් රිදෙනවා. ඉන්න බැහැ. රෑට නින්ද ගියෙත් නැහැ.”

“ඉතින් බෙහෙත් මොනවත් බිව්ව් නැද්ද?”

“පැනඩෝල් දෙකක් බිව්වා. ඒත් අඩු නැහැ.”

“ඉතින් ළමයෝ ඔච්චර අමාරු නම් දොස්තර කෙනෙක්ට පෙන්නන්න එපැයි.”

“බැහැ බැහැ. මම බයයි දත් ගලවනවට. මට කලන්තේ දායි.” ශාලි කිව්වා.

“එහෙම කියලා හරියනවද? යමු යමු මාත් එක්ක. මම එන්නම්”  මම කිව්වේ තවත් බලන් ඉන්න බැරිම තැන. වදෙන් පොරෙන් ශාලිව කැමති කරගෙන බොස්ටත් කියලා එළියට ආවා.

“මොන දොස්තර ගාවටද යන්නේ?” මම ඇහුවේ මේ අවට දත් දොස්තරලා කීප දෙනෙක්ම ඉන්න නිසා.

“මම දන්නෙ නැහැ රන්දි. මම මීට කලින් කවදාවත් දත් දොස්තර කෙනෙක් ගාවට ගිහින් නැහැ. දත් දොස්තර කෙනෙක් කිව්වාම මට මැවෙන්නෙත් ලොකු අඬුවක් අතින් ගත්ත රකුසෙක් වගේ නපුරු මනුස්සයෙක්ව.”

මේ ශාලි කියන ඒවට මට නම් හිනා යන්නත් එනවා. ඒ මොනව කිව්වත් මමත් දත් ගලවනවට බයයි. හැබැයි ඒ මගේ දත් ගලවනවට. ශාලිව තනියම යවන්නත් බෑනේ. මටත් යන්න වෙනවා ඉතින්. වෙලාවට ත්‍රීවිල් එකක් නතර කරගන්න පුළුවන් වුණේ.

“කොහාටද මිස්?” ත්‍රීවිල් ඩ්‍රයිවර් ඇහුවා. මම කිව්වේ මේ ළඟම ඉන්න දත් දොස්තර ගාවට ඉක්මනටම යමු කියලා.

ත්‍රීවිල් එක බැංකුව ගාව නතර කළා.

“උඩට යන්න මිස්. මේ දොස්තර හොඳයි.” ත්‍රීවිල් ඩ්‍රයිවර් කිව්වා. හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. කැක්කුම වැඩි වෙලාද කොහෙද ශාලි කෙඳිරි ගානවත් එක්ක ඒ පාර. ගාස්තුව ගෙවලා මම එයාවත් එක්ක උඩට ගියා.

කෝ කවුරුවත්ම නෑනේ. හොඳයි කිව්වෙ මේ දොස්තරද? දැන් ඉතින් වෙන තැනකට යන්නත් බැහැ නේ.

“මොනවද මිස් කෙරෙන්න ඕනේ?” නර්ස් කෙනෙක් එළියට ඇවිත් ඇහුවා.

“ඩොක්ටර් ඉන්නව ද? මෙයාගෙ දතක් කැක්කුමයි” මම කිව්වා.

“පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න මිස්. ඇතුලෙ පේෂන්ට් කෙනෙක් ඉන්නවා. එයා ඉවර වුණාම කතා කරන්නම්.” එහෙම කියාගෙන නර්ස් ඇතුලට ගියා.

අපි දෙන්නා එතන වාඩි වුණා. කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒ අස්සේ ශාලි බය වෙලා හොඳටම.

“අනේ රන්දි අපි යමුකෝ. මේක අඩු වෙයි.’ මෙච්චර වද විඳගෙන මෙතනට ආවම මෙයා ආපහු යමු ලු ඒ පාර.

“පිස්සුද ශාලි? දැන් ආපු එකේ ඕක පෙන්නලම යමු.” මම කිව්වේ ටිකක් සැරෙන් වගේ.

“ඉතින් රන්දි දත ගලවන්න ඕනෙ කිව්වොත් එහෙම?” දැන් නම් මට තරහත් යනවා මෙයත් එක්ක.

“එහෙම කිව්වොත් දත ගලවන් යමු අනේ. කොහොමත් ඔහොම වේදනාවෙන් ඉන්න බෑනේ.” ඒ පාර ඔන්න සද්ද නැහැ. කොහොමහරි අපි විනාඩි පහළවක් විතර හිටියා. මොනව කරනවද මන්ද මේ දොස්තර. අපිට මුළු දවසෙම මෙතනට වෙලා ඉන්නයි වෙන්නේ.

ඔන්න එතකොටම නර්ස් ඇවිත් අපිට ඇතුලට කතා කළා. හ්ම්. යන්තම් ඇති. මට නම් ඇති වෙලා හිටියෙ.

එන්න ඇතුළට. දොස්තර අපිට කතා කළා.

“කෝ කවුද ලෙඩා? දෙන්නම ලෙඩ්ඩුද” දොස්තර හිනා වෙවී අහනවා.

“මම විතරයි ලෙඩා.” ශාලි එහෙම කියල එතන තියන පුටුවෙන් වාඩි වුණා.

“ඉතින් මොකටද යාළුවෙකුත් එක්ක ආවෙ?” දොස්තර ආයෙමත් අහන්නේ හිනා වෙවී.

“මම බයයි දත් ගලවනවට” ශාලි ආපහු කියනවා.

“හැබැයි මට නම් පේන්නේ  ඔයාට වඩා යාළුවා තමයි බය වෙලා ඉන්නේ” ආපහු දොස්තර කියන්නේ හිනා වෙවීමයි.

ඇත්තටම මම හිටියේ බය වෙලා. බය වෙලා නෙවෙයි ගල් වෙලා. මොනවත් හිතාගන්න බැරුව. එයාලා කතා කරන ඒවත් ඇහුනේ හීනෙන් වගේ. හරියට හැම දෙයක්ම නතර වෙලා වගෙයි.


ඒ දොස්තර වෙන කවුරුවත් නෙවෙයි. ඊයේ කැෆේ එකේදි මට සැර කරපු, එයාගේ පොත මම හොරකම් කළා වගේ හැසිරිච්ච, අඩු ගානේ මට ස්තූති කරන්නෙවත් නැතුව පොත අරන් ගියපු ආඩම්බරකාරයා . 

මතු සම්බන්ධයි...